සඳ දිය දහරා – 36

0
201

“ඈ  බං  අර උඹත් එක්ක සෑහෙන්න වෙලා කතා කර කර හිටියේ රමාෂ් කොල්ලද?”

නිශාදී නිවසට පැමිණියේ මදක් රෑ වන තුරුම දහරාගේ නිවසේ රැඳී සිටියාට පසුවය. මේ අයුරින් හෝ ඇය යළි පැමිණියේ ඇයට ආදරය කරන මිනිසුන් ළඟටය. හෙට දවසේ දහරාගේ  ජීවිතයට කුමක් සිදුවේදැයි කිසිවෙකුට වැටහුම් නොවූවත් කෙටි කලකට හෝ ඇය සැනසීමෙන් ජීවත් වේවියැයි නිශාදී සිතුවාය. රාත්‍රියේ යාමයේ වුවත් වත්තේ  ඒ කොනේ සිට මේ කොනට ඇවිද යාම අපහසුවක් නොවේ. සියල්ලෝම එකිනෙකා හඳුනන නිසාවෙන් ආරක්ෂාව ගැන බියක් වූයේ නැත.

“මොකක්ද අම්ම ඇහුවේ…”

නිශාදි එසේ ඇසුවේ අම්මාගේ ප්‍රශ්නය පැහැදිලි නොවූ නිසාය. ඒ හඬෙහි මුසුව තිබුනේ කෝපයකි. අම්මා තවමත් මිනිසුන්ට ගරු නම්බු දී කතා කරන්නට දන්නේ නැත.

“අර සාමලගේ ගෙදරදි උඹත් එක්ක කතා කලේ රමාෂ්ද…”

“ආ ඔව්…..”

“ඌ දහරාගේ විස්තර නේද ඇහුවේ?…”

“අම්මා කොහොමද දන්නේ?”

“මං අහගෙන හිටියේ.”

“අම්ම මොකටද වැඩක් නැති ඒවට ඇහුම්කන් දෙන්නේ.”

“වැඩක් නැති වෙන්නේ කොහොමද උඹල කරන්නේ මොනවද යන්නේ කොහෙද කතා කරන්නේ කාත් එක්කද කියලා අපි හොයලා බලන්න එපැයි. ඔය එක්කෙනෙක් කර ගත්තේ. ජීවිතේම ඉවරයිනේ. මංනං කියන්නේ ඔය දහරගේ මිනිහා රට ගිහින් නෙමෙයි ඒකිව දාල ගිහිල්ලා මං හූනා කිව්ව වගේ මේ කියන්නේ”

“අනේ අම්මේ මේ… ඕවා දහරට ඇහෙන්නනම් නිකන්වත් කියන්න එපා. ඒ කෙල්ල ආපහු ජීවත් වෙන්න හිත හදාගත්තා විතරයි.”

නිශාදි එසේ පැවසූයේ මදක් උස් හඬින්ය. ඈ මේ කිසිවක් නිවස තුලදී අම්මා හා පවසන්නේ නැත. දවල් දවසේම වත්තේ ගැහැනුන් හා එක්ව ඕපාදූප කතා කිරීම ඇගේ දෛනික කටයුතුවල ප්‍රධානම අංගයයි.

“මට වැඩක් තියෙනවද බං අනුන්ගේ කෙල්ලො ගැන. මං අහන්නේ රමාෂ් මොනවද එච්චර දහර ගැන ඇහුවෙ කියලා.”

“එයා ඉතින් දහරාගේත් යාළුවෙක්නේ. දහර මොනවද කිව්වේ? ගෙදර ආවද?  ඉස්සරහට මොනවද කරන්න හිතන් ඉන්නේ?  ඒ විස්තර තමයි ඇහුවේ.”

“මටනම් තේරුනේ ඒ කතාවෙදි වචනයක්වත් උඹ ගැන ඇහුවෙ නෑ කියලා.”

“මම ගැන මොනවා අහන්නද මමත් එක්කනේ රමාෂ්  කතා කළේ. මං හොඳින් බව එයා දන්නවනේ”

“එහෙම නෙමෙයි මං කියන්නේ…රමාෂ් කියන්නේ දැන් අපිට අල්ලන්නවත් බැරි තරම්  ඉහළ තැනක ඉන්න කොල්ලෙක්. සල්ලිය බාගේ අතින්ද තනතුරු තානාන්තර අතින්ද වත්තේ කාටද සම කරන්න පුළුවන්. දැන් උඹත්  හෙට අනිද්දා විශ්ව විද්‍යාලේ යන්න ඉන්න එකේ ඒ ළමයා මොනව හිතේ තියාගෙන උඹව ආශ්‍රය කරනවද දන්නෙ නැහැනේ.” 

“මොනවද අම්මේ මේ කියවන්නේ…”

“පිරිමි විශ්වාස කරන්න අමාරුයි බං. ඉස්සෙල්ලා ගෑනුන්ට අනුකම්පාව පෙන්නගෙන තමයි ඒගොල්ලෝ එන්නේ. උඹට කතා කරලා පැයක් එකහමාරක් යනකල් දහරාගේ විස්තර අහා අහා ඉන්න ඕනේ නෑනේ. ඒකට දහරාගේ ෆෝන් එකට ගන්න තිබුණනේ. දැන් උඹ දහරාව බලා ගන්නම් කියලා ඌට පොරොන්දු උනේ උඹ දහරගේ අම්මද?”

“එහෙම නෙමෙයි අම්මේ රමාෂ් යාළුකමට කතා කළේ. එයා කිව්වේ දහරා ආපහු වත්තට ආපු නිසා වෙනද  වගේ නිතර නිතර එයත් එක්ක කතා බහ කරන්න කියලා.”

“අනේ මන්දා ඉතින් උඹට මං කියන දේ කොහොම තේරෙනවද කියලා. තමන්ගේ හිතේ පිරිමියෙක් ඉන්නවනං ඒ පිරිමියට වෙන ගෑණු ගැන අනුකම්පා හිතන්න දෙන්න නරකයි. ඕවා එක වචනෙන් දෙකෙන් කඩලා දානවා මිසක්කා.”

“අම්මා මොකක්ද කියන්න හදන්නේ…”

“මොකක්ද කියන්න හැදුවේ කියලා උඹට තේරෙයි දෙයක් වෙච්ච දවසකට. ඔය අනුකම්පාවල් තමයි පස්සේ භූමි කම්පාවල් වලට පෙරලෙන්නේ. රමාෂ්ල වගේ කොල්ලන්ව අල්ලගන්න කෙල්ලෝ දෙපාරක් හිතන්නෙ නෑ. දන්න මායම් හැට හතරම දාලා අල්ලගන්න බලනවා. මන්දා මං මේව කිව්වයි කියලා ඩොං යන්න ඕනෙ නෑ. මං මේවා කියන්නේ උඹේ හොඳට..”

අම්මා කාමරයෙන් පිටතට ගියේ එසේ පවසමින්ය. ඉක්මනින් ඇඳුම් අහවර කර ඇඳට වැටෙන්නට සිතූ නිශාදී ඇඳ මතින් අසුන් ගත්තේ නිහඩවය. ඇයට සිහි වූයේ සවස රමාෂ් සමඟ ඇතිවූ දුරකථන සංවාදය. ඒ විනාඩි විසිපහ  පුරාම ඔහු දහරා ගැන කතා කළා මිස එකදු වදනක්වත් තමා ගැන කතා නොකළ බව ඇත්තකි. 

“පිස්සු… අපේ අම්මා විකාර කියවලා මගේ ඔළුවත් අවුල් කරනවා”

අවසන එසේ සිතු නිශාදි නැගී සිටියේ කෝපයෙන්ය. 

                                *******************

ශ්‍රියාලතාට දැනිමින් තිබුණේ තමා ජයග්‍රහණය කලාක් බඳු සතුටකි. ඈ මනුජිත්ගේ කාමරයෙහි වූ අල්මාරියෙහි දහරාගේ ඇඳුම් දමා තිබූ කොටස පරීක්ෂා කළේ ඕ  නිවසින් පිටව ගිය හැටියේමය. ඇඳ ඇතිරිලි දෙකක්, කොට්ටා උර කිහිපයක් හා තුවායක් මිස දහරා නිවසින් රැගෙන ආ කිසිවක් අල්මාරියෙහි වූයේ නැත. ශ්‍රියාලතා අල්මාරියෙහි අගුළු දමා යතුර තම ඉනෙහි රඳවා ගත්තාය. ඕ මුළුතැන් ගෙට පැමිණ ශීතකරණය පරීක්ෂා කළේ ඉන්පසුවය. ඊයේ පෙරේදා  ඇය විසින් ගෙන ආ පළතුරු, යෝගට් හා චීස් බටර් එහෙමමය. ශ්‍රියාලතා ශීතකරණයෙහි දොර වසා දැමුවේ  යෝගට් එකක්  ඉන් පිටතට ගත්තාට පසුවය. ඕ සති කිහිපයකට පසු හාල් හුණ්ඩුවක් ගෙන ලිප තැබුවාය. ඉන්පසු දහරා විසින් ගෙනවිත් ශීතකරණයේ දමා තිබූ පතෝල  කෑල්ලකුත්, පොල් බෑයකුත් මේසය  මතින් තැබුවාය. පතෝල කෑල්ල කිරට උයි  බිත්තර දෙකක් තම්බා ගත්තාට පසුව රාත්‍රී ආහාරයට හොඳටම ඇතිය. බොහෝ දිනකට පසුව ශ්‍රියාලතා තම නිවස තුළ නිදහසේ හුස්ම ගනිමින් සිටියාය. 

“මාරකයක් පැන්න වගේ. අනේ අපේ මෑණියන්ට පින් සිද්ධ වෙන්න ඕනේ..”

ඕ අවසන පවසා ගත්තේ තමාටමය. ශ්‍රියාලතා සිහින දකිමින් සිටියේ මනුජිත්ට ගැලපෙන වංශවත්, කුලවත් යමක් කමක් ඇති තැනකින් මනාළියක කැන්දාගෙන එන්නටය.

                                     ******************

“මනුජිත් කතා කළේ නැද්ද…?”

සාමා ඇසුවේ සිය දියණිය අසලින් අසුන්ගෙනය. සොහොයුරා නිවසේ නොමැති නිසා රීටා ඔහුගේ ඇඳේ නිදා ගත හැකියැයි පවසා කොට්ටා පැදුරු රැගෙන කාමරයෙන් පිටව ගියේ මින්  විනාඩි කිහිපයකට පෙරය. බිම පැදුරක් එළා ගන්නට ගිය සාමාව දහරා ඇඳට කැඳවා ගත්තේ බලෙන් සේය. කසාදයෙන් පසුව මනුජිත්ගේ  නිවසට යනතුරුත් දහරා නිදාගත්තේ සාමාට තුරුළු වීගෙනය. ඒ උණුසුම තරම් සිත නිවන, සිත හැදෙන ආරක්ෂාකාරී තැනක් තවත් නොවන බව විශ්වාසය.

“නෑ අම්මේ…..

දිගු සුසුමක් මුදා හල දහරා එසේ පැවසූයේ මද හඬකින්ය. සත්‍ය හංගා තවදුරටත් ඇයව වෙහෙස කරවන්නට දහරාට සිතුනේ නැත. සියල්ලටම වඩා අපහසු වන්නේ එක් බොරුවක් වසන්නට බොරු වැලක් ගෙතීමට සිදුවීමයි.

“ගියාට පස්සෙම….”

සාමා එසේ ඇසුවේ දෑස් විසල් කරගෙනය.

“දෙපාරක් මැසේජ් එවල තිබුණා…මං ඒ ගෙදරට ගියාට පස්සේ මනුජිත් මමත් එක්ක වචන දහය පහළොවකට වඩා කතා කරලා නෑ අම්මේ. සමහර වෙලාවට ඔව්, නෑ,  බෑ කියලා කියන්නෙත් මම දහසක් දේවල් ඇහුවට පස්සේ.” 

“ඒ ළමයා ඔයත් එක්ක ආදරෙන් හිටියෙම නැද්ද පුතේ.”

“නෑ අම්මේ…ඒ ගෙදර හිටියේ මම කලින් අඳුනගෙන හිඳපු මනුජිත් නෙමෙයි. අන්තිම කාලෙ එයා නිදාගත්තෙත් අම්මගේ කාමරේ.”

“ඇයි දරුවෝ මේ කිසි දෙයක් කිව්වේ නැත්තේ..ඔයා බොරුනේ කිව්වේ”

“අද හරියයි හෙට හරියයි කියලා මමත් බලාගෙන හිටියා. අඩුම තරමෙන් රට ගියපු දවසෙවත් මට කියලා ගියේ නෑ. අම්මලා තවත් රිද්දන්නේ කොහොමද මං…”

“මහා පුදුම මනුස්සයෙක්නේ…”

“අම්මා එයා මාව මැරි කරන්න නෙමෙයි වෙන්න ඇති ඉන්න ඇත්තේ. මට අහම්බෙන් මනුජිත්ගේ අම්මා කියනවා ඇහුනා මාමට බයේ තමයි එයා මාව මැරිකළේ කියලා. අම්මේ කමක් නැද්ද මං මේ ගෙදරට වෙලා මේ දරුව හදා ගත්තට. ඒක අම්මටයි, ආච්චිටයි, මාමටයි ලැජ්ජාවක් වෙයිද?”

“ගහනවා දරුවෝ මං ඔයාට.. මොනවද මේ අහන කතා. ඔයා අපිට රැජිණක් පුතේ. ඇයි අපිට මේ දරු පැටිය හදාගන්න බැරි.”

“අම්මා එහෙම මට ගැහුවනං බැන්නනං මට දුක නෑ අම්මේ. මේ තරම් මට ආදරේ කරද්දි වාවන්නේ නෑ. මං කලේ මොන තරං වරදක්ද කියලා මගේ හිත මට දොස් කියනවා . කවදාවත් මගේ හිතින් මට සමාවක් ලැබෙන එකක් නෑ.”

“වෙච්ච දේ උනා පුතේ. අපි දැන් ඉස්සරහ ජීවිතේට මුහුණ දෙමු. අම්මා කෙනෙක්ගෙ හිත දරුවො ළඟදි හරි හයියයි. ඔයාට පුළුවන් මේ දරුවත් හදාගෙන ලස්සනට ජීවත් වෙන්න. ඔයාට උදව් කරන්න අපි ඉන්නවනේ..ඔයත් හයිය ගෑනියෙක් වෙන්න”

සාමා පැවසූයේ දහරාගේ හිස අතගාමින්ය. කාමරය තුල  දැල්වෙමින් තිබුණේ ලා කහ පැහැති කුඩා විදුලි බුබුළ පමණි. එනිසාම සාමාගේ දෑස් වල වූ කඳුළු දහරා දුටුවේ නැත. ඇගේ සිහින් දිගැටි අතැඟිලි දහරාගේ හිස කේ අතර ඇවිද යන්නට වූයේ සෙමෙන්ය. 

“ඔයා ආපහු කොහේවත්ම යන්න ඕනේ නෑ..”

විනාඩි කිහිපයකට පසුව සාමා පැවසූයේ ස්ථිර වූ හඬකින්ය. කාලය බොහෝ ප්‍රශ්නවලට විසඳුම් සොයා දෙන බව විශ්වාසය. සැමියෙකු ගැන පවසමින්, දරුවාට පියෙකු ගැන පවසමින් තවදුරටත් සිය දියණියව අසරණ කරන්නට සාමාට සිතුනේ නැත. හදවත රිදෙන බව සැබෑය. එහෙත් දියණිය වෙනුවෙන් ඉවසා දරා ගන්නට ඕ සිතුවාය. ජීවිතයේ අමාරුම කාල පරිච්ඡේදයක් පසු වී ගියේ ඇය වෙනුවෙන් කරන ලද කැපකිරීම් එක්කය.

(හෙටත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here