මතකයක සේයා – 41

0
930

ධර්මරත්න සහ පුෂ්පා මන්දාකිණි ගේ නිවසින් නික්ම ගියේ තවත් දින දෙකකට පමණ පසුවය. ඒ අතරතුර මන්දාකිණි අත්‍යවශ්‍ය කටයුතු වලට පමණක් ආයතනය වෙත ගිය අතර ඇය බොහෝ වේලාවක් දෙමව්පියන් සමග රැඳෙන්නට උත්සාහ කළාය.ඒ අතරතුරදි තමා ගෙවූ අසීරු කාල සීමාව පිළිබඳව සමහර අවස්ථාවන් වලදී පමණක් මන්දාකිණි තම දෙමව්පියන් සමග කතා බහ කළ අතර ධර්මරත්න සහ පුෂ්පාද මන්දාකිණි පැවසූ දේවල් වලට වැඩි යමක් ඇය ගෙන් විමසන්නට ගියේද නැත. මන්දාකිණි පිළිබඳව තීරණ ගත යුත්තේ ඉතා ඉවසීමෙන් බව ධර්මරත්න විසින් පුෂ්පා හට තරයේම කියා සිටි නිසා ඇයද මන්දාකිණි ගේ සිත රිදෙනා කාරණාවන් නොඅසා ඉන්නට වග බලා ගත්තාය.

” සිරිවර්ධන අංකල් එක්ක කතා කරලා දිනයක් දාගෙන මං ඔයාට කියන්නම් පුතේ.එදාට ගෙදර එන්න “

ධර්මරත්න මන්දාකිණි ගේ හිස අතගා පැවසුවේ ඇගේ නිවසෙන් පිටත් වන්නට සූදානම් වන මොහොතේය.මන්දාකිණි මදහසක් ඇතිව බලා සිටියා මිස ධර්මරත්න හට පිළිතුරු දෙන්නට ගියේ නැත.

” මීට පස්සේ මොන ප්‍රශ්නයක් ආවත් මුලින්ම කියන්න ඕනේ අම්මටයි මටයි හරිද ? හිතුවක්කාර වෙලා ජීවිතේ නාස්ති කර ගන්න හිතන්න වත් එපා. අපිට දරුවෝ මහා ගොඩක් නෑනේ “

පුෂ්පා අඩු වැඩිය එකතු කර තම එකම දියණියව වැළඳ ගෙන සමු දුන්නාය. ඔවුන් දෙදෙනා පිටව ගිය පසුව නිවසේ දොර වසා දැමූ මන්දාකිණී දොර පාමුල වාඩි වූයේ දෑස් තදින් පියා ගනිමිනි.

ජීවිතයට මුණ ගැසුණු පළමු ආදරය අහිමි වීම පිළිබඳව කම්පා වීමකට වඩා මන්දාකිණි හට දැනුනේ ඒ පිළිබඳව පසුතැවීමකි. ශෙනාල් මූණ නොගැසුනා නම් තමා ජීවිතයේ තවත් බොහෝ දේවල් මේ වන විට දිනා තිබෙන්නට තිබිණි. තමා දුටු බොහෝ සිහින සැබෑ කර ගත නොහැකි වූයේ තම ජීවිතයට ශෙනාල් වැට කඩුලු බැඳි නිසාවෙනි. ඔහු වෙන් වීමත් සමඟ ඒ සිහින කරා යාමට මන්දාකිණි සැලසුම් කළ ද දෙමව්පියන් විසින් ගෙන ආ විවාහ යෝජනාව ඇගේ සිතට එකතු කර තිබුණේ විශාල බරකි. 

බොහෝ වේලාවක් නිවසේ ප්‍රධාන දොරටුවට හේත්තු වී බිම වාඩි වී හුන් මන්දාකිණි පැය භාගයකට පමණ පසුව නැගී සිටියේ දෑසට නැගුණු කඳුළු පිස දා ගනිමිනි. තමාට තමා කෙරෙහිම දැනෙන ආත්මානුකම්පාවෙන් මිදී හදවතේ බිඳුනු තැන් පිළිසකර කර ගැනීමට ශක්තිමත් වීමට සිතමින් මන්දාකිණි Elegant space By Mandi වෙත යාමට සූදානම් වූවාය.

කෛලාශ් උදෑසනම සූදානම් වී කැබ් රථයක් ගෙන්වා ගෙන Elegant space By Mandi වෙත පැමිණියේ මන්දාකිණි ආයතනයට පැමිණෙන්නේ දෙමවුපියන් පිටව ගිය පසුව බව කෙටි පණිවිඩයක් මගින් උදෑසන දී කියා එවා තිබු නිසාය. ඔහු ආයතනයට ඇතුළු වී ලොබියේ වාඩි වී සිටියේ තමා පැමිණෙන බව මන්දාකිණි නොදන්නා බැවිනි. තමා පැමිණ සිටින බව මන්දාකිණි හට නොපවසන්නැයි කෛලාශ් විසින් මීනු ගෙන් සහ පිළිගැනීමේ නිලධාරිනිය ගෙන් ඉල්ලා සිටියේ මන්දාකිණි ව පුදුම කිරීම සඳහා හදිසියේ ඇති වූ ආසාවකට අනුවය.

මන්දාකිණි ගේ රථය පැමිණ ආයතනය ඉදිරිපිට නවත්වන ආකාරයත් මන්දාකිණි ඉන් බැස බිම බලා ගෙන ආයතනය කරා පැමිණෙන ආකාරයත් කෛලාශ් බලා උන්නේ වීදුරුවෙනි. ප්‍රධාන දොරටුවෙන් ආයතනය වෙත ඇතුළු වූ මන්දාකිණි ලොබියේ වාඩි වී සිටින කෛලාශ් දැක පුදුම වී ආයාසයෙන් මුහුණට සිනහවක් නඟා ගත්තාය. නමුත් ඒ සිනහව පසුපස ඇති මලානික බව හඳුනා ගන්නට කෛලාශ් හට් අපහසු වූයේ නැත.

” ඔෆිස් එකට යමු ” 

මන්දාකිණි එසේ පවසා ඉස්සර වූ අතර කෛලාශ් ඇය පසු පසින් ඇගේ කාර්යාල කාමරය වෙත පැමිණ අසුන් ගත්තේය. මන්දාකිණි තම අසුනේ වාඩි වී දිගු සුසුමක් හෙලා අත තිබූ අත් බෑගය පසෙකින් තබා ජංගම දුරකථනයේ මේසය මතින් තබන අතරේ කෛලාශ් දෙස බැලුවාය. 

” ඇයි මන්දාකිණි මේ ? ” 

කෛලාශ් විමසුවේ මන්දාකිණි ගේ මුහුණ දෙස විමසිල්ලෙන් බලමිනි.පසුගිය සමයේ මුහුණ දුන් අවාසනාවන්ත සිදුවීම් නිම වී යාමත් සමග මන්දාකිණි වෙතින් පෙර නොවූ ප්‍රබෝධමත් බවක් දක්නට ලැබුණු නමුත් මේ මොහොතේ ඇය වෙතින් පෙනෙන්නට ඇති මලානික බවට හේතුව කෛලාශ් හට පැහැදිලි වූයේ නැත.

” ප්‍රශ්න ඔක්කොම ඉවරයි කියල හිතුවට මගේ හිතට සැනසීමක් නෑ කෛලාශ් “

මන්දාකිණි පසෙක වූ ලැප්ටොප් පරිගණකය තමා ඉදිරියෙන් තබා ගන්නා අතරේ පිළිතුරු දුන්නාය.

” ඒ කිව්වේ? ” 

” අම්මලා මට ප්‍රපෝසල් එකක් ගෙනත් “

මන්දාකිණි එපමණක් පවසා ලැප්ටොප් එක දිග හැර ක්‍රියාත්මක කළාය. හදවතේ පතුලෙන් දරුණු වේදනාවක් නැඟ එනවා දැනෙද්දි එයට හේතුවක් හිතන්නට නොනැවතී කෛලාශ් එක එල්ලේම මන්දාකිණි දෙස බලා උන්නේය.

” ඒක කියන්න තමයි ගොඩක්ම ඒ දෙන්නා ඇවිල්ලා තියෙන්නේ. ඒ අස්සේ තමයි ශෙනාල් ගේ අම්මයි තාත්තායි ආවේ. මං හිටියේ වෙච්ච හැමදේම පිළිවෙලකට කියන්න උනාට ඒක එහෙම නෙමෙයි කරන්න උනේ. දැන් ඉතින් මට අම්මගෙනුයි තාත්තාගෙනුයි බේරිල්ලක් නෑ කෛලාශ් . එයාලා කියන්නේ මෙතනින් එහාට මගේ ජීවිතේ ගැන තීරණ ගන්නෙ ඒ දෙන්නා කියලා. එක අතකට ඉතින් ඒ දෙන්නා වැරදි නැහැ. මං තනියෙන් තීරණ ගන්න ගිහින් මට මෙහෙම වෙලා තියෙන්නේ ” 

මන්දාකිණි කියා ගෙන ගියේ පසුතැවිල්ලෙනි.කෛලාශ් ගොලු වී බලා උන්නේ ශරීරයම පණ නැති වී යන බවක් දැනෙද්දීය. එය කිසි දිනක නොදැනුනු තරමේ අතිශය අපහසු හැඟීමක් නිසා ඔහු ඉතා ආයාසයෙන් දිගු හුස්මක් ගෙන සන්සුන් වන්නට උත්සාහ කළේය.

” ඇයි කෛලාශ් ? ” 

මන්දාකිණි කෛලාශ් කෙරෙන් දිස්වන නොසන්සුන් බව හඳුනා ගත්තාය. 

” න්… නෑ මන්දාකිණි මම මේ.. මේ.. අහන්න ගියේ.. ඇයි එහෙම දෙයක් එකපාරටම ?අම්මලා කාවද ප්‍රපෝස් කරේ ? ” 

කෛලාශ් හැකිතාක් වෙර යොදා වචන ගලපා ගත්තේය. 

” තාත්තා ගේ යාලුවෙක් ඉන්නවා සිරිවර්ධන කියලා.එයා ගේ පුතා. මට පුතාව නම් ලොකුවට මතක නැහැ. සිරිවර්ධන අංකල් ඉස්සර අපේ ගෙදර යනවා එනවා නම් මට මතකයි.එයා මැණික් බිස්නස් කරන්නේ. පුතාත් දැන් ඒකමලු කරන්නේ. “

” ඉතින් ඔයා කැමතිද මන්දාකිණි ? ” 

මන්දාකිණි මේසයේ කොනක පීරිසියකින් වසා තිබුණු වතුර වීදුරුව අතට ගෙන එක හුස්මට උගුරු කිහිපයක් පානය කලාය. 

” ඔයා හිතනවද එහෙම ? ශෙනාල් ගේ ප්‍රශ්නෙ ඉවර වෙලා තාම සති දෙක තුනක් වත් නැහැ. ඒ තරං ඉක්මනට මම හිත හදා ගෙන ඇති කියලා ඔයාත් හිතුවද කෛලාශ් ? මගේ හිත එච්චර බාලයි කියලා ඔයාත් හිතුවද ? “

තම හඬ බිඳී යන බව මන්දාකිණි හට දැනුනේ අවසන් වචන කිහිපය පිට වෙද්දීය. වචනයෙන් විස්තර කළ නොහැකි හැඟීම් රාශියක පැටලෙමින් කෛලාශ් ඉවත බලා ගත්තේ අනතුරුවය.

” මං එහෙම හිතුවේ නෑ මන්දාකිණි. මං දන්නවා ඔයා ගේ ජීවිතේ ඉඩක් ගන්න කෙනෙක්ට ලේසි නෑ කියලා. ඔයා ඒ තරම්ම වටිනාකම් තියෙන කෙල්ලෙක් ” 

කෛලාශ් කෙරෙන් එවදන් පිටවුයේ නිරායාසයෙන් වුවත් ඔහුට කියා ගත යුතුවම තිබුනේද එයමය. 

” අම්මලා මට නොකියා කිව්වා මේ කසාදෙ කොහොමත් කෙරෙනවා කියලා. එයාලට නොකියා හැමදේම කරලා වරද්ද ගත්ත එකේ එයාලා කියන දේකට කැමති වෙනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් නෑ කෛලාශ්. මට දැනෙන්නේ මං අතරමං වෙලා වගේ. මං අච්චර ආදරේ කරපු මනුස්සයත් මට නපුරුකම් විතරක් කරපු එකේ මං නොදන්න මනුස්සයෙක්  මට හොඳක් කරයි කියලා මං හිතන්නේ නෑ.අනිත් එක මම ඉන්නේ දැන් මනුස්සයෙක්ව විශ්වාස කරන්න පුළුවන් තත්වෙක නෙමෙයි “

මන්දාකිණි පිට කරමින් උන්නේ දෙමව්පියන් ඉදිරියේ පිට කළ නොහැකි වූ හදවතේ ගැඹුරේ ඇති වේදනාවය. තමා විවාහයකට කිසිසේත්ම සූදානම් නොමැති මොහොතක විවාහ යෝජනාවකට කැමති වීමට කිසිසේත්ම හිත හදා ගත නොහැකි බව දෙමව්පියන් ඉදිරියේ කෑ ගසා හඬා කියන්නට සිතුනත් එය කල නොහැකි වීමම අවාසනාවකි. 

” මාවත් විශ්වාස නැද්ද ? ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here