” ඔයාගේ නොවෙන දරුවෙක්ට ඔයා මෙච්චර ආදරේ කරන්නේ කොහොමද අම්මා ? ”
කෛලාශ් ඇසූ පැනයට දෑස් තෙත් වූ ආකාරය සිහි කරමින් ඇන්ඩ්‍රියා උඩු මහලට පිවිසුනේ එරික් සොයා ගෙනය.
” පෙර ආත්මෙක ඇත්තටම ඔයා මගේ කුසින් උපන්න දරුවෙක් වෙන්න ඇති පුතේ ”
කෛලාශ් ගේ හිස සිප ඇන්ඩ්‍රියා ඉක්මන් ගමනින් නිවස දෙසට ඇවිද ආවේ තම තෙත්වූ දෑස් කෛලාශ් හට නොපෙනෙන්නටය.
සති අන්තයේ නිවසට පැමිණිය යුතු බව ධර්මරත්න මන්දාකිණි හට දැනුම් දී තිබුණු බැවින් මන්දාකිණි අත්‍යවශ්‍ය රාජකාරී කටයුතු අවසන් කර බොහෝ කාලයකට පසුව සති අන්තයේ නිවසට යාම සඳහා සූදානම් වූවාය.ශෙනාල් සමග ජීවත් වූ පසුගිය කාලය තුළ එක් වරක් වත් නිවසට යාමට නොහැකි වීම පිළිබඳව පසුතැවිල්ලක් මන්දාකිණි ගේ සිත තුළ තිබුණද මෙවර තමා හට නිවසට යාමට සිදුව ඇත්තේ තමා අකමැති කාරණාවක් මත නිසා මන්දාකිණි තුළ වූයේ ඒ පිළිබඳව පසුගාමී හැඟීමකී. එහෙත් මේ මොහොතේ දී දෙමව්පියන් ගේ කීමට අවනත වනවා හැරුණු කොට වෙන කළ හැකි යමක් නොමැති නිසා මන්දාකිණි ඒ වෙනුවෙන් හිත හදා ගනිමින් උන්නාය.
උදෑසනම නිවසින් පිටත් වූ මන්දාකිණි දෙමාපියන්ගේ නිවසට ළඟා වන විට දහවල් දොළහ පසු වී තිබිණි. ධර්මරත්න ගේ මිතුරු සිරිවර්ධන ඇතුළු පවුලේ අය පැමිණෙන බව පවසා තිබුණේ හවස් වරුවේය. ඒ පැමිණීම වෙනුවෙන් ධර්මරත්න නිවස බොහෝ කාර්ය බහුල වී තිබුණු අතර සිරිවර්ධන ඇතුළු පවුලේ සාමාජිකයන් වෙනුවෙන් රාත්‍රී ආහාර වේලක් ද ධර්මරත්න නිවසේ සූදානම් වෙමින් තිබිණි.
බොහෝ කාලයකට පසුව නිවසට පැමිණි මන්දාකිණි හට වාහනයෙන් බැස විත් නිවසට ඇතුළු වෙද්දී දැනුනේ අතිශය ආගන්තුක හැඟීමකි. ධර්මරත්න සහ පුශ්පා ඉදිරියට පැමිණ මන්දාකිණි ව වැළඳ ගෙන පිළිගත්තේ සෙනෙහසිනි. මන්දාකිණි නිවස පුරා බැල්මක් හෙලූ අතර නිවසේ බොහෝ දෑ වෙනස් වී තිබෙන බවට සිතිවිල්ලක් ඇය තුළ ඇති විය.
” වොෂ් එකක් දාගෙන පොඩ්ඩක් රෙස්ට් කරල ලෑස්ති වෙන්න මන්දාකිණි.සිරිවර්ධන අංකල් ලා තුනහමාර හතර වෙනකොට මෙහෙට එයි “
ධර්මරත්න පැවසුවේ විධානයක ස්වරයෙනි. එයට අවනත වනවා හැරුණු කොට වෙනත් තේරීමක් මන්දාකිණි හට නොවූ බැවින් ඇය නිදන කාමරය වෙත යන්නට හැරුණාය.
” මන්දාකිණි ”
නිදන කාමරය දෙසට යන්න හැරුණු ධර්මරත්න මන්දාකිණි ඇමතුවේ පෙරට වඩා මෘදු හඩකිනි. එය ඇසුණු පසුව මන්දාකිණි නතර වූ අතර ධර්මරත්න මන්දාකිණි දෙසට ඇවිද ආවේය.
” ඇයි තාත්තා ? ”
” පුතේ, අපේ මේ ඔයාට හොඳක් කරන්නයි හදන්නේ. ඔයාට වෙච්ච දේවල් ගැන කම්පා වෙනවට වැඩිය ඔයාගේ අනාගතේ ලස්සන කරන්නයි අම්මටයි මටයි ඕනේ .ඒකට අපි දෙන්නා ඕනෙම දෙයක් කරනවා. ඔයාගේ සැප සතුට ඇරෙන්න අපිට වෙන දෙයක් වටින්නේ නෑ පුතේ ”
” මං ඒක දන්නවා තාත්තා “
මන්දාකිණි මදහසක් පෑවේ එක අතකට තම දෙමව්පියන් සාධාරණ බව සිතන අතරේය.
” සිරිවර්ධන අංකල්ලා ආවම ඔයා එයා ගේ පුතත් එක්ක හොඳින් කතා බහ කරන්න. මේ කසාදේ අද හෙටම කෙරෙන්න ඕනි කියලා නියමයක් නෑ. ඔයාට පුළුවන් ටික කාලයක් සිරිවර්ධන ගේ පුතා එක්ක කතා බහ කරලා එයාව දැන අඳුන ගන්නකෝ දැනට ”
මන්දාකිණි ධර්මරත්න ගේ කීමට එකඟ වී නිදන කාමරය වෙත පැමිණියාය. එයද බොහෝ සේ වෙනස් වී තිබුණු අතර මන්දාකිණි බිත්තියේ එල්ලා තිබුනු රාමු කරන ලද ඇගේ පාසල් වියේ ඡායාරූපයක් අසලට විත් නතර වූවාය.
ඡායාරූපයේ හුන් කුඩා ළදරිය ගේ මුහුණෙහි සටහන්ව තිබුණේ පිරුණු සිනහවකි. එය අව්‍යාජය.සුන්දරය. ඒ සිනහව තුරුණු වියට පැමිණ සිටින මන්දාකිණි ගෙන් බොහෝ ඈතය.තමා පිළිබඳවම උපන් ආත්මානුකම්පාවකින් යුතුව මන්දාකිණි යහන මතින් වාඩි වූවාය.
සිරිවර්ධන තම බිරිඳ වූ මාලිකා සහ පුතු වූ ලවන් සමඟ ධර්මරත්න නිවසට පැමිණෙන විට සවස හතර පමණ වූ අතර ධර්මරත්න සහ පුශ්පා ඔවුන් තිදෙනාව පිළිගත්තේ ඉමහත් සන්තෝෂයෙනි.
” මේ වගේ කාරණාවක් කතා කරන්න එන්න තරම් අපේ දරුවෝ කොච්චර ලොකු වෙලාද කියලා හිතෙනවා ධර්මරත්න ”
සිරිවර්ධන සාලයේ වූ දැවයෙන් නිමවන ලද විශාල කවිච්චියෙන් වාඩි වූ අතර ඔහුගේ බිරිඳ සහ පුතණුවන්ද ඔහුට අනුව පැමිණ වාඩි වූහ. ධර්මරත්න ඔවුන්ට මුහුණලා වාඩි වූයේ සිරිවර්ධන ගේ පුතු වූ ලවන් නැමති දේහධාරී කඩවසම් තරුණයා දෙස බැල්මක් හෙළමිනි. පුෂ්පා මන්දාකිණි ගේ නිදන කාමරය වෙත පියමැන්නේ මන්දාකිණි ව කැඳවා ගෙන එනු පිණිසය.
ලා නිල් පැහැ දිගු ගවුමකින් සැරසී සිටි මන්දාකිණි විශාල කණ්නාඩි මේසය ඉදිරිපිට වාඩි වී කණ්නාඩියෙන් පෙනෙන තම රූපය දෙස බලා උන්නාය. තප්පර කිහිපයකට පසුව තමාට පිටුපසින් ඇඳුණු මව ගේ රූපය දැක මන්දාකිණි වාඩි වූ තැනින් නැගී සිට පුෂ්පා වෙතට හැරී සිනහවක් පෑවාය.
” හරිම ලස්සනයි පුතේ “
මන්දාකිණි කිසිවක් නොකීවාය. සාලය දෙසින් ඇසෙන කතා බහ ක්‍රම ක්‍රමයෙන් උස් වන හඬ ඇසුනු පසුව පුශ්පා නැවත මන්දාකිණි වෙත හැරුනාය.
” මතකයිනේ තාත්තා කිව්වා? අර ළමයත් එක්ක පරණ ප්‍රශ්න ගැන එහෙම කතා කරන්න යන්න එපා. හරිම පරිස්සමෙන් කතා කරන්න “
පුශ්පා මන්දාකිණි ගේ අතකින් අල්ලා ගෙන සාලයට කැඳවා ගෙන ආවාය. මන්දාකිණිව දුටු සැණින් සිරිවර්ධන සහ ඔහුගේ බිරිඳ මුහුණෙන් මුහුණ බලා සිනාසුණු අතර ලවන් ඇස් පිය නොහෙලා තමාට මුහුණලා අසුන් ගත් මන්දාකිණි නැමැති සුන්දර යුවතිය දෙස බලා උන්නේය.
” මේ තමයි ඉතින් මට ඉන්න එකම සම්පත ”
ධර්මරත්න පැවසුවේ මන්දාකිණි දෙස ආඩම්බරයෙන් බලමිනි. සිරිවර්ධනද මන්දාකිණිව දුටුවේ වසර ගණනාවකට පසුව නිසා ඇය දෙස උනන්දුවෙන් බැලුවේ මන්දාකිණි වැනි රූමත්, උගත් සහ ව්‍යාපාරයක් හිමි යුවතියවක් ව තමා ගේ ලේලිය කර ගැනීමට විශාල බලාපොරොත්තුවක් ඇති කර ගනිමිනි.
“මට දුව ගැන තිබුනේ යන්තම් මතකයක් විතරයි. හරියටම දැක්කේ අදනේ. මෙයා නම් පුෂ්පාගේ කපාපු පලුව ධර්මරත්න “
පුෂ්පා ආඩම්බර සිනහවකින් එය පිළිගත්තාය.අනතුරුව ධර්මරත්න හට සහ සිරිවර්ධන හට කතා බස් කිරීමට බොහෝ දේ තිබුණු අතර ලවන් බලා උන්නේ මන්දාකිණි සමඟ තනිව කතා බහ කිරීමට අවස්ථාවක් එළඹෙන තුරු නොඉවසිල්ලෙනි. ඔහු හට එම අවස්ථාව උදා වූයේ තේ පානයෙන් පසුවය.
” ඔය දෙන්නා ඉතින් හෙමින් සැරේ කතා බහ කරලා දැන අඳුන ගන්න දැන් “
තේ පානයෙන් පසුව සිරිවර්ධන උදා කර දුන්නේ ලවන් පුන පුනා බලා සිටි අවස්ථාවය. ඔහු කෑම මේසයෙන් නැගී සිට ගෙමිදුල දෙස යන්නට ඉස්සර වූ අතර මන්දාකිණි ද වෙන කල හැකි දෙයක් නොවූ තැන ඔහු පසුපස පියවර තබා විත් ගෙමිදුලට අවතීර්ණ වූවාය.
” තාත්තාගේ කීමට ආවට මෙහෙ මෙච්චර ලස්සන කෙල්ලෙක් ඉඳියි කියලා මං හිතුවේ නෑනේ ”
ලවන් පෙරටත් වඩා ගැඹුරු බැල්මකින් සහ උනන්දුවකින් මන්දාකිණි දෙස බැලූ අතර මන්දාකිණි ඉවත බලා යන්තමින් මදහසක් පමණක් පෑවාය.
” ඔයා Interior designer කෙනෙක්ලු නේද ? ”
ලවන් තවත් පියවරක් මන්දාකිණි වෙත ලං වූයේය. මන්දාකිණි ” ඔව් ” යැයි කියන්නට යන්තමින් හිස සැලුවේ ඔහු ගේ බැල්ම මග හරිමිනි.
” පොඩ්ඩක් කතා කරා නම් මට ඔයා ගේ කටහඬ අහ ගන්න තිබුනා ”
ලවන් ඕනෑවට වඩා සිනාසුනේය. එය ව්‍යාජ එකක් බව මන්දාකිණි සිතුවේ ඔහු කෙරෙහි උපන් නොපහන් හැඟීමෙනි
” ලවන් මගේ විස්තර ඔක්කොම දන්නවා ඇති නේද ? මං කිව්වේ , සිරිවර්ධන අංකල් කියන්න ඇතිනේ ? ”
මන්දාකිණි සෘජුව ඇසුවාය.ලවන් සැබැවින්ම මන්දාකිණි වෙතින් එවැන්නක් බලාපොරොත්තුව තිබුනේ නැත.
” ඔයා හරි ස්ට්‍රේට් ෆෝවර්ඩ් කෙල්ලෙක් නේ. මං ආසයි හැබැයි ඒකට ”
මන්දාකිණි එයට පිළිතුරු දෙන්නට ගියේ නැත. දේහධාරී කඩවසම් බවක් පෙනෙන්නට තිබුන ද ඔහු තුළ කුමක්දෝ ගුප්ත බවක් හෝ වෙනයම් දෙයක් සැඟවී ඇතැයි මන්දාකිණි හට සිතුනි.
” ඔයාට කලින් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියද මන්දාකිණි ? ”


