මතකයක සේයා – 44

0
52

” ඒ ළමයා හරි වැදගත් පාටයි නේද ධර්මේ ? ” 

සිරිවර්ධන ඇතුලු පවුලේ අය රාත්‍රී ආහාරයද ගෙන පිටත්ව ගිය පසුව පුශ්පා පැවසුවේ පිරුනු හැඟීමෙනි. ධර්මරත්න උන්නේද තම එකම දියණිය පිළිබඳව තමා ගත් තීරණය පිළිබඳව සතුටෙනි. එහෙත් මන්දාකිණි සිරිවර්ධන පවුල පිටව පසුව නිදන කාමරයට වැදී උන්නා මිසක ඔවුන් ගේ පැමිණීම පිළිබඳව එකදු අදහසක් හෝ දක්වන්නට ගියේ නැත.

” ඔයාට කලින් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියද මන්දාකිණි ? ” 

ලවන් එම ප්‍රශ්නය ඇසූ අවස්ථාවේ තමා ගොලුවූ බව සැබෑය.එහෙත් තමාට එම ප්‍රශ්නයට පිළිතුරු ලෙස දීමට සිදු වූයේ දෙමව්පියන්ට අවැසි වූ පිළිතුරය. 

” නෑ” 

මන්දාකිණි පිළිතුරු දුන්නෙ ලවන් ගේ දෑස් හිතාමතාම මග හරිමිනි. බොරුවක් හෝ වංචාවක් කර කෙනෙකු ගේ සිත දිනා ගැනීමෙන් ඇති වන පලක් නැත. රසවත් බොරුවට වඩා වටිනාකමක් ඇත්තේ නීරස වූ සත්‍යයට ය.

” පුදුමයි නේ. මෙච්චර ලස්සන කෙල්ලෙක්ට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියේ නෑ කියන්නේ. අඩු ගානේ ඉස්කෝලේ කාලෙ වත් හිටියේ නැද්ද ? ” 

ලවන් පුදුමයට පත් වී විමසුවේ වයස අවුරුදු තිහක් පසු වූ රූමත් යුවතියකට කිසි දිනයක පෙම්වතෙකු නොසිටි බව ඇදහිය හැක්කක් නොවන නිසාය.

” මං පවුලෙ එකම ළමයනේ ලවන්. තාත්තා ගේ නීති තදයි. ඒවට බයේ ඉගෙන ගත්තා මිසක් වෙන දෙයක් ගැන හිතන්න කාලයක් තිබ්බෙ නෑ ඉතින් මට.අනික මං කොහෙ හරි ගියත් යන්නේ අම්මා එක්ක හරි තාත්තා එක්ක හරි නේ ” 

මන්දාකිණි එවර පැවසුවේ සත්‍යයකි. ව්‍යාපාරයක් ගොඩ නගා ගෙන දියුණුව ලබමින් නිවසක් මිල දී ගෙන ස්වාධීන යුවතියක් ලෙස ජීවත් වීමට පෙර තමා ජීවත් වූයේ දෙමව්පියන් සෙවණේ තද නීති රැසක් යටතේය. පාසල් කාලයේදී අමතර පන්ති වලට සහභාගී වුවත් තමා තනිවම කොහේ වත් ගොස් තිබුනේද නැත.එබැවින් ඇත්තටම අධ්‍යාපනය ලබන කාලයේ දී පෙම්වතෙකු නොසිටි නිසා මන්දාකිණි ලවන් හට එවර දුන් පිළිතුර පිළිබඳව පසුතැවිලි වූයේ හෝ දෙගිඩියාවට පත් වූයේ නැත. 

මන්දාකිණී ලබා දුන් පිළිතුරෙන් ලවන් සෑහීමකට පත් වූ බවක් පෙනෙන්නට තිබිණි. ඉන් අනතුරුව ඇගේ ව්‍යාපාරය සහ අනෙකුත් තොරතුරු පිළිබඳව විස්තර විමසා සිටි ලවන් ඔහුගේ ව්‍යාපාර පිළිබඳවද මන්දාකිණි වෙත පවසා සිටියේ ඇය ඒවා පිළිබඳව විමසන්නටත් පෙරමය.

සති අන්තයේ මන්දාකිණි දෙමාපියන් ගේ නිවසට යාමට සිදු වන බව දන්වා කෛලාශ් හට තිබූ නිසා කෛලාශ් ඒ පිළිබඳව පසු වූයේ තරමක සිත් වේදනාවකිනි. දැනටමත් මන්දාකිණි තමාට අහිමි වී ඇති බවක් සිතමින් කෛලාශ් නොසන්සුන් දිනයක් ගත කර අවසානයේ දී හෝටලයේ සිට නිවසට පැමිණියේ රාත්‍රී එකොළහද පසු වූ පසුවය.

මන්දාකිණි ගෙන් ඇමතුමක් හෝ ලැබේ යැයි බලාපොරොත්තුවෙන් සිටියද එය එසේ නොවූ නිසා කෛලාශ් දුරකථනයද රැගෙන බැල්කනියට පැමිණ එහි වූ වේවැල් පුටුවට බර වූයේ කම්පාවෙනි. වේලාව රාත්‍රිය එකොළහයි තිහ ලෙස දුරකථන තිරයේ සටහන්ව තිබූ බැවින් කෛලාශ් දුරකථනයේ වූ මන්දාකිණි ගේ අංකය වෙත ඇමතුමක් ගත්තේ තව දුරටත් බලා හිඳීම වේදනාකාරී බව හැඟුණු බැවිනි.

මන්දාකිණි උන්නේ අඩ නින්දේය. දවස තුළ දී සිදු වූ කිසිවක් පිළිබඳව සිතෙහි පැහැදීමක් නොවූ බැවින් බොහෝ වේලාවක් යහනේ වැතිරී උන්නද මන්දාකිණි වෙත නින්ද පැමිණ තිබුනේ  නැත. හිස තබා හිඳි කොට්ටයට මෙහායින් වූ ජංගම දුරකථනය සිහින් හඬක් නගමින් නාද වෙද්දි මන්දාකිණි තිගැස්සී දෑස් හැර තත්පර ගණනාවක් සිවිලිම දෙස බලා හිඳ අඩ අඳුරේ පෙනෙන දුරකථනය අතට ගත්තාය.

බලාපොරොත්තු නොවූවද කෛලාශ් ගෙන් ඇමතුමක් පැමිණෙමින් තිබීම මන්දාකිණි ගේ සිතට ගෙන ආවේ විශාල අස්වැසිල්ලකි. මුහුණට යන්තමින් සිනාවක් නගා ගත් මන්දාකිණි ඇමතුම ක්‍රියාත්මක කර දුරකථනය කනේ තබා ගත්තාය.

” කෛලාශ් “

දුරකථනයේ අනෙක් පසින් මන්දාකිණි ගේ හඬ ගලා ඒම කෛලාශ් ගේ හදවත පහන් කරන්නට සමත් වූයේය. දිගු දවසක් අවසානයේ දී තමා ජීවිත කාලයක් පුරාවට ආදරය කරනා යුවතියගේ කටහඬ සවනේ වැකීම කෛලාශ් භාග්‍යයක් කොට සැලකුවේය.

” මන්දාකිණි ,මේ.. ඔයා නිදා ගෙනද හිටියේ ? “

කෛලාශ් කතා බහ ආරම්භ කරන්නට මගක් සෙවූයේය.

” නෑ. හැබැයි ඇඳට ඇවිල්ල නම් ගොඩක් වෙලා”

මන්දාකිණි ගේ හිතේ සාමය පලා ගොස් ඇති බව හඳුනා ගන්නට කෛලාශ් හට ඒ වචන කිහිපය පමණක් ප්‍රමාණවත් විය.

” අද මොකද වුනේ මන්දාකිණි ? ඔයාව බලන්න ආපු මනමාලයා හොඳද ? “

මන්දාකිණි සුසුමක් හෙළුවාය. මේ හෙලනා සුසුම් නතර වන දිනයක් ඇත්නම් එය වඩා සැනසිලිදායක වනු ඇතැයි මන්දාකිණි සිතුවේ කෛලාශ් හට පිළිතුරු දෙන්නට පෙරය.

” වරදක් නෑ ඉතින් ” 

” ඒ කිව්වේ හොඳයි ද ? ” 

කෛලාශ් අනෙක් අතට ඇසුවේය. විවාහ යෝජනාව රැගෙන ආ තරුණයා කෙරෙහි මන්දාකිණි පැහැදී ඇත්නම් ඇය අනිවාර්යෙන්ම දෙමව්පියන් ගේ කීමට අවනත වනු ඇතැයි බියක් ඒ මොහොතේ ඔහු තුළ උපන්නේය.

” මං දන්නේ නෑ කෛලාශ්. මං එයා අහපු දේවල් වලට උත්තර දුන්නා. තාත්තා කියපු විදියට “

” තාත්තා කියපු විදියට ? ” 

” හ්ම්ම්ම් ” 

අනතුරුව දෙදෙනා අතර වූයේ මිනිත්තු දෙක තුනක නිහඬියාවකි. දෙමව්පියන්ගේ සිත නොරිදෙන ආකාරයට පැටල වී ඇති ජීවිතය විසදා ගන්නේ කෙසේ දැයි මන්දාකිණි කල්පනා කළාය.

” මන්දාකිණි “

කෛලාශ් හඬ අවදි කලේ මන්දාකිණි ගේ නිහඬියාව දරා හිඳින්නට නොහැකි තැනය.

” මං අහන් ඉන්නේ කෛලාශ් “

” ඔයාගේ වෙඩින් එක ගැන අද මොනා හරි ඩිසිෂන් එකක් ගත්තද ? ” 

කෛලාශ් ඇසුවේ එයට ලැබිය හැකි පිළිතුර කුමක් වුවද ඒ පිළිබඳව සුවිශාල වූ බියකිනි.

” එහෙම දෙයක් නැහැ.ඒත් ඉතිං අම්මයි තාත්තයි දෙන්නම ලවන් ට කැමතියි වගේ. එයාල ඇවිත් ගියාට පස්සේ අම්මල කතා වෙනවා මට ඇහුනා.”

” එතකොට ? ” 

” තාත්තා ඉතින් මට කිව්වේ කස හදට හදිසියක් නැහැ කතා බහ කරලා අඳුර ගන්න කියලා. ඒත් කතා බහ කරලා මනුස්සයෙක්ව හරියටම අඳුර ගන්න පුළුවන්ද කෛලාශ් ? ” 

මන්දාකිණි පැවසුවේ ශෙනාල් සිහිපත් වී ය. එක වහලක් යට ජීවත් වුවද තම පෙම්වතා ගේ සැබෑ ගතිගුණ පිළිබඳව තමා හට හඳුනා ගත නොහැකි වූ තැන විවාහ යෝජනාවක් මගින් පැමිණි තරුණයකු ගේ සැබෑ ස්වරූපය පිළිබඳව කෙසේ නම් කිව හැකිද ? 

” ඔයාට එක තැනකදි වැරදුණා තමයි මන්දාකිණි. ඒත් එහෙමයි කියලා ඔයාට ඔයා ගැන, ඔයා ගේ ජීවිතේ ගැන තීරණ ගන්න තියෙන අයිතිය නැති වෙන්නෑ නේ. ඔයා ඒ මනුස්සයාට කැමති නැත්නම් ,ඔයාට එයාව ගැලපෙන්නෙ නැත්නම් ඒක ඔයා අම්මලට කියන්න. මොකද නොගැලපෙන මනුස්සයෙක් එක්ක ජීවිත කාලයක් ඉන්න වෙනවා කියන්නේ ඔයාට ජීවිත කාලෙම විඳවන්නත් වෙනවා කියන එක. ඔයාට තේරෙනවද මං කියන දේ ?”

මන්දාකිණි කඳුළින් පිරුණු දෑස් තද කර පියා ගත්තාය. කෛලාශ් පවසන්නේ සැබෑවකි. ශෙනාල් සමඟ වුවද තමා පසුගිය කාලය පුරාවටම ගෙවන ලද්දේ එවැනි කටුක කාලයකි. එම නිසා ජීවිතයට නැවත එවැනි කාලයක් පැමිණීමට ඉඩ නොතැබිය යුතුය. 

” මං මොනාද කරන්න ඕනේ කෛලාශ් ? “

මන්දාකිණි ඇසුවේ ශෝකයෙනි. දෙමව්පියන් තුළ මේ වන විට ඇති බලාපොරොත්තු කඩ කර ජීවිතය සොයා යාම කළ නොහැක.එසේ කියා නැවත වරක් ජීවිතය තුළ අතරමං වීමටද නොහැක. 

” ඇත්තටම ඔයා ඉන්නේ තාම රිකවර් වෙන ගමන් නේ. ඒක ඔයාගේ අම්මටයි තාත්තටයි තේරුම් කරලා දෙන්න.  කවද හරි ඔයා ඔයාගෙ ජීවිතේට තෝර ගන්න ඕනේ ඔයා ගේ හිතේ තියෙන තුවාල සනීප කරන මනුස්සයෙක්ව මිසක් ඒ තුවාල පාරණ මනුස්සයෙක් නෙමෙයි මන්දාකිණි. ඉතින් එහෙම මනුස්සයෙක්ව තෝර ගන්න ඔයාට අයිතියක් තියෙනවා. අනිත් ලොකුම දේ ඔයයි ඔයාගේ ගෙදර අයයි ශෙනාල් ගේ ප්‍රශ්නේ ඒ මිනිස්සුන්ගෙන් හංගන එකෙන් වෙන්නේ හොඳක් කියල ඔයා හිතනවද ? ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here