දින දෙකක් පමණ දෙමව්පියන් ගේ නිවසේ රැඳුනු මන්දාකිණි තම නිවසට පැමිණියේ එළඹුණු සතියේ සඳුදා දිනයේදීය. නිවසට එන අතරමග දී පවා මන්දාකිණි හට සිහිපත් වූයේ තමා පිටත් වන්නට පෙර පියා විසින් කියන ලද කාරණාය.
” ආපහු ඔය අනවශ්‍ය ප්‍රශ්න වලට පැටලෙන්න යන්නේ නැතුව ඉන්න මන්දාකිණි. අපි ඔයාට මේ හොයලා දීලා තියෙන්නේ හොඳ වැදගත් පවුලක ළමයෙක්. ලවන් එක්ක කතා බහ කරලා එයාව දැන අඳුන ගන්න.ඉතුරු දේවල් ටික අපි බලා ගන්නම් “
මන්දාකිණි ධර්මරත්න ගේ කීමට අවනත වූයේ ඒ මොහොතේ දී ඔහුට එකඟ වනවා හැරෙන්නට වෙන කළ හැකි දෙයක් නොවූ නිසාය. ජීවිතය ගලා යන අතකට ගලා යන්නට හැර බලා හිඳින්නට මන්දාකිණි හිත හදා ගත්තේ අනතුරුවය.
මන්දාකිණි සුපුරුදු රාජකාරී කටයුතු සඳහා Elegant space By Mandi වෙත පැමිණියේ අඟහරුවාදා උදෑසනය. තම ව්‍යාපාරයේ දියුණුව වෙනුවෙන් දැන් සම්පූර්ණ නිදහස තමා සතුව පවතින බැවින් මන්දාකිණි කාර්යාල කාමරයට පැමිණ වාඩි වූයේ සැහැල්ලු සිතිණි.ඒ සමඟම Elegant space By Mandi හී නව ශාඛාවක් විවෘත කිරීම පිළිබඳව සැලසුමක් සකස් කිරීමට ද මන්දාකිණි සිතා උන්නාය.
කාර්යාලයේ ස්ථාවර දුරකථනය නාද වූයේ මන්දාකිණි ලැප්ටොප් පරිගණකය දිග හැර ගෙන එය ක්‍රියාත්මක කර තත්පර කිහිපයක් ගත වී යන්නටත් පෙරය. බොහෝ විට එයට දුරකථන ඇමතුම් පැමිණෙන්නේ පිළිගැනීමේ නිලධාරිනිය ගෙන් නිසා මන්දාකිණි හදිසියේ පැමිණි සිතුවිල්ලකට අනුව ආරක්ෂිත කැමරා පද්ධතිය පරික්ශා කරන යොමුව වෙතට පිවිසී ලොබියේ දර්ශන වෙත දෑස් යොමු කළාය.
පිළිගැනීමේ නිලධාරිනිය ඉදිරිපිට සිට ගෙන උන්නේ ලවන් බව දුටු විට මන්දාකිණි තිගැස්සී ගියාය. නිවසට පැමිණි දිනයේ දී ඔහු තමා ගේ ජංගම දුරකථන අංකය ඉල්ලා ගෙන ගියද ඇමතුමක් හෝ නොදුන් නිසා ඔහු මේ ආකාරයට තම ආයතනයට පැමිණේවි යැයි කියා මන්දාකිණි අනුමාන කළේ හෝ නැත.
දුරකථනය නාද වී අවසන් වූ පසුව පිළිගැනීමේ නිලධාරිනිය දුරකථන රිසිවරය පසෙක තබා ලවන් හට යමක් පවසන ආකාරයත් ලවන් එයට පිළිතුරු දෙන ආකාරයත් මන්දාකිණි බලා උන්නේ ලැප්ටොප් පරිගණකයේ තිරයෙනි. ලවන් දිගින් දිගටම පිළිගැනීමේ නිලධාරිනිය හට යමක් පවසනවා දුටු බැවින් මන්දාකිණි ස්ථාවර දුරකථනයේ රිසිවරය අතට ගෙන ලොබියේ අංකය ඔබා රිසිවරය කනේ තබා ගත්තාය.
” මැඩම් ”
” උපේක්ෂා, ඔය ඇවිල්ලා ඉන්න කෙනාව ඔෆිස් එකට එවන්න ”
” ඕකේ මැඩම්… සර්.. මැඩම් ඔෆිස් එකට එන්නලු.ඔය කොරිඩෝ එකේ දිගටම ගියාම මැඩම්ගේ ඔෆිස් රූම් එක තියෙනවා “
ලවන් ජයග්‍රාහී විලාසයෙන් කාර්යාල කාමරය පැමිණෙන කොරිඩෝව දෙසට හැරෙන ආකාරය මන්දාකිණි බලා උන්නාය.
” එයා මොනවද උපේක්ෂා කිව්වේ? “
මන්දාකිණි ඇසුවේ පිළිගැනීමේ නිලධාරිනිය තව දුරටත් රිසිවරය කනේ තබාගෙන සිටිනා බව දුටි බැවිනි.
” අ.. මේ..සොරි මැඩම්.එයා කිව්වෙ මැඩම්ව මැරි කරන්න ඉන්න කෙනා කියලා.. මේ.. ඒත් මැඩම් මුකුත් කියන්නෙ නැතුව මට කාවවත් office එකට එවන්න බැරි නිසා… “
මන්දාකිණි ට දැනුනේ කෝපයකි.තමා පිළිබඳව අයිතිවාසිකම් කියන්නට විවාහ යෝජනාවක් මගින් දිනක් පමණක් හමුවූ තරුණයෙකු හට ඉඩ තැබිය නොහැක. අනෙක් අතට මෙය තමා ගේ ආයතනය ය. පෞද්ගලික බැඳීම් පෙරටු කොට ගෙන මෙහි හැසිරීම යුතු නැත.
” It ‘ s ok උපේක්ශා ”
මන්දාකිණි රිසීවරය දුරකථනය මතින් තබනවාත් සමගම ලවන් මන්දාකිණි ගේ කාර්යාල කාමරයට ඇතුළු වූයේ සිනාමුසු මුහුණිනි.
” අයියෝ ඔයාගේ receptionist නම් ”
ලවන් අනවසරයෙන්ම මන්දාකිණි ඉදිරිපිට වූ අසුන එළියට ඇද අසුන් ගෙන ජංගම දුරකථනය මේසය මතින් තැබුවේය.
” මේ කම්පනි එකේ වැඩ කරන අය වැඩ කරන්නේ මගේ රූල්ස් වලට ලවන්. කවුරු මොනවා කියා ගෙන මාව හම්බ වෙන්න ආවත් එයාලා වැඩ කරන්නේ මම කියන විදිහට. අනිත් එක මම කියලා තියෙනවා අත්‍යවශ්‍යම දේකට ඇරෙන්න කාවවත් මගේ ඔෆිස් රූම් එකට එවන්න එපා කියලා. මොකද අපේ කම්පනි එකෙන් කරන හැම දෙයක්ම , හැම ඩිසයින් එකක්ම සම්පූර්ණයෙන්ම කෙරෙන්නේ මගේ අතින්. ඒ නිසා මම කැමති නෑ මට කවුරුත් ඩිස්ටර්බ් කරනවට. ඇත්තටම කිව්වොත් මේ පුටුවෙ වාඩි උනාට පස්සේ කරන්න වැඩ දාහක් විතර තියෙනවා “
මන්දාකිණි වෙතින් දිස් වූ පෞරුෂය , ඇගේ සෘජු ස්වරය ඉදිරියේ ලවන් තරමක් පසු බැස සිටියද ඔහු එය නොපෙන්වා ඉන්නට උත්සාහ කළේය. තමා බලාපොරොත්තු වූ ආකාරයට මන්දාකිණි යනු සියුමැලි සහ ලද බොළඳ යුවතියක නොවන බව ලවන් තේරුම් ගනිමින් උන්නේය.
” මං හිතුවේ නෑ මන්දාකිණි ඔයා මෙච්චර බිසී කියලා “
මන්දාකිණි කට කොනකට සිනහවක් නඟා ගත්තාය. ශෙනාල් ඉදිරියේ සුමට ගැහැණියක වූ තමා මින් ඉදිරියට කිසිවකු ඉදිරියේ එසේ නොවන බවට ගිය කාලයේදී තමා වෙතම දුන් පොරොන්දුව මන්දාකිණි සිහියට නගා ගත්තාය.
” office එකට එන්නේ නිකන් ඉන්න නෙමෙයි නේ ලවන්. මම බාර ගත්ත හුඟක් ප්‍රොජෙක්ට්ස් තියෙනවා මට ඉවර කරන්න. අනිත් එක පර්සනල් දේවල් ඔෆිස් එකට ගේන්න මම කොහෙත්ම කැමති නෑ. මොකද ප්‍රොෆෙශන් එකයි පර්සනල් ලයිෆ් එකයි අතර තියෙන වෙනස මං හොඳට දන්නවා.
මන්දාකිණිව තමා වෙතට නම්මා ගැනීම පහසු දෙයක් නොවන බව වටහා ගත් ලවන් මේසය මත වූ ජංගම දුරකථනය අතට ගෙන වේලාව බැලුවේය.
” ඕකේ. ඔයාගේ වැඩ ඉවර වෙන්නේ කීයටද ?”
පරාජය භාර ගන්නට ලවන් සූදානම් වූයේ නැත.
” ඇත්තටම මට වෙලාවක් කියන්න අමාරුයි ලවන්. මොකද මම ඊයේ ඔෆිස් ආවෙත් නෑනේ “
ලවන් බලා උන්නේය. තමා ඇසුරු කළ තරුණියන් බොහෝය. එහෙත් ඒ එකදු තරුණියක් තුළ හෝ මන්දාකිණි වෙතින් දිස් වන මේ පෞරුෂය සහ සෘජු බව තමා දැක තිබුනේ නැත. එවැන්නියක තම ජීවන සහකාරිය කර ගැනීමට ලැබීම භාග්‍යයක් වුවත් එවැන්නියක ගේ සිත දිනා ගැනීම පහසු කටයුත්තක් නොවේ.මන්දාකිණි මේ ඔප්පු කරමින් හිඳින්නේ ඒ කාරණාවය.
” මට ඇත්තටම ඕන වුනේ ඔයාත් එක්ක ටිකක් කතා කරන්න. මොකද අපේ පේරන්ට්ස්ලාත් කිව්වේ අපිට පොඩ්ඩක් කතා බහ කරලා අඳුර ගන්න කියලනේ ”
” මං මෙහෙම කිව්වට මුකුත් හිතන්න එපා. අපි ඒ වගේ දේකට ඔෆිස් ටයිම් එක යූස් කරන්නෙ නැතුව ඉමු ලවන්. අපිට කතා කරන්න අඳුර ගන්න ඕන තරම් වෙලාව තියෙයි. හැබැයි අපිට මහන්සි වෙන්න පුලුවන් කාලේ නිකන් නාස්ති කරලා අපේ බිස්නස් වලට ඩැමේජ් එකක් වුනොත් ඒක රිකවර් කර ගන්න හරිම අමාරුයි. ඔයා බිස්නස් කරන කෙනෙක් නිසා මං හිතන්නේ මං කියන දේ තේරුම් ගන්න පුළුවන් ඇති ඔයාට ”
කුඩා කාර්යාලයක් තුළ පරිගණකයක් ඉදිරියේ වැඩ කරනවා යැයි සිතූ තරුණිය මනාව නිමවන ලද සුවිසල් ආයතන ගොඩනැගිල්ලක සුවපහසු කාර්යාල කාමරයක වාඩි වී කතා කරන්නීය. මේ නම් තමා අයිති කර ගත යුතුම වස්තුවක් බව ලවන් සිතුවේ ආයාසයෙන් සිනාසෙන අතරතුරදීය.
” මට ඔයා කියන එක තේරෙනවා මන්දාකිණි. ඒ හින්දා.. ඇත්තටම සොරි.මටත් තිබුණා ඔයාට කෝල් එකක් දීලා සිටුවේශන් එක බලලා එන්න. එහෙම නැත්නම් ඔයත් එක්ක කතා කරන්න වෙන වෙලාවක් දාගන්න මට තිබුණා.වැරැද්ද මගේ.අපි දෙන්නා වීකෙන්ඩ් එකක හරි , නැත්තම් ඩිනර් එකකට හරි හම්බ වෙමු. “
ලවන් එසේ කියා අසුනින් නැගී සිටියේ තමා අනෙක් පාර්ශවය කෙරෙහි ඉතා නම්‍යශීලී අයෙකු බව මන්දාකිණි හට ඒත්තු ගන්වන්නට උවමනා වූ නිසාය. එහෙත් මන්දාකිණි එවදන් වලට රැවටෙන්නට තරම් මෝඩ යුවතියක වූයේ නැත. ඒ නිසාම ඇය නිහඬව , පෙර වූ සෘජු බැල්මෙන්ම කාර්යාල කාමරයෙන් පිට වන්නට සූදානම් වූ ලවන් දෙස බලා උන්නාය.
” අ.. තව එකක් “
ලවන් කාර්යාල කාමරයේ දොරට අත තබා නැවත හැරුණේය.
” මොකද්ද? ”
” ඔයා මේ කිට්ටුව නේද ඉන්නේ ? ඔයා apartment එකක ඉන්නවා කිව්වා කියලා ධර්මරත්න අංකල් කිව්වා මතකයි “
” ඔව්.. මං මගේ ගෙදර ඉන්නේ “
මන්දාකිණි පිළිතුරු දුන්නාය. තත්පර කිහිපයක් බලා සිටි ලවන් දොරට තැබූ අත ඉවතට ගෙන නතර වූයේය.
” එහෙනම් අපි ඔයාගේ ගෙදරදී හම්බ වෙමුද ? ”


