ලවන් ගේ පැමිණීම සහ ඔහු ගේ හැසිරීම පිළිබඳව මන්දාකිණි අතිශයින්ම අපැහැදීමට පත් වී උන්නාය. ඔහු කාර්යාලයෙන් පිටව ගොස් බොහෝ වේලාවක් යන තුරුත් මන්දාකිණි තුළ ඔහු කෙරෙහි වූ කෝපය පහව ගියේ නැත.
” එහෙනම් අපි ඔයා ගේ ගෙදරදී හම්බ වෙමුද ? ”
මොහොතකට පෙර ලවන් විමසා සිටියේ ඇඟට පතට නොදැනීය.
” සොරි ලවන්. මං අපාට්මන්ට් එකේ ඉන්නේ තනියෙන් නිසා මං විසිටර්ස් ලා ගෙන්න ගන්නේ නෑ “
ලවන් පරාජය භාර ගෙන පිටව යන්නට ගියත් ඔහු ගේ යටි සිතේ තමා පිළිබඳව කෝපයක් හෝ වෙන යමක් ඇති වූවා දැයි කියා සිතන්නට වත් මන්දාකිණි කාලය වැය කළේ නැත.
සිත සන්සුන් කර ගැනීමට උත්සාහ කරමින් මන්දාකිණි ඉදිරි ව්‍යාපෘතියක සැලසුමක් නිර්මාණය කරමින් මධ්‍යහන වන තෙක් කාලය ගත කළාය. දහවල් දොළහ මාර පමණ පසු වන විට මන්දාකිණි ගෙ ජංගම දුරකථනයට ඇමතුමක් පැමිණි අතර ඇය දුරකථනය අතට ගත්තේ ඇමතුම පැමිණෙන්නේ මව ගෙන් හෝ පියා ගෙන් යැයි බලාපොරොත්තුවෙනි.එහෙත් මන්දාකිණි ගේ මුවගට මදහසක් නංවමින් ඇමතුම පැමිණෙමින් තිබුණේ කෛලාශ් ගෙනි.
” කියන්න කෛලාශ් “
” ඔයා ගොඩක් බිසී වෙලාවක ඩිස්ටර්බ් කරා නම් සොරි මන්දාකිණි “
මන්දාකිණි හිනැහුනාය. එය කෛලාශ් තුළ වූ මහත්මා ගති වලට ළෙන්ගතුව අව්‍යාජව නැගුනු සිනහවකි.
” ඔයා නම් මට ඩිස්ටර්බ් කලේ නැහැ “
මන්දාකිණි පෙර නැගුණු සිනාවෙන්ම පැවසුවාය.
” ඔයා නම් කිව්වේ ? තව කවුරු හරි ඔයාට ඩිස්ටර්බ් කරාද ? ”
කෛලාශ් මන්දාකිණි වෙතින් නිකුත් වූ වචනයක වෙනස හඳුනා ගෙන විමසුවේය.
” මනමාල මහත්තයා ඔෆිස් එකට ඇවිත් ගියා “
මන්දාකිණි පිළිතුරු දුන්නේ උපහාසාත්මකවය. ලවන්ගේ පැමිණීම සහ ඔහු සමග සිදු වූ කතා බහ සිහිපත් කරන්නට පවා මන්දාකිණි තුළ වූයේ අකමැත්තකි.
” අද ? ”
” ඔව්.. ඒ මදිවට රිසෙප්ශන් එකට කියලා මාව මැරි කරන්න ඉන්න කෙනා කියලා “
කෛලාශ් හදවතින් කම්පා වුවත් එය වචන වලට පෙරලන්නට ගියේ නැත. ඒ ,කොහේදෝ සිට පැමිණි තරුණයෙකු මන්දාකිණි පිළිබඳව අයිතිවාසිකම් කීම උහුලා ගත නොහැකි වූ නිසාය.
” ඒක ඉතිං බොරුවකුත් නෙමෙයිනේ මන්දාකිණි “
කෛලාශ් මලානික හඬකින් කීවේය. හදවත දැවී අලු වී යන බව කෙසේ නම් කිව හැකිද?
” ඒත් ඉතින් ඇත්තකුත් නෙමෙයි නේ ? මං කිව්වේ නෑනේ මං එයාට කැමතියි කියලා “
මන්දාකිණි ගේ ස්වරයේ වූයේ දැඩි බවකි. ශෙනාල් ගේ ක්‍රියා කලාපය හේතුවෙන් මුහුණ දෙන්නට සිදු වූ අවාසනාවන්ත සිදුවීම් හේතුවෙන් පහුගිය සති කිහිපය තුළ දී මන්දාකිණි බොහෝ සේ තම ගති පැවැතුම් වෙනස් කර ගනිමින් හිඳින්නීය.
” ඔයා ලන්ච් ගත්තේ නැත්තං වෙලාවක් තියෙනවා නම් හොටෙල් එක පැත්තට එන්න පුළුවන්ද මන්දාකිණි ? මට ඔයත් එක්ක කතා කර ගන්න පුංචි දෙයක් තියෙනවා “
කාර්යාල වේලාව තුළදී පෞද්ගලික කාරණාව සඳහා වේලාව වෙන් නොකරන බව ලවන් වෙත පවසා ගත වූයේ පැය කිහිපයක් පමණක් වුවත් තම ජීවිතයට බෙහෙවින්ම සමීපතමයෙකු වූ කෛලාශ් වෙත කිසිසේත්ම එවැන්නක් පැවසිය නොහැක.
” මොකද්ද කෛලාශ් ? ”
” ලබන සතියේ අම්මා ගේ බර්ත්ඩේ එක “
” අනේ.. එහෙමද ? ”
ඇන්ඩ්‍රියා සමග කතා බහ කල මුල් දිනයේ සිටම සහ ඇය පිළිබඳව කෛලාශ් ගෙන් අසා තිබූ විස්තර වලට අනුව මන්දාකිණි තුළ ඇය කෙරෙහි වූයේ ඉමහත් සෙනෙහසකි.
” මං හිතන් ඉන්නේ අම්මා ලංකාවේ ඉන්න එකේ මේ පාර මං හිටපු ළමා නිවාසෙට දානයක් දෙන්න. මට අම්මව හම්බ උනේ ඒ ළමා නිවාසේ නිසා නේ ”
කෛලාශ් පැවසුවේ අතීතය සිහි කරමිනි. මන්දාකිණි සානුකම්පිත හැඟීමෙන් කෛලාශ් තවත් යමක් පවසන තුරු බලා උන්නාය.
” ජීවිතේ මට කවද හරි අන්තිමට ඉතුරු වෙන්නේ ඒ දෙන්නා විතරයි කියලා මං දැනටමත් දන්නවා මන්දාකිණි. ඒ නිසා ඒ දෙන්නා වෙනුවෙන් කරන්න පුළුවන් හැම දේම මම කරනවා “
වචනයෙන් නොපැවසූවත් කෛලාශ් පසු වන්නේ යම් කිසි සිත් තැවුලකින් බව මන්දාකිණි අනුමාන කලේ ඔහු පැවසූ වචන වල කිසියම් වූ ගැඹුරු අර්ථයක් ගැබ් වී තිබුණු නිසාය.
” ඔයාට මට මොනවා හරි කියන්න තියෙනවද කෛලාශ් ? ”
” ඇයි එහෙම ඇහුවේ මන්දාකිණි ? ”
” නිකන් ”
කෙටි පිළිතුරක් පමණක් දුන් මන්දාකිණි ආයාසයෙන් හැඟීම් යටපත් කර ගන්නට වෙර දරුවාය.
” දානේ හදන වැඩ ටික හොටෙල් එකෙන් කරන්න පුළුවන්. ළමා නිවාසේ ළමයින්ට තෑගි දෙන ටිකයි අනිත් ඔය තියෙන වැඩ ටිකයි ප්ලෑන් කරන්න තමයි ඕනේ “
කෛලාශ් කතාව වෙනතකට හරවන්නට උවමනාවෙන් පැවසුවේ තෑගි ලබන්නට ආශාවෙන් උපන් දිනයක් සමරන්නට හෝ වෙනත් විශේෂ අවස්ථාවක් සමරන්නට කවුරුන් හෝ ළමා නිවාසය වෙත පැමිණෙන තුරු බලා හිඳි අතීතය සිහිපත් කරමිනි.එහෙත් ඒ අතීතය, වර්තමානයේ දී කෛලාශ් හට වේදනාවක් නොවූයේ වාසනාවකට මෙන් තමා සොයා පැමිණ තම ජීවිතය භාර ගෙන එය වර්ණවත් කරන්නට කැප වූ දෙමව්පිය යුවල නිසාවෙනි.
” අයියෝ ඒක හරිම සිම්පල් දෙයක් නේ. මං ඔක්කොම ටික ඔයාට ප්ලෑන් කරලා දෙන්නම් කෛලාශ්. බබාලට අපි හොඳ තෑගි ටිකක් බලලා දෙමුකෝ. මට පුලුවන් ඒ ටික ගන්න “
” යන වියදම් ටික බලලා මට කියන්න මන්දාකිණි “
” මං ඔයා ගෙන් වියදම් ඉල්ලුවෙ නෑනේ. මේ ලෝකේ කොයි අම්මත් මට මගේ අම්මා වගේ කෛලාශ්. අනිත් එක , මගේ පුංචි කාලේ යාලුවා ගේ අම්මා කියන්නේ කොහොමත් මට මගේම කෙනෙක් නේ. අපි අම්මාට සතුටු හිතෙන විදිහට වැඩේ කරමු “
කුඩා කාලයේ තරම්ම තවමත් මන්දාකිණි සතුව ඇත්තේ තෙතමනයක් සහිත සංවේදී සහ කරුණාවන්ත හදවතක් බව කෛලාශ් ඒ වචන කිහිපයෙන් තේරුම් ගත්තේය. මන්දාකිණි කෙරෙහි හදවතේ නැගෙමින් තිබෙන සුපිරිසිදු හැඟීම තව තවත් වැඩි වන විටත් කෛලාශ් එකදු වචනයක් හෝ පිට කරන්නට ඉක්මන් නොවී සිටියේය.
” ඉතුරු ටික ඔයා ලන්ච් වලට ආවම ප්ලෑන් කර ගමු මන්දාකිණි “
කෛලාශ් ට උවමනා වූයේ මන්දාකිණි ව දැක ගන්නටය. ඇය පෙනෙන මානයේ මොහොතක් හෝ හිඳ සැනසෙන්නටය. ප්‍රේමයක් ඇති බව නොකියා ප්‍රේමයෙන් යුතුව ඇය දෙස බලා හිඳින්නටය.
” අයියෝ ඕකේ ප්ලෑන් කරන්න දෙයක් නෑ අනේ මට. දැනටමත් ප්ලෑන් එක මගේ ඔළුවේ තියෙනවා “
මන්දාකිණි කීවේ කෛලාශ් ව වේදනාවට පත් කරවමිනි. මතකයක සේයාවකින් සොයා ගත් ලබැඳිය ඉදිරියේ තම හදවත විවර කරන්නට නොහැකිව කෛලාශ් බොහෝ සේ ලතැවුනේය.
” ඔයා මේ වෙලාවේ බිසී නං එන්න ඕනෙ නෑ මන්දාකිණි. මං නිකමට ඇහුවේ ”
කෛලාශ් පරාජිත ස්වරයෙන් මිමිණුවේය. මන්දාකිණි තමා ඉදිරියේ වූ laptop පරිගණකය වසා දමා වාහනයේ යතුර ගෙන අසුනින් නැගී සිටියාය.
” ආවොත් මට මොනාද දෙන්නේ ? ”
මන්දාකිණි විමසුවේ සැහැල්ලුවෙන් හිනැහෙමිනි. තමා වෙනුවෙන් මුල් තැන ලබා දී ජීවිතයට ගලා යන්නට ඉඩ හැරිය විට දැනෙන සැහැල්ලුව මන්දාකිණි විඳිමින් උන්නාය.
” ඔයා ඉල්ලන ඕනම දෙයක් දෙනවා “
කෛලාශ් පිළිතුරු දුන්නේ සැබෑවටමය. බිඳී ගිය ළමා මනසක් සුවපත් කරන්නට ඈත අතීතයේදී වෙර දැරූ කරුණාවන්ත කුඩා ළදැරිය වෙනුවෙන් තමා හට කල නොහැක්කක් මෙලොව නැත.
මන්දාකිණි ජංගම දුරකථනය සවනේ රඳවා ගෙන කාර්යාල කාමරයෙන් පිට වී කොරිඩෝව දිගේ පියවර තබා විත් ලොබියට පිවිස පිළිගැනීමේ නිලධාරිනිය ඉදිරියේ නතර වූවාය.
” මං එළියට ගිහින් එන්නම් උපේක්ෂා.හදිසියක් නම් කෝල් එකක් දෙන්න “
” ඕකේ මැඩම් “
මන්දාකිණි පිළිගැනීමේ නිලධාරිනිය වෙත දුන් විධානය අසා කෛලාශ් පුදුමයට පත් වූයේය. එය ඉතා විශාල සන්තෝෂ ජනක හැඟීමක් බවට පත්වූයේ තවත් තත්පර ගණනාවකි.
” ඔයා ඇත්තටම එනවද මන්දාකිණි ? ”


