සඳ දිය දහරා – 42

0
89

“ඇයි නිශාදී හදිසියක්ද……”

ඔහු එහා පසින් දුරකථනයට සම්බන්ධ වූ හැටියේම එසේ ඇසුවේය. 

“නෑ හදිසියක්ම නෙමෙයි රමාෂ්මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕනේ.”

“දහරට මොකුත් ප්‍රශ්නයක් නෙමෙයිනේ…..”

“නෑ….නෑ දහරට ප්‍රශ්නයක් නෙමෙයි මටයි ඔයා එක ටිකක් කතා කරන්න ඕන වුණේ.”

“මම ප්‍රයිවෙක්ට් ප්‍රැක්ට්‍රිස්වල ඉන්නේ. තව පේෂන්ට්ලා තුන්දෙනෙක් වගේ ඉන්නවා. මට පැය භාගයක් දෙන්න මං ඔයාට ආපහු කෝල් බැක් කරන්නම්.”

“හරි රමාෂ් එහෙම හදිසියක් නෑ. ඔයාට පුළුවන් වෙච්ච ගමන් මට ගන්නකෝ.”

හැකිතාක් සන්සුන් සුවයෙන් පැවසුවත් ඇගේ හදවත සන්සුන්ව තිබුණේ නැත. 

දුරකථනය පසෙකින් තැබූ හැටියේම දහරාගෙන් ආ ඇමතුම ඈ ගණනකට නොගත්තේ හිතා මතාමය. මෙවේලෙහි ඇය හා කතා කර සිත රිදවා ගැනීමට නිශාදිට  ඇවැසි වූයේ නැත. දහරා දෙවන තුන්වන වරටත් ඇමතුම් ලබා ගනිද්දී රංජනී කාමරයට පැමිණියේ සාලයේ සිටම කෑ ගසා ගෙනය. 

“ඇයි බං ඔය ෆෝන් එක රිං වෙද්දිත් උඹ උන්නේ ඔතනද. මං හිතුවා උඹ මටත් නොකියා ගෙදරින් එළියට බැහැලා කොහේ හරි ගිහිල්ලා කියලා. ඇයි බං ඕක රිං වෙද්දි? කතා නොකර ඉන්නේ. දහර නේද…

අනේ මන්ද උඹලගෙත් වැඩ…”

ඈ කාමරයෙන් පිටව ගියේ පැමිණි වේගයෙන්මය. එවේලෙහි තුන් වරක් නාද වූ ජංගම දුරකථනය නිහඩ වී තිබිණ. අවසන ඈ ඇඳෙහි වැතිරුණේ  දෑස් කඳුළින් තෙත්ව යද්දීය. පසුගිය කාලය පුරාම මේ දෑස් වල කඳුළු පුරවා ගත්තානම් ඒ දහරා වෙනුවෙන්ය. ඇගේත්  තමාගේත් යාළුකම පටන් ගත්තේ කවදා කොතැනක කොයි ලෙසකින්දැයි මතකයක් නිශාදිට වූයේ නැත. එහෙත් දන්නා දවසේ සිට ඈ තමා වෙනුවෙන් පෙනී සිටි බවත් මෙතරම් දුරක් පැමිණීමට අත අල්ලාගෙන ධෛර්යය දුන් බවත් විශ්වාසය. නිවසේ අයවලුන්ටත් වඩා තමා ගැන සිතුවේ දහරායැයි පැවසුවහොත් නිවැරදිය.  විහිළුවටවත් ඈ හා තරහ වූ දිනක් නිශාදිගේ  මතකයේ නොවේ. ඉරිසියා කරන්නට තරහ ගන්නට හෝ බෙදා ගන්නට දෙයක් මෙතුවක් දෙදෙනා අතර වූයේ නැත. දහරා නිර්ලෝභීව සියල්ල තමා වෙනුවෙන් දුන් අයෙකි. පෑනක් පැන්සලක් ලැබුණත් කෑමක් ලැබුණත් පොතක් ලැබුණත් අලුතින් ගවුමක් ලැබුනත් ඈ ඒ සියල්ල තමා වෙනුවෙන් අරන් තියාගත් බව නිශාදිට මතකය. පසු කලෙක සාමාත් චූටි මාමාත් දහරා වෙනුවෙන් යමක් ගෙන එන්නේ නම් නිශාදිටත් යමක් ගෙන එන්නට අමතක කරන්නේ නැත. දහරා මෙන් තමා ඉගෙනීමට උපන් හපන් හැකියාවක් තිබූ අයෙකු නොවූ බව නිශාදිට මතකය. හය හත වසර වෙනතුරුත් නිශාදි පාසල් ගියේ ඕනෑවට එපාවටය. එසේත් නොමැතිනම් නිවැසියන්ගේ වදයටය. අම්මා තාත්තා මෙන්ම අක්කාත් එදවස නිශාදිට බැණ  වදින්නේ දහරාව ඉස්සර කරගෙනය. බොහෝ සවස්වල  දහරා නිශාදිව පාසලේදීම පොරොන්දු කර ගන්නේ සවස පාඩම් කිරීමට තමාගේ නිවසට පැමිණෙන්නයැයි  පවසමින්ය. එදවස අයියාගේ යහළුවන් නිතරම නිවසට පැමිණේ සටන් ජවනිකා රැගත් ඉංග්‍රීසි සීඩී  තැටි රැගෙනය. එසේ  එන ඔවුන්  රෑ දොළහ එක වෙනතුරුම නිවස චිත්‍රපට ශාලාවක් කර ගනී. පුදුමය වන්නේ විටෙක අක්කාත් අම්මාත් තාත්තාත් ඔවුන් හා සමව ඒවාට ඇබ්බැහි වී නැරඹීමය. තමා දහරාගේ නිවසට නොගිය දිනවලදී ඈ තමාව බලෙන් කැඳවාගෙන යාමට පැමිණි බව නිශාදිට මතකය. තමාටත් මේ සරසවි සිහිනය පෙන්වූයේ ඈය. බොහෝ දිනවල තමාට ටොකු අනිමින් බැණ වදිමින් ගණන් කියා දුන්නේ ඈය. ඉගෙනීමේ අගය ගැන වටහා දුන්නේත් මේ දුක්ඛිත ජීවිත වලින් එතෙර විය හැක්කේ නිසි අධ්‍යාපනයක් තුළින් බව පෙන්නා දුන්නේත් ඇය. වත්තේ සම වයසේ උන් කෙල්ලන්ගෙන් වෙනස්ව පිළිවෙලට, පිරිසිදුකමට සිටින්නට කියා දුන්නේ ඈය. දහරාට ජීවිතය වැරදුනායැයි සිතද්දී අදටත් නිශාදිගේ  සිතෙහි පුදුමයක් උපදින්නේ එනිසාය. තමා අතිශය සාමාන්‍ය ලෙස සාමාන්‍ය පෙළ සමත් වද්දී දහරා ඒ අටයි බී එකක් ලබා ගත්තාය. ඇයට වෙනත් බාලිකා විදුහලකට යාමට හැකියාව තිබියදීත් එසේ නොකළේ තමා නිසායැයි නිශාදී දැන ගත්තේ පසු කාලයකදීය. 

“මං එහෙම කළානම් ඔයා ඒ ලෙවල් ලියන්නේ නැතුව අත ඇරල දායි කියලා මට බය හිතුනා. මේ හීනෙ මට දකින්න ඕනේ තනියම නෙමෙයි. පුංචි කාලෙ ඉඳලා මමත් එක්ක දුක සැප බෙදාගෙන ඉඳපු යාළුවත් එක්ක..”

එසේ කළේ ඇයිදැයි අසද්දී දහරා පිළිතුරු දුන්නේ ඒ අයුරින්ය. තමා නිසා දහරා විශ්ව විද්‍යාල සිහිනයත් අතහැර දමාවියැයි නිශාදිට බය සිතුනේ එවේලෙහිය. ඕ එතැන් සිට පාඩම් කරන්නට පටන් ගත්තේ දහරාගේ බලකිරීමටය. අන්තිමට ඒ සිහිනය නිශාදිගේ ජීවිතයේ එකම සිහිනය කරන්නටත් ඈ සමත් වූවාය. දහරාගේ ජීවිතයට මේ සහ අකටයුතුකම් සිදුවද්දී ඒවා තමාට සිදුවූවා සේ නිශාදිට දැනුනේත් එනිසාය. 

අවසන දිගු සුසුමක් මුදාහළ නිශාදි සිය ජංගම දුරකථනය අතටට ගත්තාය.  වඩා වටින්නේ ඒ මිතුදමය. 

“මේ ජීවිතයට මොනව උනත් මට මගේ අම්මගේ ළඟවත් ඔයාගේ ලඟ තරම්  සැනසීමක් නැතිවෙයි දහරා. ඒත් මං දන්නවා මං බින්දුවටම වැටුණත් ඔයාගේ ළඟ මගේ හිත හදන්න තරම් ආදරේ කරුණාව ඕනවටත් වඩා පිරිලා තියෙනවා කියලා.” 

ඕ එසේ  මිමිණූයේ එහා පසින් දුරකථනය නාද වන අතරේය. 

“මොකද බං උනේ. මං මේ තව සැරයක් අරගෙන බලලා ආන්සර් කලේ නැති උනොත් ඔයාලගේ ගෙදර එන්න හැදුවේ.”

“ෆෝන් එක සයිලන්ට් කරලා තිබුණේ මට ටිකක් නින්ද ගියා.”

“ඔයා හිතනවා වැඩියි. ඔයා විතරද කැම්පස් යන එකම කෙනා. හොස්ටල් එකේ නතර වෙන එකම කෙනා. ජීවිතේ  විවිධ කාලෙට විවිධ විදිහේ පුද්ගලයෝ අපිට හම්බ වෙනවා. හොඳම යාළුවා විදිහට නැති උනත්  සමහරවිට ඔයාගේ ජීවිතේට හොඳ යාළුවෝ ටිකක් එතනදි හම්බවෙයි. ඒ නැති උනත් ඔයාට යන්න අරමුණක් තියෙනවා. දිනන්න කඩයිමක් තියෙනවා. කරන්න යුතුකම් ගොඩක් තියෙනවා. මේ තැනට ඔයා යන්නම ඕනේ. ඒ අලුත්  ජීවිතයට ඔයා පුරුදු වෙන්නම ඕනේ. ඉතින් හිතන්න දැන් ඉදලා දුක් විඳින එකේ තේරුමක් තියෙනවද කියලා…..”

නිශාදි  ඒ වදන්  අසා සිටියේ හූ  මිටි නොතබමින්ය. සිතෙහි වන සියල්ල ඇයට පහදා දෙන්නට හැකියාවක් තිබුණානම් හොඳය.  එහෙත් සමහර දේ හිත පත්ලේම මියැද්දවීම වඩා හොඳයැයි  ඈ සිතුවාය. 

“අර මාමගේ යාළුවා සුරංජිත් උදේ මං හදපු මල් පොකුර දැක්කනේ. එයා ඒකෙ ෆොටෝ වගේකුත් ගහගෙන ගියා. මට මල් හදලා දෙන්න තැනක් කතා කරල දෙන්නම් කියලත් කිව්වා. ඒ වුණාට මං හිතුවේ නෑ මේ තරං ඉක්මනට සුරංජිත්  මාමා ඒක ගැන බලයි කියලා. එයා දන්න පිටකොටුවේ මල් කඩේකට මල් පොකුරු දහයක් ඉල්ලුවලු. වැඩිපුර රතු පාට ඒවා. මගෙන් අහනවා දෙන්න පුළුවන් මිල කීයද කියලා.”

“අනේ ෂෝක්නෙ කෙල්ලේ…එක මල් පොකුරකට කොච්චර විතර වියදම යනවද..”

“මං හිතන්නෑ රුපියල් හාරසීයක්වත් යනව ඇති කියලා.”

“මං ෆේස්බුක් එකේ දැක්කා ඔය මල් පොකුර විකිණෙන්නේ මල් ගණනට. ඔහොමම ලයින් එකේ ඉදහන්කො මම බලන්න. ආ මේ තියෙන්නේ…මල් පහ අටසිය පණහයි. හත නවසිය පනහයි. නවය එක්දහස් දෙසියයි. මේ මල් දොළහක් එද්දි එක්දාස් හාරසිය පණහයි.”

“එයාලා ඉල්ලුවේ මල් දොළහෙ එක…”

ෂොප්  එකේ විකුණන්නෙ එක්දාස් හාරසීයකට වගේනම් නවසිය පනහකට විතර දෙමු නේද. එතකොට පන්සීයක් වුණත් ඔයාටත් හාරසිය පනහක් තියෙනවනේ.”

“අපි රමාෂ්ගෙනුත් අහමුද..?”

“ඔව් ඒක හොඳයි. ඔයා කෝල් එකක් ගන්න තව ටිකකින්. රාමාෂ්ගේ අත හොඳයි. එයා නේද ඉස්සර වෙලාම සල්ලි දීලාගත්තේ.” 

“ඔව්…අනේ  මටත් බැන…බැන…”

රමාෂ් නිශාදිට දුරකථන ඇමතුමක් ලබා ගත්තේ දහරා ඇමතුමේ සිටියදීමය. ඒ ඇමතුම මගහරින්නට සිතුවත් අවසන නිශාදි එසේ නොකරන්නට තීරණයය කළාය. මෙවේලෙහි යමක්  කතා කළ යුත්තේ දහරා වෙනුවෙන්ය. එක් වරක් ජීවිතය අපායක් වූ ඇයට යළිත් වරක් රිදෙන්නට ඉඩ නොදිය යුතුය. 

“සොරි නිශාදී… හදිසි පේෂන්ට් කෙනෙක් බලන්න වෝඩ් එකට යන්න වුණා. මේ මට දහරත් ගන්නවා. මොකුත් ප්‍රශ්නයක් නෙමෙයි නේද. ඔයාල දෙන්නා කතා වෙලා මට ගන්නවා නෙමෙයිනේ.”

“දහරා ඔයාට ගන්න බව මම දන්නවා. ඒ කෝල් එක ටිකක් ඉග්නෝ කරලා හිටියට කමක් නෑ. මොකද මේ කෝල් එක තරම් මේ වෙලාවේ ඒක වැදගත් නෑ.”

“ඇයි නිශාදි දහරට මොනවා හරි ප්‍රශ්නයක්ද…..”

“නෑ මට හිතුණු දෙයක් ගැන ඔයා එක්ක කතා කරන්නයි ඕන වුනේ. ඒ දහරා ගැන.”

“ඇයි නිශාදිි..”

“දහර කියන්නේ මගේ හොඳම යාළුවා. ඒකත් අදත් අනාගතයේත් කියලා වෙනසක් නෑ. ඒ නිසා මං කැමති නෑ හීනෙකින්වත් එයාට ආපහු වරදක් වෙනවට. ඔයා මේ විදිහට දහර ගැන හොයන්නෙ එයා ගැන වදවෙන්නේ  මොකක් හරි විශේෂ හේතුවක් තියෙනවද රමාෂ්…එහෙම අහන්න මට යුතුකමක් වගේම අයිතියක් තියෙනවා.”

සම්පූර්ණයෙන්ම සැහැල්ලු වී නොසිටියත් නිශාදි එවේලෙහි ඇසුවේ සැබවින්ම දහරා  ගැන උපන් ආදරයත් අනුකම්පාවත් සමගින්ය.

“ඔයයි දහරයි ඒ ගැන මොනවා හරි දෙයක් කතා උනාද..?”

“දහරා මේ කිසි දෙයක් දන්නේ නෑ රමාෂ් එයා ඔයාට ගත්තනම් ගත්තේ ඒ එයා හදන මල් පොකුරක් මිල කරන්නේ කීයටද කියල අහන්න. මේක දැනගන්න ඕන වුණේ මට…”

“ඔව් දහරා  ගැන විශේෂත්වයක් මගේ හිතේ තියෙනවා. එතන ලොකු කතාවක් තියෙනවා. ඒක ඔයාට කියන්න අවස්ථාවක් මට ලැබුණේ නෑ. දහරා මේක කවද හරි දැනගන්න ඕනේ. හැබැයි අද හෙට නෙමෙයි.”

එහාපස උන් තරුණයා දිගු සුසුමක් මුදාහරිනු නිශාදිට ඇසිණ. ඒ කතාව කුමක්දැයි ඕ සිතුවේ පුදුමවය. ඕ ජංගම දුරකථනය වඩා තදින් සවනතකට ළං කරගත්තාය.

(හෙටත් හමුවෙමු ආදරයෙන්………)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here