මතකයක සේයා – 49

0
724

” වෙච්ච දේට සොරි මන්දාකිණි. මම එච්චර හිතලා කරපු දෙයක් නෙමෙයි ඒක. අනික.. මට ඊයේ පොඩ්ඩක් වැඩි වුණා “

ලවන් මන්දාකිණි ඇමතුවේ නිවසේ තත්ත්වය මදක් යථා තත්ත්වයට පත් වූ පසුවය. ව්‍යාපාර කටයුත්තක් සඳහා නිවසින් පිටව පැමිණ මාර්ගය අයිනේ වාහනය නතර කර ලවන් දුරකථන ඇමතුම ලබා ගත්තේ බොහෝ වාරයක් කල්පනා කිරීමෙන් අනතුරුවය.

” ඩ්‍රින්ක්ස් අරන් එන්ජෝයි කරන එකේ වරදක් නැහැ ලවන්. හැබැයි ඉතින් තමන්ගේ ප්‍රමාණෙ දැනගෙන. අනිත් එක ඊට පස්සේ අනිත් මිනිස්සුන්ට කරදරයක් වෙනව නං ඔයා එහෙම එන්ජෝයි කරන එකෙන් තේරුමකුත් නෑනේ “

මන්දාකිණි හැකිතාක් ඉවසීමෙන් පිළිතුරු දෙන්නට උත්සාහයක් දරමින් උන්නාය. එහෙත් ලවන් කෙරෙහි ඇති වී තිබූ අප්‍රසන්න හැඟීම ඇය වෙතින් ඉවත්ව ගොස් තිබුණේ නැත.

” මට තේරෙනවා ඔයා කියන දේ. මට අපේ තාත්තා සෑහෙන දොස් කිව්වා උදේ. අනිත් එක මන්දාකිණි … ” 

ලවන් යමක් කියන්නට ගොස් නතර කර ගත්තේය. මේ සිදුවෙමින් පවතින කතාබහ කෙරෙහි මන්දාකිණි තුළ කිසිදු ප්‍රියතාවයක් නොවූවත් ලවන් තමා අතින් සිදු වූ වරද තේරුම් ගෙන සමාව ඉල්ලීම නිසා ඔහු සමග  ඉවසීමෙන් කටයුතු කරන්නට මන්දාකිණි සිතා ගත්තාය.

” මොකක්ද කියන්න ගියේ ? ” 

මන්දාකිණි තමා ඉදිරියේ මේසය මත වූ ලිපි ගොනුවක් දිග හැර ගෙන පසෙක වූ පෑන අතට ගත්තාය.

” ඔයාට තිබුණා ඔයා ගේ තාත්තට අපි දෙන්න අතර වෙච්ච දේවල් නොකියා ඉන්න. අපි දෙන්න ගේ පර්සනල් දෙයක් එයාට කියන එක හරි නෑ නේද ? “

ලවන් එසේ පවසනවාත් සමඟ මන්දාකිණි තම අත තිබූ පෑන පසෙකින් තැබුවේ කෝපයෙනි. 

” ලවන් ඔයා මට කතා කරේ සමාව ඉල්ලන්නද එහෙම නැත්නම් මම කරපු දේ වැරදියි කියලා කියන්නද ? ” 

මන්දාකිණි ගේ හඬෙහි වූ දැඩි බවින් ඇය තමා කෙරෙහි කෝපයට පත් වූ බව වටහා ගත් ලවන් තමා කට වරද්දා ගැනීම පිළිබඳව පසුතැවිලි වුනේය.

” මං කතා කරේ සමාව ඉල්ලන්න.හැබැයි ඉතින් මට අනිත් දේත් කියන්න ඕන උනා. පවුලේ ගිනි පිටට දෙන්න හොඳ නෑ කියලා කතාවට කියනවනේ මන්දාකිණි “

” මෙතන පවුලක් නෑ නේ ලවන් “

මන්දාකිණි අනෙක් අතට පිළිතුරු දෙන විට තවත් ඉවසා හිඳින්නට ලවන් තීරණය කළේ යටි සිතෙහි යමක් සඟවා ගන්නා අතරේය.

” ඇතුව හරි නැතුව හරි ඒක හරි නෑ මන්දාකිණි.හරි දැන් ඒක අමතක කරන්නකෝ. මට ඔයාව හම්බවෙන්න පුළුවන් කවද්ද කියන්න ?”

මන්දාකිණි මේසය මත ඇති කුඩා කැලැන්ඩරය වෙතට දෑස් යොමු කළාය.එහි සෑම දිනයක්ම පාහේ විවිධ වූ පාට වලින් ලකුණු කර තිබුණේ ඉදිරි දින ගණනාවක්ම අතිශය කාර්ය බහුල බව මන්දාකිණි හට සිහිපත් කරවන්නටය.

” ඉස්සරහට සති දෙකක් විතර මම එක දිගටම බිසී ලවන්. සොරි ” 

” ඕක නිකන් excuse එකක් විතරයි මන්දාකිණි. මේ ලෝකේ priorities කියලා දෙයක් තියෙනවනේ නේද ? ” 

මන්දාකිණි උපහාසාත්මක සිනහවක් මුවට නගා ගත්තාය. තමා මූලිකත්වය ලබා දෙන්නේ තමාට අවශ්‍ය දෙයට පමණක් බව ලවන් මේ වන විටත් තේරුම් ගෙන සිටිනවා නම් අගනේය. ඒ කෙසේ වෙතත් ඔහුගේ කතා බහෙන් දැනෙන්නේම ඔහු තුළ යම් යටි අරමුණක් පවතින බවය.මන්දාකිණි උන්නේ ඒ අරමුණ කුමක් දැයි අනුමාන කර ගැනීමට පවා නොහැකිවය. එහෙත් සියල්ලටම පෙර තමා ලවන් වැන්නෙකු ගෙන් ප්‍රවේසම් වී හිඳීම තමාගේම යහපත වෙනුවෙන් කළ යුතු බව පමණක් මන්දාකිණි සිතට ගත්තාය.

” ඔයාට ඒක තේරෙනව නම් හොඳයි ලවන්.මං ෆ්‍රී වුනාම ඔයාට කියන්නම් “

එසේ කියූ මන්දාකිණි දුරකථන ඇමතුම විසන්ධි කර දුරකථනය මේසයේ පසෙකින් තැබුවාය. නැවත වාරයක් තමා මන්දාකිණි ඉදිරියේ පරාජයට පත් වූවා යයි හැඟීමකින් ලවන් වාහනයේ සුක්කානමට වේගවත් පහරක් එල්ල කළේ කෝපයෙනි.

” මේකි නම් ලේසි පහසු එකියක් නෙමෙයි වගේ”

ලවන් වාහනය නැවත පණ ගන්වමින් සිතුවේය.

ඇන්ඩ්‍රියා ගේ උපන් දිනය තවත් දින දෙකකින් එළඹෙන බැවින් කෛලාශ් ඒ වෙනුවෙන් සූදානම් වෙමින් හෝටලයේ වැඩ කටයුතු සමගද කාර්යබහුල දිනයක් ගත කරමින් උන්නේය. තම මව ගේ උපන් දිනය වෙනුවෙන් තමා සූදානම් කරන්නට සැලසුම් කළ ළමා නිවාසයේ දානය වෙනුවෙන් මන්දාකිණි සියල්ල ඉටු කර දෙන බැවින් තමාට තිබෙන්නේ අත්‍යවශ්‍ය කාරණා වෙනුවෙන් පමණක් වෙහෙසීමට වුවත් තමා සහ මන්දාකිණි අතරට ලවන් පැමිණ සිටීම නිසා කෛලාශ් පසු වූයේ තරමක නොසන්සුන් බවකිනි. මන්දාකිණි තමා අමතන තුරු ඇමතුමක් දී හෝ ඇයට බාධා නොකරන්නට වගබලා කෛලාශ් ඇය ගෙන් ඇමතුමක් පැමිණෙන තුරු වරින් වර දුරකථනය පරීක්ෂා කරමින් නොඉවසිල්ලෙන් කාලය ගත කළේය.

කෛලාශ් වෙත දුරකථන ඇමතුමක් ලබා දීමට තරම් නිදහසක් මන්දාකිණි හට ලැබුණේ දහවල් කෑම වේලාවෙන්ද පැයකට පමණ පසුවය. එයද , ළමා නිවාසයේ දරුවන් වෙනුවෙන් ත්‍යාග මිලදී ගැනීමට යොදා තිබෙන බව මන්දාකිණි හට දැන්වීමටය.

” සොරි කෛලාශ්. මම උදේ වරුවම බිසී උනා. මං දැන් බබාලා ගේ ගිෆ්ට්ස් ගන්න යන්න හදන්නේ. ඒක කියන්න කෝල් කලේ “

කෛලාශ් අසා උන්නේය. කාර්යබහුල දවසක හෝ තමාගේ කාර්යයක් වෙනුවෙන් ඇය වෙලාව වෙන්කර තිබීම පිළිබඳව කෛලාශ් කෘතඥ වූයේය.

” මට මේ වෙලාවේ හොටෙල් එකේ ලොකුවට වැඩක් නෑ මන්දාකිණි. මමත් එන්නද යන්න ? ” 

කෛලාශ් විමසුවේ ඇත්තටම ඔහු ඒ මොහොතේ දී කාර්යබහුල නොවූ නිසාය. ඊටත් වඩා ඔහු තුළ මන්දාකිණි අසල ගැවසීමට හෝ උවමනාවක්ද තිබිණි.

සැලසුම් කරගත් ආකාරයට මන්දාකිණි නගරයේ වූ කුඩා දරුවන් වෙනුවෙන් අවශ්‍ය බඩුබාහිරාදිය විකිණීමට ඇති විශාලතම වෙළෙඳ සැල වෙත පැමිණියාය. කෛලාශ් එම වෙළඳ සැල වෙත පැමිණියේ තවත් පැය භාගයකට පමණ පසුවය. මන්දාකිණි ඒ වන විටත් ළමා නිවාසයේ දරුවන් වෙනුවෙන් අවශ්‍ය බොහෝ දෑ මිලදී ගෙන තිබුණු අතර ඔවුන් එකිනෙකා වෙනුවෙන් රස කැවිලි පාර්සලයක් ලබා දීමටද මන්දාකිණි හට උවමනා වූවාය.

” ස්වීට්ස් ගන්න සුපර්මාකට් එක යං ” 

මිලදී ගත් භාණ්ඩ ඇතුළත් විශාල බෑග් ප්‍රමාණයක් වාහනයේ පිටුපස අසුන මතින් තබන අතරේ මන්දාකිණි කෛලාශ් වෙත හැරී පැවසුවේ අව් හිස මත රඳවා ගෙන සිටි අව් කන්ණාඩි යුවළ දෑස් මත රඳවා ගනිමිනි.

තමාගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් මන්දාකිණි කැපවීමෙන් යුතුව වෙහෙසෙන ආකාරය පිළිබඳව සතුටට පත්වන අතරේ කෛලාශ් මන්දාකිණි ගේ වාහනයේ රියදුරු අසුනට එහා අසුනේ වාඩි වී වේගයෙන් පසු වන ගොඩනැගිලි සහ වාහන දෙස බලා උන්නේය.

විනාඩි ගණනාවකට පසුව මන්දාකිණි සුපිරි වෙළඳ සැලක් ඉදිරියේ වාහනය නතර කර ඉන් බැස එයට ඇතුළු වූයේ කෛලාශ් සමඟය. අනතුරුව ඇය කුඩා කරත්තයක් තල්ලු කර ගෙන ගොස් කෛලාශ් සමඟ දරුවන් වෙනුවෙන් රස කැවිලි තෝරා ගැනීම ආරම්භ කලාය.

සුපිරි වෙළඳ සැල තුළ වූ මත්පැන් හලෙන් මත්පැන් බෝතල් කිහිපයක් මිලදී ගත් අකලංක, කෛලාශ් සමඟ රස කැවිලි තෝරන මන්දාකිණි දැක නතර වී බලා උන්නේ ඇය ගේ හැඩ රුව බොහෝ හුරු නමුත් ඇය කවුදැයි කියා මතකයට නොඑනා බැවිනි. ඊළඟ නිමේෂයේදී යමක් අනුමාන කළ අකලංක වහාම ලවන් වෙත දුරකථන ඇමතුමක් ලබා ගත්තේ අඩි කිහිපයක් ඉදිරියෙන් සිටිනා මන්දාකිණි වෙත දෑස් රඳවා ගෙනමය.

” කියපං ” 

” ලවන් උඹ කොහෙද ඉන්නේ ? ” 

” වාද්දුවට ආවා බං පොඩි බිස්නස් වැඩකට. ඇයි? අපි හවසට සෙට් වෙනවනේ ? ” 

ලවන් අකලංක ගෙන් විමසා සිටියේ සන්ධ්‍යාවේ දී අකලංකගේ නිවසේ සාදයක් පැවැත්වීමට සැලසුම් කර ගෙන සිටි නිසාවෙනි. 

” මට පොඩ්ඩක් මන්දාකිණි ගේ ෆොටෝ එකක් එවපන්කෝ “

” ඒ කිව්වේ ? ” 

අකලංක එකවරම පැවසූ දෙය වටහා ගැනීමට ලවන් හට හැකි වූයේ නැත. 

” මම මේ බොට්ල්ස් ටික ගන්න සුපර් මාකට් එකට ආවා. මන්දාකිණි වගේ ගර්ල් කෙනෙක් ඉන්නවා “

” අහ්හ්, ඒකිත් ඔය කිට්ටුව තමයි ඉන්නේ. මොනවා හරි ගන්න එන්නැති “

” මං උඹට කෝල් කරේ ඒකි ඉන්නෙ කොල්ලෙක් එක්ක හින්දා ” 

” මොකක් ? ” 

” ඔව්ව්. මං උඹට වීඩියෝ කෝල් එකක් ගන්නද ? “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here