මට කවදාවත් මනුසත්ගෙ ගේ අස්සෙ රැජිණක් විදියට ඉන්න ඉඩක් හම්බුණේ නෑ.
මොකෝ මනුසත්ගෙ රාජ්‍යයේ උන්නෙ රජෙක් විතරයි. කොටින්ම එයයි මමයි යාලුවෙලා උන්නා කියලා මම හිතාගෙන ඉඳපු කාලෙදි එයා මට පෙන්නපු ආදරේ, රැකවරණයවත් මට ඒ මනුසත්ගෙ මහ ලොකු මාළිගාව අස්සෙ මට දැනුනෙ නෑ.
මමයි මනුසතුයි අතර තිබ්බෙ කවදාවත් මට ගොඩවෙලා ඉවර කරන්න බැරි විදියෙ දුරක් කියන එක මට තේරුණේ චුට්ට චුට්ට.
මගෙ නම් සැළලිහිණි සෞන්දර්‍යා ගුණවර්ධන.
අපේ ගෙවල් දෙණියායෙ.
දෙණියාය කියන්නෙ දකුණු පළාතෙ ගමක් උනාට අපි නිකන් හරියට කඳුකරේ මිනිස්සු විදියට තමයි මම හැමදාම දැක්කෙ. ගාල්ලෙ ඉඳලත් බස් එකේ පැය ගාණක් යන්න වෙච්ච, උදේ පාන්දරට වගේම මහ රෑටත් උහුලගන්න බැරි සීතලක් තිබිච්ච දෙණියායෙ ඉඳන් ආය කොළඹ කැම්පස් එකට එනකම්ම මට තිබ්බෙ, මං පුරුදුවෙලා උන්නෙ ග්‍රාමීය ජීවිතයකට. කැම්පස් ඇවිත් මුල් කාලෙ මං ඇත්තටම උන්නෙ දියෙන් ගොඩ දැම්ම මාලුවෙක් ගාණට. රැග් එක කාලෙට සීනියර් අයියලා අක්කලට නොපෙනී ඉන්න, එයාලා කියන විදියටම දිග සාය ඇඳලා, අත් දිග බ්ලව්ස් එක ඇඳලා, කොණ්ඩෙ දිගට අග්ගිස්ස වෙනකම්ම ගොතලා කලු වූල්බෑන්ඩ් දාපු මාව මනුසත්ගෙ ඇස් වලට පෙනුණා කියන එකට වඩා, ගමේ වගා වැඩ කරං උන්න, සරම, බැනියම ඇන්ද. හීතල නිවාගන්න කටේ හැම නිතරම බුලත් හපයක් දාන් උන්න මන්ත්‍රීලා, ඇමතිලා, ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ට කොන්ද නවන තාත්තලාව මාමලව දැකලා උන්න මම මනුසත් කුලවංශගෙ පට්ට ලස්සන පර්සනැලිටි එක්ක ඉස්සරහා දිය වෙලා ගියා කියපු එකයි හරි.
මනුසත්ට තිබ්බෙ මම කවදාවත් ගමේදිවත්, කැම්පස් එකේ අපේ වයස්වල උන්න කොල්ලො ළඟවත් නොදැක්ක, පුදුම ලස්සන පිරිමිකමක්. අපි කැම්පස් එකට එද්දි, අපේ ඔරියන්ටේශන් වලදි, අපිට කතාකරන්න ආව මනුසත් ඉංග්‍රීසි, සිංහල බාසා දෙකම ලස්සනට මුහු කරගෙන කතා කරපු හැටි දැක්කම, බාගෙට බාගයක් සුදු වෙලා තිබ්බ කොණ්ඩෙ රැවුලෙ පාට වෙනස් නොකර, අවුරුදු පණස් ගාණකට උරුම ලස්සන සෝල්ට් ඇන්ඩ් පෙපර් ලුක් එක දැක්කම, කවුරුහරි මොනා හරි කිව්වම, ඒකට දෙන මොන උත්තරේ උනත් ඇස් හිනි කරලා හිනාවකින් පටන් ගන්න හැටි දැක්කම “අපේ තාත්තලත් මේ වගේ උනා නම් මරුනෙ” කියලා මට හිතුනා. “මේ වගේ තාත්තෙක් මටත් උන්නා නම් හොඳයි” කියලා මට හිතුණා. හැබැයි අම්මපල්ලා ඒ කිසිම වෙලාවක මනුසත්ව “මගේ” කරගන්න, එයාව කසාද බඳින්න, සමහරු කියනවා වගේ ලෙක්චර්ස්ලා එක්ක එකට ඉඳලා ඩිග්‍රිය ගන්න උවමනාවක් මට ඇත්තටම තිබ්බෙ නෑ.
මට හොඳට ඉගෙන ගන්න පුළුවන්කම තිබ්බා. ඒ වගේම එහෙම කරන්න ලොකු උවමනාවක් උනන්දුවක් මට තිබ්බා. හැබැයි මට සල්ලි තිබ්බෙ සාමාන්‍ය විදියට. අම්මයි තාත්තයි එලෝලු වවලා හම්බකරන ඒවයින් මට, අයියලට කන්න දුන්න බව ඇත්ත. හැබැයි කොළඹ ආවට පස්සෙ අපේ වයසෙ අනික් කෙල්ලො ස්මාට් ෆෝන් පාවිච්චි කරනවා දකිද්දි, මාසෙකට පාරක් දෙකක් ලස්සන ලස්සන ඇඳුම් ගන්නවා දකිද්දි, යාලුවො එක්ක එහෙ මෙහෙ යනවා දකිද්දි “මටත් එහෙම කරන්න තිබ්බා නම් හොඳයි නේද?” කියලා මට හිතුණා. අන්න ඒ හන්දා තමයි මම පොඩි පොඩි රස්සාවල් කරන්න හිතුවෙ. කැම්පස් යන ගමන් තව රස්සාවක් කරන එක ලේසි දෙයක් නොවන හන්දා “ඔයාට පුලුවන් අසයින්මන්ට් කරලා දීලා සල්ලි හොයන්න” කියලා කිව්වෙ අපේ බැච් එකේ වෙන ළමයෙක්. ඒ වෙද්දිත් අපේ ලෙක්චර්ස්ලා සැළලිහිණි සෞන්දර්‍යා ගුණවර්ධන කියන මාව දැනගෙන උන්නෙ “ඉගෙන ගන්න උනන්දුයි. දක්ෂයි” කියන කැටගරි එකේ ළමයෙක් හන්දා කට්ටිය මගෙන් තමයි පාඩම් වලට සම්බන්ධ එක එක දේවල් අහගන්න ආවෙ. අන්න ඒ විදියට තමයි අමතර ආදායමක් විදියට මම අපේ බැච් එකේ කට්ටියගෙ අසයින්ට්මන්ට් කරලා දෙන වැඩේ පටන් ගත්තේ. මාස කීපයක් ඕක කිසි ගාණක් නැතුව කරගෙන යන්න පුළුවන්කම තිබ්බට වැඩේ වැරදුනේ මනුසත් සර්ගෙ ලෙක්චර් එකකදි එයා දිපු අසයින්මන්ට් එකක් මං අනිත් අයට කරලා දෙන්න ගියයින්.
එදා තමයි ඒ ලස්සන පර්සනැලිටි එකක් තිබ්බ මනුස්සයව මම ඇත්තටම එච්චරටම ළඟට දැක්කෙ.
“සැළලිහිණි… මං සැළලිහිණි සංදේසෙ ගැන අහලා තිබ්බට ගර්ල් කෙනෙක්ට සැළලිහිණි කියලා නම දාලා තියෙනවා ඇහුවෙ අදමයි” කියලා සර් කිව්වෙ මාව තනියම සර්ගෙ රූම් එකට ගෙන්න ගෙන.
“සාමාන්‍යයෙන් ලිහිණි වගේ නම් දානවනෙ නේද? මොකද්ද සම්පූර්ණ නම පුතාගෙ?”
“සැළලිහිණි සෞන්දර්‍යා ගුණවර්ධන”
“ලස්සන නමක්නෙ. අම්මලා සම්පූර්ණ, සිංහල, නමක් දාන්න ඇත්තෙ ටීචින් එහෙමද කරන්නෙ?”
“නෑ සර්”
“එහෙනම්?”
“අම්මායි තාත්තයි කොරටුවෙ වැඩ කරන්නෙ” කියලා මම කිව්වෙ ඇත්ත. මම අවුරුදු විසි ගාණක් රහ බලලා තිබිච්ච ඒ ඇත්ත ඒ මනුස්සයා ඉස්සරහා දිග හරින එක මට මහ දෙයක් නොවුනට මගෙ ඒ උත්තරේ එක්ක වෙනදට හිනාවෙන ඒ ලස්සන ඇස් තප්පරේකට ගැස්සෙනවා මම දැක්කා. සමහරවිට මනුසත් සර් බලාපොරොත්තු උනේ නැතිවෙන්න ඇති සර් “අච්චර ලස්සනයි කිව්ව” නම තියෙන කෙල්ල පිටිපස්සෙ ඒ වගේ දුප්පත් කතාවක් ඇති කියන එක.
“ඔයා විතරද පවුලෙ ඉන්නෙ?”
“අයියලා දෙන්නෙක් ඉන්නවා”
“අයියලා මොනවද කරන්නෙ?”
“එක අයියා කෙනෙක්ට ට්‍රැක්ටර් එකක් තියෙනවා. අනික් අයියා වැඩ කරන්නෙ තේ පැක්ටරි එකේ ස්ටෝර්ස් වල”
“එයාලා ඉන්නෙ ගමේද?”
“ඔව් සර්”
“මම සැළලිහිණිට එන්න කිව්වෙ ඇයි කියලා ඔයා දැනටම දන්නවා ඇති නේද?” කියලා මනුසත් සර් කිසිම හිනාවක් නැතුව, ඇස් හීනි කරන්නෙත් නැතුව මං දිහා බලද්දි මට ඕන උනේ නෑ ඒ ඇස් දිහා බලාගෙන බොරුවක් කරන්න. ඒ හන්දා මං “ඕන දෙයක් වෙද්දෙන්” කියලා ඇත්ත කියලා දැම්මා.
“ඔව් සර්”
“යාලුවන්ගෙ පාඩම් වැඩ වලට උදව් වෙන එක හරි හොඳයි සැළලිහිණි. හැබැයි එයාලගෙ අසයින්ට්මන්ට් කරලා දෙන එක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි. මොකද කවදහරි දවසක එයාලා ඩිග්‍රි එක අරගෙන එලියට ගිහිල්ලා අන් කොලිෆයිඩ් මිනිස්සු විදියට රස්සාවලට ගියොත් කැම්පස් එකට වගේ උගන්නපු අපිටත් බැණුම් අහන්න වෙනවා.අනික අපි අපේ නිදහස් අධ්‍යාපනයටත් කරන ලොකු වරදක්නෙ ඒක නේද? තව මහන්සිවෙලා ඉගෙන ගන්න උවමනාව තියෙන ළමේක්ගෙ අවස්තාව වෙන්න ඇති එහෙම බැලුවොත් මේ නැතිවෙලා තියෙන්නෙ
එහෙම නේද? මං කියන දේ සැළලිහිණි පිළිගන්නවනේ නේද?”
“ඔව් සර්”
“මං සැළලිහිණිගෙන් අහන්නෙ නෑ ඇයි ඔයා ඒ වගේ දෙයක් කරන්න පෙළඹූණේ කියලා. ඔයා හරිම දක්ශ ළමයෙක්. ඔයා යාලුවන්ගෙ අසයින්ට්මන්ට් උනත් හරිම හොඳට කරලා තිබ්බා. හැබැයි කරපු වැඩේ වැරදිනෙ. ඒ නිසා සැළලිහිණි මට මේක ලේසියෙන් අතාරින්න බෑ. ඔයාලගෙ ෆයිනල් ග්‍රේඩින් සිස්ටම්ස් වලටත් මේව ප්‍රශ්නයක් වෙනවා තව දුර දිග ගියොත්. යාලුවන්ට කියන්න මම ආයෙ අමාරු තැන් තියෙනම් අහගන්න හැබැයි ඔයාට එයාලගෙ අසයින්මන්ට් කරන්න බෑ කියලා” මනුසත් සර් හිනාවෙලා කියද්දි මං කරේ ඔව් කියන්න ඔලුව වනපු එක.
“හරි එහෙනම් දැන් යන්න පුළුවන්” කියලා එයා මේසෙ උඩ තිබිච්ච එයාගෙ ෆෝන් එක, පර්ස් එක එහෙම අතට ගනිද්දි මම දැක්කා එයාගෙ අතේ මුද්දක් නෑ කියන එක. මං දන්නෙ නෑ ඇයි එවෙලෙ මට ඒක මාර ලොකු “සොයා ගැනීමක්” විදියට දැනුනෙ කියලා. හැබැයි ඒ සොයාගැනීම අස්සෙ තිබිච්ච රහස් සන්තෝසෙ අස්සෙන්ම මට මනුසත් සර්ගෙන් අහන්න ප්‍රශ්නයක් තිබ්බා.
“සර්”
“කියන්න සැළලිහිණි”
“මං ආයෙ යාලුවන්ගෙ අසයින්මන්ට් නොකර ඉන්න නම් සර්ට පුළුවන්ද මං වෙනුවෙන් දෙයක් කරන්න?”
මං එදා මනුසත්ගෙන් ඉල්ලුවෙ හරිම පොඩි දෙයක් උනාට ඒකට උත්තර විදියට මනුසත් මගෙ අත් දෙක උඩින් තිබ්බෙ එයාගෙ මුලු ජීවිතේම.
තමන් ආදරේ කරන මිනිහගෙ මුලු ජිවීතේම තමන්ගෙ අත් දෙක උඩ තියන එක ගෑනියෙක් වෙච්ච මට ලොකු දෙයක් වෙන්න තිබ්බා, මනුසත්ගෙ ලෝකෙ හෙවණැල්ලෙන් මගේ ලෝකෙ වැහිලා ගියේ නැත්තම්.

