දින කිහිපයක සිට ශ්‍රියාලතා අසනීප ගතියකින් පෙළෙමින් උන්නාය. එනිසාම සුමනසේකරට දින දෙකක්ම නිවාඩු දැමීමට සිදුවිය. වෛද්‍යවරුන් දෙදෙනෙකු කරා ගියත් ඇගේ අසනීපයට හේතුව සොයා ගැනීමට හැකියාවක් වූයේ නැත. නිතර සෑදෙන හිසරදයත් කෑම අප්‍රියතාවයත් කරකැවිල්ලත් හොඳ නොවූ නිසා අවසන සුමනසේකර ඇයව විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්වීම සඳහා වේලාවක් වෙන් කර ගත්තේය.
“වයිෆ්ගේ ප්‍රෙශර් සෑහෙන්න වැඩි වෙලා. බෙඩ් රෙස්ට් කරන්න වෙයි. ඒ වගේම වයිෆ් ඉන්නේ මොනවා හරි හිතේ අමාරුවකින් කියලා මට හිතුනා.”
තරුණ වෛද්‍යවරයා පැවසූයේ ශ්‍රියාලතාව හෙදිය සමඟ පිටතට යවා සුමනසේකරව රෝහල් කාමරය තුළ තනිකර ගනිමින්ය.
“ඔව් ඩොක්ටර් මේ දවස්වල අපිට අපේ දරුවාගේ ප්‍රශ්න වගයක් තියෙනවා.”
“මට හිතුනා මොකක් හරි ගැටලුවක් කියලා. සමහර විට නොකා නොබී ඉන්න හේතුව ඒක වෙන්න පුළුවන්. කොහොම වුනත් ඒ වගේ මානසික කඩාවැටීම් වලදී අපේ ශරීර අභ්‍යන්තරයේ තියෙන ලෙඩ උඩට මතුවෙන්න පුළුවන්. දිගටම මේ බෙහෙත් ටික ගන්න. මාසෙකින් පෙන්නන්න. මානසික සුවතාවය බොහොම වැදගත්.”
වෛද්‍යවරයා එසේ පැවසූයේ අවධාරණයෙන්ය.
හදිසියේ මෙන් ඉදි ආප්ප කිහිපය ගිල දැමූ සුමනසේකර කාමරයට පැමිණියේ ඇගේ බෙහෙත් වේලත් රැගෙනය. එන ගමනේදී සයිවර් කඩයකින් රැගෙන ආ ඉඳිආප්ප වලින් දෙකක් ඇයට කැවුවේ වදෙන් පොරෙන් සේය. තවදුරටත් නිවාඩු දමා සිටීමෙහි හැකියාවක් ද නොවේ. එහෙත් ශ්‍රියාලතා තනිකර යෑමේ හැකියාවක්ද නොවේ.
“මට ටිකක් නින්ද ගියා. ඒ නින්ද ගියපු විනාඩි පහටත් මං මහ නරක හීනයක් දැක්කා.”
එක අතකින් වීදුරුව අල්ලාගෙන අනිත් අතේ බෙහෙත් පෙති කිහිපය තබාගෙන උන් සුමනසේකර දෙසට හැරී ශ්‍රියාලතා පැවසූයේ දෑස් වල කදුලු පුරවාගෙනය.
“ඒ මොකක්ද…”
“ඉස්පිරිතාලෙන් කෝල් කරලා අපිට එන්න කියලා කිව්වා මහත්තයා. අපි යද්දි..අනේ පුතාගේ ඔළුවේ ඉදල කකුල් දෙක ළඟට යනකම්ම රෙද්දක් පොරවලා.”
“ඒ හිතේ තියෙන සාංකාවට පේන හීන ශ්‍රියාලතා. දවාලෙත් පුතා ඔයා එක්ක කතා කළානේ.”
“ඒ දරුවා බයෙන් සැකෙන් ජීවත් වෙන්නේ. දරුවට හරියට ඉන්න හිටින්න තැනක් නැතුව කන්න බොන්න විදිහක් නැතුව ඉන්නකොට අපි මේවයේ සැපෙන් සතුටින් ජීවත් වෙලා මොකටද මහත්තයා. මගේ හිත මටම දොස් කියනවා”
“මම ධීරසේකර මුදලාලිට පණිවිඩය යැව්වා.”
“ඔයා..?”
“ඔව් මනුජිත්ට වඩා මං මේ වෙලාවෙ හිතන්නේ ඔයා ගැන. අපිට කරුමයක් පළ දෙන්න තියෙනවනං ඒක වළක්වන්න බැහැ. ධීරසේකර මුදලාලි අත උඩින්ම කැමති වුණා. හෙට අනිද්දා ඔප්පු ලියන්න දාගමු කියලා කිව්වේ.”
“අනේ මහත්තයෝ ඔයාට පින් සිද්ධ වෙනවා. මේ වෙලාවේ මගේ දරුවගේ ජීවිතය බේරගත්තට.”
ශ්‍රියාලතා එසේ පැවසූයේ දෑත් එක්කරගෙනය. ඔහු ඊයේ පෙරේදා සිටියේ දැඩි මතයකය.
“දරුවා ඔයාගේ විතරක් නෙමෙයි මගෙත් දරුවා. එයා මේ යන්නේ හරි පාරක කියලවත් කරන්නේ හරි දෙයක් කියලවත් මගේ හිතේ අදටත් විශ්වාසයක් නෑ. හැබැයි ඒ ගැන හිත හිතා ඔයා මේ විදිහට දුක් විඳින එකවත්, අසනීප වෙන එකවත් මට බලාගෙන ඉන්න බෑ. අපි ජීවිතේ එන විදිහකට මුහුණ දෙමු.”
“අපිට ඉන්න පොඩි ගෙයක් හොයාගන්න පුළුවන්නේ මහත්තයා.”
“ඒක දෙවනුව බලමු ශ්‍රියාලතා…”
සුමනසේකර එසේ පැවසූයේ දිගු සුසුමක් මුදා හරිමින්ය. මේ ඔහු අපේක්ෂා කළ දෙයක් නොවේ. තාත්තාගේත් තාත්තා ඉදිකළ මහ ගෙය කඩා බිඳ දමා මෙතන අලුත් නිවස සාදන්නට පටන් ගනිද්දී ඔහුගේ වයස අවුරුදු විසිතුනකි. නිවස සාදා නිම වූයේ අවුරුද්දකින් දෙකකින් නොවේ. තම ජීවිතයේ හරි අඩකටත් වඩා වැඩි කොටසක් ඊට වැය වූ බව සුමනසේකර සිහි කළේ වේදනාවෙන්ය. සෑම තාත්තා කෙනෙකුගේ සේම ඔහුගේ බලාපොරොත්තුව වී තිබුණේත් තම එකම පුතු මේ සියල්ල වැඩි දියුණු කරගෙන සතුටින් සැනසීමෙන් ජීවත්වනු දැකීමය. සියල්ල අවසානයේ සිතද්දී දරුවන්ට වඩා වැඩි වටිනාකමකින් යුතු දෙයක් දෙමව්පියන්ට තිබිය නොහැක.
“පුතා හදන්නේ අර මිනිහා හිරෙන් නිදහස් වෙලා එන්න කලින් කොහේ හරි රටකට පැනගන්න. අනිවාර්යයෙන් ඔය මිනිහා අපේ දරුවාගෙන් පළිගන්නවා. දහරත් දැන් ඇත්තේ හොඳටම කේන්තියෙන්නේ….”
බෙහෙත් පෙති කිහිපය බී නිමවූවාට පසුව ශ්‍රියාලතා පැවසූයේ මඳ හඬකින්ය. හෙටම මෑණියෝ ගාවට යන්න ඕනේ මහත්තයා.
“දැන් ඕවා හිතන්නේ නැතුව නිදාගන්න.”
එසේ පැවසූ සුමනසේකර හිස් වීදුරු වත් රැගෙන මුළුතැන් ගෙය දෙසට ඇවිද ගියත් ඔහුගේ දෑස්වල වූයේ කඳුළුය. ප්‍රථම වරට තමා පරාජිත පියෙකුයයන හැඟීම ඔහුට දැනෙමින් තිබිණ. තමා ලක්‍ෂ හැත්තෑවක් යැයි පවසද්දී ධීරසේකර මුදලාලි නිවස ඉල්ලා සිටියේ ලක්ෂ හැටකටය. වේලාවේ හැටියට කරදරයක් නොමැතිව එය විකුණා ගන්නට ලැබීම සතුටකි. ‘හොඳ රටකට යන්න නං ලක්ෂ පනහක්වත් වියදම් කරන්න වෙනවා.’ ශ්‍රියාලතා පෙර දිනක පැවසූයේ මනුජිත්ගේ වදන්ය.
“එන විදිහට මුහුණ දෙනවා…”අවසන ඔහු තමාටම පවසා ගත්තේ ගේ තුළ දැල්වෙමින් තිබූ විදුලි පහන් නිවා දමමින්ය.
****************
නිශාදී විශ්ව විද්‍යාලයේ නවතින්නට ගොස් දින කිහිපයක් ගෙවී තිබිණ. ඒ ඈත්වීම නොදැනෙන්නට සේ ඕ දිනකට දෙවරක්වත් දහරාට කතා කළාය. ඈ මේ දිනවල උන්නේ චූටි මාමාගේ මිතුරා ගෙන ආ දෙවෙනි ඇණවුමට අවශ්‍ය මල් කළඹවල් සකසමින්ය. අටවෙනි මස සම්පූර්ණ වීමට ආසන්න කුසත් ඔසවාගෙන ඕ නිවස තුළ ඇවිද ගියේත් අපහසුවෙන්ය.
“දැන් ඔයාට ඕව කරන්න බෑ පුතේ. නිදහසේ ඉන්න ඕන වෙලාව.”
සමහර දිනවල රාත්‍රියේත් අවදි වී දහරා මල් කළඹවල් සකසද්දී සමා දෙතුන් වතාවක්ම පැවසුවාය. පාන්දර වැටට යාමට අවශ්‍ය නිසා ඇයට දහරා සමග නිදි මරන්නට හැකියාවක් වූයේ නැත.
“මේ වැඩෙත් එක්ක මං හරි සතුටින් අම්මේ. දුක හිතන්නවත් මට වෙලාවක් නෑ…”
ඒ සෑම වතාවකම දහරා පැවසූයේ එසේය. දවසකට තුන් හතර වතාවක් අමතන රමාෂ් කෑවාද බීවාදැයි අසන්නටත් කෙටි පණිවිඩ එවීමට පුරුදුව සිටියේය. නිශාදිගේත් ඔහුගේත් මේ සෙනෙහස රැකවරණය සොයා බැලීම දහරාට මහ මෙරක් සේ දැනෙමින් තිබිණ. නිශාදි රමාෂ් ගැන බලාපොරොත්තු තබාගෙන සිටිනවායැයි දහරාට මුලින් සිතුනත් එය එසේ නොවන බව වැටහුම් වූයේ ඊයේ පෙරේදා ඇය පැවසූ කතාවකින්ය.
“හීන කුමාරයෙක්නම් ඉන්නවා. හැබැයි ඌ රමාෂ්නම් නෙමෙයි කියලා සීයට දාහක් ෂුවර්. බලමු ඒකා මේ කැම්පස් එක ඇතුලෙවත් ඉඳියිද කියලා ..”
යෙහෙළිය තමා දෙස බලා පිරිමි විශ්වාස කරන්නට බිය වනවාදැයි දහරාට සිතුනේ එවේලෙහිය.
දින කිහිපයකට පසුව ඕ මනුජිත්ගේ මවට දුරකථන ඇමතුමක් ලබා ගැනීමට උත්සාහ කළේ ආලින්දයේ අසුන්ගෙන සිටියදීය. පුරුද්දක් ලෙස දවස ගානේ මනුජිත්ට කෙටි පණිවිඩ යැවූවත් ඒ එකක්වත් ඔහු කියවා තිබුණේ නැත. නිශාදි පැවසූ පරිදි මේ මගහැර යාමක් බව දහරාට දැන් හොඳටම විශ්වාසය. ඒ බව දහරා සාමාට පැවසූයේත් ඊයේ පෙරේදාය.
“මගේ හිත ඒක කිව්වා පුතේ අපි එන විදිහකට ජීවිතයට මුහුණ දෙමු.
සාමා දියණියව තම පපුවට තුරුලු කරගත්තේ එසේ පවසමින්ය. පෙර දිනවල සේම මනුජිත්ගේ මව දුරකථනයට පිළිතුරු සැපයූවේ නැත. අවසන ඕ මනුජිත්ගේ තාත්තාගේ දුරකථනයට ඇමතුම් ලබා ගත්තත් ඔහු සිටියේත් නිහඬවය.
“ඒ මිනිස්සු එක සැරයක්වත් උඹව බලලා යන්නවත් ආවේ නෑ නේද.?”
ආච්චි ආලින්දයේ වූ බංකුවකින් අසුන් ගත්තේ එසේ අසාගෙනය. මින් විනාඩි කිහිපයකට පෙර වත්තේ ගැහැණියක විසින් ගෙන ආ කිරිබත් කෑල්ලකුත් ලුණු මිරිස් ස්වල්පයකුත් ඈ අත වූ කුඩා දීසියේ විය. රීටා එය තම මිණිබිරිය වෙත දිගු කළේ ඇය අත වූ ජංගම දුරකථනය දෙස බලාගෙනය.
“ආච්චිට මේ හැමදේම ඒ විදිහටම කියන්න යන්න එපා පුතේ. මට වෙලාවකට හිතෙනවා එයාගේ වයසක හිතට දැන් මේ දේවල් බර වැඩියි කියලා. මම නිසා ආච්චි හරි දුකින් ඉන්නේ. මගේ ජීවිතේට වගේම ඔයාගේ ජීවිතේටත් මෙහෙම වුණා කියලා දැනගත්තහම එයාට දරාගන්න ටිකක් අමාරු වෙයි. මේවා හංගන්න බැරි දවසක් එනවා පුතේ එදාට හෙමි හෙමිහිට අපි ආච්චිට පැහැදිලි කරමු.”
අම්මා එසේ පැවසූයේ ඊයේ පෙරේදා දිනක රාත්‍රියේය.
“ෆෝන් දෙකම ඕෆ් කරලා ආච්චි. තාත්තානම් කඩේ ඉඳිද්දි කොහොමත් ෆෝන් එක ඕෆ් කරනවනේ. අම්මගේ ෆෝන් එක කැඩිච්ච කතාවක් ඊයේ පෙරේදා මනුජිත් මැසේජ් කරද්දි කිව්වා.”
දහරා පැවසූයේ වෙලාවේ හැටියට හිතා මතා ගලපා ගත් බොරුවකි.
ගේට්ටුව ඉදිරිපස රමාෂ්ගේ වාහනය නතර වූයේ එවේලෙහිය. දහරා නැගී සිටියේ මුව මත සිනහවක් තබාගෙනය. ඔහුගේ මේ හදිසි ආගමනයට හේතුව කුමක්දැයි සිතමින් ඈ ඉදිරියට නිරා ආ කුසත් දරාගෙන ගේට්ටුව වෙත ඇවිද ගියාය. රීටා අඩියක් පෙරට තැබුවේ ඈ පසුපසින්ය. අලු පැහැ කලිසමට තනි සුදු පැහැයේ කමිසයක් ඇද උන් ඔහුගේ ගෙල හැඩවී තිබුණේ කළු ටයි පටියකින්ය. මිතුරාට යමක් පවසන්නට මුව හදාගත් දහරාට නිහඬවන්නට සිදුවූයේ වම් පස දොරින් බැසි පුද්ගලයා දැකය.
“චූටි මාමා…..”
ඕ එසේ පැවසූයේ ඉහළට ඇදගත් හුස්ම පහළට හෙළන්නටත් අමතකව ගිය ගණනටය. ඒ හදිසියේම ඕ පසුපස හැරී ආච්චි දෙස බැලුවාය. ඒ දෑස් වූයේත් විසල්වය. ඊයේ ඔහුගේ නඩුව කැඳවූ දිනයයි. උසාවියට ගිය චූටි මාමාගේ මිතුරා සවස පැවසූයේ තවත් එක් නඩු වාරයකට නඩුව කල් ගිය බවය. කිසිවක් නොකියා ආච්චි දුක් සුසුමක් මුදා හැරියා දහරාට මතකය.
දහරා චූටි මාමාව මාමාව වැළඳ ගත්තේ දෑස් වලට උනා ආ කඳුළු පිටාර ගලා යන්නට ඉඩ දෙමින්ය. ඒ හා සමගම ඔහු අම්මාවත් සිය දකුණතින් වතට තුරුළු කර ගත්තේය.
“චූටි මාම නිදහස් වුයේ ඊයේ දහරා. ඔයා ගෙදර ඉන්න හින්දා ඒ ගමන්ම ගෙදර එන්න බෑ කියලා කිව්වා. ඊයෙ රෑ හිටියේ මගේ ඇනෙක්ස් එකේ.”
රමාෂ් හිටියේ පමාවට හේතු පැහැදිලි කරමින්ය.
“රමාෂ් මහත්තයා ඉඳගන්න..අම්මේ රමාෂ් මහත්තයට තේ ටිකක් හදන්න.”
“ඊයෙ මාමගේ යාළුවා ඇවිත් කිව්වේ තව එක වාරෙකට නඩුව කල් ගියා කියලා.”
“මමයි බං කිව්වේ. එහෙම කියන්න කියලා. ඒ විෂබීජ ගොඩේ ඉඳලා මේ දරුවෙක් හම්බෙන්න ඉන්න අම්මා කෙනෙක් ළඟට එන්න පුළුවන්ද. අනිත් එක මට හිත නිදහස් කරගන්න රමාෂ් මහත්තයත් එක්ක ටිකක් කතා කරන්න වුවමනාවකුත් තිබුණා.”
“ඉතින් ඔය දෙන්නා මුණගැහිලා තිබුනෙ නෑනේ….”
“ඒ උඹ දන්න තරම තමයි. රමාෂ් පුතා උඹව හම්බ වෙන්න කලින් මාව හම්බවුණා. අපි සෑහෙන දේවල් කතාබහ කලා. මේ කොල්ලා මගේ එකානේ. ඒ කාලේ මං උඹට වගේම රමාෂ් පුතාටත් ආදරෙයි. රමාෂ් පුතා උඹව හොයාගෙන එද්දී තමයි මුලින්ම මට හම්බ වුණේ. ඒ කාලේ උඹ මෙහේ නෑ. අර නරකාදියට ගිහින්.”
“විස්තර පස්සේ කතා කරමු මාමේ. මං අර කියපු විදිහට මේ දවස් ටිකේ වැඩිය එළියට යන්න එපා. මේක පොඩි රෙස්ට් එකක් කියලා හිතලා ගේ ඇතුලටම වෙලා ඉන්න.”
රමාෂ් එසේ පැවසුයේ කාලයක් තිස්සේ ඔවුන් දැන හඳුනාගෙන උන් බව සහතික කරන්නට සේය. දහරාට තවමත් මේ කිසිවක් අදහනු නොහැක්කා සේය.
“අනිද්දට ඔයාව බලන්න ඕනනේ. අම්මටයි ආච්චිටයි කරදර කරන්න එපා. මං වාහනයක් එවන්නම්. ඒකේ නැගලා පරිස්සමට එන්න…”
රමාෂ් එසේ පැවසූයේ පිටත්ව යන්නට ප්‍රථමය.
“දැන් ලොකු බිස්නස් වුමන් කෙනෙක් කියලා ආරංචියි. හැබැයි ඉතින් මේ දවස්වල ඕනවට වඩා මහන්සි වෙන්නවත් ඕනවට වඩා නිදිමරන්නවත් ස්ට්‍රෙස් එකක් ගන්නවත් හොඳ නෑ. තේරුණා නේද?”
ඔහු යළිත් එසේ ඇසුවේ දයාබරවය. පාරේ එහෙටත් මෙහෙටත් ඇවිද ගිය අය වුවමනාවෙන් නිවස දෙස බලන අයුරු දහරා දුටුවේ එවේලෙහිය. සිනහ මුසුව චූටි මාමා සිටියේ අඩි කිහිපයක් වූ මිදුලේ සිට ගෙනය. රමාෂ්ගේ හයිබ්‍රිඩ් වර්ගයේ කාරය සැර දමා නික්ම යනතුරුත් දහරා උන්නේ මළ බැඳී ගිය ගේට්ටුව අල්ලා ගෙනය. අහල පහළ කිහිප දෙනෙකුම නිවස දෙසට ඇවිද ආවේ කලබලයකින් සේය.
(යළිත් හමුවෙමු ආදරයෙන්)


