Episode 50
වට්සැප් ඔස්සේ ලවන් විසින් එවා තිබුණු තමාගේත් කෛලාශ් ගේත් ඡායාරූපය මන්දාකිණි දුටුවේ සියලු වැඩ අවසන් කර ගෙන නිවසට පැමිණි පසුවය. අතිශය අනපේක්ෂිත ලෙස පැමිණ තිබුණු එම ඡායාරූපය දෙස මන්දාකිණි බලා උන්නේ වෙව්ලමිනි. මෙය ලවන් විසින් ලබා ගත් ඡායාරූපයක් ද නැතිනම් එය කිසිවෙකු විසින් ඔහු වෙත එවන ඡායාරූපයක් දැයි සිතමින් මන්දාකිණි බොහෝ වෙලා එම ඡායාරූපය දෙස බලා උන්නාය.තමා ඔහුට ප්‍රතිචාර දැක් වූ ආකාරයට තමා කෙරෙහි කෝපයෙන් ඔහු තමා ලුහුබඳිනවා ඇතැයි අනුමාන කරමින් මන්දාකිණි ලවන් ගේ අංකයට ඇමතුමක් ගත්තේ සිතට ධෛර්යය ගනිමිනි.
ලවන් ඒ මොහොතේ උන්නේ අකලංක ගේ නිවස දෙසට වාහනය පදවා ගෙන යන අතරතුරේය. අකලංක දහවලේදී තමාට ගත් ගත් වීඩියො ඇමතුම ඔස්සේ මන්දාකිණිව සහ කෛලාශ්ව දුටු පසුව අකලංක මාර්ගයෙන් ඔවුන් ගේ ඡායාරූපයක්ද ගෙන්වා ගත් ලවන් එය මන්දාකිණි වෙත වට්සැප් හරහා යවන ලද්දේ ජයග්‍රාහී හැඟීමෙනි. මන්දාකිණි වැරදි වුවද නිවැරදි වුවද මේ ඡායාරූපය තුරුම්පුවක් කර ගනිමින් යමක් කිරීමට ලවන් ඉන් අනතුරුව සැලසුම් කරමින් උන්නේය.
මන්දාකිණි ගෙන් ඇමතුම පැමිණෙන විට මාර්ගය අයිනේ වාහනය නතර කල ලවන් මුහුණට නගා ගත්තේ සමච්චල් සහගත සිනහවකි.
” මෙච්චර දවසක් මම නෙ උඹට කෝල් කරේ.. හහ්.. දැන් බලපන්කෝ වෙන දේ ”
ලවන් ඇමතුම ක්‍රියාත්මක කර දුරකථනය කනේ තබා ගත්තේය.
” කියන්න මන්දාකිණි ”
” ඔයා මාව ෆලෝ කරනවද ලවන් ? ”
මන්දාකිණි තමා වෙත බැගෑපත් වෙමින් යමක් පවසාවී යැයි ලවන් බලාපොරොත්තු වුවද ඇය ලවන් ඇමතුමට සම්බන්ධ වූ සැනින් සෘජුවම කතාවට අවතීර්ණ වූයේ ඔහුව පුදුමයට පත් කරමිනි.
” මං ඔයාව ෆලෝ කරනවද නැද්ද කියන එක නෙමෙයිනේ මන්දාකිණ මෙතන තියෙන ප්‍රශ්නෙ ”
ලවන් හට උවමනා වූයේ මන්දාකිණි වෙත චෝදනාවක් එල්ල කරමින් ඇයව දුර්වල කර දැමීමට වුවත් මන්දාකිණි හට එසේ කිරීම ලවන් බලාපොරොත්තු වූ තරම් පහසු වූයේ නැත.
” මොකද්ද ප්‍රශ්නේ ? ”
” ඔයා මෙහෙම කොල්ලොත් රවුම් ගහන එක. මං අඳුරන මිනිස්සු හැමතැනම ඉන්නවා කියලා ඔයා අමතක කරන්න එපා. ඔයා මොනා කරත් ඊළඟ විනාඩියේදීම ඒක මට ආරංචි වෙනවා. ඔයා හිතන් ඉන්න ජාතියෙ පොඩි මිනිහෙක් නෙමෙයි මම ”
මන්දාකිණි තොල්පට තද කර ගෙන බැල්කනියේ එහා මෙහා ඇවිද්දේ කිසිඳු අයිතියක් නොමැතිව තම ජීවිතයේ ආධිපත්‍යය පතුරවන්නට වෙර දරන ලවන් පිළිබඳව උපන් කෝපයෙනි.
” ඔයා අඳුරන මිනිස්සු කොහෙ හිටියත් මට ඇත්තටම වැඩක් නෑ ලවන්. මං කාටවත් බයේ ජීවත් වෙන්නේ නෑ. අනිත් එක මං කිසිම වැරදි ගමනක් ගියේ නෑ කියලා මම දන්නවා. ඒ නිසා ඒක ගැන ඔයාට තේරුම් කරන්න කාලෙ නාස්ති කරන එක අපරාදේ”
” ඔයා මාව මැරි කරන්න ඉන්නෙ කියලා දැන් නොදන්න කෙනෙක් නෑ මන්දාකිණි . ඒ නිසා ඔයා හැරුනත් මට දැන ගන්න පුලුවන්. ඒක දැන ගෙන ඔය නටන නැටුමක් නටන්න. අනිත් එක අමතක කරන්න එපා මමත් හොඳ හොඳ නැටුම් දන්නවා කියලා. ”
උත්සන්න වූ කෝපය පාලනය කර ගැනීමට නොහැකිව තමා වෙතින් වැරදි යමක් පිට වන්නට පෙර මන්දාකිණි වහාම දුරකථන ඇමතුම විසන්ධි කළාය. මේ ආකාරයෙන් ලවන් හට තම ජීවිතයේ මානසික නිදහස වෙත බලපෑම් එල්ල කිරීම සඳහා ඉඩ තැබිය නොහැක. අනෙක් අතට එවැනි බලපෑම් එල්ල කිරීමට තමා ඔහුට තම ජීවිතයේ කිසිදු අයිතියක් පවරා නොමැති කොට කිසිසේත්ම ඔහුට බියෙන් ජීවත් විය යුතුද නැත.
ඊලඟ නිමේෂයේදී මන්දාකිණි ගේ දුරකථනය නාද වූ අතර මන්දාකිණි බලාපොරොත්තු වූ පරිදිම ඇමතුම පැමිණෙමින් තිබුණේ ලවන් ගෙනි. දුරකථනය නාද වී අවසන් වී නැවත දෙවරක් පමණ දුරකථනය නාද වනතුරු මන්දාකිණි එයට ප්‍රතිචාර දක්වන්නට ගියේ නැත.නමුත් ලවන් දිගින් දිගටම ඇමතුම් ලබා ගැනීම නිසා මන්දාකිණි විනාඩි දහයකට පමණ පසුව ඔහු ලබා ගත් ඇමතුමකට සම්බන්ධ වූවාය.
” ඇයි ෆෝන් එක ආන්සර් කරන් නැත්තේ ? ආහ්? “
ලවන් කෝපයෙන් විමසා සිටියේ මන්දාකිණි අතින් ප්‍රතික්ෂේප වීම තව දුරටත් දරා සිටීමට නොහැකි තැනය.
” තේරුමක් නැති කතා වලට කාලෙ නාස්ති කරන්න මම කැමති නෑ ලවන් “
” ඇත්ත කියනකොට අහන් ඉන්න අමාරුයි නේද? “
ලවන් සමච්චල් සහගත ලෙස සිනාසුනු අතර ඒ සිනහව ඉදිරියේ නොසැලී ඉන්නට මන්දාකිණි උත්සහ දරමින් උන්නාය.
” දැන් ඔයා මොකක්ද කියන්නේ ලවන් ? ඔයාට මොකක්ද වෙන්න ඕනේ ? අනික ,ඇයි ඔයා මේ විදියට හැසිරෙන්නේ? ඇත්තටම ඔයාට තේරෙන්නේ නැද්ද ඒක අනිත් මනුස්සයට කරදරයක් කියලා? ”
” එතකොට ඔයා කියන්නේ ඔයා තව කොල්ලෙක් එක්ක රවුම් ගහනවා දැක දැක මට කට වහගෙන ඉන්න කියලද ? ඔයා හිතන් ඉන්නේ මම මොකෙක් කියලද ? ආ? ඔයා හිතා ගෙන ඉන්නේ මම කසාද බඳින්න ඉන්න ගෑනි ඕන තැනක ගිහින් එනකන් මං බලන් ඉඳියි කියලද? ”
” මං එතන මොනාද කරේ කියලා මං හොඳටම දන්න නිසා ඒක ඔයා පිළිගන්නෙ නැති එක මගේ ප්‍රශ්නයක් නෙමෙයි ලවන්. අනිත් එක කවුරුහරි ඔයාට මං ගැන මොනවාහරි දෙයක් කිව්ව නම් ඔයාට පුළුවන් ඒක මගෙන් හරියට අහන්න. එහෙම නැතුව මං එතන මොකක්ද කරේ කියලා ඔයාට ඕන දෙයක් හිතා ගෙන මෙහෙම හැසිරෙන එක නෙමෙයි “
මන්දාකිණි සන්සුන් වීමට වෙර දරුවාය. කුමන බැඳීමක් වුවද එය මේ ආකාරයෙන් ජීවිතයට මානසික පීඩා ගෙන දිය යුතු නැත.
” මට ඕන නම් පුළුවන් මේක ඔයා ගේ අම්මටයි තාත්තටයි යවන්න “
මන්දාකිණි හට එවර සිනහවක් නැගුනේ ලවන් තුළ පවතින ආකල්ප කෙතරම් පහත් දැයි වැටහුණු බැවිනි.
” ඊට පස්සේ ? ඔයා හිතන්නේ ඔයා ඔය ෆොටෝ එක අපේ අම්මටයි තාත්තටයි එව්වහම අපේ අම්මයි තාත්තයි මාව ගෙදර හිර කරලා තියයි කියලද ? එහෙම නැත්නම් ඉක්මනට ඔයාට කසාද බන්දලා දෙයි කියලද ? “
ලවන් ගේ වචන හමුවේ මන්දාකිණි මදක් වත් බිය නොවූ අතර තම ජීවිතයට එබිකම් කිරීමට ඔහු හට කිසිසේත්ම ඉඩ නොතැබීමටද ඇය වග බලා ගනිමින් උන්නාය.
” ඔයාත් මං ගැන ඔක්කොම කියපු එකේ මම කියන එක වරදක් නෑනේ මන්දාකිණි? ගෙදර අය වුණත් දැන ගන්න ඕනේ ඔයාගේ හැටි ”
කුමන ආකාරයේ බැඳීමක් තුළ වුවද පැවතිය යුත්තේ විශ්වාසය සහ ගෞරවය මුසු වූ පදනමකි. එවැන්නක් නොමැති තැන බැඳීමකට පැවතිය නොහැක. බැඳීමක වටිනාකමක් හඳුනා ගත්තෙකු එය රැක ගැනීමට වෙහෙස වනවා මිසක අනෙකාව අපහසුතාවයට පත් කිරීමට හෝ පළිගැනීමට වෙර දරන්නේ නැත. ලවන් මේ උත්සාහ දරන්නේ තමා ගෙන් පළි ගෙන තම ජීවිතය පුරා ආධිපත්‍යයක් පතුරා ගෙන හිඳීමට මිසක තමා සමග පිරිසිදු බැඳීමක් ඇති කර ගැනීමට නොවේ. එවැනි වටපිටාවක කිසිදු ගැහැණියක් රැඳිය යුතු නොවන නිසා තමා වෙනුවෙන් නොබියව පෙනී සිටිය යුතු බව මන්දාකිණි නැවතත් තම හදවතටම සිහිපත් කර දුන්නාය.
” ඔයා ඒකට මහන්සි වෙන්න ඕන නෑ ලවන්.මටම පුළුවන් ඔය ෆොටෝ එක අම්මටයි තාත්තටයි පෙන්නන්න. ඒ දෙන්නා ගොඩක් සතුටු වෙයි මං මගේ පුංචි කාලේ යාළුවත් එක්ක කරන්න යන දේ දැන ගත්තම “
මන්දාකිණි එවර පිළිතුරු දුන්නේ සැහැල්ලුවෙනි. තමා බිය විය යුතු වන්නේ කෛලාශ් සමඟින් නොමනා ගමනක යෙදුනා නම්ය. තමා විසින් ලවන් හට කර ඇති එකම වරද නම් ශෙනාල් පිළිබඳව තොරතුරු නොකියා හිඳීමය. එහෙත් එවැන්නක් කිරීමට සිදු වූයේ දෙමව්පියන්ගේ උවමනාවට මිස තමාගේ උවමනාවට නොවන නිසා මන්දාකිණි ඒ පිළිබඳව සිතන්නට වෙහෙසුනේ නැත. ඇයට මේ මොහොතේදී අවැසි වූ එකම දෙය නම් ලවන් සමඟ කෙරෙන මේ නීරස සහ අර්ථයක් නොමැති කතා බහ අවසන් කිරීම පමණි.
” ඔයා සෙල්ලං කරන්න හදන්නේ වැරදි මිනිහත් එක්ක මන්දාකිණි “


