සඳ දිය දහරා – 46

0
265

අලුත් අවුරුද්ද මෙන් දහරාගේ නිවස කල එළි වී තිබිණ. දහරා මනුජිත්ගේ  නිවසේ සිට යළි තම නිවසට පැමිණි දිනයේ සේම වත්තේ මිනිසුන් මාමා බලන්නටත් පැමිණියේ තමන්ට හැකි අයුරින් කඩචෝරුවක්  හෝ රැගෙනය. 

“උඹ නැති වුණා කියන්නේ අපේ අතපය කඩලා දැම්මා වගේ බං. අපි මොනවද කියන්නේ අපේ හැමදේකටම උඹ හයියට හිටියනේ.”

වත්තේ මිනිසුන් පැවසූයේ ඒ අයුරින්ය. මාමාගේ  මිතුරාට අවශ්‍ය මල් කළඹවල් කිහිපය සාදා නිම කළ පසුව දහරා දෙහෝරාවක් පමණ නිදාගත්තේ වෙහෙසකර බවක් දැනෙමින් තිබියදීය. සෙනරත් සාමාට ආලින්දයට පැමිණෙන්නයැයි පැවසූයේ ඒ වේලාවේය. 

“මනුජිත ගැන කෙල්ල මොනවද කියන්නේ?…”

“අපිට පෙන්නුවේ නැති උනාට එයා ඒ ගැන හරි දුකෙන් ඉන්නේ. මං අම්මටවත් ඒ විස්තරයක් කිව්වේ නෑ.”

“මං ගියා ඊයේ හවස උගේ තාත්තව හම්බවෙන්න.”

“ඕනෙ නැති ගමනක්නෙ ගිහින් තියෙන්නේ.”

“දන්නවද මාව හිරේ යැව්වේ කවුද කියලා.?” 

“නෑ…”

“මනුජිත් තමයි පෑලියගොඩ වැඩකාරයෙක්ට සල්ලි දීලා මං ගලවල තිබුණු කලිසම් සාක්කුවට බඩු දම්මල තියෙන්නේ.”

“දෙයියනේ…”

“ඇතුලේ ඉන්නකොටම මට ආරංචිය ආවා. මං කාගේවත් දෙයක් කඩා වඩාගෙන හොරකම් කරලා මනුස්සයෙකුට අඩන්තේට්ටම් කරලා නෑ අක්කේ.. ඒ උනාට මේවයේ ඔය රන් කරන මිනිස්සු මට හරි හිතවත්. ලක්ෂ තුනකට තමයි ගේම දීලා තියෙන්නේ. හාමුදුරුවෝ මැදිහත් නොවුනනම් ආවුරුද්දකින් මෙහා මට ගෙදර එන්න හමුබ වෙන්නේ නෑ…”

“මේ ළමයා මොන විදිහේ මනුස්සයෙක්ද..?”

“ඔයාට ළමයෙක් උනාට එයා ළමයෙක් නෙමෙයි. මුල ඉඳලම එයාගේ චර්යාව එච්චර හොඳ එකක් නෙමෙයි අක්කේ. වෙන කරන්න දෙයක් නැතිකමට මේ කෙල්ලට යන්න දුන්නා මිසක්කා එදා ඉදලා මට නින්දක් ගියේම  නෑ.”

“මං හිතුවා ඒ ළමයා තමන්ගේ දරුවා වෙනුවෙන්වත් ආපස්සට හැරිලා චුට්ටක් හිතයි කියලා.”

“එහෙම වෙන්න මිනිහෙකුට දරු කැක්කුමක් තියෙන්න ඕනේ. ඌට දරුවෙක් ඕන උනේ නෑනේ”

“ඉතින් මොකද මනුජිත්ගේ තාත්තා කිව්වේ. මේ කෙල්ල ඒ මිනිහටත් කෝල් කරා. ඒ උනාට උන් කවුරුවත් ෆෝන් එක ආන්සර් කලේ නෑ.”

“මං ගියේ මනුජිත්ගේ තාත්තා වැඩ කරන කඩේට. අදනම් මට හිතුණා ඒ මනුස්සයත් අසරණයි කියලා.”

“මොකක්ද මල්ලි ඒගොල්ලන්ගේ තියෙන අසරණකම අන්තිමට අසරණ වුණේ අපේ දරුවා.”

“මං හිතන්නේ මනුජිත් ගේත් විකුණලා තමයි රට පැනලා තියෙන්නේ. ඒ මනුස්සයාගේ කතාවේ හැටියටනම් ආයේ එයි කියලා බලාපොරොත්තුවකුත් නෑ. මට අත් දෙක එකතු කරලා වැන්දා. ඒ මිනිස්සුන්ට කරදරයක් කරන්න එපා කියලා. මං මොකටද අක්කේ  ඒ මිනිස්සුන්ට කරදරයක් කරන්නේ. මම ඇතුළෙ ඉඳිද්දිම තමයි හිතුවේ ආපහුනම් කීයටවත් දහරාව උන් ගාවට යවන්නේ නෑ කියලා. ඌ මට මෙහෙම කරාට කමක් නෑ. මේ කෙල්ලට මොනවා හරි කළානම්..හිතක් පපුවක් නැති ඌ වගේ එකෙකුට එහෙම නොකරන්න බැරි කමක් නෑ.”

“හම්මෝ..මගේ ඇගේ හිරිඟඩු පිපෙනවා මල්ලි ඒ ගැන හිතද්දිත්. අනේ අපි ඔය මිනිස්සු  අතෑරල  දාමු. අපිට මොකටද… මට අද වැඩපළේ කාන්ති අක්කත්  කිව්වා ඩිවෝස් නඩුවක් දාලා ඒ මිනිහා එන්නේ නැති උනහම නිකම්ම ඩිවෝස් එක ලැබෙනවා කියලා.” 

“පිස්සුද මං ආයෙ  කීයටවත් මගේ කෙල්ලව උන් ලඟට යවන්නේ නෑ. ඌ මේ කෙල්ලට නෙමෙයි  අම්මට තාත්තටවත් නැති එකෙක්. මනුජිත්ගේ තාත්තත් මට කිව්වේ මේ ප්‍රශ්නෙදි ඒ මනුස්සයත් හරි අසරණයි කියලා. තමන්ගේ පුතා වැරදියි කියලා එයා නොදන්නවා නෙමෙයි. අක්කට මං දෙයක් කියන්නද..”

“මොකක්ද…”

“මේක දැන්ම කෙල්ල එක කියන්න යන්න ඕන නෑ. හිතේ තියා ගත්තහම ඇති.”

“මොකක්ද….”

“රමාෂ්  මහත්තයා එන්නේ  යන්නේ අපේ කෙල්ල ගැන බලාපොරොත්තුවෙන්.”

“දහර ගැන….උඹ පිස්සු කියවනවද…”

සාමාගේ දෑස් විමතියෙන් විසල් වූයේ ඔහු එසේ පවසද්දීය. ආගමෙන් ජාතියෙන් වෙනස් වූවත් රමාෂ් යනු වෛද්‍යවරයෙකි. ගරු කළ යුතු රැකියාවක නිරත වන අයෙකි. විනාඩි කිහිපයක් යනතුරුත් ඇය නිහඬව බලා උන්නේ සොයුරා පැවසූ කිසිවක් විශ්වාස කළ නොහැකි අයුරකින්ය. 

“කොහොමද හරියට එහෙම කියන්නේ.”

“රමාෂ් මහත්තයා මට කිව්වනේ බං. මට මහත්තයා හම්බවුණේ මීට මාස තුන හතරකට කලින්. එදා තමයි රමාෂ්  මහත්තයා කෙල්ලව හොයාගෙන් ඉස්සෙල්ලම මේ වත්තට එන්න ආවෙ. පස්සේ අපි ආරියවංශ එකට ගිහිල්ලා ටිකක් වෙලා කතා කර කර හිටියා. මං රමාෂ්  මහත්තයාට කෙල්ල ගැන විස්තරය ඔක්කොම කිව්වා. ආයේ මොනව හංගන්නද..”

“එහෙම දැන දැනත්…”

“රමාෂ් මහත්තයා අපේ කෙල්ලට හරි ආදරේයි බං. ඒ උනාට දැම්ම මේවා ඔලුවට දාන්න ඕනේ නෑ. කෙල්ල  බරෙන් හෑල්ලු වෙනකල් ඉමු”. 

“අනේ මන්දා මේ දරුවාගේ ජීවිතේ  ඉස්සරහ කාලෙ මොන විදිහකට විසඳෙයිද කියලා මට හිතාගන්න බෑ. හොඳක් වෙන්න කියලා බුදුන්ගෙන් දෙයියන්ගෙන් ඉල්ලනවා ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑ. අනිද්දට රමාෂ් පුතා එන්න කියලා කිව්වලු කෙල්ලව බලන්න. මං හිතන්නේ බබා හම්බවෙන්නත් දින එදාට දෙයි.”

“දැන් රමාෂ් මහත්තයා ඉන්නෙත් ඒ ඉස්පිරිතාලෙමනේ.”

“ඔව්… ඒ ඉස්පිරිතාලේ උනාට එකම වාට්ටුවෙ නෙමෙයි. ඒ උනාට ඉතින් නොබලා ඉන්න එකක් නෑ. ඒ උනාට අයියේ මේ අනුන්ගේ දරුවෙකුත් එක්ක කෙල්ලව බාරගන්න රමාෂ්  පුතා එහෙම කැමති වෙයිද. මේ ඉන්නේ වෙනද ඉඳපු රමාෂ් නෙමෙයිනේ. අනික වේළු අයියා තංගමනී අක්කා වුණත් සිංහල කෙල්ලෙක් කසාද බඳිනවට කැමති වෙන එකක් නෑ. අනික දරු පැටියකුත් එක්ක.”

“මුහුද හත් ගව්වක් තියාගෙන අමුඩ ගහන්න ඕන නෑ. ඒ වෙලාවට අපි බලමු ඒවා විසඳෙන හැටි. අපිට ඕනේ මහත්තයාගේ කැමැත්ත විතරනේ..”

සුනන්ද පැවසූයේ සාමා ඉදිරිපසින් නැගී සිටිමින්ය. පසුගිය මාස කිහිපය පුරාම ඔහුට හරි හැටි නින්දක් වූයේ නැත. දැහැමෙන් සෙමෙන් ජීවත් නොවී සමහර මිනිසුන් ගමේ යන්නා සේ වරින් වර සිරගෙට යන්නේ කෙසේදැයි සුනන්දට නොතේරේ. එය අමු අපායකි. 

                                   *************

සුමනසේකර සේවයට පැමිණියේ දින කිහිපයකට පසුවය. ධීරසේකර මුදලාලිට නිවස විකුණා මුදල් ලබා ගත්තත් ඇනෙක්සියක් සොයා ගන්නා තුරු මසක් නිවසේ නතර වීමට ඉඩ දෙන ලෙස ඔහු ධීරසේකරගෙන් ඉල්ලා සිටියේය. 

“මනුස්සකම් නැතිකරගත්ත මනුස්සයෙක් වෙන්න බෑ මට. සුමනසේකර මහත්තයලා මාසයක් ඉන්න. මට ඒකට කිසිම මුදලක් අවශ්‍ය නෑ. පොරොන්දු වෙච්ච විදිහට මාසෙකින් මට ගේ නිදහස් කරලා දෙන්නකෝ ඒ ඇති.”

වේලාවේ හැටියට ඔහුගේ ඒ වදන් සුමනසේකරට මහත් අස්වැසිල්ලක් විය. ශ්‍රියාලතා උන්නේද ඒසා සුවයකින් නොවේ. මනුජිත් ඇයට දුරකථනයෙන් කතා කතාකොට පැවසූ අයුරින් ලක්ෂ පනහක්  ඔහුගේ බැංකු ගිණුමට තැන්පත් කළේය. ඉතිරි ලක්‍ෂ දහය එහෙමම සුමනසේකරගේ ගිණුමෙහි තිබෙන්නට හැරියේය. 

තමා හමුවීමට ආගන්තුකයන් දෙදෙනෙකු පැමිණ සිටිනවායැයි සුමනසේකරට පැවසූයේ මුදලාලි මහතාය. විනාඩි කිහිපයකට බිල් ලිවීමේ කර්තව්‍ය ඔහු පවරා ගනිද්දී සුමනසේකර තොග කඩයේ ඉදිරිපසට ඇවිද ගියේ මෙවේලෙහි තමා හමුවට පැමිණියේ කවුරුන්දැයි සිතමින්ය. අළු පැහැති කාරයකට පිට දීගෙන සිටගෙන සිටියේ දහරාගේ මාමාත් තවත්  තරුණයෙකුත්ය. දහරාගේ මාමා දුටු සුමනසේකර ඔහු වෙත ඇවිද ගියේ බියෙන් සැකයෙන් යුතු සිතුවිලි දරාගෙනය. 

“අයියත් එක්ක ටිකක් කතා කරන්න ආවේ..”

බලාපොරොත්තු වූ ආවේගය වෙනුවට ඔහු පැවසූයේ නිවුණු ස්වරයකින්ය.

“අයියා දන්නවා ඇතිනේ පහුගිය දවස්වල මම හිටියේ කොහෙද කියලා.”

“ඔව් ආරංචි උනා. අද ඇයි මේ හදිසියේ මාව මුණගැහෙන්න ආවේ.”

“ගෑණු මේ ප්‍රශ්න වලට සම්බන්ධ කරගන්නේ නැතුව මම අයියව මුණගැහෙන්න ආවේ මොකක්ද මේ සිද්ධ වෙන්නේ කියලා හරියටම දැනගන්න ඕන නිසා. අපිට අපේ දරුවාව වැඩි නෑ. මුලින්ම එක කියලා ඉන්න ඕනනේ. හැබැයි ඉතින් එයා අද ඉන්න ඕනේ මනුජිත් ඉන්න තැනක.  රණ්ඩු වෙන්නවත් ගහමරා ගන්නවත් කෑ කෝ ගහගන්නවත් ආපු ගමනක් නෙමෙයි. මට ගේම දුන්නේ කවුද කියන එක මං දන්නවා. ඒ උනාට මට ආපස්සට හැරිලා ඒවට පළිගන්න බෑ. මොකද දැන් අපි ලේ ඥාතීත්වයකින් බැඳිලා ඉවරයි. අයියේ මට කියන්න අපේ කෙල්ලට මොකද වෙන්නේ කියලා. මට ඒකයි දැනගන්න ඕනෙ”

“ඒක මටත් උත්තරයක් නැති ප්‍රශ්නයක් මල්ලි. ඒ දරුවාට ඇවිල්ලා ඔහේ ඉන්න විදිහට අපේ ගෙදර ඉන්න කියන්න පුළුවන් උනත් ඒක නෙමෙයි උත්තරේ. එහෙම විඳවිල්ලක් විඳවන්න ලේසියෙන් ගෑනු දරුවෙකුට බෑ. ඇත්තම කතාව කියනවනම් එහෙම ඇවිල්ල ඉන්න අද අපිට ගෙයක් දොරකුත් නෑ. මනුජිත් ගියේ අපේ හැමදේම නැතිකරගෙන.” 

“මොකක්ද ඒ කතාවේ තේරුම.”

“අපි ගේ වෙන කෙනෙකුට විකුණලා තියෙන්නේ මල්ලි. මාසෙකට තමයි අපිට ඉන්න ඉල්ලගෙන තියෙන්නේ. පුතාට සල්ලි වගයක් ඕන උනා කිව්වට දැනගෙන හිටියේ නෑ එයා අපිටත් නොකිය පිටරට යන්න හදන්නේ කියලා. ගිහිල්ලත් සති දෙකකට විතර පස්සේ තමයි එයාගේ අම්මට කතා කලේ.”

“එහෙනම් ඒක ඇත්ත…”

“ඔව්..හෙට අනිත් අනිද්දම ශ්‍රියාලතයි මමයි එළියට බැහැලා ඇනෙක්ස් එකක් හොයාගන්න ඕනේ. ඊයේ හැන්දෑවේ මෙන්න මේ ළඟ තැනක් ගිහිල්ලා බලලා ආවා. මගේ පැත්තෙන් මට කරන්න පුළුවන් කියලා කිසිම දෙයක් නෑ මල්ලි. දහර කියන්නේ හොඳ දරුවෙක්. වෙන මොනවා නැතත් පුදුමාකාර විදිහේ ඉවසීමක් පිහිටලා තිබුණු දරුවෙක්. අද නැතත් ඒ ළමයට කවද හරි දවසක හරියන්න ඕනේ. තාත්තා කෙනෙක් විදිහට මං මෙතනදි  පුදුමාකාර අසරණයි මල්ලි. පුළුවන්කමක් තිබුණනං මං කීයටවත් මගේ දරුවගේ පැත්ත හිටගන්නේ නෑ. මනුජිත් එහෙම ගියාට පස්සේ ශ්‍රියාලතා ටිකක් අසනීප උනා. දවස් හතරක්ම වැඩට එන්නේ නැතුව   ඉඳලා මං අද තමයි මල්ලි වැඩට ආවේ. මල්ලිට පුළුවන්නම් ඒ ළමයාගේ වැරදි වලට අපිට දඬුවම් නොකර ඉන්න.”

අඩක්  සත්‍යවූත් අඩක් අසත්‍ය වූත් කතාව ඔහු ඉදිරි  පිටදී පවසමින් සුමනසේකර දෑත් එක්කර ගත්තේය. දැන් ඔහු සිටින්නේ  ජීවිතයට පැමිණෙන කරදර දරා ගත හැකි තැනක නොවේ. සුනන්ද සුමන සේකරගේ දෑත වලින් අල්ලා ගත්තේ රමාෂ් දෙස බැලුවාට පසුවය. තවදුරටත් මේ වියපත් මිනිසා වෙහෙස කරවන්නට ඔහුට සිතුනේ නැත. 

“බලන් ගියහම  ඌ අම්මටයි තාත්තටයිත් නැති එකෙක්.”

අවසන ඔහු මිමිණූයේ මද හඬකින්ය. මේ කිසිවක් නිවසට පැමිණි සුමනසේකර ශ්‍රියාලතා හා පැවසූයේ නැත. ඕ මේ දිනවල වඩා  වෙහෙසෙන්නේ  ඇනෙක්සියට  ගෙන යා හැකි බඩුබාහිරාදිය පොදි බඳින්නටය. ඒ සියල්ල මැද ඈ සිටියේ අප්‍රමාණව සිත රිදවාගෙනය.

(යළිත් හමුවෙමු ආදරයෙන්….)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here