කලුවර රෑ සඳක් වගේ – 2

0
126

“ඔච්චර තරුණ කෙල්ලෙක්ට මේ තමන්ට වඩා දෙගුණෙකින් වයස, ඩිවෝස් වෙලා තමන්ගෙ වයසට කිට්ටු වයස්වල ළමයි ඉන්න, අප්පෙක් එක්ක සෙට් වෙන්න තියෙන උවමනාව මොකද්ද කියන්නකො? ඔය කරේ එල්ලෙන්නෙ දේපළ එහෙම බලාගෙනනෙ. මිනිහා මැරුණම ඔක්කොම තමන්ට අයිති කරගන්න හරි ලේසියිනෙ”

මං ගත්ත එකම එක තීරණයක් නිසා මිනිස්සුන්ට හරි ලේසි වුනා මං ගැන ඔන්න ඔය විදියට ජජ් කරන්න. එක පැත්තකින් “මිනිස්සු ඉතින් මේ බුදු හාමුදුරුවන්ටත් කතා හැදුවනෙ” කියලා හිතුවට මොකෝ පෘතග්ජන මනුස්සයෙක් විදියට මට පුළුවන් උනේ නෑ ඒව ඇහුණෙ නෑ වගේ ඉන්න.

තරුණ කෙල්ලෙක් තමන්ට වඩා දෙගුණයක් විතර වයස මනුස්සයෙක්ව කසාද බැඳගත්තම කොහොමත් මිනිස්සු ඒක දකින්නෙ ආදරේ වගේ නෙවෙයි, වනචරකම, සල්ලිවලට තියෙන කෑදරකම වගේනේ. මට උනෙත් ඒක. හැබැයි එකාතකින් මිනිස්සු මට ඔහොම කතා කියාවි කියලා දැන දැනම වගේ තමයි මම ඒ තීරණේ ගත්තෙ.

“උඹට ඇත්තටම ශුවර්ද මනුසත් සර් ඔය කියන විදියට සර්ගෙ වයිෆ්ව ඩිවෝස් කරලා උඹව භාරගනී කියලා?” මගෙන් ඇහුවෙ බෝඩිමේ මාත් එක්ක එක කාමරේ උන්න උෂාණී. උෂානිව මට හම්බුණේ කැම්පස් එකේ ඔරියන්ටේශන් වලදි. අපි දෙන්නම ගම් වලින් ආව එකම වගේ සිතුම් පැතුම් තිබිච්ච කෙල්ලො දෙන්නෙක් උන හන්දද මන්දා මටයි උෂාණිටයි යාලුවෙන්න මහ කාලයක් ගියේ නෑ. කැම්පස් එකෙන් අපිට දිගටම හොස්ටල් පහසුකම් දෙන්නෙ නැති බව දැනගෙන උන්න හන්දම අපි දෙන්නා කතාකරගෙනමයි එකම බෝඩිමක් හොයාගත්තෙ දෙන්නටම නතර වෙන්න.

“ඩිවෝස් වෙන්න කියලා අමුතුවෙන් දෙයක් නෑ බං. ඕල්මෝස්ට් ඩිවෝර්ස්ඩ් ඒ දෙන්නා. ඒ ලේඩි දැන් ඒ ගෙදරින් යන්න තමයි තියෙන්නෙ”

“ළමයිනුත් අරගෙනලුද යන්නෙ?”

“ඔව්”

“ඩිවෝස් උනේ ඒ ගෑනිට වෙන සම්බන්ධයක් තියෙනවා කිව්ව හන්දලු නේද? එහෙමෙකේ ඉතින් ඒ මනුස්සයා කැමති වෙයිද ළමයින්ව අරන් එනවට?”

“අනේ මන්දා එහෙම තමයි කිව්වේ. ඒ ගෙදර එතකොට ඉන්නෙ මමයි සරුයි විතරයි කියලා”

“ඔන්න ඔය අනේ මන්දා කියන වචනෙ තියෙනවා නේද? ඒක තමයි උඹේ ඔය අබුද්දස්ස කාලෙ සම්බන්ධෙ ගැන මට තියෙන ලොකුම ප්‍රශ්නෙ”

“ඇයි?”

“ඇයි බං උඹ යාලුවෙලා ඉන්න, උඹ කසාද බඳින්න ඉන්න, උඹ තව ටික දවසකින් යන්න ඉන්න මිනිහා ගැන දෙයක් ඇහුවම උඹට ඒකට හරියාකාර උත්තරයක් දෙන්න බැරි නම් එතන ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතෙන්නෙ නැද්ද? උඹ මෝඩ කෙල්ලෙක් නෙවිනෙ බං. ඒලෙවල් පාස් වෙලා කැම්පස් එකකට ආවා කියන්නෙ මොලේ නැති එකියක් වෙන්න විදියක් නෑනෙ. එහෙම එකේ හිතලා බලපංකො මං කියන දේ බොරුද කියලා” උෂාණී කිව්වට මං එදා නොකරපු එකම දේත් ඒකම තමයි.

හිතන එක.

හොඳට හිතන එක.

 මං මේ කරන්න යන්නෙ හරි දේද, මං මේ ගන්න යන්නෙ හරි තීරණේද කියලා නොහිතන එක. ජීවිතේ පස්සෙ කාලෙ මට මූණ දෙන්න වෙච්ච අප්‍රබංස වැඩ එක්ක ඒ හැමදෙයක්ම එහෙම වෙන්න තිබිච්ච එකම හේතුව මං එදා “හිතුවෙ නැති” එකද කියන එක මම හිතුවෙ හැමදේම වුණාට පස්සෙ.

ඇත්තටම කිව්වොත්, තීරණයක් ගන්න කලින් ඒ ගැන හරියට හිතන එක කොච්චර වටිනවද කියලා මට තේරුණේ හැමදේම සිද්ධ වෙලා ඉවර වුණාට පස්සෙ. අපේ වයසෙදි අපිට හිතෙන්නේ අපිට ඕන දේ අපිට කරන්න පුළුවන්, අපි ගන්න තීරණ කවදාවත් වරදින්නේ නෑ කියලා. විශේෂයෙන්ම මං වගේ ගමකින් ආපු, ලෝකෙ ගැන ලොකු අත්දැකීමක් නැති කෙල්ලෙක්ට මනුසත් සර් වගේ පෞරුෂයක් තියෙන මනුස්සයෙක්ගෙන් ලැබෙන අවධානය කියන්නේ හරියට මැජික් එකක් වගේ දෙයක්.

ඒ කාලේ මට හිතුණේ මනුසත් සර් මට ආදරේ කරනවා කියන්නේ මං මාර වාසනාවන්තියක් කියලා. අපේ වයසෙ කොල්ලෙක්ගෙන් දකින්න නොලැබෙන ඒ බැරෑරුම්කම, රැකවරණය මට දැනුණේ මාර හයියක් වගේ. හැබැයි මං ඒ වෙලාවේ එක දෙයක් හිතුවේ නෑ.

ඒ තමයි, “මං හැමදේම කියන්නෙ කරන්නෙ ඔයාට තියෙන ආදරේට” කියන ලස්සන වචනෙ ඇතුළේම මාව හිර කරන යකඩ වැටවල් හැදෙන්නත් පුළුවන් කියන එක.

“භානුකි කවදාවත් මට එහෙම කරාවි කියලා මං හිතුවෙ නෑ. මං දන්නෙ නෑ මගෙන් එයාට වෙච්ච අඩුපාඩුව මොකද්ද කියලා මං ඉන්දැද්දි, කසාද බැඳලා අවුරුදු විසි ගාණකට පස්සෙ, අපේ ළමයිත් ලොකු උනාට පස්සෙ ආයෙම එයාගෙ පරණ බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක පැටලෙන්න තරම්” කියලා මාව කාර් එකේ ඉස්සරහා සීට් එකේ ඉන්දගෙන එහෙ මෙහෙ යන ගමන් මනුසත් සර් කිව්ව කතන්දර අස්සෙ, එවෙලෙ මම පිළිගන්න අකමැති වෙච්ච, මට පිළිගන්න බැරිවෙච්ච “ආදරණීය හිරවීමක්” තියෙනවා කියන එක මට තේරුණේ නෑ.

එක පැත්තකින් විතරක් කතාව අහලා තීරණේකට එන්න බෑ කියන එක මම එදා තේරුම්ගත්තෙ නෑ.

හිතේ ඇතිවෙන එකම එක බලාපොරොත්තුවකට, නැත්නම් ආදරේ කියලා අපි හිතන එකම එක හැඟීමකට විතරක් වහල් වෙලා තීරණ ගත්තම, අපිට පේන්නේ ඒ වෙලාවේ තියෙන ලස්සන විතරයි. ඒ ලස්සනට යටින් තියෙන පිළුණු වෙච්ච ප්‍රශ්න, ජෙනරේෂන් ගැප් එක, අනෙකාගේ හිතේ තියෙන සැකය වගේ දේවල් අපිට පේන්නේ පරක්කු වෙලා. හරියට මීදුම වෙලාවක ලස්සන කන්දක් පෙනුණට ඒකේ තියෙන පල්ලම් පේන්නේ මීදුම අයින් වුණාම වගේ.

මං එදා හිතුවේ නෑ, අවුරුදු විස්සක් කියන්නේ පරම්පරා දෙකක පරතරයක් කියලා. මං හිතුවේ නෑ මනුසත්ගේ පරණ කසාදෙ ඉතුරු වෙච්ච කහට හැමදාම මගේ අලුත් ජීවිතේ පැල්ලම් ඇති කරයි කියලා. කෙල්ලෙක් තමන්ගේ ජීවිතේ ගැන ගන්න තීරණයක් වැරදුණාම, ඒක නිකම්ම වැරදීමක් විතරක් නෙවෙයි, ඒක මුළු ජීවිතේම දිය කරලා දාන, අවුරුදු ගාණක විඳවීමක ආරම්භයක්. එදා මං හිතුවෙ නැති එකේ විපාකය තමයි, අද මං මටම අයිති නැති, අනුන්ගේ කියුම් කෙරුම් මැද්දේ හුස්ම හිරවෙන මේ කූඩුව ඇතුළේ තනි වෙලා ඉන්න එක.

අපි මැරි කරලා මනුසත්ගේ ගෙදරට ආපු මුල්ම දවස මට අද වගේ මතකයි.

ඒක මහා විසාල ගෙයක්.

අපේ ගේ වගේ දහගුණයකටත් වඩා ලොකුයි.

 ඒත් ඒ විසාලකම ඇතුළේ තිබුණේ මාරම පාලුවක්. අපේ ගමේ පුංචි ගේ අස්සෙ කවදාකවත් තිබ්බෙ නැති විදියෙ මාර පොෂ් පාලුවක්.

“ලිහිණි… අද ඉඳන් මේක ඔයාගේ ගෙදර. ඔයාට ඕන විදියකට ඉන්න.”

මනුසත් එහෙම කිව්වේ මගේ නළලට හාදුවක් දෙන ගමන්.

ඒ වෙලාවේ මට දැනුණේ මම මහා විසාල බලකොටුවක රැජිනක් වුණා වගේ. අලුතෙන් කසාද බැඳලා එන ගෑණු හැම කෙනාම තමන්ගෙ කසාද මනුස්සයගෙ ශුගර් කෝටඩ් වචන අස්සෙ රැවටෙනවා කියන එක මං දැනගත්තෙ එදා මනුසත් ඒ කිව්ව වචන ගැන ආයෙ ආයෙ පස්සෙ දවසක කල්පනා කරලා බලද්දි.

මනුසත් එහෙම කිව්වට හැබැයි ඒ ගේ අස්සේ මට ඇත්තටම කරන්න බැරි වුණ එකම දේ තමයි මට ඕන විදියට ඉන්න එක.

මට පුළුවන්කමක් තිබ්බා නම් මම මනුසත්ගෙන් ගිහින් අහනවා.

“ඔයා මට මේ ගෙදර රැජිනක් වගේ ඉන්න කිව්වට, ඇත්තටම ඔයා කරලා තියෙන්නේ ඔයාගේ අතීතෙ හොල්මන් කරන පරණ හෙවණැලිවලට බයේ, මගේ හීන ඔක්කොම හිරකරන්න, නැති කරන්න කියලා හිතාගෙන මාව පණපිටින් මේ ලස්සන මන්දිරේ ඇතුළේ හිර කරපු එක නේද?

වෙන අය ඔයාට කරපු වැරදි වල පළිය මගෙන් ගන්න හදපු එක නේද?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here