සඳ දිය දහරා – 47

0
208

සුමනසේකරත් ශ්‍රියාලතාත් කුඩා ඇනෙක්සියට ගියේ විකුණූ නිවසෙහි දෙසතියකට  ආසන්න කාලයක් සිටියාට පසුවය. කාමරයත්, මුළුතැන්ගෙයක්,  නාන කාමරයත් පමණක් වූ කුඩා නිවස දුටුවාට පසුව ශ්‍රියාලතා විමතියෙන් දෑස් මහත් කර ගත්තාය. දෙදවසක්ම  සුමනසේකර ඇයට ඇනෙක්සිය බලන්නට යමුයැයි පැවසුවත් ඈ පැවසූයේ ඔයා ගිහිල්ලා බැලුවහම ඇති යනුවෙන්ය. කුඩා නිවසත් ගෙන ආ බඩු ලොරියත් දෙස දෙවරක් තුන්වරක් බැලූ ශ්‍රියාලතා තම සැමියා දෙස බැලුවේ සමාව යදින දෑසකින්ය. 

“ඔය එහා පැත්තේ පොඩි ගරාජ් එකක් වගේ කොටසක් තියෙනවා. ඒක අපිට පාවිච්චි කරන්න කියලා දීලා තියෙන්නේ. වැඩිපුර බඩු ටික ඒකට දාලා තියන්න පුළුවන්.”

සුමනසේකර එසේ පැවසූයේ ලොරියේ ආ කඩේ ගෝලයන් දෙදෙනාට අණ දෙමින්ය. ‘වැඩේ කරගන්න..’ යැයි පවසමින් ලොරියක් ගෝලයන් දෙදෙනාත් ඔහුට ලබා දුන්නේ තොග කඩයේ මුදලාලිය. 

“මෙච්චර පුංචි ඇති කියලා මං හිතුවෙ නෑ මහත්තයා. අපේ ගෙදරින් හතරෙන් එකක්වත් නෑ.” 

“පුංචි කියල නෑ මේකත් දහතුන්දාහක්.”

සුමනසේකර විනාඩි කිහිපයක් ගතව යනතුරු ශ්‍රියාලතා දෙස බලා උන්නේ එසේ පවසමින්ය. ගෙවී ගිය දින කිහිපයට ඇගෙන් විද්‍යාමාන වූයේ වසර ගණනක් මහලු වූවා වන් පෙනුමකි. මනුජිත් දින දෙක තුනකින් කතා නොකළ බව ඈ සැමියා හා පැවසූයේ පෙරදා රාත්‍රියේය. 

“එයාගේ ෆෝන් එක වැඩ කරන්නෙත් නෑ…”

අවසන ඕ මහත් වූ කලකිරීම් සහගත ස්වරයකින් කියා දැමුවාය. 

“සමහරවිට රට යන වැඩේ හරි ගියාද දන්නෙ නෑ. තව දවස් දෙක තුනක් බලමුකෝ.”

සුමනසේකර එසේ පැවසූයේ ශ්‍රියාලතාගේ සිත හදන්නට මිස ඔහු ගැන උපන් බියකින් නොවේ. 

“ශ්‍රියාලතා විසිත්ත කාමරයයැයි වෙන්ව ඇති නාන කාමරයක් තරම් වූ කොටසෙහි අසුන් ගත්තේ වෙහෙසකරවය. නිවසට ගෙන යා යුතු බඩු ගැනත් ගරාජයට දැමිය යුතු බඩු ගැනත් සැමියා තරුණියන් දෙදෙනාට උපදෙස් දෙනු ඇසේ. මනුජිත්ට එකඟ වී සැමියාත් කැමති කරවාගෙන තමා කලේ නොකළ යුත්තක්යැයි ප්‍රථම වරට ඒ සිතට දැනෙමින් තිබිණ. හුණ්ඩුවක්වන් මේ නිවසේ කොතරම් කාලයක් සිරවී සිටින්නදැයි ඇයට නොතේරේ. නිවස විකුණූ බව දැනගත් සැමියාගේ පාර්ශවයේ අයත් තමාගේ පාර්ශවයේ අයත් දොස් නැගුවේ හදිසි තීරණ ගත්තායැයි පවසමින්ය. ශ්‍රියාලතා කිසිවෙකුටත් ඒ කාර්යය මනුජිත්ගේ උවමනාවට සිදුවූ එකක් බව පැවසූයේ නැත. මනුජිත් පිටරටක සේවයට ගිය බව පවසා තිබූ බොරුවම ඉදිරියටත් නඩත්තු කරන්නට ඈ සිතුවාය.” 

“කොහොමත් දැන් ඉතින් පුතා එහෙම පදිංචි වෙයි. එයාගේ කම්පැනි එකෙන් එයාට එහේ ගෙයක් වාහනයක් පවා හම්බවෙලා නේ. බොහෝ දුරට මටයි මහත්තයටයි යන්න වෙයි. කවුරුවත් නැතුව මේ ලොකු ගෙයි ඉන්නේ මොකටද කියලා හිතුනා. අනිත් එක පුතා හදිස්සියේ කතා කලොත් මේවා විකුණන්න දාන්න කරදරයි. ඒ නිසා කලින්ම සූදානම් පිට ඉන්න එක හොඳයි කියලා හිතුණා.”

ඥාතීන් තමාව විශ්වාස කරන්නට ඇතැයි ශ්‍රියාලතා සිතුවාය. 

“අනේ අපි දන්නේ නැතුවනේ ඒකට හදිස්සියේ කැමති වුණේ. මහා ප්‍රශ්න තියෙන ළමයි. අපිත් ටික ටික පස්සේ තමයි කාගේ කවුද කින්ද මන්ද කියල විස්තර දැනගත්තේ. පුතා ගිය ගමන් ගෙදර ගියා. ඒ ගිහිල්ලා මොනවා කරනවද කොහේ යනව එනවද මොන විදිහට ජීවත් වෙනවද කියලා අපි කවුරුවත් දන්නේ නෑ. මං නං කිව්වෙ ඉතින් එක පාරක් රැවටුනාට දෙපාරක් රැවටෙන්න ඕන නෑ කියල. පුතාත් ලොකු කලකිරීමකින් ඉන්නේ ඒ ළමයා ගැන. තව පාරක් දෙකක් අවවාද කරලා බලලා හැදෙන්නෙ නැත්තං ඉතින් අත ඇරලා දායි. වෙන මොනව කරන්නද…?”

ඕ දහරා ගැන අස ඥාතීන්ට පැවසූයේ ඒ අයුරින්ය. ශ්‍රියාලතා මෑණියන්ව හමුවීමට ගියේ ඇනෙක්සියට ඒමට දවස් කිහිපයකට පෙරය. ඇය පොල්තෙල් බෝතලයක් මතුරා දුන්නේ ඉන් දිනපතා පහන පත්තු කරන්නයැයි පවසමින්ය. 

“මං කිව්වනේ තදබල අපල කාලයක් තමයි ඉස්සරහට තියෙන්නේ කියලා. ඔය දරුවා එළියට ඇවිල්ලත් මාස තුනක්වත් යනවා ඒක හරියන්න. එතකං ඉවසීමෙන් ඉමු. පුතා මේ වෙලාවේ වෙන රටකට යන්න තීරණය කරපු එක බොහොම හොඳයි. මේ බන්ධන සත් සමුදුරින් එහාට එයත් එක්ක යන්නේ නෑ. මම මෙන්න මේ පුංචි කුප්පියට දාලා දෙන්නේ බොහොම බලගතු තෙල් වර්ගයක්. පුතා ආවහම එයාට කියන්න එයාගේ ඇඳුම් බෑග් එකේ කොනක මේක බොහොම අර පරිස්සමට තියාගන්න කියලා. කොහේ හිටියත් කොහේ ගියත් අපල කාලෙන් පස්සේ උතුරන්න වගේ හරි යනවා. මේ තෙල් එකේ තමයි ඒ බලය තියෙන්නේ. මෙන්න මේ බෝතලේ තියෙන තෙල් එකෙන් නෝනයි මහත්තයයි යන තැනක දවස ගානේ පහන පත්තු කරන්න. ඔය හිත් තැවුල් හිත් වේදනා තව ටික දවසයි. බොහෝම ළඟදි දවසක් එනවා මහත්තයයි නෝනයි පුතයි තුන්දෙනා එකතු වෙලා ආපහු සන්තෝසෙන් ඉන්න. ඊට පස්සේ පුතාට හරි යනවා හොඳ ගෑනු දැරිවියක්.”

මෑණියන් තෙල් කුප්පි දෙක ශ්‍රියාලතා  අත තැබුවේ එසේ පවසමින්ය. ගුරු පඬුරු ලෙස රුපියල් හත් දහස  ඈ මෑණියන් වෙත දෝතින් පිළිගැන්වූවාය. හදිසියේ ඇතිවූ සිතුවිල්ලකට අනුව පුටුවෙන් නැගී සිටි ඕ තෙල් බෝතලයෙන් බින්දු කිහිපයක් නිවස පුරා ඉස දැමුවාය. 

                                             **************

සෙනරත් දහරාව පුද්ගලික රෝහලට ඇරල වූයේ රමාෂ්ගේ උපදෙස් පරිදිය. 

“මං ඉන්න ඕනෙ නෑනෙ මෙතන,  උඹට  වැඩේ කරගෙන එන්න පුළුවන්නේ. වුවමනාවක් වුණොත් කෝල් එකක් දීපං”

ඔහු එසේ පැවසූයේ ආපසු හැරෙමින්ය. දහරා ‘හා’ යැයි පවසමින් හිස වැනුවාය. 

“මැඩම් ඩොක්ට පේෂන්ට්  කෙනෙක් බලනවා. ඒ එෆොයිමන්ට් එක විතරයි තියෙන්නේ. පේෂන්ට් එලියට ගියපු ගමන් මැඩම්ට ඇතුලට යන්න පුළුවන්.” 

පෙර දෙදිනේම උන් හෙදිය පැවසූයේ සිනහ මුසුවය. පිළිතුරු සිනහවකින් ඇයට සංග්‍රහ කළ දහරා කෙළවරේ වූ අසුනකින් අසුන් ගත්තාය. විනාඩි කිහිපයකට පසුව රෝහල් කාමරයෙහි උන් ගැබිණි මවත් ඇයගේ සැමියාත් පිටව ගියේ සතුටින්ය 

“මං හිතන්නේ ඩොක්ටර් රාමාෂ්ගේ වයිෆ් එයා තමයි…”

කවුරුන් හෝ එසේ පවසන අයුරු දහරාට ඇසුණේ රමාෂ්ම රෝහල් කාමරයෙන් පිටතට පැමිණ දහරා කැඳවාගෙන යද්දීය. 

“මං මෙහෙම එන එක ඔයාට හොඳ නැද්ද මන්දා රමාෂ්”

ඔහු එසේ ඇසුවේ ඒ වදන් ඔහුට ඇසුණාද නැද්ද යන්න සැක හැර දැනගන්නටය. 

“කවුද එහෙම කියන්නේ….”

“මිනිස්සු වරදවා හිතයි.”

“හිතන්න ඉඩ දෙමු. නිවැරදි වෙන්න ඕනෙ කියල හිතුණු වෙලාවට ඒගොල්ලෝ නිවැරදි වෙයි.”

ඔහු දහරාව පරීක්‍ෂා කිරීමට විනාඩි කිහිපයක් ගත  කළේය. ඉන්පසුව ඇගේ වෛද්‍ය වාර්තාවල යමක් සඳහන් කළේය. 

“අම්මයි බබයි දෙන්නම හොඳින්. ලබන මාසේ විසි හතර වෙනිදා අපි නතර වෙමු. නෝමල් ඩිලිවරි එකකින් බබාව ගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. මට එදා නිශාදි කිව්වා ඇඳුම් එහෙම රෙඩි කර ගත්තා කියලා.”

“ඔව්…”

“යාළුවා නිතරම කතා කරනවද එයා නැතුවව පාළු ඇති.”

“ගිය සතියේ  ඉඳලා ලෙක්චර්ස් පටන් ගෙන තිබුණා. දවසකට සැරයක් වගේ කොහොම හරි කතා කරනවා. රැග් සීසන්  එකත් ඉවර වෙන කතාවක් කිව්වා.”

“පහුගිය දවස් ටිකේ මට කතා කළේ නැහැ. මමත් නිශාදිට කතා කරන්න ගියේ නැහැ මොකද එයා බිසී ඇතිනෙ දැන්.”

“ඔයා ගැන මගෙන් ඇහුවා. මම කිව්වා . එයා වගේම ඔයත් හැම දවසකම කතා කරලා සැප දුක් අහනවා කියලා.”

“දහරා මට ඔයාට දෙයක් කියන්න තියෙනවා.”

“මොකක්ද රමාෂ් ඒ.”

“මම කැනඩා ඉදිද්දී කැම්පස් යන ගමන්ම පාට් ටයිම් ජොබ් එකක් කළා. එහේ එහෙමයි නේ.”

“මං අහලා තියෙනවා.”

“ඉතින් මම ළඟ සල්ලි ටිකක් තිබුණා. මං ඒ හින්දා තීරණය කළා රෙන්ට් එකට ඉන්නෙ නැතුව එපාර්ට්මන්ට් එකක් ගන්නවා කියලා.”

“ඒක හොඳයි. එතකොට කොහොමද ඔයාගේ කෑම බීම දැන්නම් ඉන්න තැනින්ම ලැබෙනවනේ.”

“මට ඒ හැම දෙයක්ම තනියෙන් කරගන්න පුළුවන්. මොකද අපි කැනඩා කියාට පස්සේ එහෙ ජීවත් වෙන්න අම්මයි තාත්තයි දෙන්නම ජොබ් කළා. එතකොට මගේ හැම වැඩක්ම මම තනියම කරගන්න පුරුදු වුණා. කොහොමත් ඒ රටවල් වල අවුරුදු දහ අටෙන් පස්සේ ළමයි ස්වාධීනයි කියලා කියන්නේ. තමන්ගේ වැඩ එයාලා තනියෙන් කරගන්න පෙලඹෙනවා. ඉතින් මට ඔය මොනවා හරි හදාගන්න එක ලොකු දෙයක් නෙමෙයි. රසට කන්න ඕනෙම කියලා හිතුනොත් ඔයාලගේ ගෙවල් පැත්තට ඇවිල්ලා රීටි ආච්චිට කියලා උයවාගෙන කනවා.”

“ඒකනං ආච්චි කැමැත්තෙන් කරයි.”

“තව දෙයක් දහරා. ඔයාට බබා ලැබෙන්නේ ගවර්මන්ට් හොස්පිට්ල් එකේ නෙමෙයි මෙහේ.”

“මෙහෙ කිව්වේ…”

“මේ හොස්පිට්ල් එකේ.”

“අම්මෝ ලොකු ගානක් යයිනේ….”

“ලොකු ගානක් වෙන්නෙ නෑ. මං ඒකට ඕන කරන හැම දෙයක්ම ලෑස්ති කරලයි තියෙන්නේ. මම මගේ ප්‍රොෆෙසර් එක්ක කතා කළා. සර් තමයි ඔයාගේ බබා ගන්නෙ. එතකොට සාම නැන්දට ඔයා එක්ක ඉන්නත් පුළුවන්.”

“අනේ එහෙම ඕනි නෑ රමාෂ්. මට බෑ එච්චර ණයකාරයෙක් වෙන්න. අපේ වත්තේ ඔක්කොටම බබාලා හම්බ උනේ ගවර්මන්ට් හොස්පිටල් එකේ තමයි. ඒවයේ කිසි අඩුවක් තිබුනේ නෑ.”

“අනේ නෑ. ඒවයි අඩුවක් තියෙනවා කියලා කියනවා නෙමෙයි. මට ඕන වුණේ වඩා හොඳයි කියලා හිතෙන දෙයක් ඔයාට දෙන්න. දැන් ආපස්සට හැරෙන්න බෑ. මං ඒවට ඕන කරන හැම දෙයක්ම රෙඩි කරලයි තියෙන්නේ. ප්‍රධානම දේ  ඔයාට ඒ අසීරු අවස්ථාවේ අපිට ඔයා එක්ක ඉන්න පුළුවන්.”

ධාරා රමාෂ් දෙස බලාසිටියේ දෑස් වල කඳුළු තබාගෙනය. ඔහුවන් මිතුරන් ජීවිතයට ආශිර්වාදයකි. එහෙත් මේ සා  ඔහුට වදයක් වන්නට ඇයට සිතෙන්නේ නැත. 

“ඒක අපිට කැන්සල් කරගන්න බැරිද..”

“බැරිකමක් නෑ. ඒත් එහෙම ඕනේ නෑ. මේ ඔයාගේ පළවෙනි බබා. ඒ නිසා සාම නැද්දා ළඟ ඉන්න එක හොඳයි කියල මට හිතුනා. ඒ ගැන දැන් මුකුත් හිතන්න එපා. අපි යමුද….?”

මුලින්ම නැගී සිටියේ රමාෂ්ය දහරා ඒ පසු පසින් රෝහල් කාමරයෙන් එළියට ගියේ තමාගේ ජීවිතයට මේ කුමක් වන්නේදැයි සිතමින්ය. ඇගේ දුරකථනය නාඳුනන අංකයක් සටහන් කරමින් නාථ වූයේ එවේලෙහිය. 

(හෙටත් හමු වෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here