කලුවර රෑ සඳක් වගේ – 3

0
120

“භානුකී ඔයාට කවදාවත්ම ආදරේ කරේ නැද්ද?” කියලා මම මනුසත්ගෙන් අහද්දිත් මං කියන්නෙ අර ගමෙන් ආව අහිංසක කෙල්ලම තමයි. ආදරේ කියන වචනෙ ඉස්සරහට දාගෙන පිරිමින්ට බොරු කියන්න පුළුවන් බව ඒ කාලෙ උන්න මෝඩ මම දැනගෙන උන්නෙ නෑ.

“මං දන්නෙ නෑ ඒ ප්‍රශ්නෙට දෙන්නෝන උත්තරේ මොකද්ද කියලා ඇත්තටම. භානුකී මට ආදරේ කරා නම් එයාට මේ විදියට මාව අමතක කරලා එයාගෙ පරණ බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක ආයෙ යාලුවෙන්න විදියක් නෑ නේද? මං දන්නෙ නෑ මං එයාට මොනවයින් කරපු අඩුපාඩුවක්ද කියලා, අපි කසාද බැඳලා, අපේ දරුවො පවා උස්මහත් උනාට පස්සෙ මේ වගේ දෙයක් කරන්න එයාට හිතුනෙ” කියලා මනුසත් කියද්දි, ඒ වෙද්දිත් මට වඩා අවුරුදු විසි තිස් ගාණකින් වැඩිමල් මනුසත් කෙනෙක්ට වඩා මම දැක්කෙ තමන් ආදරේ කරපු ගෑනිගෙන් රැවටෙන්න වෙච්ච හන්දා හිත රිද්දගත්ත පොඩි කොල්ලෙක්ව. එවෙලෙවත් මට තේරුණේ නෑ භානුකී කියන්නෙ මනුසත්ගෙ හිත අස්සෙ මුල් අද්දවගෙන, කාවද්දගෙන ඉන්න මනුසත්ගෙ ආදරේ කියන එක. කොහොම කරත් මට හම්බෙන්නෙ දෙවනි තැන තමයි කියන එක.

“ඩිවෝස් වෙලා ඉන්නවා කිව්වට ඩිවෝස් වෙලා නෑනෙ බං. එහෙම එකේ ඒ පවුලෙ මිනිස්සු උඹව නිකන් තුට්ටු දෙකට දාලා කතා කරන එක වරදක් නෑ” කියලා උෂාණි මට කිව්වේ මනුසත් සර්ගෙ අක්කා කෙනෙක් කියලා කිව්වා ගෑනු කෙනෙක් මට කතා කරනවා හොඳටම බැන්න දවසෙ. ඒ වෙද්දි මම මනුසත් සර් එක්ක යාලුවෙලා මාස දෙකක් වගේ කාලයක් ගෙවිලා ගිහිල්ලා තිබ්බේ.

“මං ආයෙ යාලුවන්ගෙ අසයින්මන්ට් නොකර ඉන්න නම් සර්ට පුළුවන්ද මං වෙනුවෙන් දෙයක් කරන්න?” කියලා මම එදා මනුසත්ගෙන් මට රස්සාවක් හොයලා දෙන්න පුලුවන්ද කියලා ඇහුව ප්‍රශ්නෙට උත්තරේ විදියට මනුසත් මාව එයාගෙ පී එච් ඩී රිසර්ච් එකේ එක එක ඩොකියුමන්ටේශන් වැඩ වලට සම්බන්ධ කරගත්තෙ මාස් පතා පඩියක් දෙන්නම් කියන පොරොන්දුව උඩ. ඒ මට මාසෙකට දුන්න ගාන මනුසත්ට වගේම මටත් මහ ලොකු ගාණක් නොවුනට “දැන් එහෙම හරි ගාණක් මට මන්ත්ලි ෆික්ස්ඩ් ලැබෙනවනෙ” කියන එක මගේ දුප්පත් මානසිකත්වෙට ලොකු දෙයක් වුණා. අනික් අතට මොකක් හරි මමවත් නොදන්න හේතුවකට මම උන්නෙ මනුසත් සර්ට මාරෙටම ආකර්ෂණය වෙලා.

“ගොඩක් වෙලාවට අපිට පොඩි කාලෙ ආදරේ නොලැබිච්ච ඒවා ට්‍රෝමා බවට පත්වෙනවා. ට්‍රෝමා කිව්වම අපි හරිම නෙගටිව් විදියකට දැක්කට, ඒවා හැම තිස්සෙම එළියට මතුවෙන්නෙ කලබලකාරී විදියටම නෙවෙයි. සමහර ට්‍රෝමා එළියට එන්නෙ ආදරේ බලාපොරොත්තු වෙනවා වගේ.

ගොඩක් වෙලාවට දැන් කාලෙ ඉන්න ගෑනු ළමයි ඔය තමන්ට වඩා සෑහෙන වයස් පරතරයක් තියෙන පිරිමි අයට ආකර්ෂණය වෙනවනෙ. ඒකත් මේ වගේම අපිට පැහැදිළි කරන්න පුළුවන්. හිතලා බලන්න අපේ රටේ සංස්කෘතිය ඇතුළේ තාත්තා කෙනෙක් සහ දුවෙක් අතර තියෙන බැඳීම. ගොඩක් වෙලාවට ඒක හරිම දුරස්ථ එකක්. තාත්තා කියන්නේ උදේම කුඹුරට හරි වැඩට හරි ගිහින්, රෑට බත් එක කාලා නිදාගන්න යන ෆිගර් එකක් විතරයි. ඒ තාත්තලා කවදාවත් තමන්ගේ දුවව ළඟට අරන් ආදරේ පෙන්නන්නෙ නෑනෙ. අපේ සංස්කෘතිය ඇතුලෙ කොහොමත් ඒ බැරියර් එක හදලා තියෙනවනෙ. ඉතින් ඒ ආදරේ, ඒ ඇහුම්කන්දීම අඩුව හැදුණු කෙල්ලෙක් සමාජයට ආවම, එතන ඉන්න පරිණත, තීරණ ගන්න පුළුවන් හයියක් තියෙන පිරිමියෙක් දැක්කම එයාට හිතෙන්නේ ඒ තමයි එයා ජීවිත කාලෙම හෙව්ව ආරක්ෂාව කියලා. අර අඩුපාඩුවක් තමයි එයා එතනින් ෆිල් කරගන්න යන්නෙ.  මේ කෙල්ලෝ හිතන්නේ ඒක ආදරයක් කියලා. හැබැයි ඇත්තටම ඒක තමන්ගේ හිත ඇතුළේ ඉන්න අර ආදරේ නොලැබුණු පුංචි දුවව සනසන්න කරන උත්සාහයක්. වයසින් වැඩි පිරිමියා තමන්ගේ ඔළුව අතගාද්දී, අවවාද කරද්දී ඒ කෙල්ලට දැනෙන්නේ තමන් කවදාවත් නොලැබුණු පිය සෙනෙහස ලැබෙනවා කියලා. හැබැයි ළමයි… ඔතන තියෙන ලොකුම ට්‍රැප් එක තමයි මේක. තාත්තා කෙනෙක් දරුවෙක්ව රකින්නේ නිදහස දීලා වුණාට, පිරිමියෙක් තමන්ට වඩා ගොඩක් බාල ගැහැනියක්ව රකින්න හදන්නේ පාලනය ඇතුළේ. ‘මම මේවා කියන්නේ ඔයාට තියෙන ආදරේට’ කියන ලස්සන ලේබල් එක යටතේ එයා කරන්නේ ඒ කෙල්ලගේ පියාපත් හෙමින් හෙමින් කපලා දාන එක. තරුණ පිරිමි ළමයිනුත් ඉන්නවා එහෙම කරන. මේවා ගැන ඉතින් අපි ඉස්සරහා ලෙක්චර්ස් වලදි තව විස්තර ඇතුව කතා කරමු” කියලා අපිට ඒ මොඩියුල් එක උගන්නන්න ආව නීලමනි මැඩම් කියද්දිත් මම කල්පනා කරා මනුසත් සර්ට ආකර්ෂණය වෙන්න මට තිබ්බ ලොකුම හේතුව ඒ මැඩම් කිව්වා තාත්තයි මමයි අතරෙ තිබ්බ දුරස්ථ සම්බන්ධෙද කියන එක.

මට අපේ තාත්තා එක්ක තිබ්බෙ හරි දුර සම්බන්ධයක්. උදේම වගා වැඩවලට ගිහින් හවස් අතේ මඩ ගාගෙන ගෙදර එන, ඒ ඇවිත් අඟ පත සෝදන් අම්මා උයලා තියෙන දෙයක් කාලා නිදාගන්න යන අපේ තාත්තලා අපි එක්ක කතාවකට කියලා කරේ සිංහල අලුත් අවුරුද්දට බුලත් එහෙම දීලා වැන්දම ඔලුව අතගාලා බුදු සරණයි කියන එක තමයි. එහෙම ලෝකෙක ඉඳලා ආව මම මනුසත් සර්ගෙන් බලාපොරොත්තු උනෙ තාත්තා කෙනෙක්ගෙ ආදරේද කියන එක මම මගෙන්ම හරියට අහපු ප්‍රශ්නයක්.

“සැළලිහිණිට කවදහරි හිතේවිද මං වගේ නාකි මනුස්සයෙක් එක්ක යාලුවෙච්ච එක අපරාදෙ කියලා?” මනුසත් සර් දවසක් ඇහුවෙ මම එයාගෙ ලෙක්චරර් රූම් එකට වෙලා එයාගෙ පී එච් ඩී එකට අදාල ඩොකියුමන්ට් එකක අන්තිම කොලේ ටයිප් කරලා ඉවර කරලා යන්න හදද්දි. එදා කොළඹ දෙවනත් කරගෙන පුදුමාකාර වැස්සක් වැටෙන ගමන් තමයි තිබ්බේ. ආදරේ කියන්නේ හරිම පුදුම දෙයක්. ඒක අපි හිතන වෙලාවට, අපි හිතන තැන්වල පැළවෙන දෙයක් නෙවෙයි. හිතාගන්නවත් බැරි විදියට, කිසිම ගැලපීමක් නැති හදවත් දෙකක් අතරේ වුණත් ආදරේ පූදින්න පුළුවන්. කොළඹ කැම්පස් එකේ ඒ කාර්යබහුල, කලබලකාරී පරිසරය ඇතුළේ මනුසත් සර් මට මුණගැහුණේ මගේ ජීවිතේ මං හොයපු ලොකුම අඩුව පුරවන්න වගේ.

එදා හරිම අමුතු දවසක්. කොළඹට පායන දරුණු අව්ව මැද්දේ එකපාරටම අකාලේ වැස්සක් කඩාගෙන වැටුණා. කැම්පස් එකේ කොන්ක්‍රීට් පාරවල් රත් වෙලා තිබුණ හන්දා වැස්ස වැටෙද්දී පොළොවෙන් එන ඒ අමුතු සුවඳ මුළු ෆැකල්ටි එක පුරාම පැතිරුණා. කොරිඩෝ දිගේ එහා මෙහා දුවන ළමයින්ගේ සද්දේ අස්සේ අපි හිටියෙ ඒ හැම සද්දෙකින්ම මිදිච්ච වෙනම ලෝකයක් අස්සෙ තනිවෙලා වගේ උඩ තට්ටුවෙ බිල්ඩින් එකක කෙළවරේම තිබිච්ච මනුසත් සර් වෙනුවෙන් වෙන් කරපු කාමරේට වෙලා වැස්ස දිහාව බලාගෙන. සර් උන්නෙ සර්ගෙ පුටුවෙ වාඩිවෙලා. මං උන්නෙ මං වැඩ කරන පුංචි මේසෙ ලඟ හිටගෙන ගෙදර යන්න මගේ බෑග් එකට බඩු ඒවා පැක් කරන ගමන්.

“සර් ඇයි එකපාර එහෙම කතාවක් කිව්වේ?” කියලා මං ඇත්තටම ඇහුවෙ පොඩි ලැජ්ජාවක් එක්ක. මමයි මනුසත් සරුයි අතරෙ ඒ වෙද්දිත් ගුරුගෝල සම්බන්ධෙට එහා ගියපු සම්බන්ධයක් තියෙනවා කියලා දැනගෙන උන්නට කවදාවත් සර් මගෙන්වත් මං සර්ගෙන්වත් ඒ ගැන මෙයාකාර විදියට කෙළින්ම අහලා නොතිබිච්ච හන්දම මට දැනුනෙ ලැජ්ජාවක්. ඒක හරියට සර් ලෙක්චර්ස් වලට ආවම ලෙක්චර්ස් හෝල් එක පීරලා මම ඉන්නෙ කොතනද කියලා හොයන්න ඇස් කරකවද්දි එන ලැජ්ජාව වගේ එකක්. ලෙක්චර් හෝල් එකේදි එහෙම කරන එක “මටත් වඩා සර්ගෙ තත්ත්වෙට හොඳ නෑ” කියලා හිතන තරම් මෝඩ විදියට මම මාව අමතක කරලා සර්ගෙ ආත්ම ගරුත්වෙ ගැන හිතුව හන්දා එතනින් පස්සෙ එකම තැනම හැම ලෙක්චර් එකේදිම වාඩිවෙන්න පුරුදු වෙච්ච එක ඇත්ත.

“කොහොමද ඔයා යන්නෙ? බසුත් අඩු ඇති නේද මේ වැස්ස හන්දා?” කියලා මනුසත් සර් මං දිහා බලද්දිත් මං උන්නෙ වැස්ස දිහා බලාගෙන ඉන්න සර් දිහාම බලාගෙන ඉන්න එක. ඒත් සර් මං දිහාවට හැරෙද්දි මම ඒ බැල්ම මගෑරගත්ත හරියට මම මහ ලොකු වරදක් කරනවා වගේ. හරියට මට මතක තිබ්බා වගේ “මං දෙවනියා” කියන එක. මට සමහරවිට පස්සෙ කාලෙක මේ සම්බන්ධෙ ඇතුළෙ වැරදුණෙත් ඒ සිතුවිල්ල නිසාම වෙන්නැති.

“වැස්ස ඉවර වෙලාම යන්නම් කියලා බැලුවේ සර්. බෝඩිමට යන පාරත් දැන් මඩ වෙලා ඇති.” මම හෙමින් කිව්වා.

“එන්නකෝ මෙතනට… බලන්නකෝ මේ වැස්ස දිහා. කොළඹ කැම්පස් එකේ මම දැකපු ලස්සනම වැස්ස මේක වෙන්න ඇති.” කියන ගමන් මනුසත් සර් ඉඳන් උන්න තැනින් නැගිටලා ජනේලය ගාව හිටගත්තට එයා හිටියෙ එළියේ වැස්ස දිහා බලාගෙන නෙවෙයි, ඒ වැස්ස අස්සේ තියෙන තමන්ගේම තනිකම දිහා බලාගෙන වගේ. මාර ගස්වල අතු පතරින් බේරෙන වතුර පාරවල් රීඩ් මාවත දිගේ ගලාගෙන යනවා. රූම් එක ඇතුළේ තිබුණේ පරණ පොත්වල සුවඳයි, වැස්සට තෙමුණු පස්වල සුවඳයි මුසු වෙච්ච මත් කරවන ගතියක්. ඒ මත් ගතිය අස්සෙ මං උන්නෙ මනුසත් සර් දිහාවම බලාගෙන.

“ලිහිණි… ඔයා දන්නවද පිරිමියෙක් තමන්ගේ ජීවිතේ හැමදේම ලැබුණට පස්සේ මොනවද හොයන්නේ කියලා?” මනුසත් සර් ඇහුවට මම ඒ ප්‍රශ්නෙට උත්තරේ දැනගෙන උන්නෙ නෑ. එහෙමත් නැත්තං ඒකට දෙන්න ඕන උත්තරේ හොයාගන්න තරම් මගේ මනස ඒ වෙලාවෙ සැහැල්ලු වෙලා තිබ්බෙ නෑ. ඒ හන්දම මම “නෑ” කියලා කිව්වෙ ඔලුව හොල්ලලා.

“එයාලා හොයන්නේ ආදරයක්, නතර වෙන ආදරයක්. අතරමං වෙලා වෙනතක නොයන ආදරයක්. රකින්න තරම් ලස්සන, පාර පෙන්වන්න තරම් මුදු මොලොක්, තමන්ටම විතරක් අයිති වුණා කියලා හදවතින්ම කෘතගුණ දක්වන ආදරයක්.

මොකද මේ මුළු ලෝකයම ඔයාට හැමදේම ලබා දුන්නට පස්සේ, ඉතුරු වෙන එකම දේ තමයි, කවදාවත් ඔයාව දාලා නොයන මොකක් හරි දෙයක් ළඟ තියාගන්න එක.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here