ඇන්ඩ්‍රියාගේ උපන් දිනය වෙනුවෙන් මන්දාකිණි ළමා නිවාසය වෙත පැමිණියේ කෛලාශ් වෙත පොරොන්දු වූ වේලාවට වඩා පැය භාගයකටත් පෙරය. ඒ වන විටත් Hotel Sunzet වෙතින් දානය වෙනුවෙන් අවශ්‍ය සියලුම ආහාර පාන සකස් කර ළමා නිවාසය වෙත එවා තිබුණු අතර මන්දාකිණි දරුවන් වෙනුවෙන් සූදානම් කළ ත්‍යාග ඇතුළු පාර්සල් ඇය විසින් උදෑසන පැමිණෙන විට රැගෙන එන බවට පොරොන්දු වූ නිසා කෛලාශ් හට ඒ පිළිබඳව වද වීමට අවැසි වූයේ නැත.
පෙර දිනයේදී තමා සහ දෙමාපියන් අතර නිවසේදී සිදු වූ අතිශය නීරස කතා බහ නිසා මන්දාකිණි උන්නේ වචන වලට නගා ගත නොහැකි ශෝකයක් හිතේ සිර කර ගෙනය.
” එතකොට උඹට දැන් කසාද බඳින්න ඕන වෙලා තියෙන්නේ අර අනාථ කොල්ලවද ? ”
තම පියා වෙතින් කිසිසේත්ම එවැනි කතාවක් බලාපොරොත්තු නොවූ මන්දාකිණි ඒ මොහොතේ තිගැස්සී පියවරක් පසුපසට තැබුවේ තම පියා මෙන්ම, ඔහු පසුපස සිටගෙන සිටින මව දෙසද කලකිරීමෙන් බලමිනි. ලවන් හට ලං වීමට වත් නොහැකි යහපත් ගති ගුණ වලින් සුපෝෂිත වූ කෛලාශ් වැනි තරුණයෙකුට තම පියා වුවත් අපහාස කරද්දි තමා නිහඬව නොසිටිය යුතු බව මන්දාකිණි සිතුවේ අනතුරුවය.
” ඔව් තාත්තා. මට හොඳයි නං මම එහෙම හරි කරනවා ”
මන්දාකිණි කීවේ තෙත් වී ඇති දෑස් වලින් කඳුලු නොහලන්නට වග බලා ගනිමිනි. ඒ ක්ෂණයෙන්ම පියවරක් ඉදිරියට පැමිණි ධර්මරත්න ගේ දකුණත මන්දාකිණි ගේ කම්මුල හරහා පතිත වූයේ වේගයෙනි. මන්දාකිණි කම්මුල අල්ලා ගෙන අසල වූ බිත්තියකට හේත්තු වද්දි ධර්මරත්න ටීපෝව මත තබා තිබු ජංගම දුරකථනය ගෙන නිවසේ ප්‍රධාන දොරටුව වෙත ඇවිද ගොස් නතර වූයේය.
” උඹ මේ සැරේ තමයි මේ තාත්තා කවුද කියලා හරියටම දැන ගන්නේ “
මන්දාකිණි වෙත ඇඟිල්ලක් දිගු කර කෝපයෙන් එසේ පැවසූ ධර්මරත්න පිටව යද්දී පුෂ්පාද ඔහු පසු පසින් දිව ගියේ වෙන කළ හැකි යමක් නොවූ තැනය. තම පියා තමා හැඟීම් සහ සිතැඟි තේරුම් ගෙන ඇතැයි බලාපොරොත්තු වුවද එය එසේ වී නැත. තමාට මෙලොව හිඳින්නේ තමා පමණක් යැයි සිතමින් මන්දාකිණි කාර්යාලයට යන්නට පිටත් වූයේ හදවතින් පහව නොගිය වේදනාවෙනි.
ඇන්ඩ්‍රියා ගේ උපන් දිනය වෙනුවෙන් සිදු කෙරෙන දානමය කටයුත්තට තමාගේ පැමිණීම කෛලාශ් අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වන බැවින් මන්දාකිණි හට එය මග හැර සිටීමට හැකියාවක් නොවූ බැවින් මන්දාකිණි ළමා නිවාසයේ මිදුලේ වාහනය නවතා ඇන්ඩ්‍රියා වෙනුවෙන් මිලදී ගත් මල් කලඹද අතට ගෙන වාහනයෙන් බැස සෙමෙන් සෙමෙන් ළමා නිවාසය වෙත ඇවිද ආවාය.
” මන්දාකිණි ,පුතේ “
ඇන්ඩ්‍රියා කොහේදෝ සිට මන්දාකිණි වෙත දිව විත් ඇයව වැළඳ ගත්තේ සෙනෙහසිනි. මන්දාකිණි ඇය වෙත ආයාසයෙන් සිනහවක් පා අත වූ මල් කළඹ දිගු කලාය.
” හැපි බර්ත්ඩේ අම්මා “
ඇන්ඩ්‍රියා කෙරෙහි හදවතේ ඇති මහා සෙනෙහසින් යුතුව මන්දාකිණි ඇයට සුභ පැතුවේ ඇන්ඩ්‍රියා ඉතා ආසාවෙන් මන්දාකිණි තෑගි කල ලිලී මල් පොකුරේ හැඩ බලමිනි.
” යන් ”
ඇන්ඩ්‍රියා මන්දාකිණි ගේ අතින් අල්ලා ගෙන ඇයව ළමා නිවාසය තුළට කැඳවා ගෙන පැමිණි අතර කෛලාශ් කුඩා කාලයේ ජීවත් වූ නිවස දෙස මන්දාකිණි බැලුවේ ඕනෑකමිනි. මෙහි ජීවත් වී හැදී වැඩුණු දරුවකු වූ කෛලාශ් වර්තමානයේදී ගෙවනා ජීවිතය ආඩම්බර විය යුතු එකකි. අනෙක් අතට ඔහුට එම ජීවිතය අත්කර දුන් දෙමව්පිය යුවළද දෙවියන් හා සමානය. තම කුසින් නොවැදුව පුත්‍රයෙකු තමා ගේ කර ගෙන ජීවිතය පුරා ඔහුට නිදහසේ පියඹන්නට හැර බලා හිඳින ඔවුන් දෙදෙනා සැබැවින්ම දෙමව්පියන් යැයි මන්දාකිණි සිතුවේ හදවත රිදී යද්දීය.
බලාපොරොත්තු වූවාටත් වැඩියෙන් දානයේ වැඩ කටයුතු ඉතා හොඳින් අවසන් වූ අතර ත්‍යාග බෙදා දුන් පසුව ආසාවෙන් ඒවා දිගහැර බලන කුඩා ළමුන් දෙස ඇන්ඩ්‍රියා බලා උන්නේ කඳුළු පිරි දෑසිණි. කෛලාශ් ද ඒ හා සමානම හැඟීමකින් යුතුව කුඩා දරුවන් දෙස බලා උන්නේ තමා ගෙවූ මෙවැනිම අතීතය සිහිපත් කරමිනි.
සියල්ල අවසානයේ දී දහවල් ආහාරය වෙනුවෙන් Hotel Sunzet වෙත යාමට දෙමව්පියන් දෙදෙනාට සහ මන්දාකිණි හට කෛලාශ් ආරාධනා කළේය. ඒ ආරාධනාව පිළිනොගෙන සිටීමට නොහැකි වූ බැවින් මන්දාකිණි ඇගේ වාහනයෙන් Hotel Sunzet බලා පිටත් වූ අතර කෛලාශ් දෙමව්පියන් දෙදෙනා සමඟින් ඔවුන්ගේ වාහනයෙන් රියදුරු සමග හෝටලය බලා පිටත් වූහ.
සුන්දර නිල් පැහැයෙන්ද, අව් රශ්මියේ රත් පැහැයෙන්ද හැඩ ගැන්වී රළ බිඳෙමින් තිබුණු මුහුද පෙනෙන මානයේ මේසයක ඇන්ඩ්‍රියා සහ එරික් ,කෛලාශ් සහ මන්දාකිණි සමඟ දහවල් ආහාරය ලබා ගත්තේ උපන්දිනය නිමිත්තෙන් සර්ව සම්පූර්ණ දානමය කටයුත්තක් සිදුකර අවසන් කිරීමේ සන්තෝෂයද භුක්ති විඳිමිනි.
උපන්දිනය නිමිත්තෙන් මව්බිමේ සිටින මිතුරියන් කිහිප දෙනෙකු මුණ ගැසීමට ඇන්ඩ්‍රියා සවස් වරුවේදී සැලසුම් කරගෙන සිටි බැවින් ආහාර ගෙන අවසන් වූ සැණින් ඇය එරික් සමඟ හෝටලයෙන් පිටව ගියේ නැවත මන්දාකිණි හට ස්තූති කරමිනි.ඔවුන් දෙදෙනා පිටව ගිය පසුව මන්දාකිණි අසුනින් මහ මුහුද වඩාත් පැහැදිලිව පෙනෙන මානයකට පැමිණ බංකුවක් මතින් වාඩි වූවාය.
පසුගිය දින කිහිපයේදී කාර්යබහුල වූ බැවින් අත්‍යවශ්‍ය යමක් හැරුණු කොට වෙනත් කිසිවක් මන්දාකිණි සමඟ කතාබහ කිරීමට අවස්ථාවක් නොවූ බැවින් කෛලාශ් කෑම මේසය පිරිසිදු කිරීමට සේවකයකු හට නියම කර මන්දාකිණි වාඩි වී හුන් බංකුව වෙත ගොස් ඇය අසලින්ම වාඩි වූයේය. කෛලාශ් තමා අසලට පැමිණ වාඩි වූවද මන්දාකිණි නොසෙල්වී මහ මුහුද දෙස බලාගත්වනම උන්නේ හිස් හැඟීමෙනි.
උදෑසන සිටම මන්දාකිණි වෙතින් යම් වෙනසක් නිරීක්‍ෂණය කළ කෛලාශ් තමා පැමිණි බව වත් නොතකා නිහඬව මුහුද දෙස බලා හිඳින මන්දාකිණි දෙස මද වේලාවක් බලා උන්නේය.
” මන්දාකිණි “
කෛලාශ් මුහුදේ රළ බිඳෙන හඬ අතරින් මන්දාකිණි හට ඇසෙන සේ මිමිණූ අතර මන්දාකිණි හිස හරවා ඔහු බැලුවේ මහ මුහුද දෙස බලා හිඳි හිස් බැල්මෙන්මය.
” ඔයා අවුලක ඉන්නේ මන්දාකිණි “
මන්දාකිණි කෛලාශ් හට පිළිතුරක් නොදී නැවත ඉදිරිය බලා ගත්තාය.
” මොකද්ද ප්‍රශ්නේ මන්දාකිණි ? ”
මන්දාකිණි දිගු සුසුමක් හෙලුවාය. ජීවිතය සැනසිල්ලේ ගෙවන්නට බලාපොරොත්තුවක් දෝතට ගත් මොහොතේම ලවන් ජීවිතයට පැමිණ ඒ බලාපොරොත්තුව ඉවත ලන්නට කටයුතු කරමින් හිඳියි. ඒ අතර තම දෙමව්පියන් දෙදෙනාද ඔහු ගෙ පසින් සිට ගෙන තමා ගේ හැඟුම් නොසලකා හරිමින් සිටියි. ජීවිතය යොමු වන්නේම සැනසීම නොමැති තැන් වලට වුවත් එය අත් හැර දැමීමටද නොහැක. මන්දාකිණි උන්නේ පෙර මෙන්ම මහා පටලැවිල්ලකය. කෑ ගසා හඬන්නට සිත් වුවද එයද කල නොහැකි බවක් හැඟේ.
” මන්දාකිණි ? ”
කල්පනා ලොවක හුන් මන්දාකිණි එවර තිගැස්සී ගොස් තමා අසල වාඩි වී සිටින කෛලාශ් දෙසට හැරුනාය.
” ඔයා මොකක්දෝ වෙන කල්පනාවක නේද ඉන්නේ ? මට කියන්න බැරි දෙයක්ද මන්දාකිණි?”
” ඇයි කෛලාශ් මගෙ ජීවිතේ මට සතුටු හිතන එක දෙයක් වත් වෙන්නේ නැත්තේ ? ”
මන්දාකිණි ගේ හඬ බිඳී ගියේය. ඒ වෙනස හඳුනා ගත් කෛලාශ් ඇය වචනයෙන් නොපවසනා යමක් හදවතේ තබා ගෙන විඳවමින් හිඳින බව තේරුම් ගත්තේය.
” සතුටු හිතෙන දේවල් වෙනකම් බලා ගෙන ඉන්න එකේ කිසිම තේරුමක් නෑ මන්දාකිණි. සිද්ධ වෙන මොකක් හරි පුංචි දේකට වත් සතුටු වෙන එකයි අපි කරන්න ඕනේ. එහෙම නොවුනොත් අපිට ජීවිත කාලෙම සතුටක් විඳින්න වෙන්නෙ නැහැ “
මන්දාකිණි සුසුමක් හෙලා ඉදිරිය බලා උන්නාය.විටෙක සියල්ල අමතක කර දමා මහ මුහුද වෙත දිව ගොස් එහි රැළි අතර සැඟවෙන්නට ද සිතේ. එහෙත් තමාට එවැන්නකට ද නිදහස නැත.
” මං ඔයා ගෙන් දෙයක් අහන්නද කෛලාශ් ? “
මන්දාකිණි කෛලාශ් ව හොඳින් පෙනෙන පරිදි හැරී ඔහු දෙස බලා උන්නාය.
” අහන්න ”
” ඇත්තටම ඇයි ඔයා මාව හොයා ගෙන ලංකාවට ආවේ ? “


