කලුවර රෑ සඳක් වගේ – 4

0
28

“අනේ මන්දන්නෙ නෑ ළමයො ගංවල ඉපදුනාට, උඹලා වගේ ඔය කොලඹ ගිහින් විස්ව විද්‍යාලවල ඉගෙන ගත්තෙ නැතුවට අපිත් ලෝකෙ ගැන යමක් කමක් දන්න මිනිස්සු. අපි මේ ගංවල උන්නට මොකෝ මිනිස්සු ගැන නොදන්නවය කියලද? ඔය ළමයට මේ මොනවයින් අඩුවක්ද ඔය මේ කලින් කසාද බැඳලා දරුවො ඉන්න, තමන්ගෙ තාත්තලගෙ වයසට කිට්ටු වෙන වයසක මනුස්සයෙක්ව කසාද බැඳගන්නෙ?” කියලා ඇහුවෙ අපේ ඉස්කෝලෙ නැන්දා. මම විශ්ව විද්‍යාලෙ යනකම්ම අපේ පවුලෙ උදවිය අතරෙ “උගත්” කියන තැන උන්නෙ ගමේ ඉස්කෝලෙ ඉගෙන ගෙන විද්‍යා පීඨෙ ගිහින් ගමේ ඉස්කෝලෙට පත්වීමක් අරගෙන ආව අපේ ඉස්කෝලෙ නැන්දව විතරයි. මනුසත් සර් එයාගෙ නෝනගෙන් දික්කසාද වෙලා මාස ගාණකට පස්සෙ “අපිට බඳින්න පුළුවන් සැළලිහිණි. ඔයා ඔයාලගෙ ගෙවල්වලටත් මේක දැනුම් දෙන්න නේද?” කියලා මනුසත් සර් කිව්වයින් පස්සෙ මට තවදුරටත් මේ විත්තිය ගෙදරින් හංගගෙන ඉන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ. අනික් අතට ඒ වෙද්දිත් මාව කැම්පස් එක අස්සෙ “මනුසත් සර්ගෙ කරේ එල්ලිච්ච නැට්ටිච්චි” විදියට හංවඩු ගැහිලා තිබිච්ච හන්දා මනුසත් සර්ගෙ කරේ එල්ලිලා මේවයින් ගොඩ යනවා ඇරෙන්න ආපස්සට හැරිලා ගිහිල්ලා “ජීවිතේ අලුතෙන් පටන් ගන්න විදියක්” මට නැති විත්තියත් මම දැනගෙන උන්නා.

“අනේ මන්දන්නෙ නෑ නංගියෙ මාත් ඔය ටිකමයි කිව්වේ. තාත්තගෙ වයසෙ ළමේක් එක්ක කොහොමද ළමයො ඔය ළමයා දීග කන්නෙ? අනික දෙවනි කසාදෙ නේද? දෙවනි කසාදයක් කරගන්නවා කියන්නෙ ළමයො තමන්ට හැමදාම ඒ මනුස්සයගෙ ජීවිතේ අස්සෙ දෙවනි තැන තමයි හම්බෙන්නෙ”  කියලා අම්මා කියද්දි උනත් මම උන්නෙ මගෙයි මනුසත් සර්ගෙයි ආදරේට එල්ලවෙල අම්මලගෙ ගතානුගතිය ගල් මුල් ප්‍රහාරවලට ප්‍රති ප්‍රහාර එල්ල කරන ගමන්. මං නිකන් ඒ වෙලාවෙ හිත අස්සෙන් මාව දැක්කෙ “රාමා එනකම් තමන්ව පරිස්සම් කරමු සීතා දේවිව” වගේ.  ඒ හන්දම මට එදා පුලුවන්කම තිබ්බා කවදාවත් නැතුව අම්මටයි නැන්දටයි විරුද්ධව කතා කරන්න.

“වයස කියන්නෙ ඉලක්කමක් විතරයි නැන්දෙ. සර් මට ආදරෙයි. එයා මාව රවට්ටලා යාලු කරගත්තෙ නෑ”

නැන්දා මගේ මූණ දිහා බලාගෙන හිටියේ හරියට මම ලොකු අපරාධයක් කරන්න යනවා වගේ.

“දෙවැනි කසාදයක් කියන්නේ ළමයෝ, ඒ මනුස්සයාගේ ජීවිතේ අතීතය හැමදාම උඹේ ඉස්සරහින් හිටගන්නවා කියන එක. ඒ පලවෙනි ගෑනිගේ හෙවනැල්ල, ඒ ළමයි. උඹට කවදාවත් ඒ මනුස්සයාගේ හිතේ මුල් තැන ගන්න බැරි වෙයි. උඹට තියෙන්නේ එයාගේ අතීතයෙන් ඉතුරු වුණ රොඩු බොඩු විතරයි.”  කියලා නැන්දා හරිම සැරෙන් කිව්වෙ හරියට එයා ඉස්කෝලෙ ඉන්න එයාගෙ ගෝලයන්ව කටෙන් බයගස්සගන්න හදනවා වගේ. නැන්ද සමහරවිට හිතන්න ඇති ඉස්කෝලෙදි ළමයි එයාගෙ වචන වලට බය වුණා වගේ මමත් බය වෙලා එයා කියන දේ අහවි කියලා.

අම්මා හිටියේ සාලේ කෙළවර හිටගෙන දොරෙන් පේන එළිය දිහාව බලාගෙන. “නංගී කියන එකේ ඇත්තක් තියෙනවා දුවේ. ඕක නිකන් හරියට පරණ පොතක ඉතුරු වෙච්ච හිස් පිටු ටිකක් අරගෙන අලුත් කතාවක් ලියන්න හදනවා වගේ වැඩක්.”

ඇත්තටම මට එදා ඒ කිසිම දෙයක් ඇහුණේ නැහැ. මම මටම කියාගත්තේ, “මගේ ආදරේ ඒ හැමදේටම වඩා ශක්තිමත්” කියලා. හැබැයි මං මගෙන්ම හංගපු ඇත්ත තමයි, ඒ වෙද්දී මම හිටියේ ආදරේකට වඩා “බේරුම්කරුවෙක්” හොයමින් හිටපු එක කියන එක. කැම්පස් එකේ කොරිඩෝ දිගේ මං ගැන පැතිරිච්ච කතා, අර නැට්ටිච්චි කියන ලේබල් එක… මට ඒ හැමදේකින්ම ගැලවෙන්න තිබුණ එකම මග මනුසත්ගේ පපුව අස්සේ හැංගෙන එක විතරයි කියලා තමයි මං එදා හිතුවෙ.

“ඇයි සර් මට මෙච්චර ආදරේ?” කියලා මම එදා ඇහුවම මනුසත් සර් කියපු වචන ටික මට ඒ වෙලාවෙත් මතක් වුණා. එදා වැස්ස දවසෙ, වැස්ස තුරල් වෙන්නෙ නෑ කියලා තේරිච්ච තැන මනුසත් සර් ආවා මාව බෝඩිමට ඇරලවලා යන්න. එදා තමයි සර් මාව මුලින්ම තුරුලු කරගත්තෙ.ඒ වැළඳගැනීම රොමැන්ටික් වුණත්, ඒකේ තිබුණේ මාව හුස්ම හිරකරන විදියේ තද කිරීමක්. මම හිතුවේ ඒක ආදරේ උතුරලා යන හන්දා දැනෙන දෙයක් කියලා.

“He looks for love… Something beautiful enough to protect, gentle enough to guide, grateful enough to belong.”

එයා මගෙන් බලාපොරොත්තු වුණේ එයාට “කෘතගුණ දක්වන” ආදරයක් කියන එක පස්සෙ කාලෙක මට මහ වදයක් උනාට එදා සර්ගෙ කටෙන් මං අහපු ප්‍රශ්නෙට උත්තරේ විදියට ඒ වගේ බරසාර වචන ටිකක් එළියට ආවම මං හිතුවෙ ඒක තමයි සිරාම ආදරේ කියන්නෙ කියලා. “පරිණත පිරිමියෙක්ගෙ ආදරේ ලබන්න ගැහැණියක් වාසනාවන්ත වෙන්නෝන” කියලා ඒ දවස්වල මහ ලොකුවට මට එක එක කතන්දර කිව්ව උන්ට පේන්න ෆේස්බුක් එකේ ශෙයා කරද්දි මට ඒකේ බරක් තේරුණේ නැහැ.

“නැන්දේ… සර් මාව බලාගනියි. එයා නරක මනුස්සයෙක් නෙවි පරිණත මනුස්සයෙක්. කැම්පස් එකේ ඉන්න තාම අනාගතේ ගැන හරි පැහැදිලි බවක් නැති කොල්ලෙක් එක්ක යාලුවෙනවට වඩා හොඳ නැද්ද පරිණත මනුස්සයෙක්ව කසාද බඳින එක,” කියලා මම නැන්දා එක්ක බක පණ්ඩිතයා වගේ කිව්වෙත් අන්න ඒ ආඩම්බරෙන්.

“පරිණතයි කියන්නේ ළමයෝ, උඹව හීලෑ කරගන්න දන්නවා කියන එකට. උඹේ තරුණකම දිය කරලා ඒ මනුස්සයාගේ පාලුව මකාගන්න උඹව පාවිච්චි කරයි. බලපංකෝ තව අවුරුදු පහක් දහයක් යද්දී උඹට උඹවම නැති වෙලා තියෙන හැටි. එදාට මතක තියාගනිං ආපහු හැරෙන්න උඹට පුලුවන් නොවෙන විත්තිය. මොකෝ ඔය යන වේගෙට ලිහිණි ආයෙ එන්න නං ලේසි වෙන්නෙ නෑ විශේෂයෙන්ම කෙල්ලෙක්ට

තීරණයක් ගන්න එක ලේසියි ලිහිණි. ඒත් ඒ ගත්ත තීරණේ අස්සෙ ජීවත් වෙන එක තමයි අමාරුම දේ.”

උඹ කියනවා ඔය මනුස්සයා උඹට ආදරෙයි කියලා. මම ඒක නෑ කියන්නෙ නෑ. හැබැයි, ආදරේ කියන්නෙ අපිට ලැබෙන දේවල් වලින් විතරක් මනින්න පුළුවන් දෙයක් නෙවෙයි. ආදරේ කියන්නෙ, ඒ බැඳීම අස්සෙ උඹට උඹවම කොච්චර නැති වෙනවද කියන එකට. ලැබෙන දේවල් දිහා වගේම උඹ දන්නෙම නැතුව නැතිවෙලා යන දේවල් ගැනත් හිතපං” කියලා නැන්දා කියද්දි ඇත්තටම මට ඒ වෙලාවෙ දැනුණෙ ලොකු කේන්තියක්.

“ඇයි, මට මොනවද නැති වෙන්නෙ?”

මෙච්චර වෙලා සද්ද නැතුව උලුවස්සට හේත්තු වෙලා උන්න අම්මා මගේ දිහා කෙලින්ම බලන්න ඇති එතකොට. ඒ බැල්ම දිනන්න හදන බැල්මක් නෙවෙයි, මට යමක් තේරුම් කරලා දෙන්න හදන අම්මා කෙනෙක්ගෙ බැල්මක් කියන එක තේරිච්ච නිසාමද මන්දා, ඒ බැල්ම මම මග ඇරියා.

“තමන් කරගත්තෙ මහ අපරාදයක් කියලා තේරුම් ගන්න වගේම ඒ වැරදිච්ච ඒවයින් පාඩම් ඉගෙනගෙන හැදෙන්න තියෙන කාලෙ උඹට නැති වෙයි.”

සමහර කූඩු හදන්නෙ හරිම පරිස්සමට දුවේ, ඒක කොච්චර පිළිවෙලට හදනවද කියනවා නම්, ඒක අස්සෙ ඉන්න කුරුල්ලා හිතන්නෙ තමන් ඒ කූඩුවෙ ඉන්නෙ තමන්ගෙම කැමැත්තෙන් කියලා.

උඹ එයාව බැන්දොත්, උඹ වැරදියි කියලා මම කියන්නෙ නෑ, අපි උඹව පවුලෙන් එළියට ඇදලා දාන්නෙ. මොන මෝඩකම කරත් උඹ අපේ පවුලෙ පැටියෙක් කියන එක අපිට අමතක කරන්න බෑනෙ වැඩිහිටියො විදියට. හැබැයි ලිහිණි, උඹ හිතන්න එපා උඹ මේ පටන් ගන්න යන්නෙ අලුත්ම කතාවක් කියලා. උඹ මේ කරන්න යන්නෙ වෙන කෙනෙක් ලියලා ඉවර කරපු පොතක මැද හරියෙන් පංගුකාරයෙක් වෙන එක විතරයි.”

“ඔයාලා බය මිනිස්සු කියන කතන්දර වලටනෙ නැන්දෙ? මිනිස්සු අපි හොඳට හිටියත් දේවල් කියනවා. නරකට හිටියත් දේවල් කියනවා. අනික මම පොඩි ලමේක් නෙවෙයිනෙ දේක හරි වැරැද්ද තේරුම් ගන්න බැරි වෙන්න”

“අපිට බයත් ඒකමයි. පොඩි ළමයෙක්ව අපිට රකින්න පුළුවන්. හැබැයි ගෑනුන්ට උස් මහත් වෙද්දි තමන්ව රැකගන්න වෙන්නෙ තමන්ටමයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here