භානුකීගෙන් හිස් වෙච්ච මනුසත් සර්ගෙ ලස්සන මාළිගාවට ගොඩ වෙනකම් මම හිතාගෙන උන්නෙ මම දින්නා කියලා. හැබැයි ඒ දින්නා කියන හැඟීම මගෙ හිත අස්සෙ තිබ්බෙ මම මනුසත් සර්ගෙ වාහනේ ඉස්සරහා සීට් එකෙන් එළියට බැහැලා, ඒ ගෙදර ඇතුලට අඩියක් තියෙනකම් විතරයි. ඒ ගේ අස්සෙ හිරවෙලා තිබිච්ච පාලුව එක්ක මට දැනුනෙ නාස් කුහර වලින් මගේ පපුව අස්සට ගියපු මූසල කමක් මගෙ හුස්ම හිර කරා වගේ කියලා.
ඒ තමයි මට “මං හිරවෙලා” කියලා දැනිච්ච පලවෙනිම වතාව.
මනුසත් සාලේ ලයිට් එක දාලා මගේ අතින් අල්ලගත්තා.
“ලිහිණි… අද ඉඳන් මේක ඔයාගේත් ගෙදර. දැන් ඉතින් මෙච්චර දවසක් අරයා මෙයා මොනවද කිව්වෙ, කාට බයෙන්ද ජීවත්වෙන්න ඕන කියන සැක බිය ඔක්කොම අමතක කරලා රැජිනක් වගේ ඉන්න,” එයා කිව්වේ මගේ නළල ඉඹලා.
රැජිනක්?
මම වටපිට බැලුවා ඒ වචනෙ ආයෙ ආයෙ හිත අස්සෙන් රිපීට් කරන ගමන්. ඒ විසාල සෝෆා සෙට් එක, බිත්තිවල එල්ලලා තිබුණු මිල අධික පින්තූර, හැමදේම හරිම පිළිවෙළයි. හැබැයි ඒ පිළිවෙළ ඇතුළේ තිබුණේ මට නොහුරු “මළගිය” ගතියක්.
කාමරේට ගියාට පස්සේ මම ඇඳුම් ටික අල්මාරියේ අස් කරන්න හදද්දී තමයි මම දැක්කෙ තාම ඒ අල්මාරිවල භානුකී අත ඇරලා දාලා ගියපු ඇඳුම් එහෙම තියෙනවා කියන එක. මනුසත් සර්ගෙයි භානුකීගෙයි රාමු කරපු වෙඩින් ෆොටෝ එහෙමත් ඒ අල්මාරි අස්සෙ තියෙනවා කියන එක. මං ඒවා දැකපු එක මගෙ හිත රිදෙන්න හේතුවක් කියලා හිතිච්ච හන්දද මන්දා මං කබඩ් එක අස් කරන එකෙන් මනුසත් මාව නතර කරා. “ඕවා පස්සේ කරමු ලිහිණි. එන්න මගේ ළඟට.” එයා මාව තුරුළු කරගත්තේ ආදරෙන් වගේම මාව මිරිකලා දාන්න හදන අයිතිවාසිකමකින්. ඒ වෙලාවේ මට මතක් වුණේ අම්මා කිව්වා වගේ මම මේ අඩිය තිබ්බේ අලුත් කතාවකට නෙවෙයි, වෙන කෙනෙක්ගේ පරණ පොතක මැද හරියට කියන එක. ඒ උනාට ඒ වෙද්දිත් මට එතනින් ගැලවිලා නිදහස් වෙලා උන්න උවමනාවක්වත් පුළුවන්කමක්වත් තිබ්බෙ නෑ. මට ඕන උනේ මම යනවා වෙනුවට, මෙතන අවුරුදු ගානක් පැලපදියම් වෙලා උන්න භානුකීගෙ මතක මකලා දාන්න.
පහුවදා උදේ මනුසත් වැඩට ගියාට පස්සේ මම මුළු ගේම පීරන්න ගත්තෙ එහෙම හිතාගෙන. මට ඕන වුණා මේ ගෙදරින් භානුකීව අයින් කරලා දාන්න. ඇත්තටම භානුකීගේ කියලා මහ ලොකු දෙයක් එළියක පහළියට තිබුණේ නැහැ. මනුසත් ඒවා ඔක්කොම අයින් කරලා තිබුණා. හැබැයි ඒ ගේ ඇතුළේ තිබුණ අමුතු “සැකැස්ම”, ඒ කුස්සියේ බඩු තියලා තිබුණ විදිය පවා කියන්නේ භානුකීගේ තේරීම් ගැන කියන එක මට තේරුම්ගන්න අමාරු උනේ නෑ. මම අලුත් කෙනෙක් වුණාට මම ඇවිදින්න ඕන වුණේ භානුකී හදපු අඩිපාරවල් උඩමයි. මොකෝ ඒ සමහර අඩි පාරවල් වෙනස් කරන්න මනුසත්ට උවමනා වෙච්ච නැති හන්දා.
“ලිහිණි… ඔයා මිනිස්සුන්ගෙ කතන්දර අහගෙන තවදුරටත් කැම්පස් යන්න ඕන නෑ. මොක උනත් ඔයා දැන් මගේ වයිෆ් නෙ. එහෙම එකේ මගේ වයිෆ් ට එක එක උන් තුට්ටු දෙකේ කතන්දර කියන එක මම ඉවසනවා කියලා මිනිස්සු හිතාවි මම තව දුරටත් ඔයාට කැම්පස් යන්න දුන්නොත්. ඔයාටඇත්තටම කැම්පස් ගියේ නෑ, ජොබ් එකක් කරේ නෑ කියලා මම කිසිම අඩුපාඩුවක් කරන්නෙ නෑ. ඒ උනාට ඔයා ඉගෙන ගන්න ආස හන්දා මම ඔයාට මේ කෝස් එකම ප්‍රයිවට් කරන්න හදලා දෙන්නම්. දැන් ඕන තරම් ඔන්ලයින් ඩිග්‍රි ප්‍රෝග්‍රම්ස් තියෙනවනෙ. ඔයා මේ ගෙදරට වෙලා ගෙදර වැඩ බලාගෙන රැජිණක් වගේ ඉන්න. මං ආසයි මගෙ කෙල්ල රැජිණක් වගේ ඉන්නවට” කියලා මනුසත් දවසක් කියනකනුත් මට ඒක හිරකිරීමක් කියලා හිතුණේම නෑ.
මොකද ඒක එයා මට කිව්වේ ඒ තරම් ආදරණීය විදියට.
‘මාව රකින්නයි එයා මෙහෙම කරන්නේ’ කියන මෝඩ සිතුවිල්ලෙන් මම ඒ රන් කූඩුවේ දොරවල් මමම වහගත්තා. හැබැයි ඒ කූඩුව ඇතුළේ මම හුස්ම ගත්තේ මනුසත් අතඇරලා දාපු භානුකීගේ මතක සුවඳ එක්ක. මම එයාගේ ශර්ට් එක අයන් කරත්, එයාට විශේෂ කෑමක් හදලා දුන්නත් “භානුකී නම් කරන්නෙ මෙහෙම” කියලා කියපු මනුසත් මං භානුකීව අපේ ජීවිත වලින් එළියට අතුගාලා දාන්න හදපු හැම වතාවකම එයාට ගේ අස්සට, අපි අස්සට අඬ ගහලා තිබුණා.
ඇත්තටම මනුසත් මාව හිර කරලා තිබුණේ එයාගේ පහසුව වෙනුවෙන් මිසක් මගේ ආරක්ෂාවට නෙවෙයි කියලා මට තේරුණේ හරිම හිමින්. මම අලුතෙන් මොනවා හරි දෙයක් කරන්න හැදුවොත්, ඒක මනුසත්ගේ “භානුකී හුරු කරපු” ලෝකෙට බාධාවක් වුණා. සාලේ තිබ්බ මල් පෝච්චියක් අඟලක් එහාට කරත්, මනුසත් ඒක ආයෙත් තිබ්බ තැනටම තියන්නේ හරියට ඒක තමයි මේ ලෝකේ එකම පිළිවෙළ වගේ. මම මනුසත්ගේ ජීවිතේ අලුත්ම පරිච්ඡේදය වෙන්න දඟලද්දී, මනුසත් මාව පාවිච්චි කළේ එයාගේ පරණ පොතේ ඉරිච්ච පිටු අලවන්න විතරයි.
සමහර වෙලාවට මට හිතුණා මම මේ ගෙදර ඉන්නේ භානුකීගේ සෙවනැල්ලට පණ දෙන්න ආපු රූකඩයක් විතරයි කියලා. මගේ ඇඳුම් පැළඳුම්, මගේ කතාව පවා මනුසත්ට ඕන විදියට හැඩගැස්සෙද්දී මට මගේම අනන්‍යතාවය අමතක වෙලා ගියා. මම හිරවෙලා ඉන්නේ ආදරේ නාමයෙන් හින්දා මට ඒක ගැන කාටවත් පැමිණිලි කරන්නත් බැරි වුණා. මම මගේ පියාපත් මනුසත්ගේ අත් දෙක උඩ තිබ්බේ එයා මාව අහසට අරන් යයි කියලා හිතාගෙන වුණාට, එයා කරේ ඒ පියාපත් හෙමින් හෙමින් නවාලා ලස්සන පෙට්ටියක දාලා ලොක් කරපු එක විතරයි.
සමහර හිරවීම් අපි පිළිගන්නේ හරිම කැමැත්තෙන්. මොකද ඒවා එන්නේ ‘ආදරේ’ කියන ලස්සන දවටනයක එතිලා හින්දා. මනුසත් මාව ඒ ගේ ඇතුළේ හිර කරලා තිබ්බේ එයාගේ තනිකම මකාගන්න මිසක් මට ආදරේට නෙවෙයි කියලා මට තේරෙන්න ගත්තේ සෑහෙන කාලෙකට පස්සේ.
“මනුසත්…” මම එයාගේ පපුවට තුරුළු වෙලා හෙමින් ඇහුවෙ අන්න එහෙම හිරවීමක් අස්සෙ මාව යටට යටට ඇදිලා ඇදිලා යද්දි.
“ම්ම්ම්ම්” එයා උන්නෙ ඇස් පියාගෙන.
“ඔයා මගේ විතරයි නේද?” මම ඇහුවේ මගේ හිතේ තිබිච්ච ආදරේ වචන වලට පෙරළලා ඒ ආදරේම ආයෙ මනුසත්ගෙන් පෙරළා බලාපොරොත්තු වෙන ගමන්.
මනුසත් කරේ මං අහපු ප්‍රශ්නෙට හිමින් හිනාවෙච්ච එක. එයා මගේ නළල ඉඹලා මාව තවත් එයාගෙ ඇඟට තද කරගත්තා.
“මේ වෙලාවෙ මං ඔයාගෙ විතරයි ලිහිණි…”
“මේ වෙලාවෙ විතරයි කිව්වෙ?” මං ඇහුවෙ ඇඳේ වාඩිවෙලා. “අනිත් වෙලාවට ඔයා කාගෙද?”
මනුසත් සර් ඇස් ඇරලා මං දිහා බැලුවේ හරිම පරිණත, ටිකක් උපහාසාත්මක බැල්මකින්. හරියට මම අහපු ප්‍රශ්නය හරිම බොළඳයි වගේ.
“ඔයාට ඉතින් හැම මොහොතකම මාව අයිති කරගන්න බෑනෙ ළමයො. කැම්පස් එකේදි මාව අයිති ඒ ළමයිට. එයාලා මගෙන් ඉගෙන ගන්නවා. මට එයාලා ගැනත් වගකීමක් තියෙනවනෙ. අනික මොක උනත් තාම භානුකීටයි මගෙ දරුවන්ටයිත් මාව අයිතිනෙ.”
අම්මා එදා කිව්වා වගේම මම වැටිලා තියෙන්නේ ණයකට හිලව් වෙච්ච බැඳීමකට කියලා මට තේරුනේ මනුසත්ගෙ ඒ වචන එක්ක. මනුසත්ට භානුකීව අමතක කරන්න බැහැ කියන එක එයාගේ අතීතෙ, එයාගේ දරුවෝ, එයාගේ පුරුදු මේ හැමදේම අස්සේ භානුකී තාමත් පණපිටින් ඉන්නවා කියන එක මම ඉන්නේ ඒ අතරින් ඉතුරු වෙච්ච පොඩි කාලය පාවිච්චි කරන්න විතරයි කියන එක මගෙ මුළු සර්වාංගෙම හෙල්ලුවා. මගෙ මුළු ආත්මෙටම රිද්දුවා.


