සඳ දිය දහරා – 49

0
5688

“ටිකක් හෙමින් කතා කරමු දරුවෝ. මේ මං වැඩ කරන තැන. ඔය ළමයා හිතේ ආවේගෙට කෑ ගහලා ගියාට මම හෙටත් මෙතනට ඇවිල්ලා වැඩ කරන්න ඕනේ..”

“හිතේ ආවේගෙට කෑ ගහන්න විතරක් නෙමෙයි. මට මෙතන ගිනි තියලා දාන්න වුණත් පුළුවන්.”

“අපේ හිත් වල තියෙන ප්‍රශ්න වලට අනුන්ගේ තැන් ගිනි තියලා හරියන්නෙ නෑනෙ දරුවෝ. මීට මාස එකහමාරකට දෙකකට කලින් මනුජිත් පිට රටකට යනවා කියලා අපේ ගේ විකුණලා සල්ලිත් අරගෙන ගියා. දැන් සති දෙකකින් විතර මිනිහ ගැන ආරංචියක් නෑ. මනුජිත්ගේ අම්මත් ඒ නිසා ටිකක් අසනීපෙන් ඉන්නේ. මේ දරුවා ආවෙ මොනව හරි චෝදනාවක් අරගෙනනම් මට කියන්න තියෙන්නේ ඒ කිසිදේකට අපිට කිසිම දෙයක් කරන්න බෑ කියලා. මගේ දරුවා තමයි. ඒ උනාට දැන් ඒ ඉන්නේ අපි කිසිම කෙනෙක් කියන දෙයක් කනකට ගන්නෙ නැති දරුවෙක්.”

“අංකල් දන්නවද මනුජිත් පහුගිය කාලේ ඇවිල්ල හිටියේ අපේ ගෙදර කියලා.”

“මං ඔය ළමයව කලින් දැනගෙන හිටියේ නැහැනේ. මිනිහා මට මුහුණ දෙන්න මම ඉන්න වෙලේක ගෙදර ආවෙත් නෑ. මගේ නෝනට කියල ගිහින් තිබුණා යාළුවෙක්ගෙ ගෙදර හැංගිලා ඉන්නවා කියලා.”

“අංකල් මමත් මනුජිත් එක්ක කැම්පස් එකේ ඉඳපු කොල්ලෙක්. අපේ ෆැකල්ටි දෙකක්. මටත් කීප දවසේ මනුජිත් ඒ කාලේ එයාට ඉඳපු ඔය ගර්ල්  එක්ක මුණ ගැහිලා තිබුණා. මං හිතන්නේ යාළුවෙක්ගෙන් ටෙලිෆෝන් නම්බර් එක ඉල්ලගෙන තමයි ඉස්සර වෙලාම මට කතා කළේ. එයාගේ වයිෆ්ගේ මාමා කෙනෙක් එයාව මරන්න බලාගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ. ඒ නිසා ඌට උදව්වක් විදිහට තමයි මං අපේ ගෙදර නවාතැන් දුන්නෙ අංකල්.”

“ඔව් පුතා එහෙම උදව්වක් කරන්න ඇති. හැබැයි ඉතින් මේ විදිහට කේන්තියෙන් ඇවිල්ල කෑ ගහන්න මම දන්නේ නැහැ පුතාට මොන විදිහේ වංචාවක් කරලද මේ මිනිහා එතනින් පිට වුණේ කියලා.”

“අන්කල් මගේ කතාව ඇහුවට පස්සේ කියන්න මගේ කේන්තිය සාධාරණද අසාධාරණද කියලා.”

“කියමු බලන්න දරුවෝ…”

“මූ අපේ ගෙදරින් ගිහින් තියෙන්නෙ නිකං නෙමෙයි. මගේ නංගිත් අරගෙන. අන්කල් බොහොම වැදගත් මනුස්සයෙක් කියලා මට බැලූ බැල්මටම තේරුණා. ඒ උනාට මට කරන්න දෙයක් නෑ අංකල්.”

ඔහුට මඳක් සන්සුන් වන්නයැයි  පැවසුවත් ඒ හඬ සන්සුන් කර ගැනීමේ හැකියාවක් සුමනසේකරට වූයේ නැත. එනිසාම ඔවුනට  මඳක් එහාට වන්නට අල සහ ලූණු ගෝනි බාමින් උන් කොල්ලන් දෙදෙනාට ඒ කතාබහ  ඇසුණු බව විශ්වාසය. 

“අපි දැන් ඉන්න ඇනෙක්සිය තියෙන්නේ මේ ළඟ. ටිකක් එහෙට ගිහිල්ලා කතා කරමු පුතා.”

ඒ වන විටත් සුමනසේකර උන්නේ වෙව්ලමින්ය. තවදුරටත් ඔහු නිසා සිදුවන මේ අකටයුතුකම් දරා ගත හැකි කමක් වූයේ නැත.

“අන්කල් මං මේ සතුටු සාමීචි පවත් වන්න ආපු ගමනක් නෙමෙයි. ඌ කොහේ හරි ඉන්නවනං ඌව හොයාගෙන මගේ නංගිව අරගෙන යන්න ආවේ.”

“මනුජිත්  ඉන්න තැනක් දන්නවනං ඒ ගැන පුතාට කියන්න මං දෙපාරක් හිතන්නෙ නෑ. පුතා ඔය ටික ඔය විදිහටම මනුජිත්ගේ අම්මා ළඟට ගිහිල්ල කියනවනං ඒක ලොකු උදව්වක්. මොකද මට දැන් ඕනේ මට දරුවෙක් නෑ කියලා හිතල හිත හදාගන්න. ඒ උනාට ආයේ සැරයක් අඩුපාඩු කියාගෙන ආවොත් ඉතුරු වෙලා තියෙන හට්ටි වලන් ටික විකුණලා හරි මගේ නෝනා ඔය ළමයට සල්ලි දෙන්න බලනවා.”

එසේ පවසද්දීත් සුමනසේකරගේ දෑස් වූයේ කඳුළින් බරවය. එනිසාම මනුජිත් සොයා ආ සහන්ට ඉවත බලන්නට සිතුනේ නැත. මේත් තාත්තා කෙනෙකි. ඔහු හිස වනා සුමනසේකරට එකඟ වූයේ එනිසාය. මුදලාලිගෙන් අවසර ලබාගත් සුමනසේකර තම බෑගය අතට ගනිද්දී,

“තමුසෙ ඔය ඔක්කොම ප්‍රශ්න එක පාර විසඳගෙන එනවා. එහෙම නැතුව මෙතන වැඩ කරන්න බෑ. තමුසෙගේ ඔය පුතා නිසා තමුසෙට නිවනක් නෑ.”යනුවෙන් පැවසුවේය. ඊට පිළිතුරු නොදුන් සුමනසේකර කඩයෙන් පිටවූයේ මහ පොළොවට බර කරගත් දෑස් ඇතුවය. දැන් ඔහු සිටින්නේ අසරණකමේ පතුලේමය. 

“එහෙම යනකම්ම මේ ගැන මුකුත් ඔය ළමයි දැනගෙන හිටියේ නැද්ද.?”

එවර සුමනසේකර සහන්ගෙන් ඇසුවේ ඔහු හා  ඉදිරියට ඇවිද යද්දීය. 

“කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ අන්කල්. මගේ නංගි මේ අවුරුද්දේ ඒ ලෙවල් ලියන්න ලෑස්ති වෙලා හිටියේ. එයා අම්මා නැතුව ගෙදරින් එළියට බැහැපු කෙනෙක් නෙමෙයි. මමයි අයියගෙන් පස්සේ අපිට හිටියේ නංගි. අපේ ගෙදර හැමෝගෙම ආදරේ වුණේ එයා. නංගි ලියුමක් ලියලා ගිහින් තිබුණා මනුජිත්  එක්ක යනවා කියලා. ඒ විස්තරය දැනගත්තට පස්සේ නංගිගේ යාළුවා තමයි කිව්වේ මනුජිත් නිතරම ඉස්කෝලේ ළඟටයි එයාගේ ටියුෂන් පන්තිය ළඟටයි ඇවිල්ලා යාළුවෙන්න අහා අහා වද දුන්නා කියලා.”

“ඒ වයසේ සහෝදරියෙක් ඉන්න අයිය කෙනෙක් විදිහට ඔය ළමයට මනුජිත් එහේ නතර කරගන්න කලින් දෙපාරක් හිතන්න තිබුණා. කණගාටු වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් මම දන්නෙ නෑ. ඔය ළමයගෙ නංගිගේ  ජීවිතේ අපරාදේ. මනුජිත් කියන්නේ තවම තමන්ගේ නීත්‍යානුකූල කසාදෙන්වත් වෙන් වෙච්ච කෙනෙක් නෙමෙයි.”

“එතකොට මොකක්ද  අන්කල්  මේවයි ඇත්ත….”

“අපිත් නොදන ඉඳපු ඇත්ත හරි තිත්තයි කියලා මට දැන් හිතෙනවා පුතේ. එයාගෙ කීමට රැවටිලා අපිත් දහරා දුවව බාරගත්තේ නෑ. මාස තුන හතරක් තිස්සේ ඒ දරුවා අපේ ගෙදරට වෙලා  නොවිදිනා දුක් විඳලා මහ ගෙදරට යන්න ගියා. මට දැන් තේරෙනවා අපේම ලේ වලට තමයි අපි ඒ පිටුපෑවේ කියලා. මේ යකා ඩුබායි යනවා කියලා මාස දෙකක් විතර තිස්සේ හැංගිලා හිටියේ ඔය දහරා දුවගේ මාමව හිරේ යවලා.

“මං ඒ විස්තරේ දන්නව අන්කල්. තරහා වෙන්න එපා. මං ගිහිල්ලා පොලිසියේ ඇන්ට්‍රි එකක් දානවා.”

“තමන්ගේ නංගි වෙනුවෙන් ඔය ළමයා ගන්න ඕනම තීරණයකට මං එකඟයි. ගෙදරින් හදන්න බැරි වෙච්ච ළමයා නීතියකින් හරි හැදෙනවනම් තාත්තා කෙනෙකුට ඊට වඩා සතුටක් කොහෙන්ද.”

ඇනෙක්සියෙ දොර අගුළු  ලා තිබිණ.  අඩ නින්දේ උන් ශ්‍රියාලතා දොරගුළු හැර දැමුවේ සුමනසේකර කිහිප වතාවක් කතා කළාට පසුවය. අවිලාවෙහි පැමිණ සිටින සැමියාත් ඔහු අසල සිටින තරුණයාත් දැක දෑස් විසල් කර ගත් ගැහැණිය මදක් පසුපසට වූයේ “නිවසට පැමිණෙන්න”යැයි සුමන සේකර තරුණයාට ඇරයුම් කරද්දීය. 

“කවුද මේ ළමයා…”

“මනුජිත් නතර වෙලා ඉඳලා තියෙන්නේ මේ ළමයාගේ ගෙදර තමයි.”

“අනේ එහෙමද පුතේ? එහෙනම් පුතාගෙන් පණිවිඩයක් අරගෙන වෙන්න ඇති..සති දෙකක් තිස්සේ කෝල් එකක්වත් නැතුව මං හිටියේ පුදුමාකාර බයකින්.”

“පණිවිඩයක් අරගෙන තමයි. පුතා කරපු තවත් හපන්කමක් ගැන කියලා යන්න ඇවිත් තියෙන්නේ.”

සුමනසේකරගේ හඬ කෝපයෙන් යුතු එකක් විය. තරුණයා උන්නේත් සන්සුන් ලීලාවකින් නොවේ. එනිසාම ශ්‍රියාලතා මාරුවෙන් මාරුවට තම සැමියාත් තරුණයා දෙසත් බැලුවේ කිසිවක් සිතාගත නොහැකිවය. 

                                    ****************

“එපා”යැයි පෙරැත්ත කරද්දීත් රමාෂ් දහරාව ඇගේ නිවසටම ඇරල වූවාය. අතින් කටින් බඩු මලු එල්ලා ගත් දියණිය වාහනයෙන් බසිද්දී සෙනරත් ඉදිරියට පැමිණියේ සිනහමුසුවය. 

“කිව්වනං මම එනවනේ එක්කරගෙන යන්න.”

“මට මේ පුංචි දුර එන්න පුළුවන් එකේ ආපහු චූටි මාමට කරදර කරන්නේ මොකටද කියලා හිතුනා.”

“රමාෂ් මහත්තයා ගෙදරට එන්න තේ එකක්  බීලා යමු. අපේ නංගි නම් අද ටිකක් පරක්කු වෙනවා කියලා කිව්වා.”

“සාම නැන්දා දහරට කතා කලා මං හිතන්නේ. චූටි මාමා අර මං  කියපු වැඩේ ගැන පොඩ්ඩක් හොයලා බැලුව නේද?”

“කීප දෙනෙකුට පණිවිඩය දීලා තියෙන්නේ රමාෂ්  මහත්තයා. බොරැල්ල වගේ තැනක ඉතින් ප්ලේස් එකක් හිස් වෙනවා කියලා කියන්නෙත් කලාතුරකින්නේ.”

“ඒ මොකක්ද ඒ…”

දහරා ඇසුවේ රමාෂ්ගේත් චූටි මාමාගේත් කතාවේ කිසිදු තැනක් ඇයට නොතේරුම් වූ නිසාය. 

“උඹ දැම්ම ඒක දැනගන්න ඕනේ නෑ.”

“අනේ…මේ දෙන්නගෙ රහස් හොඳටම වැඩියි දැන්.”

“ඔන්න ඕක තමයි රමාෂ්ම මහත්තයා පිරිමි අපි අතරට ගෑණු ආවහම වෙන්නේ”

“ආ..දාහරා මට ඔයාට කියන්න අමතක උනා. මමයි චූටි මාමයි ලබන සිකුරාදා ජැෆ්නා  යන්න කියලා හිතාගෙන ඉන්නේ. චූටි මාමටත් අපේ අප්පයි අම්මයි හම්බවෙලා කතා කරන්න ඕනේ කියලා කිව්වා. ඔයාගේ ඩිලිවරි  ඩේට් ලං වෙනකොට කොහොමත් මට අම්මයි අප්පයි බලල එන්න යන්න බැරි වෙනවනේ. .”

“අනේ ඒ ගමන යන්නනම් මමත් ආසයි.”

“උඹට පිස්සුද බං කෙල්ලේ…මේ බඩක් උස්සගෙන කොහොමද එච්චර දුර යන්නේ.”

“මාම කියන්නේ ඇත්ත දහරා. මේ වෙලාවේ එච්චර දුර ට්‍රැවල් කරන එක ඔයාට සෙෆ්ටි මදි. අපි බබා ටිකක් ලොකු උනහම කට්ටියම ජැෆ්නා ගිහිල්ලා එන්න යමු.”

රමාෂ්  පැවසූයේ සිනහමුසුවය. අවසන ඔහු නික්ම ගියේ සෙනරතුත් දහරාත් මළ බැඳී ගිය ගේට්ටුව අසල බලා සිටියදීමය. 

සෙනරත් ආපසු නිවස තුළට ඇවිද ගියත් දහරා තත්පර කිහිපයක් යනතුරුම ගේට්ටුව අසලට වී බලා සිටියාය. ජීවිතයේ බොහෝ වෙනස්කම් සිදුවන්නට මහා කාලයක් ගත වූයේ නැත. මේ සිතා සිටි පිළිවෙල නොවූවත් දහරා දැන් දෛවය උරුම කර දුන් ඒ පිළිවෙල භාරගන්නට සූදානම්ය. මහා ලැජ්ජාවකුත්, බියකුත්, වේදනාවකුත් දරාගෙන ලෝකයෙන් සැඟව සිටි ඒ කාලය පුදුමාකාර එකක් යැයි දහරාට සිතේ. එදා දහරා මනුජිත්ගේ නිවසට මේ වත්තෙන් පිටව ගියේ කිසිඳු බලපොරොත්තුවක් නොවූ ගැහැණියක සේය. මනුජිත්ගේ පුංචිම හෝ වෙනස්කමක් බලාපොරොත්තුවෙන් හඬමින් දුක්වෙමින් ගෙවී ගිය ඒ කාලය දෛවය ලබාදුන් පුදුමාකාර දඬුවමකි. තමා ආපසු සේකරවත්තට පැමිණියේ ජීවිතයේ ඕනෑම දේකට මුහුණ දෙන්නට සූදානම් වූ ගැහැණියක ලෙස බව විශ්වාසය. එදා සේම මේ මිනිසුන් ආපසු තමන්ව පිළිගනිද්දී දහරාගේ සිතට ඇතිවූයේ සැනසීමකි. හෙට අනිද්දා මෙලොව දකින්නට බලා ඉන්නා දරු පැටියාවත් උස්මහත් කරගෙන ජීවත්වීමට මේ මිනිසුන් හෙට දවසේත් තමාට දිරිය දෙන බව විශ්වාසය. නොමිනිසුන් පිරිසකගෙන් මිදී යළිත් මිනිසුන් පිරිසක් අතරට පැමිණි සතුට සැනසීම මෙවේලෙහිත් ඈ බුක්ති විඳිමින් උන්නාය. හෙට දවසේ මහ මෙරක් නෙලැබුණත් මේ ආදරණීයන් මැද තමා තමාත් දරුවාත් තනි නොවන බව විශ්වාසය.

(යළිත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here