මතකයක සේයා – 55

0
119

විශාල හඬක් නංවමින් දුරකථන ඇමතුම විසන්ධි වූයේ ඇයි දැයි කියා පිළිගන්නට බිය වූ කෛලාශ් මන්දාකිණි ගේ දුරකථනයට එක දිගට ගත් ඇමතුමක් සම්බන්ධ වූයේ ඇමතුම් කීපයක් ගැනීමෙන් බොහෝ වෙලාවකට පසුය. එහෙත් ඇමතුමේ අනෙක් පසෙන් ඇසුනේ මන්දාකිණි ගේ හඬ නොව නාදුනන පිරිමි කට හඬකි.

” මේ නෝනගේ කාර් එක ටිපර් එකක වැදිලා මහත්තයෝ. මේ දැන් ඇම්බියුලන්ස් එකට දැම්මේ. මාත් මගේ බයික් එකෙන් දැන් හොස්පිට්ල් එකට යන්න කියලා මේ. කාර් එක නම් චප්ප වෙලා තියෙන්නේ. නෝනාත් එතනමද මන්දා ” 

කෛලාශ් ගේ දෙපා පණ නැති වී ගෙන ගියේය. මන්දාකිණි හට තමාව හැර යා නොහැක.තමා එයට ඉඩ දිය යුතුද නැත. එහෙත් මේ සිදු වී ඇත්තෙ සිහිනෙකින් වත් බලාපොරොත්තු වූ දෙයක්ද ?

” අ..අනේ.. මං ..දැන් එනවා.. හොස්පිට්ල් එක මොකද්ද ? ” 

දුරකථනයට පිළිතුරු දුන් පුද්ගලයා ගෙන් විස්තර අසා දැන ගත් කෛලාශ් හෝටලයේ වාහනයක් සූදානම් කර ගෙන රෝහල බලා යාමට පිටත් වූයේය. අසුනට හිස හේත්තු කර ගත් කෛලාශ් දෑස් තද කර ගෙන පියා ගත්තේ මන්දාකිණි ගේ සුන්දර රූපය සිහියට නගා ගනිමිනි. ඊළඟ මොහොතේ දී තද කර පියා ගත් දෑස් අගිස්සෙන් කඳුලු පේලියක් රූරා යනු දැනුනද කෛලාශ් එය පිසදා ගන්නට වෙහෙස වූයේ නැත. යම් හෙයකින් මන්දාකිණි ගේ ජීවිතයට අනතුරක් වී ඇත්නම් තමා ගේ ජීවිතයෙන් ද තමා හට පලක් නැති බව ඔහු සිතුවේ විනාඩි ගණනාවක් තුළදී රෝහල ඉදිරියේ නතර කරන ලද වාහනයෙන් බසිමිනි.

රෝහල් සේවකයෙකු ගෙන් විස්තර අසා දැන ගත් කෛලාශ් දැඩි සත්කාර ඒකකය වෙත පියමැන්නේ වෙව්ලන දෙපා වලිනි. තමා පැමිණෙන තුරු හෝ මන්දාකිණි ගේ ජිවීතය රැකී තිබීම පිළිබඳව දෙවියන් හට ස්තූති කරමින් ඔහු දැඩි සත්කාර ඒකකය ඉදිරියේ නතර වූයේය. එහි දොරටුව අසල වූ පුද්ගලයන් කිහිප දෙනා ගෙන් කෙනකු කෛලාශ් වෙත පැමිණියේ අනතුරුවය.

” මේ මහත්තයා අර කාර් එකේ නෝනාගේ.. “

කෛලාශ් ගේ දෑස් යොමු වූයේ එකී පුද්ගලයා ගේ කමිසයේ ගෑවී තිබුණු රුධිරය වෙතය. තමා නිවැරදි නම් , මේ මන්දාකිණි ව රෝහල් ගත කල අයෙකු ගෙන් කෙනෙක් නම් , ඔහු ගේ කමිසයේ මේ ගෑවී තිබෙන්නේ ඇගේ රුධිරය විය යුතුය. 

” මන්දාකිණි ICU එකේ කියලා.. පල්ලෙහායින් කිව්වා.. මං ඒකයි.. මේ.. ආවේ ” 

කෛලාශ් වචන ගලපා ගත්තේ අසීරුවෙනි. ඔහු දෙස තප්පර කීපයක් බලා හිඳි පුද්ගලයා නැවත දැඩි සත්කාර ඒකකය අසලට ගොස් එහි දොරටුවට මෙහායින් වූ අසුන් පේළියේ තබා තිබුණු මන්දාකිණි ගේ දුඹුරු පැහැ අත් බෑගය ගෙන ආවේය. 

” ෆෝන් එකට ආන්සර් කලේ මම මහත්තයෝ. මේ ,නෝනාගේ බෑග් එක.වාහනේ ඇතුළේ තිබ්බේ. කවුරුත් ඕක උස්සන් යන්න කලින් අපි අරගෙන ආවා. ආ ෆෝන් එක ” 

මන්දාකිණි ගේ අත් බෑගය කෛලාශ් අත තැබූ පුද්ගලයා ඔහු ගේ සාක්කුවෙ වූ මන්දාකිණි ගේ දුරකථනය ගෙන කෛලාශ් වෙත පෑවේය.

” නෝනාට පොඩ්ඩක් වත්ම සිහිය නම් තිබ්බෙ නෑ මහත්තයා.සෑහෙන්න ලේ ගිහින් තිබ්බේ. අපි පුලුවන් ඉක්මනට අරගෙන ආවට දොස්තර මහත්තුරුන්ට පින් සිද්ධ වෙන්න හොඳක් උනොත් තමයි ඉතින් ” 

ඔහු පැවසූ කතාවේ සත්‍යයක් ඇති බව කෛලාශ් සිතුවේ ඔහු ගේ කමිසයේ බොහෝ ප්‍රදේශයක් රුධිරයෙන් නැහැවී තිබුනු නිසාය.ඒ දෙස බලන්නට පවා කෛලාශ් තුළ ඇති වූයේ බියකි.

කෛලාශ් දැඩි සත්කාර ඒකකයේ දොරටුව වෙත පැමිණියේ සෙමෙනි. දැන් දැන් එහි තුළ සිටින කවුරුන් හෝ පැමිණ තමා වෙත අසුභ ආරංචියක් පවසනු ඇතැයි සිතමින් කෛලාශ් නතර වූයේය. දොර මත ඇති රවුම් හැඩැති කුඩා වීදුරු කවුලුව අසලට පැමිණි කෛලාශ් සිත තද කර ගෙන ඉන් පෙනෙන දැඩි සත්කාර ඒකකය වෙත දෑස් යොමු කළේය. වෛද්‍යවරුන් සහ හෙදියන් වට වී යුහුසුළුව ක්‍රියාත්මක වී සිටිනවා පෙනෙනු මිසක ඉන් මන්දාකිණි ගේ ඡායාවක් හෝ නොපෙනුනු බැවින් කෛලාශ් ඉන් මෑත් වී ඒ අසලම වූ අසුන් පෙලේ අසුනකට බර වූයේ අත තිබූ මන්දාකිණි ගේ අත් බෑගය එහා අසුනෙන් තබමිනි.

” අපි එහෙනම් යන්නද මහත්තයෝ ? ” 

මන්දාකිණිව රෝහලට ඇතුලත් කර තිබූ පුද්ගලයා නැවත කෛලාශ් අසලට පැමිණියේය.කෛලාශ් කම්පාවෙන් යුතුව ඔහු දෙස බලමින් නැගී සිට ඔහු ගේ දෑතින්ම අල්ලා ගත්තේය.

” ගොඩක් පින්.. මගේ මන්දාකිණි ගේ ජීවිතේ බේරුනොත් ,ඒ ඔයා නිසා “

කෛලාශ් පැවසුවේ වෙව්ලන හඬිනි. අසල සිටියවුන්ගේ පවා හදවත් වඩාත් සංවේගයට පත් වූයේ කෛලාශ් පත්ව සිටිනා තත්ත්වය දැකය.

” නෝනාට මුකුත් වෙන එකක් නෑ මහත්තයෝ. කරන්න ඕන ඔක්කොම දොස්තර මහත්තුරු කරයිනේ. නෝනා කරපු පිනක් දහමක් තියෙනවා නම් මහත්තයා ඒවා මතක් කර ගෙන නෝනට සනීප වෙන්න කියලා දෙයියන්ගෙන් ඉල්ලන්න  “

” එයා කාටවත්ම වරදක් කරපු කෙනෙක් නෙමෙයි.. කාටවත්ම.. “

” නරක වේලාව ආවම ඔහොම තමයි මහත්තයෝ “

බිඳක් හෝ ප්‍රමාද නොවී මන්දාකිණි ව රෝහලට ගෙන ඒම සඳහා කටයුතු කර තිබුණු ඒ කරුණාවන්ත පුද්ගලයාගේ දුරකථන අංකය ඉල්ලා ගත් කෛලාශ් නැවත ඔහුටත් ඔහු සමග සිටි කිහිප දෙනාටත් ස්තුති කරමින් අසුනට බර වූයේ අසරණ වූ සිතිනි. 

තමා මන්දාකිණි හට ආදරය කළා මෙන්ම ඇයද තමා හට ආදරය කළ බව ඇය නොකියා කීවේ අනතුරට ලක් වීමට මොහොතකට පෙරය. කෑ ගසා හඬමින් තම වේදනාව පිට කරමින් හුන් මන්දාකිණි හට තම රථය පාලනය කර ගැනීමට නොහැකි වන්නට ඇත.එසේත් නැතිනම් ඇය හිතාමතාම තම ජීවිතය අවසන් කර දමන්නට සිතන්නට ඇත. එය එසේ නම් ඇගේ ප්‍රාර්ථනාව ඉටු වුවහොත් තමාට අත් වන්නේ සදාකාලික විඳවීමක් බව සිතමින් කෛලාශ් දෑස් තද කර පියා ගෙන බිත්තියට හිස තබා ගත්තේය.

කෛලාශ් ගේ තිගැස්සී දෑස් හැර බැලුවේ සාක්කුවේ වූ ජංගම දුරකථනය නාද වන හඬටය.කෛලාශ් දුරකථනය ඉවතට ගෙන බැලූ අතර ඇමතුම පැමිණෙමින් තිබුණේ ඇන්ඩ්‍රියා ගෙනි.

” අම්මා ” 

කෛලාශ් හැඬුම්බර හඬ අවදි කලේය.

” පුතා.තාත්තයි මමයි ගෙදර ආවා. ඔයා ඩිනර් වලට එනවා නේද ? ” 

” අම්මා.. මං… “

කෛලාශ් ගේ හඬ බිඳී ගිය අතර එකී වෙනස ඇන්ඩ්‍රියා විසින් සැණෙකින් හඳුනා ගත්තාය. 

” පුතා ඔයා හොඳින්ද ? කොහෙද ඉන්නේ?”

ඇන්ඩ්‍රියා කලබල වී විමසූ අතර ඇගේ හඬ ඇසුනු එරික් ද ඇය වෙත පැමිණ විමතියෙන් බලා උන්නේය.

” අම්මා මං.. හොස්පිට්ල් එකේ ඉන්නේ “

” දෙයියනේ.. මගේ පුතේ ඇයි ? ඔයාට.. මොකද උනේ  ? “

” අම්මා.. මන්දාකිණි…. “

කෛලාශ් ගේ උගුරෙහි සිරවී තිබුණු ඉකිය පිටවුනේය. දුරකථනය සවනට තද කර තබා ගෙන කෛලාශ් ඉකි ගසමින් හඬන්නට පටන් ගත්තේ අනතුරුවය.

” පුතේ කතා කරන්න? මන්දාකිණි ට මොකද? අනේ ඒ දරුවා දවලුත් හොඳට හිටියනේ “

දහවලේදී ත් දුටු මන්දාකිණිව සිහිපත් කරමින් ඇන්ඩ්‍රියා ශෝක වූවාය. ඒ ශෝකය දෙගුණ තෙගුණ කලේ දුරකථනයේ අනෙක් පසින් ඇසෙන තම පුතුගේ ඉකි ගැසීමය.

” අම්මා එයාට ලොකු ඇක්සිඩන්ට් එකක් වෙලා… “

” දෙයියනේ ” 

” ගෙනාපු අය කිව්වේ , එයාගේ ජීවිතේ ශුවර් නෑ කියලා..අනේ අම්මා එහෙම උනොත්.. “

කෛලාශ් නතර වූයේය.එවැන්නක් සිතීමට පවා බියය. තමා රෝහලට පැමිණ යම් වෙලාවක් ගත වී තිබුණද තවම දැඩිසත්කාරර ඒකකයෙන් කිසිවෙකු පිටතට පැමිණියේ හෝ කිසිදු පණිවිඩයක් ලැබුණේ හෝ නැත.

” පුතා බය වෙන්නෙපා. එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ. තාත්තායි මායි දැන් එනවා”

ඇන්ඩ්‍රියා දැඩි කම්පනයට පත් වී උන්නේ මන්දාකිණි ඇගේ සිතට දැඩි ලෙස සමීපව හුන් නිසා තම එකම පුතු තුළ ඇය කෙරෙහි වන සෙනෙහස පිළිබඳව හොඳින්ම දන්නා නිසාත් ය. කෛලාශ් කිසිවක් නොකියා බලා හුන් අතර ඊලග නිමේශයේදී මන්දාකිණි ගේ අත් බෑගය තුළ වූ ඇගේ දුරකථනය නාද වනු ඇසුනේය.

” අම්මා.. මං ගන්නම් “

කෛලාශ් මන්දාකිණි ගේ අත් බෑගය තුළ දුරකථනය පිටතට ගත් අතර එහි තිරයේ සඳහන් වූයේ ” තාත්තා ” ලෙසය. තප්පර කිහිපයක් කල්පනා කල කෛලාශ් ඇමතුම ක්‍රියාත්මක කර දුරකථනය සවනෙහි තබා ගත්තේය.

” හෙලෝ ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here