සඳ දිය දහරා – 50

0
164

මනුජිත්යේ මිතුරා විසින් පැවසූ සියල්ල ශ්‍රියාලතා අසා සිටියේ පපුව අල්ලා ගෙනය. වරින් වර ඕ සැමියා දෙස බැලුවේ අසරණ දෑස් වලින්ය. 

“තියෙන හැටියකට තේ ටිකක් බොමු” යැයි සුමනසේකර සහන්ට ඇරයුම් කළත් ඔහු ඊට එකඟ වූයේ නැත. 

“අංකල්ටයි ඇන්ටිටයි වෙලා තියෙන දේ ඇහුවහම මට හරි දුකයි. ඒත් ඉතින් කරන්න දෙයක් නෑ. මට ඕකා අහු උනොත් යහතින් ජීවත් වෙන්න ඉඩ දෙන්නෙත් නෑ. අහිංසක කෙල්ලෙක්ව අමාරුවේ දාලා ඌ අන්තිමට මගේ නංගිවත් අරගෙන පැනලා ගියා. එදා ඉදලා හරියකට අම්මා කෑමක් බීමක් ගන්නේ නෑ. තාත්තා බලා ගත්ත අතේ බලාගෙන ඉන්නවා. මේ වගේ ටවුන්වල නොවුනට අපි ගමේ නම්බුකාර මිනිස්සු. අන්තිමට උදව් කරලා මට හම්බවෙච්ච තෑග්ග තමයි ඒ.

තරුණයා එවේලෙහි පැවසූයේ වේදනාවෙන්ය. 

“මට පුතාගේ ටෙලිෆෝන් නම්බර් එක දීලා යන්න. දෙයක් දැනගත්ත ගමන් මං කෝල් එකක් දෙන්නම්. අපි දෙන්නගෙත් අවසාන කාලේ මේ විදිහට ජීවත් වෙන්න වෙයි කියලා අපි කීයකටත් හිතුවේ නෑ. මේ තරම් නරක මිනිහෙක් වෙයි කියලා හිතාගෙන හදපු දරුවෙක් නෙමෙයි පුතේ මේ. අපිත් ඇහේ මූණේ තියාගෙන බලාගෙන හදපු දරුවෙක් ඔය.”

සුමනසේකර පැවසූයේ බිඳී ගිය හඬකින්ය. ඔහුට එවේලෙහි මැවි මැවී පෙනුනේ දහරාගේ මුහුණය. ප්‍රථම වතාවට තමා වැරදි කාරයෙක්යැයි යන හැඟීම ඒ සිතට වද දෙමින් තිබිණ. මනුජිත්ගේත් ශ්‍රියාලතාගේත් අපමණ ගැරහුම් අවලාද මැද ඈ කිසිවක් සිදු නොවූවා සේ සියල්ල දරා ගනිමින් ජීවත් වූ ආකාරය ඔහුට සිහි වූයේත් ඒ හදිසියේමය. තාත්තා කෙනෙකු ලෙස පිරිමියෙකු ලෙස නිවස තුළ තීරණ ගත්තේ නම් මේසා දුක් ගැහැට විඳින්නට සිදු නොවන බව විශ්වාසය.

මනුජිත්ගෙන් පළිගන්නා බව දිවුරා පොරොන්දු වෙමින් සාප කරමින් සහන් ඇනෙක්සියෙන් නික්ම ගියේ තවත් අඩ හෝරාවකට පමණ පසුවය. 

“මේ මොනවද මහත්තයා අපිට අහන්න සිද්ධ වෙන්නේ…”

“දරුවෝ හරි හමන් විදිහට නොහැදුවොත් දෙමව්පියන්ට මැරෙන්නවත් නිදහසක් නෑ කියලා කියන්නේ ඕක තමයි ශ්‍රියාලතා. එක කසාදෙකින් දික්කසාද නොවී තව ගෑණු ළමයෙක් මේ විදිහට පන්නගෙන ගිහිල්ලා ඒ ළමයගෙත්  ජීවිතේ විනාස කරන්නනෙ මූ මේ හදන්නේ. හේ සාපෙම ඇති අපිටත් මැරි මැරි ජීවත් වෙන්න.”

“මෑණියෝ කිව්වේ දහරා ඒ ජීවිතෙන් ගියාට පස්සේ හොඳක් වෙයි කියලා. මෙහෙම දෙයක් ගැන මෑණියෝ නිකමටවත් කිව්වේ නෑ. 

“අනේ ශ්‍රියාලතා මට පව් පුරවන්න ලෑස්ති වෙන්න එපා. ඔයා මේ  මම දවස පුරාම කුරුටු ගාලා ගන්න තුට්ටු දෙක අරගෙන ගිහිල්ලා ඒ බොරුකාර ගෑනිට පූජාකරලා බොරු අහගෙන හිත සනසවගෙන එනවා කියන එක මම නොදන්නවා නෙමෙයි. එහෙම දැන දැනත් මම නිහඩව හිටියේ ඔයා අම්ම කෙනෙක් නේද කියලා හිතලා. දැන් ඉතින් හම්බවෙන තුට්ටු දෙක ආරක්ෂා කරගන්නවා මිසක්  තව දුරටත් ඔය බොරුකාර මිනිස්සු පස්සේ දුවන්න එපා. උන් දන්නවා අපිට මොනවා හරි ප්‍රශ්න තියෙනකොට තමයි අපි ඒ තැන් වලට යන්නේ කියලා. අපේම කටින් ප්‍රශ්නෙ මොකක්ද කියලා අහගෙන සැනින් සැරේ හිත සනසවන්න බොරු කියනවා. ඔයාම කල්පනා කරන්නකෝ මාස හත අටක් තිස්සේ ඔය මෑණියන්ට සැරින් සැරේ කීයක්නම් පූජ කරන්න ඇත්ද කියලා”

“හනේ මහත්තයා අපි දැන් මොකද කරන්නේ?. මේ දරුවා ඒ සල්ලි වලට මොනවද කළේ…දැන් මේ ගෑනු ළමයා අරගෙන ඇවිල්ලා කොහෙද තියාගෙන ඉන්නේ. අනිත් එක අර ආපු ළමයා දැනගත්තොත් මං හිතන්නේ නෑ අතපය විතරක් කඩලා නතර වෙයි කියලා.”

“අපිට මට්ටු කරන්න බැරි වෙච්ච ළමයා කොහෙන් හරි මට්ටු වෙන්නත් ඕනේ. ඔය කමිසෙ ගන්න පොඩ්ඩක්..”

සුමනසේකර එවේලෙහි පැවසූයේ දිගු සුසුමක් මුදා හරිනා ගමන්ය.

“මේ වෙලාවේ කොහේ යන්නද..?”

“මග ඇරිච්ච යුතුකමක් තියෙනවා. ඒක ඉෂ්ඨ කරලා එන්න යන්න ඕනේ.”

ශ්‍රියාලතා එතනින් එහාට කිසිවක් අසන්නටවත් සුමනසේකර කිසිවක් පවසන්නටවත් උත්සාහ කළේ නැත. දොර අගුළු ලා සිටින්නයැයි  පවසා නිවසින් පිටවීමට ගිය ඔහු ආපසු හැරුනේ සිය දබර ඇඟිල්ලත් දිගු කරගෙනය. 

“මනුජිත් ආපහු ආවොත් ඒ වචන වලට රැවටිලා කිසි දෙයක් කරන්න එපා. ඉන්නේ කොහෙද යන්නේ කොහෙද කියලා අහගෙන මං අන්න අර කැලැන්ඩරේ පිටිපස්සේ ලියපු නම්බර් එකට කතා කරලා අර දරුවට විස්තරේ කියන්න. ඒ ගෑනු දරුවාගේ ජීවිතේ හරි බේරගන්න පුළුවන් වුනොත් ඒක අපිටත් පිනක්..”

සැමියා කුඩා ගේට්ටුවත් වසාගෙන නික්ම යනතුරු බලා උන් ශ්‍රියාලතා යළිත් වරක් පුටුවකට කඩා වැටුනේ සිය ගතේ වාරුව ගිලිහී යද්දීය. සුමනසේකර කුමක් පැවසුවත් ඇගේ සිතෙහි වූයේම මනුජිත්ට දහරාගේ පාර්ශ්වයෙන් කුමක් හෝ ගුරුකමක් කරන්නට ඇතැයි යන හැඟීමය. ඔහු කෙසේ කීවත් යළිත් වරක් මෑණියන් හමුවට යා යුතුයැයි ශ්‍රියාලතා තීරණය කළේ එනිසාය. 

                               **************

පෙරදා රාත්‍රියෙහි නිශාට කතා කරන්නට තරම් වේලාවක් වූයේ නැත. 

‘රමාෂ් හමුවට ගියාදැයි,  දරුවාට කෙසේදැයි’  ඈ අසා තිබූ කෙටි පණිවිඩයට දහරා දීර්ඝ පණිවිඩයක් යැව්වාය.

“අද අපේ සෝෂල් එක. එද්දි කීය වෙයිද දන්නෙ නෑ. මම උඹට හෙට කතා කරන්නම්. නිදි මරන්නෙ නැතුව නිදාගනින්.”

අවසන දහරාට පිළිතුරු ලැබුනේ  ඒ අයුරේ කෙටි පණිවිඩයකින්ය.

රමාෂ් සේවය කළ පුද්ගලික රෝහලේම තමාට දරුවා ලැබිය යුතු යැයි ඔහු පවසන බව සාමා හා පවසද්දී ඈ දෑස් විසල් කර ගත්තාය. රීටා පවා දහරා දෙස බැලුවේ පුදුමයෙන් මහත් වූ දෑස් ඇතුවය. චූටි මාමා පමණක් හිනැහෙමින් බලා සිටියේය.

“එහෙම ඕනේ නෑ. කී ලක්ෂයක් වියදම් වෙයිද. ඔයා රමාෂ් පුතාට කියන්න එහෙම සල්ලි නාස්ති කරන්න ඕනෙ නෑ කියලා. කාසල් එකේ හිටියත් රමාෂ් මහත්තයාට බලන්න බැරියැ. අපිටත් පයින් යන දුරනේ.”

“රමාෂ්  පුතත්  වේලාවකට මහා හිතුවක්කාරයා. ඒ තීරණ වෙනස් කරන්න බෑ අක්කේ. දහරට ඉතින් හොඳක් වෙයි කියලා හිතලා වෙන්න ඇති මෙහෙම දේවල් කරනව ඇත්තේ. එක අතකින් ඉතිං අපි ඕවට හරස් කපන්න යන එකත් තේරුමක් නෑ. අපිට වඩා හොඳට දොස්තර මහත්තයෙක් වෙච්ච එයාට තේරෙනවනේ”

සෙනරත් ආලින්දයට ගියේ එසේ පවසමින්ය. ඉඳහිට දිනක දහරාගේ නිවසට කාරයකින් පැමිණ යන ටයිපටියක් පැළඳී තරුණයා එදවස වත්තේ උන් වේළුගේත් තංගමනීගේත් පුතා බව දැන් සේකර වත්තට රහසක් නොවේ. ඒ පිළිබඳව කිහිපදෙනෙක්ම සෙනරත් ගෙ⁣නුත් රීටා ගෙනුත් ප්‍රශ්න කර තිබිණ. බඩගින්නක් දැනුනත් දැන් දහරාට රාත්‍රී ආහාර ගන්නට වෙනදා සේ පුළුවන්කමක් නොවේ . බඩ පිරුණු බොහෝ දිනවල රාත්‍රියට නින්ද නොයන තරම්ය. සමහර දිනක වදෙන් පොරෙන් ඇයට යමක් කවන්නේ සාමාය.  

පෙර දින රාත්‍රියේ විශ්වවිද්‍යාලයේ පැවැති පැවැති නවක සිසුන් පිළිගැනීමේ සාදයට සහභාගී වූ නිශාදී නැගී සිටියේ මදක් ප්‍රමාදවය. ඊට පසු දින ඔවුනට නිවාඩු දිනයක් විය. එක දිගටම අම්මා ඇමතුම් කිහිපයක් ලබාගෙන තිබූ නිසා ඈ නිවසට දුරකථන ඇමතුමක් ලබා ගන්තේ මුහුණ සෝදා ගැනීමටත් පෙරය.

“ඇයි අම්මේ මොකද…”

“කොහෙද බං ඔය ෆෝන් එක තිබුණේ…”

“ඊයෙ රෑ වෙච්ච නිසා නින්ද ගියා. රූම් එකේ අනිත් අයත් උදේ පාන්දර නැගිට්ටේ නෑ.”

“දැන් උඹට රමාෂ් කොල්ල කතා කරන්නෙ නැද්ද.”

“මං අම්මට කියලා තියෙනවා කොල්ලා කොල්ලා ගාන්න එපා කියලා”

“කොල්ලා හරි මහත්තය හරි දොස්තර මහත්තයා හරි මොකා හරි කමක් නෑ. මං අහන්නේ දැන් උඹට කතා කරන්නේ නැද්ද කියලා.”

“කතා කරනවා ඉඳලා හිටලා ඇයි.?”

“එහෙනම් අර දහරාගේ ගෙවල් අස්සේ රිංගන්නේ.” 

“දහරත් මං වගේම එයාගේ යාළුවෙක් නේ.” 

“ඒ යාළුකං ඕනේ නෑ කියලා කියහං. බඩ දරු වෙච්ච මිනිහත් අතෑරපු ගෑනියෙක් එක්ක මොන යාළුකන්ද..”

“පිස්සුද අම්මේ මොනවද මේ කියවන්නේ? මට පුළුවන්ද එහෙම කියන්න.” 

“දැන් මුළු වත්තම කතා වෙන්නේ ඕකා ගැන. දහරා මායම් හැට හතර දාලා ඔය මිනිහව අල්ල ගත්තෙ නැත්තං මගේ නම කියන්න එපා.”

“මායම්හැට හතරට රැවටෙන්න තරං රමාෂ් පොඩි ළමයෙක්වත් මේ අපේ වත්තේ ඉන්න නූගත් කොල්ලෙක්වත් නෙමෙයි. එයා දහරට කැමතිනම් ඒවා ඒ විදිහට සිද්ධ වෙයි. ඒක නැති කරන්න අම්මටවත් මටවත් බෑ. උදේ පාන්දර මගේ ඔලුව කන්නෙ නැතුව ඉන්න අම්මේ.”

නිශාදී දුරකථනය විසන්ධිකර දැමුවේ කෝපයෙන්ය. ඊයේ රාත්‍රියේ දහරා විසින් ඒවා තිබූ දීර්ඝ පණිවිඩයෙහි රමාෂ් හමුවූ බවත් ඔහු පැවසූ සමහර කරුණු කාරණාත් ලියා තිබිණ. තවමත් ඇයට නොතේරුම් වූවාට රමාෂ් ඈ පසුපස සිටිමින් මේ දක්වන ආදරයත් රැකවරණයත් යෙහෙළියට ලැබිය යුතුම එකක්යැයි නිශාදි සිතුවාය. ඈ එවේලෙහි දහරාට කෙටි පණිවිඩයක් යැවූයේ සවස දුරකථන ඇමතුමක් ලබා ගන්නම් යැයි පවසමින්ය.

මනුජිප්ගේ තාත්තා ගේට්ටුව අසල සිටගෙන සිටියේ දහරා යෙහෙළිය එවූ කෙටි පණිවිඩය කියවා හදවතක හැඩය ගත් ඉමෝජියක් ඇයට යවද්දීය. 

“තාත්තා…”යැයි පැවසූ ඕ නැගී  සිට ගේට්ටුව වෙත ඇවිද ගියේ ඉදිරියට නෙරා කුසට අතකුත් තබාගෙනය. 

“අම්මා ආවෙ නැද්ද තාත්තා විතරයිද ආවේ…”

දහරා පැවසූයේ වටපිට බලමින්ය. 

“මං වගේම අම්මත් කවද හරි දවසක එයි ඔයාව බලල යන්න.”

“ඉඳගන්න තාත්තේ.. තාත්තා කෙට්ටු වෙලාද මන්දා..ආච්ච්… චූටි මාමේ මේ මනුජිත්ගේ තාත්තා ඇවිල්ලා…”

දෙදෙනාම ආලින්දයට දිව ආවේ කලබලයෙන්ය. 

“මට හිතුනා මේ දරුවා බලල යන්න.”

“අනේ කොච්චර දෙයක්ද ඒක..”

රීටා එසේ පැවසුවත් සෙනරත්ගේ මුහුණෙහි වූයේ ඔහුගේ ඒ ආගමනයට කැමැත්තක් නොවේ. 

“අපේ  අතින් ගොඩක් වැරදි වුණා දරුවෝ. දැන් ඒවා ගැන ආපස්සට කතා කරල තේරුමක් නෑ. ඒ වගේම ඔය දරුවා තවදුරටත් මගේ පුතා වෙනුවෙන් උනත් බලාපොරොත්තු තියාගන්න එකෙත් තේරුමක් නෑ.”

“තාත්තලා ගේ විකුණුවලු නේද?”

දහරා එසේ අසද්දී අසද්දී  සෙනරත් හිස ඔසවා ඈ දෙස බැලුවේ මවිතයෙන්ය. ඔහු සිතා සිටියේ ඒ කතාව දන්නේ තමාත් රමාශුත්  සාමාත් පමණක් බවය.

“ඔව්..දැන් අම්මයි මමයි ඉන්නේ තොග කඩේ කිට්ටුව තියෙන පොඩි ඇනෙක්ස් එකක. අද වෙනකොට අපේ පුතා ඉන්න තැනක්වත් අපි දන්නේ නෑ. පෙර ආත්මවල සිද්ධ කර ගතපු පව් වගේම මේ ආත්මවලත් සිද්ධ කරගත්ත පව් මිනිස්සුන්ට පල දෙන කාල එනවා. එයාටත් මේ ලබල තියෙන්නෙ එහෙම කාලයක් කියලා හිතලා මමයි අම්මයි දැන් හිත හදාගෙන ඉන්නේ. අපේ අනාගතය කොහොම වෙයිද කියලා දන්නේ නැති උනත් අපි දෙන්න එකතු වෙලා ඒකට මුහුණ දෙනවා. දුව මේ ප්‍රශ්නත් එක්ක ජීවත් වෙන්නේ  නැතුව ආපහු අම්මල  ළඟට එන්න හිත හදාගත්ත එක ලොකු දෙයක්. මං ආවෙ මෙන්න මේක දීලා යන්න…”

ඔහු එසේ පැවසූයේ කුඩා පාර්සලයක් දහරා වෙත දිගු කරමින්ය. 

(යළිත් හමු වෙමු ආදරයෙන්…..)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here