කලුවර රෑ සඳක් වගේ – 7

0
140

“මේ ගෙදර තමයිනෙ ඉතින් අපි චූටි කාලෙ ඉඳලා හිටියෙ. ඔයා කියන්න ඕන නෑ මේ ගේ ගැන විස්තර අපිට” කියලා මනුසත්ගෙ දුව වෙච්ච මන්දාරා කියද්දි මං හෙල්ලුණා.මං ගැස්සුණා. 

මන්දාරා තාම ඒලෙවල් කරන වයසෙ කෙල්ලෙක්. මන්දාරාට උන්නෙ අයියා කෙනෙක් විතරනෙ. ඒ අහස්. අහස් නම් ලබන අවුරුද්දෙ මුල වගේ යුනිවසිටි යන්න ප්ලෑන් කරගෙන කිව්වා උන්නේ. එහෙම බලද්දි එදා මනුසත්ගෙ අම්මා ඇවිල්ලා කිව්ව කතාවෙ කිසිම වරදක් නෑ. මම කසාද බැඳලා තියෙන්නෙ මගෙ තාත්තගෙ වයසෙ මනුස්සයෙක් කියන එක. මොකෝ මනුසත්ගෙ දරුවො දෙන්නා, හරිනම් මනුසත්ගෙ දෙවනි කසාදෙ ගෑණි විදියට මටත් වෙන්නෝන දරුවො උනාට මොකෝ මං වගේම ඒ දරුවොත් දැනගෙන තේරුම්ගෙන ඉන්න ඇති අපි අතරෙ තියෙන සහෝදරයො අතරෙ තියෙනවා වගේ වයස් පරතරයක් විත්තිය. ඒ වයස් පරතරෙ පොඩි එකක් උනාට අපි අතරෙ තියෙන නෑකමේ පරතරේ වැඩි හන්දද මන්දා ඒ ළමයි දෙන්නම, විශේෂයෙන්ම මන්දාරා මං දිහාව බැලුවෙ නිකන් “උඹ කවුද?” වගේ නෝණ්ඩි තාලෙට. එක පැත්තකින් අවුරුදු දා හතක් දහ අටක් ඒ ළමයා ජීවත්වෙච්ච ගෙදරට ඊයේ පෙරේදා ආව මං දිහා එහෙම නොබලා කොහොම බලන්නද කියලා හිතුණත් අනික් අතට “උන් දැන් මෙහෙට බෙල්ල දාන්න ආවට මේ ගෙදර දැන් මගේ නේද?” කියලා මගෙ හිත නොකිව්වා නෙවි.

ඒත් මනුසත්ගෙ දරුවො දෙන්නට විරුද්ධව වචනයක් කියලා මනුසත්ගෙ හිතේ මං ගැන අපැහැදීමක් ඇති කරන්න මට උවමනාවක් තිබ්බෙ නැති හන්දම මං කරේ කොන්ද පණ නැති එකියක් වගේ කට වහගත්ත එක.

“තාත්ති අම්මි කිව්වා මගේ යුනිවසිටි පටන් ගන්න කලින් අපි කොහේ හරි යන්ද කියලා? යාල අලුත් හොටෙල් එකක් ඕපන් කරලා තාත්ති. කොටියාගල ලක්ශරි කියලා. හරිම ලස්සනයි තාත්ති.” කියලා අහස් කියද්දි මං උන්නෙ ඒ ළමයි දෙන්නට කන්න දෙන්න කෑම මේසේ ලෑස්ති කරනගමන්. 

“අපේ දෙන්නා නම් ලිහිණි ඔය එලෝලු එහෙම කන්නෙ නෑ. ෆ්‍රයිඩ් රයිස් මික්ස් රයිස් වගේ තමයි කන්නෙ” කියලා මනුසත් ළමයි දෙන්නා එන්න කලින් කිව්ව නිසාම මම ෆ්‍රයිඩ් රයිස් හදලා, චිකන් ඩෙවල් හදලා, පරිප්පු තෙම්පරාදු කරලා, එලවලු සැලඩ් එකකුත් හැදුවා. ගෙනාව චිලි පේස්ට් බෝතලෙත් එලියෙන් තියලා තිබ්බා. ඩෙසර්ට් එකට නම් හෙවන්ලි කියලා බ්‍රෑන්ඩ් එකකින් මනුසත් අයිස් ක්‍රීම් ෆ්ලෙවර්ස් දෙක තුනකින්ම ගෙනත් තිබ්බ හන්දා ලොකු ප්‍රශ්නයක් උනේ නෑ. කොහොමත් ළමයි කන්න ආස ෆ්‍රයිඩ් රයිස් නිසා මං හිතුවෙ එයාලා අඩුම ඒකටවත් මාත් එක්ක යාලු වෙයි කියල. ඒ උනාට මං වැරදි කියලා මට තේරුනේ කන්න ගියාම තමයි.

“කවුද ෆ්‍රයිඩ් රයිස් එක්ක පරිප්පු කන්නෙ?” කියලා මන්දාරා කිව්වෙ නිකන් “ඔයා නම් මහ ගොඩේ එකියක්” කියන තාලෙට විත්තිය මට නොතේරුණා නෙවෙයි. ඒ උනාට කැම්පස් කැන්ටින් එකේ “ස්පෙශල් රයිස්” එක තියෙන දවසට රුපියල් සීයක් දීලා ගන්න ෆ්‍රයිඩ් රයිස් එකට එන්නෙ චිකන් හොදි චුට්ටකුයි, පරිප්පු තෙම්පරාදුවයි, චිලි පේස්ටුයි කියන එක වගේම අපේ ගම්වලත් විශේෂ දවස්වලට හදන ෆ්‍රයිඩ් රයිස් වලට නම් අපි පරිප්පු හදනවා කියන්න මට කොච්චර ඕන උනත් ඒ කතාව කිව්වොතින් ඔය ළමයා මං දිහා තව අමුතුවට බලයි කියලා හිතිච්ච හන්දම මම කරේ වැඩකාරයා වගේ සද්ද නැතුව ඒ තුන් දෙනා ඉස්සරහින් පිඟන් තිබ්බ එක. හරිනම් මමත් මේසෙට වාඩිවෙලා මේ තුන්දෙනා එක්ක කන්නෝන එකට කියලා දැනගෙන උන්නට මට ඒ වෙලාවෙ ඕන උනේ මේ තුන්දෙනාගෙන් වෙන් වෙලා කල්පනා කර කර ඉන්න. 

“අම්මි හදන්නෙ චොප්සි”කියලා අහස් කිව්වා උනාට ඒ ළමයා ඒක කිව්වෙ මන්දාරා වගේ මට රිද්දන්න නෙවෙයි කියලා තේරිච්ච හන්දා මං තැන්ක්‍යු කියන්න වගේ අහස් එක්ක හිනා උනා.

“අම්මි නෝස් බෙටර්” කියලා මන්දාරා ආයෙ කිව්වෙ කට ඔහෙක් මෙහෙක් කර කර. වෙන එකියක් ඔහොම කරා නම් කට තලන්න තරම් කේන්තියක් ආවට “මේ ඉන්නෙ මනුසත්ගෙ දරුවා. එයා දිහා මං බලන්න ඕනත් දරුවෙක් විදියට” කියලා මං හිත හදාගත්තා. අනික් අතට මෙ ළමයා මෙහෙම දේවල් කියන්නෙ එයාගෙ අම්මා එහෙම දේවල් කියන්න කියලා උගන්නලා ආව හන්දද කවුද දන්නෙ කියන එකත් මං කල්පනා කරා. කොහොමත් හිතෙන් මොනවා හිතුවත් මං මනුසත් ඉස්සරහවත් වෙන කෙනෙක් ඉස්සරහදිවත් ඒ හිතිච්ච කිසිම දෙයක් එයාකාරයෙන්ම එළියට දැම්මෙ නෑ. මොකෝ මට ඕන උනේ මනුසත් ඉස්සරහදි කැපී පේන්න. “ලිහිණි කියන්නෙ කොච්චර හොඳ වයිෆ් කෙනෙක්ද? භානුකී වගේ නෙවෙයි ලිහිණි. ඇත්තටම හොඳ ගෑණියෙක්” කියන දේ මනුසත්ට දනවන්න ඕන රංගනයක් ඉදිරිපත් කරන්නෝන කියන තැනක තමයි මං උන්නේ.

“තාත්ති එහෙනම් අපි එක්ක ට්‍රිප් එක යන්න එනවා නේද?” කියලා අහස් ආයෙ ඇහුවෙ යන්න ළංවෙලා. 

“එන්න එන්න තාත්ති. අම්මියි සුරන් අංකලුයිත් එනවා කිව්වා. තාත්තිත් එන්න, එතකොට අපිට තාත්ති එක්ක හොඳට එන්ජෝයි කරන්න පුලුවන්. අයියා ආයෙ යුනි ගියාම කවදා ට්‍රිප් එකක් යන්න පුලුවන් වෙයිද කියලා කවුද දන්නෙ” කියලා මනුසත්ගෙ ඇඟේ එල්ලිලා හුරතල් වෙන ගමන් මන්දාරා මං දිහාව ඇස් කොණින් බලලා මනුසත් දිහාව ආයෙ බැලුවෙ “තාත්ති ඔන්න මෙයාව නම් එක්කරගෙන එන්න එපා. එතකොට අපිට තාත්ති එක්ක එන්ජෝයි කරන්න බෑනෙ” කියලා නොකියා කියන්න වගේ.

“බලමුකො තාත්තිගෙ ලෙක්චර්ස් එක්ක බලලා කියන්නම්කො මැන්ඩි”

“මොකද්ද තාත්ති ඉස්සර නම් ඔයා අපි කතා කරමු ගමන් ට්‍රිප් යන්න එනවනෙ. දැන් ඇයි බෑ කියන්නෙ. අනේ තාත්ති එන්නකො එන්නකො” කියලා මන්දාරා හුරතල් වෙද්දි මනුසත් උන්නෙ හරියට තමන්ගෙ දරුවො දෙන්නා දිහා හරිම ආදරෙන් බලාගෙන. හරියට ජීවිතේ පලවෙනි වතාවට ඒ දරුවො දෙන්නව දකිනවා වගේ.

එදා මන්දාරයි අහසුයි ගෙදරින් පිටත්වෙලා ගියාට පස්සෙ මනුසත් එයාගෙ ඔෆිස් කාමරේට රිංග ගත්තෙ යුනිවසිටි එකේ ළමයින්ගෙ තිසීස් වගයක් චෙක් කරන්න තියෙනවා කියලා. ඒ නිසාම දවස්ල් කෑවයින් පස්සෙ ආය රෑ කෑම වෙලාව වෙනකම්ම මං කරේ කම්මැලිකමේ ඔහේ ගෙදර එහාටයි මෙහාටයි ඇවිද ඇවිද උන්න එක. දවල් උයපුවා අස් කරලා, ගේ අතු පතු ගාලා ඉවර වෙන්න ටික වෙලාවක් ගියයින් පස්සෙ මම වත්තෙ තිබ්බ මල් ගස්වලට වතුර දැම්මා. තේ බොන්න හැලප හැදුවා. හදලා මනුසත්ගෙ ඔෆිස් කාමරේට ගිහින් දීලා ආවා. ඉන්පස්සෙ කාමරේ අස් කරලා, සුවඳ එන්න හඳුන්කූරු පත්තු කරලා, රෑට කන්න සුප් හදන්න ඕන කරන ජාති ටික ළං කරලා තිබ්බා. මනුසත් කොහොමත් රෑට බර ජාති කන්නෙ නෑ. දවාලෙ ඉතුරු වෙච්ච ෆ්‍රයිඩ් රයිස් ටිකක් මම එහෙමම මයික්‍රොවේව් එකේ දාලා තිබ්බ මට රෑට කන්න. මට නම් අනේ රෑට බඩ පිරෙන්න කෑවෙ නැත්තම් නින්ද යන්නෙ නෑ. අනික මට ඉස්සර වගේ දැන් රෑට ඇහැරගෙන කරන්න දේකුත් නැති හන්දා වගේම පස්සෙන්දා මනුසත් උදෙන්ම පිටත්වෙලා යන හන්දා උදේ නැගිටලා කෑම උයන්නෝන හන්දා රෑ කලින් නිදාගන්න එක ලේසියි.

ඒත් එදා රෑ මනුසත් නිදාගන්න කාමරේට එනකම්ම මම නිදාගත්තෙ නෑ. මොකෝ මට මනුසත්ගෙන් අහන්න ඇත්තටම වැදගත් කාරණාවක් ඉටු වෙලා තිබ්බා. වෙනදා වගේම ඇඳට ඇවිත් පුරුද්දට වගේ මගෙ නළල ඉඹලා මාව එයාගෙ ළඟට ගත්ත මනුසත්ගෙ පපුවට ඔලුව තියාගෙන, හීන් සැරේ ඒ පපුවෙ සුදු පාට වීගෙන එන රෝම අස්සෙන් මගෙ අතේ ඇඟිලි යවන ගමන් මං ඒ කාරණාව මනුසත්ගෙන් ඇහුවා.

“ඔයා දරුවන්ට හරි ආදරෙයිනෙ”

“මගේ දරුවොනෙ ඉතින් ලිහිණි. ඕනම තාත්තා කෙනෙක් දරුවන්ට ආදරෙයිනෙ. ස්පෙශලි දූලයි තාත්තයි ඉතින් දෙන්නට දෙන්න හුඟක් යාලුනෙ”

“අපේ තාත්තලා ඒ උනාට ඔයාල වගේ දූලා එක්ක එක්කහු නෑ”

“ඒ ඉතින් අර ගමේ මිනිස්සු නිසා ට්‍රැඩිශනල් විදියටනෙ හිතන්නෙ. අනික තාත්තා එක්කහු නැති උනාට මොකෝ මං ආදරෙයිනෙ ඔයාට ගොඩක්”

“ඒ උනාට ඉතින් ඔයා ආදරේ වයිෆ් විදියටනෙ”

“දුවෙක් විදියටත් ආදරේ වෙන්න පුලුවන් ඉතින්. ඔයා කොහොමත් අපේ මැන්ඩිට වඩා අවුරුදු හතක් අටක් වගේනේ වැඩිමල්”

“එහෙම නෙවෙයි මං කිව්වෙ”

“එහෙනම්?”

“ඔයා ආස නැද්ද අපි දෙන්නගෙ බබෙක්ට?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here