මතකයක සේයා – 56

0
1054

මන්දාකිණි හදිසි අනතුරකට ලක් වී රෝහල් ගත කර දැඩි සත්කාර ඒකකයේ පසුවන බවට පුවත ඇගේ දෙමව්පියන්ට මෙන්ම සිරිවර්ධන නිවසටද යාමට ගත වූයේ නිමේෂයකි. හදිසියේ වාහනයට නැග හීයක වේගයෙන් පිටව ගිය මන්දාකිණි ව හඹා නොගියද ලවන් ඒ වන විටත් උන්නේ මන්දාකිණි ගේ නිවසට කිලෝමීටර් කිහිපයක් දුරින් පිහිටා තිබුණු අකලංක ගේ නිවසේය. මන්දාකිණි ගේ දෙමව්පියන් හට කොළඹ සිට පැමිණීමට පැයකට ආසන්න කාලයක් ගත විය හැකි බැවින් හැකි ඉක්මනින් රෝහලට යාමේ කටයුත්ත භාර ගන්නා ලද්දේ ලවන් විසිනි. කෛලාශ් මන්දාකිණි ගේ දුරකථනය හරහා ඇමතුමට සම්බන්ධ වූයේ කෙසේදැයි සිතීමට නොනැවතුණු ධර්මරත්න සහ පුශ්පා යුවළ රෝහලට යාමට පිටත් වූයේ මන්දාකිණි ගේ ජීවිතය රැක දෙන්නැයි දෙවියන් යදිමිනි.

” අනේ ධර්මෙ කෙල්ලට මොන හරි වෙයිද? ” 

පුෂ්පා වාහනයට නැග්ගේම මහා හඬින් විලාප තියමිනි. නොගැලපෙන විවාහයකට සූදානම් වීම කෙරෙහි මන්දාකිණි තුළ වූ සිත් තැවුල මේ අනතුරට හේතු වන්නට ඇතැයි ධර්මරත්න ගේ සිත තුළද දෙගිඩියාව මුසු වූ හැඟීමක් තිබුණු බැවින් ඔහු තම එකම දියණිය මාරක අනතුරකට ලක් වූ පුවත ලැබුණු පසුව බොහෝ වේලාවක් යනතුරු මුව විවර කළේ නැත.

ලවන් කඩිමුඩියේ රෝහලට පැමිණියේ මන්දාකිණි කෙරෙහි වූ සෙනෙහසක් නිසා නොව මෙවන් හදිසි අවස්ථාවක දී තමා පෙරමුණ ගෙන යුහුසුළුව ක්‍රියා කරන බව පෙන්වීමට සහ තමා මන්දාකිණි පිළිබඳව වද වනා බව ධර්මරත්නට සහ පුෂ්පාට හැඟවීමටත්ය.

මන්දාකිණි අනතුරකට ලක් වූ පුවත දැනුම් දෙන ලද්දේ ඇගේ මිතුරෙකු විසින් බව ධර්මරත්න විසින් පවසා සිටියද ඒ කෛලාශ් බව ලවන් රෝහලට පැමිණෙන තුරුම දැන සිටියේ නැත. ලවන් ගේ අංකයෙන් මන්දාකිණි ගෙ දුරකථනයට ඇමතුම් කිහිපයක්ම පැමිණියද කෛලාශ් ඒවාට පිළිතුරු දීමෙන් වැළකී සිටියේ මේ මොහොතේදී වැදගත් වන්නේ මන්දාකිණි ගේ ජීවිතය බේරා ගැනිම මිස අන් කිසිවක් නොවන නිසාය.

දැඩිසත්කාර ඒකකය ආසන්නයේ වූ කොරිඩෝවේ අසුනකට බර වී නොසන්සුන්ව හිඳින කෛලාශ් ව , ලවන් දුර තියාම හඳුනා ගත්තේ අකලංක සමග දැඩි සත්කාර ඒකකය වෙත පැමිණෙමින් සිටියදීය.

” උඹ මෙතන කලබල කරලා කාඩ් කුඩු කර ගන්න නම් එපා ලවන් ඈ ” 

අකලංක ඇහෙන නෑහෙන ගානට ලවන් වෙත ලංව පැවසුවේ ඉක්මන් කේන්ති කාරයකු වූ ලවන් ගැටුමක් ඇති කර ගැනීමට වෙලාවක් හෝ ස්ථානයක් සලකා නොබලන බව අත්දැකීමෙන්ම දන්නා බැවිනි.

” ඔක්කොටම කලින් මූ මෙතනට ආවේ කොහොමද කියලයි මට හිතා ගන්න බැරි “

ලවන් දැඩි සත්කාර ඒකකයේ දොරටුව අසල නතර වූ අතර යමෙකු පැමිණි බව දැනුනු නිසා කෛලාශ් හිස හරවා බැලුවේය. ලවන් වෙඩි සත්කාර ඒකකයේ දොරටුවේ වූ වීදුරු කවුළුවෙන් බලා ඉන් මෑත් වන විට කෛලාශ් වාඩි වී සිටි තැනින් නැගී සිටියේය.

” තමුන් කොහොමද මෙතනට ආවේ ? ” 

ලවන් කෛලාශ් අසලටම පැමිණ විමසා සිටියේ තමා පැමිණ සිටින්නේ ධර්මරත්න ගේ අවසරය පිට නිසා මන්දාකිණි කෙරෙහි අයිතියක් ඇත්තේ තමාට බව පෙන්වා සිටීමටය. 

” මං මන්දාකිණි ට කෝල් කරා ලවන්. එතකොට ආන්සර් කරේ එයාව හොස්පිට්ල් එකට ගෙනාපු කෙනා. “

” ආ.. ඒ කියන්නේ තමුන් මං කවුද කියන්න දන්නවා ? ” 

” ඔව්. මන්දාකිණි මට විස්තර කියලා තියෙනවා”

ලවන් කෝපයෙන් වටපිට බැලූ අතර අකලංක ඔහුට සන්සුන් වන ලෙස දෑස් වලින් ඉඟි කළේය. 

” ICU එකෙන් මුකුත් Update එකක් තියෙනවද?” 

ලවන් නැවත කෛලාශ් දෙසට හැරුනේය. 

” තාම මුකුත් නෑ ” 

කෛලාශ් පිළිතුරු දුන්නේ සන්සුන් වීමට වෙර දරමිනි.ඔහු අසුන් ගෙන සිටි අසුනට එහා අසුන මත වූ අත් බෑගය ලවන් දුටුවේ අනතුරුවය.

” අරක මන්දාකිණිගෙ ද ? ” 

ලවන් අත් බෑගය පෙන්වමින් ඇසූ අතර කෛලාශ් ඒ දෙස හැරී බලා නැවත ලවන් දෙසට හැරුනේය.

” ඔව්.. අර මනුස්සයා මේක දීලා ගියේ “

” එතකොට මන්දාකිණි ගේ ෆෝන් එක ?”

” ඒක බෑග් එක ඇතුලේ “

ලවන් අඩි කිහිපයක් එහායින් වූ අසුන වෙත ගොස් මන්දාකිණි ගේ අත් බෑගය අතට ගත්තේය.

” මන්දාකිණි ඇක්සිඩන්ට් උනා කියලා ධර්මරත්න අන්කල්ට කිව්වේ තමුන්ද? “

ලවන් මන්දාකිණි ගේ අත්බෑගය ගෙන එහි වූ ජංගම දුරකථනය පිටතට ගෙන එහා මෙහා හරවා බැලුවේය.

” ඔව් “

කෛලාශ් තනි වචනයෙන් පිළිතුරු දුන්නේ වෙහෙසකර බවිනි. ලවන් අසනා ප්‍රශ්න වලට පිළිතුරු දීමට තමන් බැඳී නැතත් මන්දාකිණි වෙනුවෙන් තවදුරටත් ඉවසා හිඳින්නට කෛලාශ් තීරණය කලේය.

” එතකොට තමුන් ඇයි මං ගත්ත කෝල්ස් ආන්සර්  කළේ නැත්තේ? “

ලවන් පෙරට වඩා මදක් හඬ උස්කොට විමසමින් කෛලාශ් අසලට පැමිණි අතර ඒ මොහොතේදීම දැඩි සත්කාර ඒකකයේ දොර විවෘත කර ගෙන වෛද්‍යවරයෙකු සහ හෙදියක් පිටතට පැමිණ කලබලයෙන් කොරිඩෝවේ අනෙක් කෙළවරේ වූ විදුලි සෝපානය දෙසට ගියහ.කෛලාශ් වහාම ඔවුන් දෙදෙනා වෙත දිව ගිය අතර සැණෙකින් ක්‍රියාත්මක වූ ලවන් ද අකලංක සමග ඒ වෙත යන්නට පියවර එසවූයේය.

” එක්ස්කියුස්මී ඩොක්ටර්”

කෛලාශ් ගේ හඬට වෛද්‍යවරයා නතර වූයේය.

” ඩොක්ටර් මන්දාකිණි ට කොහොමද? ” 

ලවන් සහ අකලංකද පැමිණ නතර වන තුරු වෛද්‍යවරයා කෛලාශ් දෙස බලා සිටියේ කලබලයෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළු කළ යුවතියගේ ප්‍රතිකාර ආරම්භ කළා මිසක ඇගේ විස්තරයක් හරි හැටි ගැන නොසිටි බැවිනි.

” අර ඇක්සිඩන්ට් වෙලා ගෙනාව ගර්ල්?”

” ආ.. ඕකේ.. මේ ඒ පේශන්ට් ගේ ? “

කෛලාශ් පිළිතුරක් දෙන්නට පෙර වෛද්‍යවරයා අසලටම පැමිණි ලවන් ඉස්සර වූයේය.

” ඩොක්ටර් මං එයාව මැරි කරන්න ඉන්නේ “

වෛද්‍යවරයා මුහුණට සිනහවක් නඟා ගන්නට උත්සාහ කරමින් ලවන් වෙතට හැරුණු අතර කෛලාශ් හට සිදු වූයේ පසු බැස බලා ඉන්නටය.

” මං ඔයාට ඇත්තම සිටුවේෂන් එක කියන්නම්.පේශන්ට් ට වෙලා තියෙන ඩැමේජ් එක නම් ටිකක් වැඩියි. එයාට තාම සිහිය ආවේත් නෑ. කරන්න පුළුවන් හැමදේම කරගෙන යන නිසා අපිට තාම හරියටම මොකුත් කියන්න බැහැ. එයාගේ ඔලුවටයි අතටයි තමයි ගොඩක් තුවාල වෙලා තියෙන්නේ. අත නම් කැඩිලා “

කෛලාශ් ඇතුලාන්තයෙන් දැවී ගිය නමුත් ලවන් එතරම් කලබල වූ බවක් පෙනෙන්නට තිබුණේ නැත.

” එයා ගේනකොටත් ගොඩක් බ්ලීඩ් වෙලා තිබුණේ. එයාගේ පේරන්ට්ස් ලා ආවද?”

වෛද්‍යවරයා විමසුවේ ලවන් ගෙනි.

” ඔව් ඩොක්ටර්. එයාලා එන ගමන්. මොනවා හරි කෙරෙන්න තියෙනවද ?” 

” ඔව්. ඩොකියුමන්ට්ස් වගයක් තියෙනවා සයින් කරන්න. පේරන්ට්ස් ලා ආවම ඉක්මනට ඉන්ෆෝම් කරන්න “

” ඒක මට සයින් කරන්න බැරිද ඩොක්ටර්? ” 

” අයෑම් සොරි මිස්ටර්. ඒකට ගෙදර කෙනෙක්ට ඕනේ “

ලවන් ආයාසයෙන් සිනහවක් නගා ගෙන පියවරක් පසුපසට තැබූ අතර වෛද්‍යවරයා හෙදිය සමග විදුලි සෝපානයට ඇතුළු වූයේය. මද වේලාවක් ඒ දෙස බලා හිඳි ලවන් වෛද්‍යවරයා කෙරෙහි නැගුණු කෝපය පාලනය කර ගෙන කෛලාශ් වෙත හැරුනේය.

” මං හිතන්නේ දැන් ඔයාට මෙතන කරන්න දෙයක් නෑ කෛලාශ් “

කෛලාශ් තිගැස්සුනේ ඒ මොහොතේදී ලවන් ගෙන් එවැන්නක් බලාපොරොත්තු නොවූ බැවිනි. මන්දාකිණි පිළිබඳව හරි හැටි තොරතුරක් ලැබෙන තුරු තමාට මෙතනින් පිටව යා නොහැක. අනෙක් අතට මන්දාකිණි පියවි සිහියට පැමිණෙන තුරු ඇගේ තත්වය සැබවින්ම අවිනිශ්චිතය. එසේ තිබියදී හිත හදා ගෙන ඇය නොපෙනෙන මානයකට යාම කළ යුතු නොවේ.

” කෛලාශ් ට ඇහුනද මම කියපු දේ ? ” 

ලවන් ගේ හඬ නැවත උස් විය. එහෙත් රෝහලින් පිටව යන්නට කෛලාශ් ට උවමනා වූයේ නැත.

” මන්දාකිණි ගැන හරි ඉන්ෆොමේශන් එකක් එනකන් මම ඉන්නවා ලවන් ” 

අකලංක විසින් ලවන්ව නතර කිරීමට උත්සාහ කළද ලවන් ඔහුගේ අත ගසා දමමින් කෛලාශ් ඉදිරියට පැමිණ නතර වූයේය.

” මම තමුන්ට හොඳින් කියන්නේ මෙතනින් යන්න කියලා.මෙතන තමුන්ට කරන්න කිසිම දෙයක් නැහැ. මෙතන මෙහෙම ලැග ගෙන ඉන්න තමුන් මන්දාකිණි ගේ කවුද? ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here