සඳ දිය දහරා – 52

0
4

දෙදිනක නිවාඩුවක් සඳහා නිශාදි ආපසු සේකර වත්තට පැමිණියේ සිකුරාදාය. චූටි මාමා රමාෂ් හා යාපනයේ ගියේත් එදින උදෑසනය. නිශාදි යෙහෙළිය හමුවීමට ඇගේ නිවසට පැමිණියේ පළතුරු වර්ග කිහිපයකුත් රැගෙනය. 

“පලතුරු වත්තක්ම උස්සගෙන ඇවිල්ලා. හරියට නිකං පඩි හම්බවෙලා වගේ.”

දහරා දෝතපා යුවතියව පිළිගත්තේ ඒ කොපුළකුත් සිප ගෙනය. 

“දැන් නං පැටියා එළියට එන්න ඔන්න මෙන්න වගේ. මටනම් ආසාවෙ බෑ. එයා දැන් හරි දඟත් ඇති.”

ඉදිරියට නෙරා ආ කුස සිප ගනිමින් එවර නිශාදි පැවසූයේ සිනහ මුසුවය. 

“අම්මෝ දැන් ගේ ඇතුළ මල් වත්තක් වෙලානේ..”

අවසන ඈ පැවසූයේ වටපිට බලමින්ය.

යෙහෙළිය පැමිණෙද්දීත් දහරා උන්නේ චූටි මාමාගේ මිතුරාගේ අත යවන්නට සැලසුම් කරමින් උන් මල් පොකුරු කිහිපයේ අවසන් අදියරේ වැඩකටයුතු නිම නිමකරමින්ය. 

“අතට කීයක් හරි ලැබෙද්දි සතුටුයි ඉතින්. අම්මයි චූටි මාමයි දෙන්නම ඒ සල්ලි ගෙදර වියදමට ගන්න කැමති නෑ. දැන් මං ගාව හතළිස් දාහක් විතර තියෙනවා.”

“හොඳ වෙලාවට මටත් හදිස්සියේ ණයක් ඉල්ලගන්න පුළුවන්.”

“මේ…. ඔයාගේ මගෙයි අතරේ ණය නෑ. ඕන වෙලාවක ඔයා ඒ සල්ලි ගන්න. කොහොමත් නිවාඩුවට ඇවිත් යද්දි මං ඔයාට වියදමට කීයක් හරි දෙන්න හිටියේ.”

“පිස්සුද බං උඹට. මට ඒ වචනෙත් ඇති. ඉතින්… ඉතින් රමාෂ්  මොනවද කියන්නේ?.”

“එයත් ඉතිං ගත්තොත් ඔයා වගේ මගේ හිත හැදෙන දේවල්ම තමයි කියන්නේ. ඔයාට කතා කරනවා නේද..”

“මට ගත්තත් ඉතිං වැඩිපුරම කතා කරන්නේ ඔයා ගැන තමයි.” 

“මං ඇත්තටම ඔයාගෙන් දෙයක් අහන්නද?”

“මොකක්ද..”

“ඔයා ඒත් දවස්වල  රමාෂ් ගැන කතා කලේ හරි වුවමනාවකින්. මට බනින්න නම් එපා එපා. ඇත්තටම මම හිතුවේ ඔයාගේ හිතේ රමාෂ් ගැන කැමැත්තක් ඇති වෙලා කියලා..

“අනෙ පිස්සුද බං විහිළුවටවත් එහෙම හිතන්න එපා. එහෙමනම් මං ඉතින් ඔක්කොටම කලින් ඒක උඹට සහසුද්දෙන්ම කියලනේ. රමාෂ්ව  අපිට ආපහු හම්බවෙච්ච එක ගැන මාර සතුටක් ඒ දවස්වල මගේ හිතේ තිබුණා. ඇත්තටම කිව්වොත් උඹව සමහර වෙලාවට මගේ හිතට බරක් වෙලා තිබුණේ. ඒ කියන්නේ උඹේ ජීවිතය ගැන මට මහ බයක් තිබුණා. රමාෂ් හරි උවමනාවකින් උනන්දුවකින් උඹ ගැන කතාකරද්දි මට මහ සතුටක් දැනුනා. මගේ හිතේ තියෙන දුක බෙදා ගන්න, බය බෙදාගන්න කෙනෙක් හම්බවෙලා කියලා හිතුනා.”

නිශාදි එසේ පැවසූයේ තෙත් වූ දෑස් හංඟා ගනිමින්ය. මේ ජීවිතයට වූ ලොකුම අහිමිවීම වග විශ්වාසය. එහෙත් දුකක් නොවන්නේ යෙහෙළිය යළි ඔහු නිසා හුස්ම ගනිමින් සිටිනා වග දැනීමය.

“මේ දැන් ඇයි හදිසියේ චූටි මාමා රමාෂ් එක්ක යාපනේ ගියේ…”

“දන්නේ නෑ. ඒ දෙන්න අතර මාර රහස්නේ බං තියෙන්නේ..මොනවා හරි ඇහුවහම චූටි මාමා කියන්නේ ගෑණු ඕවට සම්බන්ධ කරගන්න ඕනෙ නෑ කියලා.”

“රමාෂ් ඔයාගේ ඩිලිවරි  එක ප්‍රයිවට් හොස්පිට්ල් එකක කරන්න ලෑස්ති කර ගතපු  එකනම් මටත් මාර සහනයක්. ඔන්න චුරුචුරු ගාන්න එපා. එදාටනං මම අනිවාර්යෙන්ම ගෙදර එනවා.”

“පිස්සුද ලෙක්චර්ස් පාඩු කර ගන්න එපා එක දවසක්වත්.”

“දවසක් දෙකක් ලෙච්චර්ස් ගියේ නෑ කියලා මං මැරෙනවද අනේ. ඒ වගේද එයා එළියට එද්දී පුංචි ළඟ හිටියේ නැත්නම් ඕව මතක තියාගෙන ඉඳලා පස්සේ අපිට ගෑස් පෙන්නයිද දන්නෙ නෑ. පොඩි මෑන්ගෙන් ලකුණු දා ගෙන ඉන්න එපැයි හැම දේටම කලින්”

“අනේ කියන කතා..ඔයාටයි චූටි මාමටයි අම්මටයි ඔක්කෝටම ඒක සහනයක්. ඒ උනාට මට හිතෙනවා ඒක ලොකු වැරැද්දක් කියලා.”

“ඒ කියන්නේ..”

“ඒක අපි රමාෂ්ට කරන කරදරයක් වදයක්..”

“අනේ බං උවමනාවෙන් එයා වද විඳින්න කැමතිනම් ඒකට ඉඩ දීලා බලන් ඉදපන් පිස්සු කියවන්නෙ නැතුව. ඒවා අපි ඉල්ලලා ගන්න දේවල් නෙමෙයිනේ  එයා කැමැත්තෙන් දෙන දේවල් මිසක්කා. මනුජිත් කවද හරි දැනගන්න ඕනේ උඹට මේ වගේ වටිනාකම් හම්බවුණා කියලා.”

“මට හිතෙනවා ගිහිල්ලා ඒ අම්මයි තාත්තයි බලලා එන්න. ඇත්තටම අපි දෙන්නා හෙට එහේ යමුද…මට ඒ මිනිස්සු හරි පව් කියලා හිතෙනවා. ඔයා ඊයේ එනවා කියලා කිව්වට පස්සේ මට ඉස්සෙල්ලම මතක් උනෙත් ඔයා එක්ක ඒ ගමන යන්න ඕනේ කියලා. ඒක මගේ යුතුකමක් කියලා මට හිතෙනවා. මං මේ තරහෙන් කියනවා නෙමෙයි එයාලා මගේ දරුවා මනුජිත්ගේ දරුවෙක් කියලා මොකක්දෝ හේතුවකට පිළිගන්න කැමති වුණේ නෑ.  ඒ කාලේ මම වින්ඳේ පුදුම වේදනාවක්. ගෑණියෙකුට දරා ගන්න අමාරුම තැන ඒක වෙන්න ඇති. මනුජිත් මාව නිර්දෝෂී ගැහැනියක් කරන්න එක වචනයක්වත් එයාගේ කටින් එළියට දැම්මේ නෑ. ඒ උනාට එදා තාත්තා ඇවිල්ලා මගේ මුනුපුරා කියලා කියනකොට මට ඇතිවෙච්ච සතුට වචනයෙන් විස්තර කරන්න බෑ නිශාදි. ඒ වචනේ මට එයාලත් එක්ක බැඳීමක් දුන්නා. ආයෙ කවදාවත් මනුජිත්ව මේ ජීවිතයට ලං කර ගන්නේ නැති උනාට මට එයාලත් එක්ක තියෙන බැඳීම අතාරින්න බෑ. ඇත්තටම මේ දරුවා එයාලගේ මුණුපුරා. අනිත් හැම බැඳීමකට වඩා ලේ බැඳීම ඝනකම් කියලා කියන්නේ ඒ නිසා වෙන්න ඇති..”

මුලදී සිතෙහි කෝපයක් ඇති වූ බව සැබෑය. එහෙත් දහරාගේ කඳුළු අබියස අවසානයේ ඇගේ සිත මදක් මෙල්ල විය. අද රමාෂ්  චූටි මාමාත් සමඟ යාපනයේ ගියේ දහරා ගැන කතා කරන්නටය. ඔහු ඒ බව නිශාදි හා පැවසූයේ මීට දෙන කිහිපයකට ඉහතදීය. ගමන් කළ යුතු මාවත පැහැදිලි වී තිබියදීත් දහරා කිසිලෙසකින් ආපසු අඩියක් පසුපසට තබනවාට නිශාදි කැමති වූයේ නැත. 

“එදා තාත්තා ඇවිල්ල ගියපු වෙලාවේ  ඉඳලා මගේ හිත පුදුමාකාර විදිහට එයාලා ගැන වද උනා. ඔයාට පුළුවන්නම් ඒ මනුජිත්ගේ අම්මා තාත්තා කියලා හිතලා නෙමෙයි. අසරණ වෙච්ච අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් බලන්න යනවා කියලා හිතලා මාව එක් කරගෙන යන්න. මට අම්මටවත් චූටි මාමටවත් මේ කාරණය කියන්න බෑ. තවදුරටත් එයාලට වේදනාවක් දෙන්න මට බෑ.”

“ඔයා හිතනවද ඒ ගමන යන්නම ඕන එකක් කියලා.”

“ඔව්…මනුජිත්ගේ අම්මා මනුජිත්ට  කොච්චර ආදරෙයිද කියල මං හොදාකාරවම  දන්නවා. ඒ මනුස්සයාට තමන්ගේ පුතා වෙනුවෙන් කරන්න බැරි දෙයක් තිබුණෙ නෑ. ඒ මනුස්සයාගේ මුළු ජීවිතේම හැම හුස්මක් ගානෙම හිටියේ මනුජිත් විතරයි. මාව ඒ ගෙදරින් ප්‍රතික්‍ෂේප වෙච්ච එක ඒ මිනිස්සුන්ගේ වරද නෙමෙයි නිශාදි  මනුජිත්ගේ වරද. මනුජිත් එක සැරයක් කට ඇරලා කිව්වනං මේ ඉන්නෙ මං ආදරය කරන කෙනා අම්මේ, මේ දරුවා මගේ අම්මේ කියලා ඒ මනුස්සයා තොරණ්  ගහලා මාව පිළිගන්නේ. අනේ ප්ලීස් එකම එක සැරයක් මට ඒ උදව්ව කරන්න.”

දහරා එවර පැවසූයේ සිය දෑත් එක්කරගෙනය. 

“එහෙනම් හෙට හවස යමු. හැබැයි මට පොරොන්දු වෙන්න ඕනෙ අඬන්නෙ දුක් වෙන්නෙ නෑ කියලා. මොකද ඔයා ඉන්න තත්වෙත් එක්ක එහෙම අවදානමක් ගන්න මම බයයි. මේ ගෙදර මිනිස්සු රමාෂ් විතරක් නෙමෙයි කවුරු හරි දැනගත්තොත් ඒ හැමෝම මට දොස් කියයි.”

“නෑ එහෙම වෙන්න ඉඩ තියන්නෙ නෑ. මට ඕනේ එකම එක සැරයක් ඒ අම්මවයි තාත්තවයි බලලා එන්න විතරයි.”

නිශාදි එවර හිස වැනුවේ යෙහෙළියට එකග වෙමින්ය. එකී  සිතුවිලි වල හෝ කතාවෙහි අසාධාරණයක් නොවන බව විශ්වාසය. විවිධ හේතූන් මවාගෙන ඈත් වී සිටියත් දරුවාට ඇති ඔවුන්ගේ නෑකම වෙනස් වන්නේ නැත. 

“ඒ අම්මා තාත්තායි  දෙන්නා අද හරියට පටාචාරාවක් වගේ ඇති.” 

අවසන දහරා මිමිණූයේ  යෙහෙළියගේ අත අල්ලාගෙනමය.

“එච්චර හිතන්න එපා අපි පුළුවන් වෙලාවක පුළුවන් දෙයක් එයාලා වෙනුවෙන් කරමු. සමහරවිට ඔයාට නොලැබිච්ච තැන දැන් ඉන්න මනුජිත්ගේ වයිෆ්ට එයාලගේ ජීවිතවල ලැබෙන්න පුළුවන්.”

“ඒක එහෙම වෙලා හරි ඒ මිනිස්සුන්ගේ ජීවිතවල මේ අන්තිම කාලේ රැකවරණයක් ආදරයක් ලැබෙනවනම් ඒ ඇති.”

“අනේ මන්ද මම යන එනකොට බස් වලත් බලනවා මට ඔය මිනිහා අහම්බෙකින් හරි හම්බ වෙයිද කියලා. එහෙම උනා නං එක්කෝ ඌ නැත්තං මම. මේ එකෙක්ට කොන්ද පණ නැතුව ගියානේ ඕකගේ කකුල් දෙක කඩල දාන්න. ඇත්තමයි මට එන කේන්තියක්.”

“ආ…ආ… කවද ඉඳලද මේ චන්ඩි පාට් පටන් ගත්තේ. මම හිතාගෙන හිටියේ කැම්පස් ගිහිල්ලා සිලබස් එක ඉගෙන ගන්නවා විතරයි කියලා. චණ්ඩිකම් කරන්නත්  ඒ කැම්පස් එකේ උගන්වනවා කියලා දැනුයි දැනගත්තේ..”

“උඹල වගේ ඕනවට වඩා අහිංසක වෙන්න ගියාම තමයි මිනිස්සු ඔළුවට අත හෝදන්නේ. චණ්ඩිකං ඉගෙන ගන්න කැම්පස් යන්න ඕනෙ නෑ මේක තමයි සේකර වත්තේ ගැම්ම. වරෙන්.. වරෙන් රීටා ආච්චි උයන ඒවයි සුවඳට තව පැය භාගයක් හිටියොත් මගේ බඩේ පණුවෝ පිකටින් එකක් කරනවා. ඊට කලින් ආච්චිව කුස්සියෙන් එළවලා තියෙන දෙයක් බෙදාගෙන කන්න ඕනේ. 

නිශාදි  නැගී සිටියේ එසේ පවසමින්ය දහරා සිනහසෙමින් යෙහෙළිය පසුපස ඇවිද ගියාය. අද ආච්චිගේ අමුත්තිය වී තිබුණේ ඈය. එනිසාම නිශාදි වඩා ප්‍රිය කරන වැටකොළු ව්‍යාංජනය, කූනිස්සන්  මැල්ලුම  හා කරවිල සම්බෝලයත්, කළුවට ඉවූ කුකුළු මසුත් කුඩා මුළුතැන් ගෙයි පිළියෙල වන බව විශ්වාසය.

                                       ************

වේළුගේ  යාපනයේ නිවසට එදා විශේෂ දවසකි. තංගමනී පෙර දා  රාත්‍රියේ සිටම විවිධ කෑම වර්ග සකසමින් සෙනරත්ව පිළිගන්නට සූදානමින් සිටියාය.  එදවස සෙනරත් ඒසා දැනුම් තේරුම් ඇති තරුණයකු නොවේ. බුරබුරා නැගෙන ගිනිදැල් අතරින් තමා දරුවාව බේරා ගන්නට නිවස තුළට පනින්නට සැරසෙද්දී ඊට ඉඩ නොදී මහත් වෙරගෙන අල්ලාගෙන  සිටියේ සෙනරත්ය. එපමණක් නොව පල්ලියේ සිටි තමාත් බිරිඳත් රමාශුත් නිවසට එද්දී ඔහු වටේ පිටේ කොල්ලන් එකතු කරගනිමින් ගිනි නිවා දමන්නට මහත් වෙහෙසක් දරමින් සිටියේය. 

“සෙනරත් මල්ලි මාර ගේමක් දුන්න ඇතුළට පැනලා කොල්ලව බේරගන්න වේළු අයියේ. කරුමෙ කියන්නේ ඉස්සර වෙලාම ගිනි අරගෙන තිබුණේ පොඩි එකා ඉඳපු කාමරේ තමයි.”

අසල නිවසක ගැහැණියක පැවසූයේ ඉන් දින දෙක තුනකට පසුවය. දින කිහිපයක් තිස්සේම තමාත්, බිරිඳත්, රමාශුත් රැඳී උන් කුලී නිවසට පැමිණ බලෙන් හෝ තේ එකක් පොවා ගියේ ඔහුය. සේකර වත්ත පුරා විවිධ ආකාරයේ කතා මැවෙද්දී, පැතිරෙද්දී නොවෙනස්ව සිටියේත් ඔහුය. ‘තංගමනී අක්කා  කෑවෙ නැත්තං මං කන්නෙත් නෑ. අද මං මෙතනින් යන්නෙත් නෑ…’ යැයි පවසමින් බිරිඳට වදෙන් පොරෙන් බත් කටක් කැව්වේත් ඔහුය. සේකර වත්ත අමතක කර දමන්නට සිතෙහි වූ උවමනාව විනා සෙනරත්ව අමතක කර දමන්නට ඔහුට උවමනාවක් නොවූයේ එනිසාය.. 

බිරිඳ මඟුල් මේසයක් සේ කෑම මේසය සැරසුයේ යාපනයට පැමිණියායැයි රමාෂ්ගෙන් පණිවිඩය ලැබෙද්දීය. වේළුගේ යාපනයේ නිවස මදක් විසල් තෙමහල් නිවසක් විය. සෙනරත් වෙනුවෙන් සකස්ව තිබුණේ දෙවන මහලෙහි වූ කාමරයකි. වර්තමානයේ වේළු වූයේ සිය පවුලේ ව්‍යාපාරය වූ පලතුරු වෙළඳාමෙහි නිරත වෙමින් සිටියේය. යාපනය නගරයේ  වූ පලතුරු කඩ හතරක හිමිකාරීත්වය ඔහු සතු විය. සිය  සොහොයුරා අම්මාගේවත් අප්පාගේවත් වේලුගේවත් ඉල්ලීම නොතකමින් එල්.ටී.ටී.ඊ හමුදාවට බැඳී අකාලයෙහි මිය ගියේය. එදවස වේළු සිය බිරිඳ සමඟ කොළඹට ගියේ ගමෙහි සිටීමට අපහසු කාලයක් උදාවද්දීය. දරුවන් දෙදෙනාම ඉපදුණේ කොළඹදීය. යාබද  නිවසෙහි ඔහුගේ සහෝදරිය ජීවත් වූ අතර අනෙක් සහෝදරිය වූයේ කැනඩාවේය. 

අවසන ඒ දෑස් වලට විරාමයක් ලබා දෙමින් රමාශුත් සෙනරතුත් රැගත් හයිබ්‍රිඩ් වර්ගයේ කාරය ගෙවත්තට ඇතුළු වූයේ වේලුගේත් තංගමනීගේත්  මුහුණුවල සිනහවක් තබමින්ය. 

( හෙටත් හමු වෙමු ආදරයෙන්……)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here