කලුවර රෑ සඳක් වගේ – 10

0
134

හරියට තමන්ගේ පරණ ගුහාවට හෙමින් සීරුවේ, ඒත් මහා ලොකු අණසකකින් අඩි තියන සිංහ ධේනුවක් වගේ, භානුකී ගෙදර දොරකඩින් ඇතුළට ආවා.

ඒ ඇවිදීම ඇතුළේ තිබ්බෙ ලොකු සයිලන්ස් එකක් අස්සෙ හැංගිච්ච පවර්ෆුල් ඔතෝරිටි එකක්. මේ ගේ ඇතුළේ තියෙන හැම බිත්ති අඟලක්ම, හැම බඩුවක් මුට්ටුවක්ම තාමත් රහසින් කතා කරන්නේ එයාගේ බාසාවෙන් නේද කියලා මට හිතුනෙ භානුකී ගේ අස්සට ඒ ආව විදියෙන්.

තමන් මේ එන්නෙ තමන් අත ඇරලා දාලා ගියපු ගෙදෙට්ට වගේ නෙවෙයි භානුකී දොරෙන් ඇතුලට ආවේ. භානුකී ගේ අස්සට ආවට වඩා ගේ අස්සට වැදුනා කියන්න තමයි මම කැමති. මොකෝ මොන ගෑනිද කියන්නකො කැමති තමන්ගෙ කසාද මිනිහගෙ ගෙදෙට්ට හිතිච්ච හිතිච්ච වෙලාවට කලින් ගෑනි ඇවිල්ල බෙල්ල දානවට. අන්න ඒ වෙලාවෙ නම් මට ඇත්තටම හිතුණා ඔය මූනෙන් පේන වැදගත්කමයි ක්ලාස් එකයි නම් මේ ගෑනිගෙ ඇඟ අස්සෙ, හැසිරිම අස්සෙ නැහැයි කියලා.

කිසි ගාණක් නැතුව තමයි භානුකී ගේ අස්සට ආවෙ. හරියට නිකන් අවුරුදු ගානකට පස්සෙත් තමන්ගෙ පරණම ඇඳුමක් අඳිද්දි තියෙන පුරුද්දට වගේ තමයි එහෙම ඇවිල්ල නිකන් “මං මොනවද මේ ගෙදර වෙනස් කරලා තියෙන්නෙ” කියලා බලන්න වගේ වට පිටාව බැලුවෙ.

මම කොරිඩෝව අයිනට වෙලා බලාගෙන හිටියේ හරියට මම මගේම ගෙදර අමුත්තෙක් වුණා වගේ. මටත් නොදැනීම මගේ අත් දෙකෙන් දොර උළුවස්ස තද කරලා අල්ලගෙනයි මං ඉඳලා තිබ්බේ. 

“මම මේ මනුසත්ගේ ඔෆිස් එකෙන් ෆයිල්ස් වගයක් ගන්න ආවේ ලිහිණි,” කියාගෙනම මනුසත්ගෙ ඔෆිස් රූම් එකට ගියපු භානුකී එහෙම යන්න මගෙන් අවසරයක් ඇහුවේ නැහැ. සමහර විට මම බලාපොරොත්තු උනාට එයා එහෙම අවසර ඉල්ලාවි කියලා එහෙම කරන්නෝන කියලා එයා හිතන්නෙ නැතුව ඇති. 

“තනියෙන් හොයාගන්න පුලුවන්ද ඔයාට? මොනාහරි උදව්වක් ඕනද?” කියලා මම භානුකිගෙන් ඇහුවෙ එයා මනුසත්ගෙ කැරකෙන ඔෆිස් පුටුවෙ වාඩිවෙලා මනුසත්ගෙ මේසෙ යට තිබ්බ කබඩ්ස් වලින් එක එක ෆයිල් ඇදලා අරගෙන බලන ගමන්. ඇත්තටම ඒ වෙද්දි අපි කසාද බැඳලා අවුරුදු කීපයක් ගතවෙලා තිබ්බත් මම කවදාවත් මනුසත්ගෙ ඒ පුටුවෙ වාඩිවෙලා තිබ්බෙ නෑ. මොකෝ ඒ පුටුවෙ වාඩිවෙන එක මම දැක්කෙ නිකන් එයාට කරන අගෞරවයක් වගේ. එහෙම එකේ භානුකී මනුසත්ගෙ එ මං වාඩි නොවිච්ච පුටුවෙම වාඩිවෙලා ඉද්දි මට හිතුනෙ භානුකී මට පෙන්නන්න හදන්නෙ මට කවදාවත් එයාගෙවත් මනුසත්ගෙවත් ලෙවල් එකට එන්න බැරි විත්තිය කියලා.

“නෑ නෑ ලිහිණි මට පුලුවන්. තැන්ක්‍යු” කියලා ඇස් දෙක පොඩ්ඩක්වත් මං දිහාවට එවන්නෙ නැතුව භානුකී එහෙම කිව්වයින් පස්සෙ ඇත්තටම මට එතනට වෙලා කරන්න දෙයක් තිබ්බෙ නෑ. ඒ උනාට එතනින් එහාට ගිහිල්ලා නිකන් භානුකීට මේ ගෙදර ඔක්කොම අයිතිය තනියෙන් පවරලා වගේ කුස්සියට වෙලා ඉන්නත් මට උවමනාවක් තිබ්බෙ නෑ. මට ඕන උනේ හරි හරියට භානුකිගෙ ලෙවල් එකට එන්න. ඒ උනාට ඒක කරන්නෝන කොහොමද කියන එක ගැන අදහසක් මට එවෙලෙ තිබ්බෙ නැති හන්දා ඔෆිස් රූම් එක ඇතුලෙ භානුකීට ඕන මගුලක් කරගන්න දීලා තමයි මම ඉස්සරහා සාලෙ සෙටියට වෙලා වාඩිවෙලා උන්නේ.

මනුසත් ගෙදෙට්ට ආවෙ මං එහෙම කල්පනා කර කර ඉද්දි.

“භානුකී ආවද?” කියාගෙනම ගෙදෙට්ට ගොඩ වෙච්ච මනුසත් එයාගෙ අතේ තිබිච්ච බෑග් එක මං අතට දුන්නා. මං ඒ බෑග් එක අතට ගන්න ගමන්ම තමයි ඔලුව උඩට පහලට වනලා “ඔව්” කියලා කිව්වේ. මා එක්ක වචනයක්වත් කතා කරන්නෙ නැතුව මනුසත් ඔෆිස් කාමරේට යද්දි මට කරන්න ඉතුරුවෙලා තිබුනෙ අපේ කාමරේට ගිහින් මනුසත්ගෙ බෑග් එක තියලා එන එක විතරයි. ඔෆිස් රූම් එක ඇතුලෙ චට පට ගාලා කතා කරන ඉංග්‍රීසි වචන වලින් කොටසක් ගේ අස්සෙන් එහෙන් මෙහෙන් රිංගලා ඇවිත් මගේ කන් දෙක අස්සෙ සැතපුනාට මට ඒ වචන වල හඬෙන් විතරක් සැනසෙන්න පුළුවන් උනේ නෑ. මට ඕන උනේ කාමරේ අස්සෙ ඔච්චර මේ ඩිවෝස් වෙච්ච ජෝඩුවකට කියවන්න තරම් තියෙන්නෙ මොනවද කියලා දැනගන්න. අන්න ඒ හන්දමයි මම හොඳට ඉඟුරු කෑල්ලක් තලලා දාපු ප්ලේන්ටී දෙකක් අරගෙන ගියේ. මනුසත් එවෙලෙ ගෙදෙට්ට ආවෙ නැත්තම් මම කීයටවත් භානුකීටත් තේ එකක් හදලා නොදී ඉන්න තිබ්බා. 

“මං මොකටද මේ ඒකිට තේ හදන්නෙ? ඔච්චර මේ කිසි ගාණක් නැතුව මේ ගේ අස්සට එන්න ඒකිට පුලුවන් නම් කුස්සියටම ගිහිල්ලා තේකක් හදාගන්න බැරිද?” කියලා හිත කිව්වට කාමරේ අස්සෙ වෙන්නෙ මොනවද කියලා දැනගන්න උවමනා හන්දම මම ඒ හිතුවිල්ල ටිකකට හිත අස්සෙ කෙලෝරම තැනක පාක් කරල තේ දෙකක් හදාගෙන මනුසත්ගෙ ඔෆිස් රූම් එක ළඟට ගියා.

වෙනදට නම් කවුරුහරි මනුසත්ව හම්බෙන්න ඔෆිස් රූම් එකට ආවම මම “මම එන්නද?” කියලා ඇතුලට ගියාට අද එහෙම කරන්නෝන නෑ කියන එක මගේ ගෑනුකම, ඒ ගෑනුකම හන්දම හිත අස්සට ආව ඉරිසියාව, තරහව මට මතක් කරලා දීලා තිබ්බා.

“මේ වෙලාවට හොඳ හැබැයි කූල් දෙයක් නේද?” කියලා කියන ගමන්මයි භානුකී ට්‍රේ එකේ තිබිච්ච තේ එක අතට ගත්තෙ. මන්දාරාට පිහිටලා තියන උද්දච්ච කුහකකම ඒ කෙල්ලට ඇවිත් තියෙන්නෙ එයාගෙම අම්මගෙන් විත්තිය මම නිච්චියටම තේරුම් ගත්තෙ භානුකී මන්දාරා එදා “අම්මි නෝස් බෙටර්” කියලා කට ඔහෙක් මෙහෙක් කරපු තාලෙටම කියවද්දි. ඒ උනාට හිනාවක් වගේ නියවීමක් කරනවා ඇරෙන්න මට ඒකට දෙන්න වෙන උත්තරයක් තිබ්බෙ නෑ.

“ඔයාට කන්න මොනා හරි ගෙනත් දෙන්නද?” කියලා මම මනුසත්ට තේක අත් දෙකෙන්ම දෙන ගමන් ඇහුවෙ ඉස්සර මනුසත් කියන දෙයක් මතක් වෙච්ච හන්දා වගේම ඒක භානුකී ඉස්සරහා මතක් කරලා එයාට රිද්දන්න ඕනකමක් මගෙ ගෑණු හිත අස්සෙ තිබිච්ච හන්දා.

“මං සමහර වෙලාවට දවල් ඉතින් ගෙදෙට්ට යන වෙලාවට භානුකී ගෙදර නෑ. දරුවො කොහොමත් ඒ වෙලාවට ටියුශන් ක්ලාසස් වල හරි ඉස්කෝලෙ ආෆ්ටර් ස්කූල් ප්‍රැක්ටිස් වලනෙ. ඔය තියෙන දෙයක් කනවා නැත්තම් තේකක් බොනවා” කියලා අපි යාලුවෙලා උන්නු කාලෙ මනුසත් කිව්වයින් පස්සෙ මම හැමදාම එයාට ගෙදර යන ගමන් කකා යන්න සැන්ඩ්විච් හදලා ගෙනත් දෙන්න පුරුදු වුණා. මම දවසක් දෙකක් එහෙම කරයින් පස්සෙ මට සැන්ඩ්විච් හදන්න ඕන කරන බඩු මටත් එක්කම එයා ගෙනත් දුන්නා. ඒ දවස්වල කොච්චර වැඩ තිබ්බත් මං හරිම ආසාවෙන් තමයි මනුසත්ට ඒ සැන්ඩ්විචස් හදලා දුන්නෙ. ගෙදෙට්ට ආවයින් පස්සෙත් කොහොමත් මම මනුසත් කලින් ආවොත් කන්න ඔය මොන මොනවහරි හදන්නෝන පේස්ට් එහෙම හදලා තියන්න ගත්තෙ ඔය සිද්දිය මට මතක් වෙච්ච හන්දා. මං හිතුවෙ මං ඒක මතක් කරාම මනුසත් භානුකී ඉන්න තැනම ඒක ගැන කියලා මට තැන්ක්‍යු කියලා.

“දැන් එපා ලිහිණි. තේක බිව්වනෙ. තව ටිකකින් මොනාහරි කමු. දැන්ම බඩගිනි නෑ. මං එන්න කලින් කැන්ටින් එකෙන් බන් එකක් කෑවා” කියලා මනුසත් කියද්දි මං ඇත්තටම උන්නෙ භානුකීගෙ මූණ දිහා බලාගෙන. එයාගෙ තොල් අස්සෙ මට පෙනී නොපෙනී ගිය හීන් හිනාව අස්සෙ තිබ්බෙ “උඹ මට රිද්දන්න හැදුවට ඒව නම් ලේසි වෙන්නෙ නෑ” කියන කතාවද කියන්න මම දන්නෙ නෑ.

ඒ උනාට මට ඇත්තටම පුලුවන්කමක් තිබ්බා නම් ඒ ඔෆිස් කාමරේ තිබ්බ ඔක්කොම බඩු පොළොවෙ ගහලා මහ හයියෙන් දත් මිටි කාගෙන කෑගහන්න මං අම්මපා එහෙම කරනවා!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here