සඳ දිය දහරා – 53

0
1347

කාලයකට පසුව වේලුගේ නිවස මංගල්‍යයක සිරි ගෙන තිබිණ. අමිහිරි අත්දැකීම් සමග වුවත් සේකරවත්ත ඒ දෙපළටම විශේෂ එකකි. කැනඩාවේ සිට යළි යාපනයට පැමිණ පදිංචි වූවාට පසුව මේ තමාගේ ජාතියෙන් හා නගරයෙන් පිට කෙනෙක් පැමිණියාමය. පැය කිහිපයක් යනතුරු වේළු සෙනරත් හා දොඩමලු වූයේ එක සීරුවටය. 

“අද ඉතින් අප්පගෙ කටට නිවනක් නැතිවෙයි.”

තංගමනී පැවසූයේ රාත්‍රී ආහාර වේල සකසන්නට සූදානම් වෙමින්ය. 

“තංගමනී අක්කේ රෑටනං මොනවහරි සුළු දෙයක් තිබුනොත් ඇති. මොකද දවල් කාපු කැවිල්ලේ හැටියට බඩේ ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ.”

සෙනරත් එසේ පැවසූයේ මීට සුළු වේලාවකට ප්‍රථමවය. කට ගැස්මක් හැදුනේත් රට බීම බෝතලයක් කැඩුනේත් සවස් යාමයේය. කොළඹට පැමිණෙන්නට පෙර යාපනයේදී තමා විඳි අමිහිරි අත්දැකීම් සේම කොළඹදී වරින් වර පොලිසියට කට උත්තර දෙමින් සීඅයිඩී එකට යමින් තමා විඳි අපහසුතා ගැනද වේළු  පවසමින් උන්නේය. 

“ඒ දවස්වල පවුලෙ කවුරු හරි එල්ටීටීඊ හමුදාවට සම්බන්ධනම් පවුල් පිටින්ම සැකකාරයෝ විදිහට තමයි හිටියේ. මට අදටත් දිවුරල කියන්න පුළුවන් මම එක රුපියලක්වත් එල්ටීටීඊ හමුදාව වෙනුවෙන් දීලා නෑ. මගේ හිතේ කවදාවත් ඒ ගොල්ලො ගැන කැමැත්තක්, ප්‍රසාදයක් තිබුණෙ නෑ. කොළඹ අපි එකට ජීවත් වෙච්ච විදිහ මතක් වෙද්දි මල්ලි,  මොකටද අපි මේ මහ පොළොව බෙදා ගන්න යුද්ධ කරන්නේ කියලා මට හිතුනා. මමයි තංගමනීයි කොළඹට එද්දී අපිට තිබුනේ මේ ඇඟේ ඇඳුම විතරයි. ඉස්සර වෙලාම මං ඔය කඩ කෑල්ල කුලියට අරගෙන කඩේ දැම්මේ තංගමනීගේ රත්තරන් බඩු ටික උකස් තියලා. ඔය සේකර වත්තේ පුංචි ගේ කෑල්ල මට මුලින්ම කුලියට හොයලා දුන්නේ අපේ මාමා කෙනෙක්. මැණිං  මාර්කට් එකේ බිස්නස් කරපු. පස්සේ ඔය සිමෙන්තියේ  බැඳලා හදපු ගෙදර මට සල්ලි වලට ගන්න උදව් කලේ කැනඩාවෙ ඉඳපු මගේ නංගි. එයත් වෛද්‍යවරයෙක් වෙච්ච එයාගේ මහත්තයත් කැනඩාවට ගියේ ලංකාවේදී ඒගොල්ලන්ට ඇතිවෙච්ච බලපෑම් දරාගන්න බැරුව. ඒ සල්ලි එහෙන් මට ආපු වෙලාවේ සෙනරත් මල්ලි දන්නවද මාව රඳවගෙන ප්‍රශ්න කළා. සිංහල හමුදාව දැනගෙන හිටියා මගේ මල්ලි ඒ වෙද්දි එල්.ටී.ටී.ඊ සංවිධානයේ ප්‍රබල සාමාජිකයෙක් කියලා. ඒ නිසා මං දිහා හැම තිස්සෙම බැලුවේ සැකෙන්. ඒ සැකේ අසාධාරණ නෑ. අපේ  අප්පා තදින්ම කියල හිටියා මල්ලිව අපේ පවුලෙන් අයින් කරන්න ඕනේ කියලා. එතකොට එයා හිටියේ යාපනේ කැම්පස් එකේ දෙවෙනි අවුරුද්දේ. ඒක කරගන්න බැරුව මමයි අක්කයි නංගියි පුදුමාකාර විදිහට දුක් වින්දා. අපේ අප්පා ටිකක් තද නීති තිබුණු කෙනෙක්. අපි මැරෙනකම්ම කියපු දෙයක් තමයි මේ එල්ටීටීඊ කාරයෝ වෛරය වපුරන්න කලින් සිංහල, දෙමළ, මුස්ලිම් අපි ඔක්කොම යාපනේ හරි සතුටින් හිටියා කියලා. ඒ වචන හැමතිස්සෙම මගේ මේ ඔලුව ඇතුලෙ දෝංකාර දුන්නා. මං දන්නව මල්ලි මගේ ගේ ගිනි ගත්තේ අත් වැරදීමකින් නෙමේ. අහස්කුරක් ඇවිල්ල කාමරයට වැටුණත් නෙමෙයි. ඒකට හේතු කීපයක් තිබුණා. එකක් තමයි මල්ලි මම උඹලගේ ජාතියෙන් පිට එකෙක් වීම, අනිත් කාරණය තමයි මම මිනිස්සු ඒ දවස්වල නම කියන්නවත් බය වෙච්ච යාපනේ වගේ පැත්තකින් ඇවිල්ලා කොළඹ පදිංචි වීම, අනිත් කාරණය තමයි මගේ මල්ලි එල්ටීටීඊ හමුදාවට සම්බන්ධයි කියන එක ප්‍රසිද්ධ රහසක් වීම. ඔය ඔක්කොටොම වඩා ලොකුම ප්‍රශ්නෙ වුනේ පිටගංකාරයෙක් වෙච්ච මම දියුණු වෙච්ච එක. ජාතියක් ජම්මයක් නැතුව අපේ මිනිස්සුන්ට බලාගෙන ඉන්න බැරි තවත් කෙනෙක්ගෙ දියුණුවක් මල්ලි. ඒ වෙලාවේ මට මතකයි මල්ලි මෙන්න මෙහෙම අත් දෙක දෙපැත්තට කරලා මාව තදින් බදාගෙන හිටිය. මල්ලිගේ අම්මා මගේ මේ ගෑනිගේ ඔළුව අත ගගා ඒ ගෑනි සැනසෙව්ව. කොතනත් හොඳ මිනිස්සු වගේම නරක මිනිස්සු ඉන්නවා මල්ලි”

“දැන් ඕව කතා කරලා මොකටද. අපේ පොඩි පුතා නැතිවුණා තමයි. එයා කොහොමත් අඩු ආයුෂ අරගෙන මේ ලෝකෙට ඉපදිච්ච ළමයෙක්නේ. දැන් අපි ඔය කතා අමතක කරමු.”

 තංගමනී එසේ පැවසූයේ ඇපල් පෙති කිහිපයකුත් මිදි ගෙඩි කිහිපයකුත් තැබූ සුදු පැහැ දීසියක් ඔවුන් ඉදිරිපස තබමින්ය. එහෙත් ඇගේ දෑස්වල කඳුළක් වූවා සෙනරත් හොඳටම දුටුවේය. චීස් පෙති කිහිපයක් තැබූ තවත් සුදු පැහැදී සියක් ගෙන ආවේ රමාෂ්ය.

“වේළු අයියා  කතා කරපු දෙන් තංගමනී අක්කේ. හිතේ හිර කරගෙන ඉන්න දේවල් එළියට පැන්නට පස්සේ හිත නිදහස් වෙනවා. පිට මනුස්සයෙක් ළඟ නෙමෙයි. මම ලඟදිනේ මේ කතා කරන්නේ. තංගමනී අක්කයි වේළු අයියයි කියන්නේ අපිටත් අමතක කරන්න බැරි චරිත උනා. මං හිතන්නේ අවුරුදු ගානක්ම ගත වෙනකල් අපේ ගෙදර ඔයාලා දෙන්නගෙ නම් දෙක කියවෙච්ච නැති දවසක් නැති තරම්. අපේ අම්මා බුදු පහණ තියලත් ‘අනේ අර අහිංසකයන්ට යන තැනක ඉන්න තැනක හොඳක් සිද්ධ වෙන්න ඕන’ කියලා කියනවා මං ඕන තරම් අහගෙන.  එහෙම තමයි හොඳ මිනිස්සු හිත්වල මතක ඉතිරි කරලා තියලා ගියහම. ඒ ගේ ගිනිගැනීම සම්බන්ධව වත්තේ එක එක කතා පැතිරුණා. හැබැයි කවුරුවත් ඒ ගැන දිගින් දිගට හොයන්න ගියේ නෑ. ඒක නිසා වේළු අයියේ අපි මේ හිතෙන දේ ඇත්තක් වෙන්නත් පුළුවන් පුස්සක් වෙන්නත් පුළුවන්. අර අහිංසක දරු පැටියා නැති වෙච්ච එක ගැන දුකක් හිතේ නැතුව නෙමෙයි. ඒකටත් එක්ක හරියන්න මේ ඉන්නේ රජෙක් වගේ පුතෙක්. අපේ නංගි කියන විදිහට එදා වේළු අයියා ඒ විදිහේ තීරණයක් නොගත්තනම් අද මේ රත්තරන් දරුවා මෙතන මෙහෙම නැති වෙන්න තිබුණා. මම ඉගෙන ගත්ත පාඩමක් තමයි වේළු අයියේ එක දෙයක් අපිට නැති නැතිවෙන්නේ ඊට වඩා හොඳ දෙයක් ලැබෙන්න කියන එක.”

“මල්ලි කියන කතාව හරි. මල්ලි කතා කරනකොට මිනිස්සු ගැන හිතනවා. අන්න ඒකට තමයි මම කැමති.”

“මේ සිද්ධිය වෙලා අපිට වත්තෙන් එනකම්ම කන්න දුන්නේ රීටා අම්මා. ඕගොල්ලෝ මහා වස්තු දේපල තිබුණු මිනිස්සු නෙමෙයි. හැමදාම උදේට ඇවිල්ල මට කියලා යනවා තංගමනී උඹ උයන්න එපා මං උඹලටත් එක්ක හාල් ලිපේ තිබ්බා කියලා. අපි කැනඩාවට ගිහිල්ලා ඒවා අමතක කළා නෙමෙයි මල්ලි. කාලයක්ම ගතවුණා අපිට හිත හදාගන්න. අපි එහෙම ගිහිල්ලා ටික කාලෙකට පස්සේ අපිට ආරංචි වුණා මහත්තයාගේ මල්ලි නැතිවුනා කියලා. ඒ විතරක් නෙමෙයි  මෙහා පැත්තේ ඉන්න මහත්තයාගේ නංගී බිම්බෝම්බෙකට  අහුවෙලා කකුල් දෙක කපන්න සිද්ධ උනා කියලා. ඒ එයා ඉස්කෝලේ උගන්නලා ගෙදර එන ගමන්. මහත්තයාගේ මල්ලි ඒ වෙද්දි කසාද බැඳලා හිටියා. ඒගොල්ලන්ට හිටියා තුන් නිවුන් දරුවෝ. මාස හයයි. ඒ දරුවෝ තුන්දෙනයි එයාගේ නෝනයි එක තැනම අඳේ මැරිලා හිටියලු. ඒ දරුණවටම මේ යුද්දේ තිබුණු කාලේ. ඉතින් අපිට අපි වෙන්නම කාලයක් ගත වුනා මල්ලි.” 

“ඒවනං පපුව පත්තු වෙන කතා අක්කේ. ඒ පැත්තෙ මේ පැත්තෙ කියල වෙනසක් නෑ. ඒක මහා සාප කාලයක්. හෙලිකොප්ටර් පුරවලා දකුණට කොල්ලන්ගේ මරණ ගෙනාවා. අත පය නැති වෙච්ච හරියට සිහියක් නැතිවෙච්ච කොල්ලෝ කී දෙනෙක් අදටත් ජීවත් වෙනවද. උදේ වැඩට ගිය මිනිහා හවස ගෙදර එනකං පණ බයේ හිටියා. මහා ඇයෝ දෙපැත්තට වෙලා තරහ පිරිමහ ගත්තට තැලුනේ අයියලා අපි වගේ අහිංසක මිනිස්සු.”

“ඒක ඇත්ත මල්ලි..ඒවගේ සාපයක් නම් ආපහු අපේ රටට ඕනේ නෑ.”

එවර වේළු පැවසූයේ සෙනරත්ගේ වීදුරුව යළිත් වරක් හරි අඩක් වන්නට පුරවාලමින්ය. දෙදෙනාගේ සේයාරුවක් ගත් රමාෂ් එය දහරාට යැව්වේ ‘ආයේ චූටි මාමා කොළඹ එයිද දන්නෙ නෑ. ඒ තරමට දෙන්නගේ මිත්‍රත්වය අලුත් වෙලා…’ යනුවෙන් පවසමින්ය. 

“දහරට වෙච්ච දේ ඇහුවහම මගේ පපුව පත්තු උනා  මල්ලි. ඒ කාලේ මං සාමගෙන් ඉල්ලනවා ඔය කෙල්ල මට හදාගන්න දෙන්න කියලා. ලේන් පැටියෙක් වගේ චූටි දත් දෙකක් තියාගෙන අහිංසක කමට බෙල්ල ඇල කරලා හිනා වෙනවා මට මේ දැනුත් මැවිලා පේනවා. දවසකට එක සැරයක් හරි මොනවා හරි කඩචෝරුවක් කෙල්ලට ගෙනිහිල්ල නොදුන්නොත් මට ඒක හිතට මදි. කෙල්ල ලොකු ළමයෙක් වෙච්ච වෙලාවෙ කරාඹු දෙක හදලා දුන්නේ මම. කරාඹු දෙක දාන්න ඕනේ අම්මා කියලා මං ඒක සාම නංගි දිහාට දික් කරහම අම්මා මොකද නැන්දා  මොකද කියලා මට කිව්වා. ඒ වචන මතක් වෙද්දි මට වාවන්නේ නෑ..අපි කැනඩා යන්න වත්තෙන් පිට වෙන්න හදද්දි කෙල්ල මගේ සාරියේ එල්ලුනා.”

“කෙල්ලට වෙච්ච දේ අපිට වාව ගන්නත් බෑ තමයි අක්කේ. වත්තටම ඉඳපු අහිංසකම ලස්සනම කෙල්ල. අපේ අක්කගෙ හිතේ විතරක් නෙමෙයි  මගේ හිතෙන් බලාපොරොත්තුවක් තිබුණා කෙල්ල කවද හරි හොඳ රස්සාවක් කරලා ගෙයක් දොරක් හදාගෙන ලස්සනට ජීවත් වෙයි කියලා. ඉගෙන ගන්නත් හැබෑම දක්ෂයි. අපිට ඉගෙන ගන්න පුළුවන් වෙලාද ඒ වුණාට කෙල්ලට හැමදේම වතුර වගේ. මොන හෙණ ගෙඩියක් පාත් උනාද කියල උඩ ඉන්න දෙයියෝ තමයි දන්නේ. ඒකනම් මතක් වෙද්දිත් මගේ පපුව රිදෙනවා. කාට කොහොම රැවටුනාද මන්දා අක්කේ..”

“පුතා අපෙන් ඉල්ලීමක් කලා. මල්ලි අපි කෙල්ලට කැමතියි. පුතා ඒ දරුවාට තාත්තා වෙන්න කැමතිනම් ඒක අපිට ප්‍රශ්නයක් නෑ. ඒක හොඳ වැඩක්. ඒ දරුවා නිකරුණේ තනි වෙන්න ඕනෙ නෑ. අපි ඔක්කොම මිනිස්සු මල්ලි. අපි හැමෝටම සතුට විතරයි ඕනේ. මේ හැමදේම තමන්ට ලංකර ගන්න පුළුවන් අපිට සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න පුලුවන්නම්. මගේ පුතාගේ සතුට තියෙන්නේ එතනනම් ඒ ගැන අක්කවත් මමවත් ආපහු ප්‍රශ්න කරන්නේ නෑ.” 

“මං දන් නෑ මම අයියටයි අක්කටයි ස්තුතිවන්ත වෙනවද එහෙම නැත්නම් පින් දෙනවද කියලා. හරි ලස්සනට හැදිච්ච මගේ කෙල්ලගේ ජීවිතේ අපායක් කරේ නරුමයෙක්. මගේ තැන ඉඳන් බලනකොට මේ පුතා බෝධිසත්වයෙක්. ඒ වගේම ඒ වගේ දරුවෙකුට උපත දීපු අක්කටයි අයියටයි මං සදාතනිකවම ණය ගැතියි..”

“අපි හැමෝම මිනිස්සුනේ මල්ලි. කොහොමත් එදා ඉඳලම එයාගේ හිතේ ඔය පොඩි කෙල්ලට හරි ලෙන්ගතුකමක් තිබුණා. ඔයාලා අපි සම්බන්ධතා පැවැත්වුවේ නැතිවුණාට එයාගේ හිතේ ඒක හැමදාම තිබිලා. අපේ දරුවෙක්ට විනාශ වෙන්න අපි ඉඩ තියන්නේ නෑ. අපි දැන් ඉතින් හෙට අනිද්දා නෑදෑයොත් වෙනවා. ඒක සමරන්න අපි තව චුට්ටක් ගමු මල්ලි.” 

වේළු යළිත් වරක් පැවසූයේ සෙනරත්ගේ වීදුරුව අඩක් පුරවාලමින්ය. කිසිවක් ප්‍රශ්න නොකරම ඔවුන් රමාෂ්ගේ ඉල්ලීමට එකඟ වීම පිළිබඳව සෙනරත්ගේ සිතෙහි ඇතිවූයේ ඇදහිය නොහැකි තරම් සතුටකි. මේ සියලු විස්තර සොහොයුරිය හා බෙදා ගැනීමට අවශ්‍ය වුවත් වේළු අයියා ඉදිරි පසින් නැගී සිටීමට ඔහුට සිතුනේ නැත. මේ මනුස්සකම හඳුනන මිනිසුන්ය. යළි දෙතුන් වතාවක්ම සිය දෑත් එක්කරමින් සෙනරත් තංගමනීටත්, වේලුටත් තම ස්තුතිය පුද කළාය. ඔවුන් මේ තේරුම් ගැනීමම වටී.

(හෙටත් හමු වෙමු ආදරයෙන්……)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here