ගෙවී යමින් පවතින දිනය අතිශය වෙහෙසකර වුවද ලවන් උත්සාහය අත අරින්නට සූදානම් නොවී අවස්ථාවක් ලැබෙන තුරු දැඩිසත්කාර ඒකකය ඉදිරිපිට ට වීම උන්නේය. අලුයම පහට පමණ හෙදියක් දැඩිසත්කාර ඒකකයට ඇතුළු වීමට සූදානම් වන විට ලවන් වහාම නැගිට ගොස් ඇයව නවත්වා ගත්තේය.
” අනේ නර්ස්.. ප්ලීස් මට පේශන්ට් එක්ක ටිකක් කතා කරන්න පුලුවන්ද ? මං එයාව මැරි කරන්න ඉන්න කෙනා. මං පැය ගානක් තිස්සේ මෙතන.අනේ ප්ලීස්.. මට විනාඩි දෙක තුනක් ඇති ”
ලවන් බැගෑපත් ස්වරයෙන් හෙදියගෙන් ඉල්ලා සිටි අතර ඇය වටපිට බලා දැඩි සත්කාර ඒකකය තුළ ඉහළ නිලධාරියෙක් නොසිටි නිසා එහි දොර විවෘත කර ලවන්ට ඇතුළු වීමට අවස්ථාව සලසා දුන්නේය. මන්දාකිණි උන්නේ සයනය මත වැතිරී අඩ නින්දේය. වේදනා නාශක වලට පවා දෙවනි නොවී ශරීරයෙන් නැගෙන වේදනාව හේතුවෙන් මන්දාකිණි වෙතින් සිහින් කෙඳිරියක්ද නැගෙමින් තිබිණි.
ලවන් හඬක් නොනැගෙන සේ පියවර තබමින් දැඩි සත්කාර ඒකකයට ඇතුළු වී සයනයේ වැතිරී හුන් මන්දාකිණි වෙත පැමිණ නතර වූයේය. මහා පෞරුෂයක් සහිතව ස්වාධින කාන්තාවක් සේ නැගී හුන් මන්දාකිණි මේ ආකාරයෙන් අතිශය දුර්වල තත්ත්වයක සිටීම ලවන් තුළ ඉතා කුඩා අනුකම්පාවක් පමණක් ඇති කළද ඇය තමාව ප්‍රතික්ෂේප කළ බැවින් ඇයට මෙවැනි ඉරණමක් අත් විය යුතු බව ඔහු අනෙක් අතට සිතුවේය.
” මන්දාකිණි “
ලවන් ඉතා සෙමෙන් මිමිනු අතර අඩ නින්දේ හුන් මන්දාකිණි ආයාසයෙන් දෑස් විවර කර බැලුවාය. කොයි මොහොතේ හෝ තමා ඉදිරියේ කෛලාශ් පෙනී සිටීවී යන බලාපොරොත්තුවෙන් හුන් මන්දාකිණි ලවන් දෙස බැලුවේ බලාපොරොත්තු සුන් කර ගෙනය.
” මං කියන දේ ඇහුව නම් මේ ටික වෙන්නෑනෙ මන්දාකිණි. බලන්නකෝ ඉතින් ඔයා ගේ හිතුවක්කාර කම නිසා අන්තිමට වෙච්ච දේ “
ලවන් කිසිදු තෙතමනයක් නොමැතිව කියා ගෙන ගිය අතර මන්දාකිණි නැවත දෑස් පියා ගත්තේ මෙවැනි කතාබහක් ඒ මොහොතේ දී කිසි ලෙසකින් වත් අවශ්‍ය නොවූ නිසාත් එවැන්නකට වෙහෙසීමට පවා තිබූ නොහැකියාව නිසාත්ය.
” වෙන්න තියෙන දේවල් වෙනස් කරන්න බෑ මන්දාකිණී.ඒක ඔයා දැන්වත් තේරුම් ගන්න.ඔයාගේ අම්මයි තාත්තයි තමයි මාව මෙතන තියලා ගියේ.ඉතින් ඔයාට තේරෙනවා ඇති නේ ඊළඟට ඒගොල්ලෝ මොකක්ද කරන්නේ කියලා “
මන්දාකිණි දෑස් තද කර පියාගෙන ලවන් කියනා සියල්ල අසා උන්නාය.දෑස් අග්ගිස්සෙන් කඳුළු බේරී වැටුනද මන්දාකිණි හට ඒවා පිසදා ගැනීමට හැකියාවක් හෝ උවමනාවක් තිබුණේ නැත.
” තවත් හිතුවක්කාර වෙන්නෙ නැතුව අම්මයි තාත්තයි කියන දේකට කැමති වෙන්න දැන් ඉතින්. මොකද ඔයාට වෙන ඔප්ෂන් එකක් නෑ මේ වෙලාවේ. ඔයාව බලන්න ආපු අර කොල්ලවත් ඔයාගෙ තාත්තා හරවලා යැව්වා මං හිතන්නේ ”
ලවන් එවදන් පැවසුවේ හඬ මදක් උස් කරය.එය ඇසුණු පසුව මන්දාකිණි දෑස් හැර ලවන් දෙසස බලා ඔහුගේ මුහුණේ වූ උපහාසය දරා ගත නොහැකිව නැවත දෑස් පියා ගත්තාය.
” මට වැඩි වෙලා මෙතන ඉන්න බැහැ.මට මේ ටික ඔයාට කියලා යන්නයි ඕන වුණේ. කොහොමත් ඔයාව ඉක්මනට ප්‍රයිවට් හොස්පිට්ල් එකකට මාරු කර ගන්නවා. නැත්තං එක එක්කෙනා ඇවිල්ලා මේක අස්සෙත් රිංගන්න බලයි “
ලවන් එසේ පවසා දැඩිසත්කාර ඒකකයෙන් පිටව ආ අතර තමා වෙනුවෙන් කිසිදු පියවරක් ගත නොහැකි අසරණ භාවයෙන් යුතුව මන්දාකිණි සයනය මත ඔහේ වැතිරී උන්නාය.
උදෑසන හතට පමණ අවදි වූ ධර්මරත්න වෛද්‍යවරයා ගේ දුරකථන අංකය ඉල්ලා ගෙන පැමිණ තිබූ නිසා මන්දාකිනිගේ වර්තමාන තත්ත්වය පිළිබඳව විමසීමට ඔහු ඇමතූ අතර තවදුරටත් ඇයව දැඩි සත්කාර ඒකකයේ රඳවා තැබිය යුතු බව වෛද්‍යවරයාගේ මතය විය. පුෂ්පා හට රෝහලට යාමට දැඩි වුවමනාවක් වුවද මන්දාකිණි හට බාධා කිරීමෙන් වළකින ලෙස වෛද්‍යවරයා ඉල්ලා සිටි බැවින් දහවලේදී රෝහලට පැමිණෙන බව වෛද්‍යවරයා හට පැවසූ ධර්මරත්න දුරකථන ඇමතුම අවසන් කළේය.
පෙර දිනයේ සිට රෝහලේ රැඳී සිටි ලවන් , අකලංක සමග ඔහුගේ නිවසට යාමට සූදානම් වූයේ පැය කිහිපයකින් නැවත පැමිණීමේ බලාපොරොත්තුවෙනි. මන්දාකිණිව මුණ ගැසීමට කිසිවෙකුට ඉඩ නොදෙන්නැයි උදෑසන මන්දාකිණි ගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පැමිණි වෛද්‍යවරයා හට පැවසූ ලවන් පිටත් වූයේ කඩිමුඩියේය.
” මේ මිනිහා නං මාර නහරකාරයෙක් වගේ. මේ කෙල්ල කොහොම ඉන්නවද මන්දා “
වෛද්‍යවරයා අසල හුන් හෙදියට පැවසුවේ විදුලි සෝපානය වෙත ඇවිද යන ලවන් දෙස බලමිණි.පෙර දිනයේ සිටම ඔහුගේ හැසිරීම මන්දාකිණි හට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් කිහිප දෙනාව සහ හෙදියන් කීප දෙනාව අපහාසතාවයට පත් කර තිබූ බැවින් ඒ බොහෝ දෙනකු ලවන් කෙරෙහි පසු වූයේ අප්රසාදයකිනි.
ඇන්ඩ්‍රියා රෝහලට පැමිණියේ උදෑසන අටට පමණය.ඇය රෝහලට පැමිණෙන බව එරික් දැන උන්නද කෛලාශ් දැන නොඋන්නේ අලුයම වෙනතුරු නිදි වර්ජිතව ගත කල කෛලාශ් නින්දට වැටුනේ උදෑසන හතට පමණ බැවිනි. කෛලාශ් ව නිවසේ තනි නොකළ යුතු බැවින් එරික් නිවසෙන් අතර වූ අතර ඇන්ඩ්‍රියා පමණක් රෝහල වෙත පැමිණියාය.
ඒ වන විටත් මන්දාකිණි දැඩිසත්කාර ඒකකයේ ඇතැයි අනුමාන කළ ඇන්ඩ්‍රියා රෝහලට ඇතුළු වී කෙලින්ම පැමිණියේ ඒ වෙතය. දැඩිසත්කාරර ඒකකයේ වීදුරු දොර මත වූ කුඩා කවුළුවෙන් පෙනෙන සයනයේ වැතිරී සිටින්නේ මන්දාකිණි බව හඳුනා ගත් ඇන්ඩ්‍රියා කම්පාවට පත් වී මොහොතක් ඒ දෙස නිසොල්මනේ බලා උන්නාය.
මන්දාකිණි හට වේදනා නාශක එන්නතක් ලබා දීම සඳහා හෙදියක් දැඩි සත්කාර ඒකකය වෙත පැමිණියේ ඇන්ඩ්‍රියා එහි දොරටුව අසල සිට කවුලුවෙන් බලා සිටියදීය.
” එක්ස්කියුස්මී.. මිස් පේශන්ට් ගේ කවුරු හරිද ?”
ඇන්ඩ්‍රියා වෙතින් දිස් වූ මහා පෞරුෂයත් , වැදගත් බවත් නිසා හෙදිය ඇය ඇමතුවේ ඉතා ගරු සරු සහිතවය. ඇන්ඩ්‍රියා මදහසක් සහිතව හෙදිය දෙස බලා දැඩිසත්කාර ඒකකයේ දොරටුවෙන් මෑත් වූවාය.
” මම මේ..මන්දාකිණි දන්න කෙනෙක්. ආරංචි වෙච්ච ගමන් මං එයාව බලන්න ආවේ. මොකද මේ ඇක්සිඩන්ට් එක වෙන්න කලින් මෙයා හිටියේ අපිත් එක්ක “
” ආ.. එහෙමද ? එයාගේ ගෙදර අය නම් කීප දෙනෙක් ඇවිල්ලා ඉඳලා ගියා. පේශන්ට් ට රෙස්ට් කරන්න තියෙන නිසා මං හිතන්නේ ඩොක්ටර් කියන්න ඇති එයාලටත් දවල් වෙලා එන්න කියලා “
ඇන්ඩ්‍රියා තප්පර කිහිපයක් හෙදිය දෙස බලා හිඳ අනතුරුව වටපිට බැලුවාය.
” අ.. මේ.. මට තරහ නැතුව විනාඩියකට ඇතුලට යන්න පුළුවන්ද ? මං ඉක්මන්ට ආපහු යන්නම්. මේ ආව එකේ මන්දාකිණි ව නොබලා යන එක අපරාදේ නේ “
හෙදිය මද සිනහවක් පා ඇන්ඩ්‍රියාට ඉඩ දී දැඩිසත්කාර ඒකකයේ දොර විවර කර ඇය සමඟම එයට ඇතුළු වූවාය. අනතුරුව හෙදිය විසින් මන්දාකිණි හට අදාල එන්නට ලබා දෙන තුරු ඇන්ඩ්‍රියා පසෙකට වී බලා උන්නේ තම අවස්ථාව පැමිණෙන තුරුය.
” පේශන්ට් ට ඩිස්ටර්බ් කරන්න දෙන්න එපා කියලා ඩොක්ටර් කියලා තියෙන්නේ. ඒ නිස..වැඩි වෙලාවක් ඉන්නෙ නැතුව එළියට එන්න ”
” ශුවර් ”
හෙදිය හිස් එන්නත රැගෙන දැඩි සත්කාර ඒකකයෙන් පිටවන තුරු බලා හිඳි ඇන්ඩ්‍රියා අනතුරුව බිඳි ගිය එක් අතක් සහ තුවාල ගණනාවක් සහිතව සයනයේ වැතිර හුන් මන්දාකිණි දෙස බලා උන්නේ කම්පාවෙනි
” මගෙ පුතේ “
ඇන්ඩ්‍රියා මන්දාකිණි ගේ හිස මත යන්තමින් අත තැබූ විගසම මන්දාකිණි දෑස් විවර කර බැලුවාය. තමා ඉදිරිපිට සිටගෙන සිටින ඇන්ඩ්‍රියා දුටු විගස මන්දාකිණි ආයාසයෙන් හිස පසෙකට හරවා කෛලාශ් පැමිණ සිටිනවා දැයි බලමින් විමසිලිමත් වූවාය. ඒ බව ඇන්ඩ්‍රියා හඳුනා ගත්තේ නිමේෂයකිනි.
” කෛලාශ් ආවේ නෑ පුතේ. එයාට මෙහෙට එන්න විදියක් නෑ.ඔයා දන්නවනේ. මං ඒකයි මගෙ පුතාට මොකද උනේ බලන්න මේ ආවේ. ඔයාව මෙහෙම දකිනකන් කෛලාශ් ට වගේම මට සැනසිල්ලක් තිබ්බෙත් නෑ ”
ඇන්ඩ්‍රියා ගේ කරුණාබර සෙනෙහස දරා ගත නොහැකිව මන්දාකිණිගේ දෑස් වලින් නොනවත්වාම කඳුළු කඩා වැටෙන්නට පටන් ගත් අතර ඇය දැඩි වෙහෙසක් දරා මුව විවර කළාය.
” අම්මා.. මට… කෛලාශ්ට කතා කරන්න ඕනේ අම්මා…. “


