දහරා නිශාදිත් මුලින්ම සුමනසේකර සොයා ගියේ ඔහු සේවය කරනා තොග කඩයටය.
“සුමනසේකර අයියනම් අද වැඩට ආවේ නෑ මං හිතන්නේ පවුලට සනීප නෑ කියලා කිව්වා.”
එසේ පැවසූයේ ලොරියකින් පිටි මිටි බාමින් සිටි මැදි වියේ මිනිසෙකි.
“අපි එයාගේ ඥාති දුවලා දෙන්නෙක්. මේ ළඟ ඇනෙක්ස් එකක තමයි ඉන්නවා කියලා කිව්වෙ. එනවනං ඉස්සර වෙලා මේ කඩේට එන්න කියලා කියපු නිසයි ආවේ. අපිට පොඩ්ඩක් ඒ ගෙදරට යන්න පාර කියන්න පුළුවන්ද.?”
නිශාදි එසේ ඇසුවේ දහරා පසුපසට වී සිටියදීය. ‘මනුජිත්ගේ මව අසනීපයෙන් ය’ යන කාරණාව ඇගේ සිතට ගෙන ආවේ දුකකි.
“හරියටම තැන කියන්න නම් දන්නේ නෑ. ඔන්න ඔය ඉස්සරහ ආනන්ද මාවතෙන් හැරිලා මීටර් එකසිය පනහක් විතර යන්න ඕනේ කියලා දන්නවා. පොඩ්ඩක් ඒ හරියට ගිහිල්ලා ආරංචි කරලා බලන්නකෝ.”
“නිශාදි අපි මේ කඩෙන්ම උවමනා කරන දේවල් මොනවා හරි ගන්නවද?”
යුවතිය හිස වැනුවේ යෙහෙළියට එකඟවය. දෙදෙනෙකුට සතියකට පමණ සෑහෙන තරම් වියළි ආහාරත්, එළවලුත් පෝෂදායී පිටි වර්ගයකුත් මිලදී ගත්තේ දහරාගේ කැමැත්තටය.
“පුළුවන් කාලෙවත් ඔය මනුස්සයා හොඳට කාපු බීපු කෙනෙක් නෙමෙයි. සමහරවිට තාත්තට හම්බවෙන පඩිය අපහසුවෙන් පිරිමහගෙන මනුජිත්ට උගන්නන්න ඇති.”
දහරා පැවසූයේ චීස් පෙට්ටියකුත් යෝගට් කිහිපයකුත් බඩු කූඩයට දමා ගන්නා ගමන්ය.
“ඒක තමයි ඇත්තම කතාව දෙමව්පියෝ දරුවන්ට උගන්නන්නෙ තමන්ගේ බඩටත් හරියකට නොකා. එහෙම ළමයි තමයි ඉක්මනින්ම දෙමව්පියෝ අමතක කරන්නෙත්”
යළිත් මිතුරියන් දෙදෙනා ත්‍රී රෝද රථයකට නැගුණේ තොග කඩය ඉදිරිපසින්මය. ආනන්ද මාවතට හැරී මීටර් කිහිපයක් ඉදිරියට යද්දී නිශාදි තොරතුරු විමසූයේ පාර අයිනේ තණකොල සුද්ද කරමින් සිටි මිනිසෙකුගෙනි.
“ඔය කියන විදිහේ ජෝඩුවක් ගැනනම් දන්නේ නෑ. හැබැයි අන්න අර වංගුවේ කොළපාට තාප්පෙ තියෙන ගෙදර ඇනෙක්ස් එකක් තියෙනවා. පොඩ්ඩක් එහෙන් අහල බලන්න.”
අවසන දහරාටත් නිශාදිටත් සුමනසේකරලා උන් කුඩා නිවස සොයා ගැනීමට හැකි විය. දහරාත් යෙහෙළියත් දුටු ඔහු ඉක්මන් වූයේ උඩුකමිසයක් ඇඳගන්නටය.
“ඇයි පුතේ මෙහෙ ආවේ…”
“මට තාත්තවයි අම්මවයි බලල යන්න හිතුනා. ලබන සතියෙ තමයි ඉස්පිරිතාලෙ නවතින්න ඩේට් තියෙන්නේ. කඩේට ගියහම කිව්වා අම්ම ටිකක් අසනීපෙන් කියලා. ඇයි තාත්තේ අම්මට මොකද?”
“ප්‍රෙශර් ටිකක් නැගලා. කොයි වෙලාවෙ බැලුවත් කල්පනා කරන එකනේ කරන්නේ. මේ වෙලාවේ නම් නිදි. ඉන්න මං නැගිට්ටවන්නම්.”
“කමක් නෑ තාත්තේ තව චුට්ටක් ඉමු.”
“ඉතින් මේ විදිහට ආන්ටිව ගෙදර දාලා යන එක අංකල්ට ප්‍රශ්නයක් නේ…”
“ඒක තමයි දරුවෝ මං මේ ඔයාලා එන්න ටික වෙලාවකට කලින් අම්මාගේ අක්කා එක්ක කතා කර කර හිටියේ. ඒ ළඟින්වත් අපිට පොඩි ඇනෙක්ස් එකක් හොයා ගන්න බලන්න. එතකොට දවල් දවසට අක්කට ඇවිල්ල ටිකක් බලන්න පුළුවන්නේ. මගේ සහෝදරියො දෙන්නෙක් හිටියට අම්මට එයාලා ළඟ ඉන්න බෑ.”
“අනේ ඒකනම් හොඳයි තාත්තේ. දවල් දවසට හදිස්සියක් උනත් තාත්තට පණිවිඩයක්වත් ගෙනියන්න කවුරුවත් නෑනෙ.”
“තමන්ට කාත් කවුරුවත් නැති බව දන්න මිනිස්සු අනිත් මිනිස්සුත් එක්ක හොඳින් ඉන්න ඕනේ. එයා එහෙම ඉන්න දැනගෙන හිටි කෙනෙක් නෙමෙයි”
දහරාත් නිශාදින් මුහුණෙන් මුහුණ බලා ගත්තේ ඔහු එසේ පවසද්දීය. විකුණූ නිවසේ සිටියදීවත් ඈ අහල පහළ නිවැසියන් සමඟ හිතවත්ව වාසය කළ අයකු නොවේ.
“මනුජිත් ගැන ආරංචියක් ඇත්තෙම නැද්ද අන්කල්..”
“නෑ…අන්තිමට අපිට කතා කර කර හිටියේ එයා අවුරුදු ගානක් තිස්සේ පාවිච්චි කළ ෆෝන් නම්බර් එකෙන් නෙමෙයිනේ. දැන් ඒ අංකෙත් වැඩ නෑ. සමහර විට සල්ලි ටික ඉවර වුණාට පස්සේ එන්න ඉඩ තියෙනවා.”
“තාත්තා මුකුත් හිතන් නැත්නම් මං දෙයක් කියන්නද..?”
“මොකක්ද දරුවෝ…”
“හදිසියේ හරි එහෙම මනුජිත් කතා කළොත් ආපහු ගෙදර එන්න කියන්න. මීට වඩා පොඩ්ඩක් ලොකු ගෙයක් අරගෙන හරි ඉන්න පුළුවන්නේ. මේ වෙලාවේ තාත්තට වගේම අම්මටත් ඒක වටිනවා. පුළුවන් නම් හැමදේම අමතක කරලා දැන් එයා එක්ක ඉන්න කෙනා දුවෙක් විදිහට බාරගන්න.”
සුමනසේකර දිගු සුසුමක් මුදා හැරියේ දහරා එසේ පවසද්දීය. ඊයේ පෙරේදා තමාත් ඒ අයුරින් සිතූ බව ඇයට පවසන්නට ඔහු ඉක්මන් නොවූයේය. මිනිසුන් සමහර දේට එකඟ වන්නේත් කැමැත්ත පළ කරන්නේත් අසරණකමටය. දැන් ඔහු සිටින්නේ එවන් තැනකය.
“ඉන්න මං අම්මට නැගිට්ටවන්නම්.”
ඔහු අඩවල් කර තිබූ දොර ඇරියේ එසේ පවසමින්ය. තත්පර කිහිපයකට පසුව කාමරයෙන් ඇසුණේ කසුකුසුවකි.
“අනේ මං කොහොමද ඒ ළමයාගේ මූණ බලන්නේ…”
තවත් තත්පර කිහිපයකට පසුව හැඬුම් මුසු හඬක් ඇසුණෙන් දහරා නැගී සිටියාය. කිසිවක් නොකියූ නිශාදිගේ මුහුණෙහි වූයේ ‘පරිස්සමින්..’වැනි දෑස් බැල්මකි.
“අම්මේ..”
සුමනසේකර කාමරයෙන් පිටවූයේ දහරා කාමරයට ඇතුළු වද්දීමය. එවේලෙහි ඇගේ දෑස් දෙපසින් කඳුලක් බේරී යමින් තිබිණ.
“මනුජිත් ඉක්මනට ගෙදර එයි අම්මේ. අඬල කල්පනා කරලා අසනීප වුණොත් තාත්තව බලා ගන්නත් කවුරුවත් නැති වෙනවනේ. මේ වෙලාවේ පුළුවන් තරම් අම්ම නිරෝගීව ඉන්න උත්සාහ කරන්න ඕනේ.”
“කවදද බබා හම්බවෙන්න දවස් තියෙන්නේ…?”
මද වේලාවක් දහරාගේ කුස දෙස බලා උන් ශ්‍රියාලතා ඇසුවේ බිම බලාගෙනය. පසුගිය දිනවල තමා ඈ ඉදිරිපස සිටියේ සිංහ ධේනුවකගේ ලීලාවෙන්යැයි ශ්‍රියාලතාට සිතුනේත් ඒ හදිසියේමය. මිනිසුන්ගේ ජීවිත උඩු යටිකුරු වීමට බොහෝ කාලයක් ගත වන්නේ නැත.
“ලබන සතියේ සෙනසුරාදා ඇඩ්මිට් වෙන්න ඕන අම්මේ. ඊට කලින් අම්මටයි තාත්තටයි කියලා යන්න ආවෙ.”
“අපිට වෙච්ච දේවල් දන්නවා ඇතිනේ.”
“ඔව් අම්මේ..සමහර විට මනුජිතුයි එයාගේ වයිෆුයි කොහේ හරි රටකට ගිහිල්ලත් ඇති. සෙට්ල් වෙලාම අම්මලට කතා කරන්න බලාගෙන ඉන්නවද දන්නෙ නෑ. ඒ නැතත් ඉන්න තැනක හොඳින් ඇති අම්මේ. මනුජිත් කියන්නේ දැනුම් තේරුම් තියෙන කෙනෙක්නේ..”
දිගින් දිගටම ශ්‍රියාලතා සිටියේ ඉවතට හරවා ගත් දෑස් ඇතුවය. වරෙක තමා ගැන උපන් ආත්මානුකම්පාවත්, දහරා ගැන උපන් කෝපයත් ඒ සිතෙහි එහෙටත් මෙහෙටත් දෝලනය වෙමින් තිබිණ. මනුජිත්ගේ ජීවිතය විනාශ වන්නට පටන් ගත්තේ දහරා නිසාය යන්න තවමත් ඇගේ සිතෙහි පැලපදියම්ව තිබූ සිතුවිල්ලකි. එසේම දහරාගේ පාර්ශවයේ අයවලුන් තමාගෙනුත් සැමියාගෙනුත් පුතාගෙනුත් පළිගන්නට ගුරුකම් කළාය යන සිතුවිල්ල තවමත් ඒ සිතෙන් ඉවත්ව තිබුණේ නැත.
“අම්මේ තාත්තට කියන්න ඕනම වෙලාවක අපිට කතා කරන්න කියලා. අපිට පුළුවන් දෙයක් අම්මයි තාත්තයි වෙනුවෙන් කරන්නම්.”
දහරා එවර පැවසූයේ ඇගේ දෑත් අල්ලාගෙනය. එහෙත් ශ්‍රියාලතා පිළිතුරු දෙනු වෙනුවට කළේ බිම බලා සිටීමය. ඇගේ දෙපා වැඳි යුවතිය යළිත් ආලින්දයට පැමිණියේ දෑස් වල උපන් කඳුලක් ඒවා තුළම මියැදෙන්නට සලස්වමින්ය. මනුජිත්ගේ අම්මා තවමත් තමා සමඟ කලකිරීමකින් පසුවනවායැයි දහරාට සිතුනේ යළිත් ආලින්දයේ අසුන් ගනිද්දීය. මේ සියලු පව් වලට තමාත් කොතැනකදී හෝ හවුල්කාරියක වූවායැයි යන හැඟීමෙන් මිදීමට දහරාට හැකි වූයේ නැත. එනිසාම තමාට පුළුවන් තරම් කාලයක් ඔවුන් වෙනුවෙන් යුතුකම් ඉටුකරන්නට ඈ සිත හදා ගත්තාය.
************
අම්මාගේත් අප්පාගේත් කැමැත්ත දහරාට ඒ අයුරින් හිමිවීම ගැන රමාෂ්ගේ සිතෙහි වූයේ සතුටකි. පෙරදා රාත්‍රියේ සියල්ලෝම නින්දට ගියේ මධ්‍යම රාත්‍රියත් ගෙවී හෝරා කිහිපයක් ගත වූවාට පසුවය. එනිසාම සෙනරත් සේම අප්පාත් උන්නේ නින්දේය. අම්මා ඒ වන විටත් මුළුතැන් ගේ තුළ තමාගේ වැඩ කටයුතු ආරම්භ කර ඇති බව රමාෂ් දනී. ඇයට නොදැනෙන්නට ඈ පිටුපසින් ගොස් ඔහු ඇයව වැළඳ ගත්තේ ඒ කොපුළකට හාදුවකුත් තබා ගෙනය.
“ඔයාලට ගොඩක් ස්තුතියි. මාව තේරුම් ගත්තට. මට මේ වගේ ආදරේ කරනවට..මාව අද මේ ඉන්න තත්වෙට අරගෙන ආවට.”
“ඇයි එහෙම කියන්නේ..”
“ඉස්සර වෙලාම දහරා ගැන කතා කරද්දි ඔයාලගේ මූණුවල සතුටක් තිබ්බෙ නෑ කියලා මම දැක්කා.”
“ඔව්.. ඒක එහෙම තමයි. දහරා කියන්නේ ජීවිතේ වැරදුනු ගෑණු ළමයෙක්. එතකොට කවද හරි දවසක ඔයාට එයාව මැරි කරන්න වෙන්නේ තව කෙනෙක්ගේ දරුවෙක් එක්ක. එතනදි අපි ඔයාගේ පැත්තට වඩා හිතුවේ දහරාගේ පැත්ත.”
“ඒ කිව්වේ…”
“ඔයාගේ අතින් එයාගේ හිත රිදෙන්න පුළුවන්. ඔයාගේ අතින් ඒ දරුවට වෙනස්කමක් වෙන්න පුළුවන්. කාලෙකදී ඔයාට දැනෙන්න පුළුවන් මේ මගේ ලේ නෙමෙයි කියලා. ඒත් අන්තිමට අපි ඔයාගේ කැමැත්තට මුල්තැන දෙන්න තීරණය කළා. මොකද ඔයාගේ සතුට ඒක නං ඔයාගේ තීරණය ඒකනම් අප්පටවත් මටවත් ඒ තීරණයට හරස් වෙන්න බෑ. දැන් ඔයාලා ජීවිතය ගැන දැනුම් තේරුම් තියෙන ලොකු ළමයි. ඔයා කැනඩා වලදි ටික කාලයක් ලුසී එක්ක ජීවත් උනා. එතකොට ඔයා ජීවිතේ සමහර තැන් අවබෝධ කරගත්තා කියලා මම දන්නවා. ඒ නිසා ඔයා හොඳට හිතලා බලලා තමයි මේ තීරණය ගන්න ඇත්තේ කියලා අප්පත් මමත් විශ්වාස කළා.”
“ඔව් අම්මේ.. හොඳම තැන තමයි මෙතන. මම සිය දහස් වාරයක් ඒ ගැන හිතුවා. සමහර තැන්වලදී අම්මා කියන්න වගේම මමත් හිතුවා මගේ අතින් දහරට වරදක් හිත් රිදීමක් හරි වෙයිද කියලා. ඒ උනාට ඒ හැම තැනකදීම දහරාගේ තියන කොලිටීස් ඉස්සර උනා අම්මා. ඒ වෙලාවේ මට හිතුනා මොනම හේතුවක් නිසාවත් මට දහරාව අතහැර ගන්න බෑ කියලා.”
“පුතා ඔයා මට එක පොරොන්දුවක් වෙන්න ඕනේ..”
“පොරොන්දුවක්..”
“ඔව්..”
“මොනම හේතුවක් නිසාවත් කවදාවත් ඔයාගේ අතින් මේ හම්බවෙන්න ඉන්න දරුවගේ හිත රිදෙන්න බෑ. ඒක මහ පවක්…”
“නෑ අම්මා ඒක කවදාවත් වෙන්නේ නෑ. මොකද මං එයාගේ හිත රිදවනවා කියන්නේ දහරාගේ හිත රිදවන එක. මං කැමති නෑ අම්මා දහරට රිදෙනවට.”
“ඔයා හොඳ පුතෙක්. අම්මා කෙනෙකුට ආඩම්බර වෙන්න පුළුවන් පුතෙක්…”
එවර තංගමනී පැවසූයේ රමාෂ්ගේ හිස සිප ගනිමින්ය. සැබවින්ම අවසන ඇයටත් වේලුටත් වැදගත් වූයේ රමාෂ්ගේ සතුටය.
(යළිත් හමු වෙමු ආදරයෙන්)

