කලුවර රෑ සඳක් වගේ – 11

0
638

“ඔයා දැන් කසාද බැඳලා හන්දා භානුකී එක්ක ට්‍රිප් එකක් යන එක වැරදි නේද? මිනිස්සු මොනවා නොකියාවිද?” කියලා මම ඇහුවෙ ඇත්තටම මනුසත් ඒ අලුකුත්තේරු කතාව කටක් ඇරලා තමන්ගෙ ගෑනි එක්ක කිව්වෙ කොහොමද කියලා හිතාගන්න බැරුව. 

“මිනිස්සු මොනවා කියන්නද? හැමෝම දන්නවනෙ මම භානුකීගෙන් ඩිවෝස් වෙලා කියලා”

“ඒක තමයි මමත් කියන්නෙ. ඔයා ඩිවෝස් වෙච්ච මනුස්සයා එක්ක ඔහොම ට්‍රිප් එකක් යනවා කියලා මිනිස්සු දැනගන්න එක ඒ මිනිස්සුන්ට අලුතෙන් කතා හදන්න හේතුවක් වෙන එකක් නෑ කියලද ඔයා හිතන්නෙ? අනික එහෙම දෙයක් ඔයා කරන එකෙන් මගේ තත්ත්වෙට මොකද්ද වෙන්නෙ කියලා හිතන්නකො?” 

මම මේ ගෙදර කවුද එතකොට? ඔයා නිකන් දේවල් කරන්නෙ මං කියලා කෙනෙක් නෑ කියලා හිතාගෙන වගේනේ”

මනුසත් කෙළින් වෙලා මං දිහා බැලුවෙ මං ඒ කිව්ව වචන හන්දද එහෙමත් නැත්තම් ඒ වචන අස්සෙ තිබිච්ච වේදනාව, තරහව එයා තේරුම් ගත්ත හන්දද කියන්න මම දන්නෙ නෑ. හැබැයි ඒ බැල්මේ තිබුණේ මං මේ අහන්නේ ලෝකේ තියෙන මෝඩම ප්‍රශ්නේ වගේ බැල්මක්. හරියට නිකන් “මොකද්ද ඔයාගෙ තත්ත්වෙ?” කියලා අහන්න වගේ. එයා හෙමින් මගේ ළඟට ඇවිත් මගේ උරහිසට අතක් තිබ්බා. 

“අයියෝ ලිහිණි… Don’t be so dramatic. මේක මේ නිකම්ම නිකම් ට්‍රිප් එකක්. ළමයි දෙන්නා හරිම ආසාවෙන් ඉන්නේ. භානුකී වගේම මමත් හිතුවෙ ඔයා මේක ප්‍රශ්නයක් කරගන්න එකක් නැහැ කියලා. මොකද ඔයා මැචුවර්ඩ් කියලා තමයි අපි හිතාගෙන හිටියෙ. අනික මාව කසාද බඳිද්දිත් ඔයා දැනගෙන හිටියා නේද මම දරුවො ඉන්න තාත්තා කෙනෙක් කියලා. එහෙමෙකේ…”

“භානුකී කොහොමද ඩිසයිඩ් කරන්නෙ මම මේක ප්‍රශ්නයක් කරගනීවිද නැද්ද කියලා? එතකොට මගේ තීරණ ගන්නෙත් භානුකීද මනුසත්? ” මම ඇහුවේ හිතේ තිබිච්ච වේදනාව වචන වලට පෙරළලා.

මනුසත්ගේ අත මගේ උරහිසෙන් අයින් උනේ ඒ වචන එක්ක.

“ලිහිණි, මම භානුකී එක්ක කතා කරන්නේ අපේ ළමයි ගැන. ඒකේ ඔයා ඔච්චර පර්සනලි අරගෙන ඔයාගේ ලයිෆ් එකට ගාවගන්න එපා. භානුකීට මේ ගෙදර ඕන වෙලාවක එන්න අයිතිය තියෙනවා, මොකද එයා මේ ළමයින්ගේ අම්මා. ඔයා පොඩි හන්දා වෙන්නැති සමහර වෙලාවට මේ වගේ ඇක්ට් කරන්නෙ. ඒ උනාට ඔයා තේරුං ගන්නෝන මමයි භානුකියි කියන්නෙ වයස මිනිස්සු දෙන්නෙක්. අපි දෙන්නම අපේ ලිමිට්ස් දන්නවා. ඔය කතන්දර වල තියෙනවා වගේ ඩිවෝස් උනාට පස්සෙ තරහකාරයො දෙන්නෙක් වගේ අපිට ඉන්න බෑ. අපිට දරුවො ඉන්නවා. කසාදෙන් වෙන් වුනත් අපිට කවදාවත් අමතක කරන්න බෑ මේ දරුවන්ගෙ අම්මයි තාත්තයි තමයි අපි කියලා.ඒක මේ කොළඹ සමාජේ හැටි. ඔයා ගමේ හැදිච්ච හන්දා වෙන්න ඇති හැමදේම සැකෙන් බලන්න පුරුදු වෙලා ඉන්නේ

ඔය පටු විදියට හිතන එක තමයි ඔයාගේ තියෙන ප්‍රශ්නේ ලිහිණි.අපි අතරේ තියෙන්නේ Professional ගනුදෙනුවක්. ඔයා ඒක තේරුම් ගන්න තරම් මැචුවර්ඩ් නැති එක ගැන මට ඇත්තටම කණගාටුයි. ඔයා මගේ වයිෆ් තමයි, ඒත් මගේ ළමයින්ගේ අනාගතය ප්ලෑන් කරද්දී භානුකීව මට අයින් කරන්න බැහැ කියන එක අමතක කරන්න එපා. ඒ හින්දා මේ වගේ පොඩි දේවල් වලට රණ්ඩු වෙලා අපිට සන්තෝසෙන් ඉන්න පුළුවන් කාලෙ නැති කරගන්න එපා”

එයා හරිම සන්සුන්ව මගේ උරහිසට තට්ටු කරලා, කිසිම කලබලයක් නැතුව කාමරේ ඇතුළට ඇවිදගෙන ගියා. එයාගේ ඒ සන්සුන්කම ඉස්සරහා මට දැනුණේ මම මහා මෝඩ වැඩක් කරනවා වගේ හැඟීමක්. මනුසත් සර් රණ්ඩු වුණේ නෑ. එයා කළේ මගේ තර්ක ඔක්කොම එයාගේ ඒ පරිණත බවින් යටපත් කරලා දාපු එක විතරයි. එයාගේ ඒ පරිණත බව ඇතුළේ එයා මාව හීලෑ කරන්න හදනවා කියන එක මට හොඳටම තේරිච්ච වෙලාවක් තමයි ඔන්න ඕක.

මම සාලේ මැද තනි වෙලා ඔන්න කල්පනා කර කර හිටියෙ ඕවා. 

 භානුකී ඇවිත් ගියාට පස්සෙත් එයාගෙන් අපේ ගේ අස්සට රිංග ගත්ත මිල වැඩි මොකක් හරි මලකින් හදපු මල් සුවඳ පර්ෆියුම් සුවඳක් සාලේ අස්සේ තාමත් හොල්මන් කරනවා වගේ මට දැනුණා. මනුසත්ගෙ අඩි සද්දෙ චුට්ට චුට්ට අඩු වෙවී කොරිඩෝව දිගේ ඈතට යද්දී මට හිතුණේ, මම මේ සෙල්ලමේ තාමත් නිකන්ම නිකන් ඉත්තෙක් විතරයි නේද කියලා.

මනුසත් සාලේ මැද මාව තනිකරලා දාලා අපේ කාමරේට ගියේ හරියට මම කියපු දේවල් එයා තඹ සතේකට ගණන් ගත්තෙ නෑ වගේ පෙන්නන්න උනාට  මගේ හිතේ පත්තුවෙච්ච ගින්දර එහෙම ලේසියෙන් නිවුණේ නැහැ. මම හිස් තේ කෝප්ප තිබිච්ච ට්‍රේ එක කුස්සියෙන් තියලා කෙළින්ම ගියේ කාමරේට. මනුසත් එතකොටත් ඇඳ උඩ වාඩිවෙලා එයාගේ ටයි එක බුරුල් කරන ගමන් හිටියේ.

“ළමයින්ගේ අම්මා භානුකී වෙච්ච පලියට, ඒකෙන් මං ඔයාගෙ වයිෆ් කියන තැන නැති වෙන්නෙ නෑනේ නේද? ළමයින්ට ඕනෙ නම් ළමයි එක්ක යන්න. ඒකට මොකටද භානුකී? ඔයාලා දැන් ඩිවෝස් වෙච්ච දෙන්නෙක් කියලා අමතක කරන්න එපා. ඔයාට මාව එක්කන් යන්න බැරි නම්, ඔයාට පුළුවන්නෙ ළමයි දෙන්නව විතරක් එක්කන් යන්න?” මම කිව්වේ මගේ කටහඬ වෙව්ලන්න නොදී “මම හෙන හයිය ගෑනියෙක්” කියලා පෙන්නන්න උත්සාහ කරන ගමන්.

මනුසත් ඇඳ විට්ටමට බර වෙලා මං දිහා බැලුවේ හරියට පොඩි එකෙක්ට දෙයක් තේරුම් කරලා දෙන්න හදන, ඉවසීමක් නැති ගුරුවරයෙක් වගේ. එයාගේ ඇස්වල තිබුණේ මං ගැන උපහාසයක්.

“ලිහිණි, ප්ලීස්. හැමදේම ඔය විදියට නැරෝ විදියට දකින්න, හිතන්න එපා. භානුකී කියන්නේ මගේ හතුරෙක් නෙවෙයි. මගේ ළමයින්ගේ අම්මා. ගම්වල හැදිච්ච ඔයාලා හිතන්නේ මිනිහෙක් තව ගෑනියෙක් එක්ක වචනයක් කතා කරපු ගමන් ඒක වැරදියි කියලා. මේක මොඩර්න් ලෝකයක් ලිහිණි. ඒක පොඩ්ඩක් තේරුං ගන්න. මට බෑ තාත්තා කෙනෙක් විදියට මගෙන් වෙන්නෝන යුතුකම් මගාරින්න”

එහෙම කියලා ඇඳෙන් නැගිට්ට මනුසත් බාතෘම් එකට ගිහිල්ලා දොර වහගත්තා. 

ඒකත් එයා කලේ හරිම හිමින්, කිසිම කලබලයක් නැතුව. එයා අඩුම මාත් එක්ක තරහක් තිබ්බා නම්, ඒ දොර හයියෙන් වහලා දැම්මා නම් මටත් තිබ්බා ඒක පිටින් දාලා කෑගහලා මගේ හිතේ තියෙන ඔක්කොම කුණු කන්දල් එළියට දාගන්න. මනුස්සයෙක්ට උනත් හිත අස්සෙ දේවල් හිරකරගෙන ඉන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවනෙ. මේ වෙලාවෙ මේ වෙච්ච දේ එක්ක මං උන්නෙ මගේ ඒ ලිමිට් එකේ රතු කට්ටත් පන්නගෙන. මං උන්නෙ පිපිරිලා එලියට යන්න පුළුවන් මොන වෙලාවෙද කියලා බලන ගමන්. ඒත් මනුසත් එහෙම මනුස්සයෙක් නෙවෙයි. එයා කරන්නේ හැම දේම “මැචුවර්ඩ්” විදියට සද්ද නැතුව විසඳගන්න හදන එක.

මම ඇඳ අයිනෙන් වාඩි වුණේ පණ නැති වුණා වගේ. 

බාත්රූම් එක ඇතුළෙන් හීන් සැරේ ඇහෙන වතුර වැටෙන සද්දේ අස්සේ මට මං ගැනම මහා ලොකු අනුකම්පාවක් දැනුණා. රණ්ඩු වෙන මිනිහෙක් එක්ක නම් ඔලුවේ තියෙන කරදරේ එළියට දාගන්න තිබ්බා. ඒත් මනුසත් වගේ රණ්ඩු නොවී, හැමදේම වැදගත් විදියට යටපත් කරන මිනිහෙක් එක්ක මං කොහොමද හැප්පෙන්නේ? එයාට ඕන වුණේ ඒ පරතරය මට මතක් කරලා දීලා මාව හීලෑ කරන්න.

මට මතක් වුණේ අම්මා එදා කිව්ව කතාව. “පර්වතයක් වගේ හයියට පේන මිනිස්සුන්ගේ හෙවණට ගියාම, දවසක ඒ පර්වතේම උඹේ ඔළුව උඩට කඩාගෙන වැටෙන්න පුළුවන්” කියලා අම්මා කිව්වේ නිකම් නෙවෙයි කියන එක.

 මනුසත් සර් කියන්නේ පර්වතයක්. 

ඒ පර්වතේ කෑගහන්නේ නෑ, 

ඒත් ඒක මගේ හුස්ම හිර කරලා මාව සමතලා කරලා දානවා. මම බලන් හිටියේ මේ සයිලන්ස් එක අස්සේ මම කොහොමද මට කියලා ඉඩක් හදාගන්නේ කියලා. 

රණ්ඩු වෙලා මනුසත් එක්ක දිනන්න මට බෑ. 

හැබැයි මට මනුසත්ට පෙන්නන්න පුළුවන් නේද මම පෑගිලා ඉන්න සෙල්ලම් බඩුවක් නෙවෙයි කියලා.

අනික දැන් එහෙම පෑගිලා උන්නත් මං ඉස්සරහට එහෙම කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ කියන එක?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here