සඳ දිය දහරා – 55

0
831

දියණියව විවාහ කර ගැනීම සඳහා දෙමව්පියන්ගෙන් රමාෂ්ට කැමැත්ත ලැබුණු බව සෙනරත් සාමා හා පැවසූයේ යාපනයේ සිටියදීමය. රමාෂ්  නැවත කොළඹ පැමිණියත් සෙනරත් වේළුගේ ඉල්ලීම මත තවත් දින කිහිපයක්  යාපනයේ රැඳී සිටියේය. ඒ දිනවලදී ඔහු වේළුගේ ව්‍යාපාර සඳහා සහාය වූවා පමණක් නොව යාපනය නගරයේ ඇවිදිමින් නුදුටු තැන් බොහෝමයක් දැක බලා ගත්තේය. 

“සෙනරත් මල්ලි දිගටම අපි එක්ක මෙහේ ඉමු. මගේ වැඩ බලා කියාගෙන ඉන්න පුළුවන්නේ. ගෙදර යන්න ඕන වුණු දවසක ට්‍රේන් එකට නැග්ගා හොඳ නින්දක් දාගෙන ගිහිල්ලා මරදානෙන් බහින්න පුළුවන්. මොකද කියන්නේ?…”

වේලු එසේ ඇසුවේ උදෑසන කෑම ගනිමින් සිටි එක් දවසකය. තංගමනී  උදෑසන ආහාර වේල සඳහා සකසා තිබුනේ තෝසෙත් සාම්බාරු හොද්දකුත්ය. ඊට ගැලපෙන සම්බෝලයක්ද පසෙක විය. එහා පස නිවසේ සිටින වේළුගේ නැගණිය විසින් උළුදු වඩේ කිහිපයක්ද එවා තිබිණ.

“ඒ අදහසනම් නරක නෑ වේළු අයියේ. ඒ උනාට කෙල්ලට බබා හම්බවෙනකන් හරි මම ගෙදර හිටියනම් හොඳයි කියලා හිතෙනවා.”

“ඒක ෂරි..රීටා අම්මයි සාමා නංගියි ඇරෙන්න එහේ පිරිමියෙකුත් නෑනේ මහත්තයා. අපි මල්ලිට ඒ රාජකාරි ටික ඉවර කරගන්න කාලෙ දෙමු. පුතත් ගෙදර නැති එකේ මමත් කැමතියි මල්ලි අපි එක්ක නතර වෙනවනම්.”

එසේ පැවසූයේ සෙනරත්ට සාම්බාරු හැන්දක් බෙදමින් උන් තංගමනීය. 

“මල්ලිට එතකොට මෙහේ බිස්නස් ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ ඕනේ කාලෙක එහේ ගිහිල්ලා පලතුරු කඩයක් කරන්න බැරිකමක් නෑ. පලතුරු කියන්නේ මිනිස්සුන්ට අවශ්‍යම දෙයක්. මේක හොඳ ලාභ තියෙන බිස්නස් එකක්. මල්ලි කසාදයක් බැඳලා නෝනත් එක්ක ඇවිල්ලා මෙහේ නතර වුණත් කමක් නෑ.”

“මං එහෙම දෙයක් ගැන හිතුවේ නෑ වේළු අයියේ….”

“ඒකනම් මමත් මල්ලිගෙන් අහන්න හිටියේ…වයස අතින් අල්ලලා නවත්තන්න බෑ. ඇයි ඇත්තටම එහෙම දෙයක් ගැන හිතුවේ නැත්තේ.”

“මම කසාදයක් කරගත්තනම් අක්කයි කෙල්ලයි තනිවෙනවා. සමහරු ගෑනු ඉන්නවා එයාලා හිතන්නේ තමන් ගැන විතරයි. මම කසාද බඳින කෙනා හොඳ කෙනෙක් නොවුනොත් මට මගේ ගෙදරින් ඈත් වෙන්න වෙනවා.”

“එහෙම හිතන්න එපා මල්ලි..හොඳ අය නැතුව නෙමෙයි නේ. මල්ලි වගේ අයට නරක කෙනෙක් මුණ ගැහෙන්න විදිහක් නෑ. තවත් වයස යන්න කලින් ඒ ගැන හිතුවොත් හොඳයි..මල්ලි අපේ කෙනෙක්ට කැමතිනම් අපිට පුළුවන් මෙහෙන්ම කෙනෙක් හොයලා දෙන්න නේද මහත්තයා…”

“අපෝ….කසාද තීරණ මල්ලිම තමා ගන්න ඕනා. ඒවට ඇඟිලි ගහන්න අපිට බෑ. හැබැයි ඉතින් දැන් අපේ කොල්ලා ඉන්න නිසා මල්ලී ගෙදර ගැන තියෙන බය හිතින් අයින් කරගන්න. මගේ එකා සිංහයෙක් වගේ. ඒකා පවුල ආරක්ෂා කරයි.”

“ඒකනං ඇත්ත..පුතාගේ යෝජනාවෙන් පස්සේ ඇත්තටම කිව්වොත් මගේ හිතේ  මැරෙන්න තියෙන බය නැතිවුණා.”

එවර සෙනරත් පැවසූයේ සිනහසෙමින්ය. 

සාමා උන්නේ අන් කවරදාටත් වඩා සතුටින්ය. මිනිසුන්ට පව, පව ලෙසත් පින, පින ලෙසත් පල දෙනවායැයි  ඈ බුද්ධ දේශනාවේ අසා තිබිණ. මේ දියණියගේ අපල අහවර වූ කාලය විය යුතුය. තවමත් රමාෂ්ගේ සිතැඟි ගැන ඇය දන්නේ නැත. එහෙත් කාලය විසින් ඇයව රමාෂ්  වෙත ලං කරමින් සිටිනා බව සාමා දැන සිටියාය. ඒ සිතෙහි වූ හිස්තැන රමාෂ් විසින් අපූරුවට පුරවමින් සිටිනා බව විශ්වාසය. 

“දැන් උඹ හෙට ඉඳලම නිවාඩු දැම්මද?”

රීටා තම දියණියගෙන් එසේ ඇසුවේ උදෑසන මුළුතැන් ගෙයි කෑම සකසමින් සිටියදීය. දැන් වෙනදා මෙන් එම නිවසේ දහවල කෑමත් උදෑසනටම සැකසෙන්නේ නැත. සාමාගේ බත් මුල්  දෙක බැඳ දුන්නාට පසුව හට්ටි වලන් වල ඉතිරි වන්නේ උදෑසනට අවශ්‍ය ප්‍රමාණය පමණි. කෙල්ලට උණුවෙන් බත් කටක් දිය යුතු වූ නිසා රීටා මහන්සිය නොබලාම දහවලටත් රාත්‍රියටත් වෙනමම ඉව්වාය. 

“අනිද්ද හවසනේ අම්මේ  නතර වෙන්න කියලා කිව්වේ. අඩුපාඩුකම් මොනවා හරි තිබුනොත් ඒවා  බලාගන්නත් එපැයි. මම හිතුවා සති දෙකක් නිවාඩු ඉල්ලද්දි ලොක්ක මට කෑ ගහයි කියලා. ලයින් එකේ කෙල්ලෝ ටික එකතු වෙලා මගේ වැඩත් බලන්නම් කියලා පොරොන්දු වෙච්ච හින්දා කිසිම දෙයක් කියන්නේ නැතුව නිවාඩු දුන්නා.” 

“ඒකත් ලොකු දෙයක්නේ බං….සෙනරතුත් පෙරේද හැන්දෑවේ ආපු වෙලාවෙ ඉඳලා ආපහු යාපනේ යන්න කල්පනාව. කීප වතාවක්ම කිව්වා වේළු කිව්වලු එයාගේ ව්‍යාපාර බලාගන්න කියලා.”

“කොහේ හරි කමක් නෑ අම්මේ හොඳින් ඉන්නවනම්. එයා අර සමන්තිකාට කැමතිද නැද්ද කියලා හෙමින් සැරේ අහල බලන්නකෝ අම්මේ. මට හිතෙනවා අපේ අපල කාලේ ඉවරයි කියලා. එයා පිළිවෙලක් වෙලා එහේ හරි ගිහිල්ලා හිටියොත් අපේ හිතටත් හොඳයිනේ අම්මේ…මට අම්මට කාරණයකුත් කියන්න තියෙනවා..”

සාමා එසේ පැවසූයේ වටපිට බලමින් දහරා තවමත් නිදි බව සැක හැර දැන ගත්තාට පසුවය. 

“රමාෂ් පුතා අපේ කෙල්ලව කසාද බඳින්න කැමතියි අම්මේ. මං දන් නෑ කෙල්ලගෙත් මොන වාසනාවක්ද ඒක කියල. ඔය මල්ලි තකහනියේ ගියෙත් ඒ විස්තර කතා කරගෙන එන්න තමයි. වේළු අයියයි තංගමනී අක්කයි  උඩින්ම කැමතියිලු.” 

“උඹ නොකිව්වට මට ඕක දැනුන බං. ඒ ළමයා මෙහෙ ආවේ යාළුකමට විතරක් නෙමෙයි කියලා. කෙල්ල ගැන හරි හෝදිසියෙන් ඉන්නකොට පුංචි දේටත් වද වෙනකොට මට හිතුනා ඕක. අනේ කොච්චර දෙයක්ද බං…

“වත්තේ මිනිස්සුනං එක එක දේවල් කියයි අම්මේ.”

“මිනිසුන්ට ඕනෙ විදියට ජීවත් වෙන්න ගියා නං උඹයි මමයි මැරිච්ච තැන්වල ගසුත් පැල වෙලා. රමාෂ් පුතා කෙල්ලට හරි ආදරෙයි. සමහර විට වෙන්න තියෙන නරකම දේවල් වෙලා අහවරව  මිනිස්සුන්ට ඊට පස්සේ හැම දෙයක්ම ලැබෙනවා. අතීතෙ මත්තේ මැරි මැරී ජීවත් වෙන්න බෑනේ බං. කෙල්ල හොඳ තීරණයක් ගත්තොත් හොඳයි. ඒකිට හරි යන්න ඕනේ”

“එයාට දුක ඇති. ඒ උනාට ඉතින් මනුජිත් ගැන ඒ හිතේ තියෙන්නේ ලොකු කලකිරීමක්. ඒක නිසාම කාලයත් එක්ක හිත හදාගෙන එයා රමාෂ්ම පුතාට කැමති වෙන්නත් ඉඩ තියෙනවා. රමාෂ් පුතා කියන්නේ හැමදේකටම අවශ්‍ය වෙන්නේ කාලය කියලා. ඒ දරුවාට හදසියක් නෑ කියන්නේ. දහරට හෙමිහිට හිත හදාගන්න දෙන්න කියලා තමයි කියන්නේ.”

“මයෙ කෙල්ලට වරදින්නේ නෑ බං. ගිය ආත්මෙ හරි කරපු පවක් පඬිසන්න දීල ඔහොම විඳවිල්ලක් විඳවන්න උනාට ඒ උනාට ඒකි හරි වාසනාවන්ත කෙල්ල…”

රීටා එවර පැවසූයේ මදක් පහත්ව ගවුමට උඩින් ඇද උන් චීත්තයෙන් දෑස් පිස දා ගන්නා ගමන්ය. ඒ අතරේම සාමා කඩිමුඩියේ තමාගේ උදෑසනත්  දහවලත් බත් පාර්සල් බෙදා ගනිමින් උන්නාය. 

“නිකං කම්මැලිකමට ඇඳට වෙලා හිටියා…”

ඈ ආපසු කාමරයට යද්දී දහරා කිසිවෙකු හා එසේ පවසන අයුරු සාමා අසා සිටියාය. 

“හිතේ පුංචි බයක් නැතුවත් නෙමෙයි. ඒ උනාට ඔයා ලඟ ඉන්නවා කියලා මතක් වෙද්දි ඒ බය නැතුව යනවා. අම්මත් හෙට ඉඳලම නිවාඩු. කොච්චර එපා කිව්වත් අර පිස්සු කෙල්ලත් අනිද්ද උදේම එනවා කියලා කිව්වා.”

එහා පසින් පවසන කිසිවක් නොඇසුණත් දුරකථන ඇමතුමෙහි සිටින්නේ රමාෂ් බව සාමා හඳුනා ගත්තාය. හඬක් නොනැගෙන්නට තරම් ප්‍රවේශමෙන් අල්මාරිය විවර කළ ඈ ඇඳුමත්, ඉස්ත්‍රික්කයත්  දෙකම රැගෙන විසිත්ත කාමරයට ගියේ දහරාට බාධාවක් නොවන්නට සිතා ගෙනය.

“අනේ ඇත්තද…..ඒක කොච්චර දෙයක්ද..අනේ මට තංගමනී නැද්ද බලන්න හරි ආසයි.”

එවර සාමාට ඇසුනේ සතටු හඬකි. ඒ හා සමගම ඈ ‘අම්මේ…. අම්මේ’ යැයි කෑගැසුවාය.

“ඇයි ළමයෝ..”

“අම්මේ මාව හොස්පිට්ල් ඇඩ්මිඩ් කලාට පස්සේ තංගමනී නැන්දත් එනවලු මාව බලන්න. වේළු මාමට නං එන්න විදිහක් නැහැලු.”

“අනේ ඒක කොච්චර දෙයක්ද…?”

“ඒකනේ අම්මේ මට මේ හැම දෙයක්ම හීනයක් වගේ. ආපහු අපි හැමෝම එකට එකතු වුණා නේද අම්මේ..”

“එහෙම තමයි ජීවිතේ නරක කාල හැමදාම තියෙන්නේ නෑ…”

ගේට්ටුව විවර වන හඬ ඇසුණේ සාමා එසේ පවසද්දීය. නිවසට මඳක් එහාට වන්නට උන් කාන්ති අක්කා පැමිණියේ මඳක් බරැති පාර්සලයකුත් අතැතිවය. 

“අද කිරි දානෙකට ගියා බං. මං ඉතින් ඔන්න කෙල්ලගේ කොටහා අරගෙන ආවා. හෙට ඉස්පිරිතාලෙත් නවතින්න තියෙන එකේ පත්තිනි දෙවියන්ටම වෙන් කරපු දානෙන් කිරිබත් කෑල්ලක්, කිරිය කෑල්ලක් කාලාම යන්න පුළුවන්.”

ඈ පැවසූයේ සිනහ මුසුවය. දහරා දෝත පා කිරියා පාර්සලය පිළිගත්තේ ඇයට පින් දෙමින්ය. 

“එහෙනම් මං ගිහිල්ලා එන්නම් බං. පාන්දර දෙකට නැගිටපු ගමන් නේ. ‘රීටා ඇන්ටි..මොනවා හරි වුවමනාවක් උනොත් කතා නොකර ඉන්න එපා’”

ගේට්ටුව තෙක් ඇවිද ගිය ඈ ආපසු හැරී පැවසූයේ මදක් උස් හඬින්ය. දහරා පාර්සලය දිග හැර ගත්තේ මහත් වූ ගිජු කමකින්ය

“පත්තිනි දේව මෑණියන්ගේ  පිහිටෙන් අද දවසේ එතුමියට වෙන්කරපු පූජාවකිනුත් කෙල්ලට කන්න ලැබුණා.”

රීටා එසේ පැවසූයේ සතුටු සිනහවක් මුව මත තබාගෙනය. දහරා මීට දෙමසකට පෙර ඈ සමග නවගමුව පත්තිනි දේවාලයට ගොස් දරුවා වෙනුවෙන් බාර වූවාය. 

වර්තමානයේ මනුජිත් ගැන ඒ සිතෙහි ඇත්තේ හිස් හැඟීමක් පමණි. අද ඕ ආදරයත් රැකවරණයත් ඕනෑවටත් වඩා ලබමින් උන්නාය. මුල් කාලයේ මනුජිත ගැන අහල පහළ මිනිසුන්ට මවාගත් කතා පැවසුවත් දැන් දහරා තමාව රවටා ගන්නටවත් බොරුවක් කියන්නේ නැත. තමා තමන්ම වී ජීවත්වීම තරම් පහසුවක් නොවන බව විශ්වාසය. මිනිසුන් තැන් තැන් වලට එක් වී තමා ගැන කතා කරනවාදැයි ඈ දන්නේ නැත. එසේ කතා කළත් ඉන් තමාට ප්‍රයෝජනයක් නැතැයි දහරා සිතුවාය. තමා සමාජයෙන් කොන් වේයැයි ප්‍රතික්ෂේප වේයැයි සිතෙහි වූ බිය දැන් නැත. ඇය ලෝකයා හමුවේ සේකර වත්තේ උන් හුරු පුරුදු දහරා වෙමින් සිටියාය. යළිත් මිනිසුන්ගේ ආදරය නොඅඩුව ලබා ගනිමින් උන්නාය. දරුවාත් සමඟ වර්තමානය ගත කරන්නට තරම් ඈ හිත හයිය ගැහැණියකව උන්නාය. ඒ පන්නරය තමා වෙත ලබා දුන්නේ මේ සමාජයෙන්ම බව විශ්වාසය. පිරිමින් විෂයෙහි රැවටුණු රැවටෙන එකම ගැහැණිය තමා නොවන බව ඈ සැම විටම සිතට ඒත්තු ගැන්වූවාය. අතීතය තුල තමාවන්  ගැහැණුන් ඕනෑ තරම් සිටින්නට ඇත. එසේම වර්තමානයේදී ඕනෑ තරම් බිහිවන බව විශ්වාසය.  සිතෙහි දුකකට වූයේ මනුජිත්ගේ  අම්මාගේත් තාත්තාගේත් අසරණකමය. ජීවිත කාලය පුරාම තම පුතණුවන්ගේ සතුට යහපත පැතූ ඔවුන් අද ජීවත් වන්නේ හෙට දවසක් නොවන ගණනටය.

(හෙටත් හමු වෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here