පිරිමින්ට හිතෙන්නෙ ගෑනියෙක්ට ඉන්න හිටින්න ලොකු ගෙයක් දොරක් හදලා දීලා, කන්න බොන්න අඩුවක් නොකරනවා නම් ඒ ගෑනිට තවත් මොනවා අඩුද කියලා.
පිරිමි හිතන්නෙ කසාද බැඳලා තමන්ගෙ ගෙදරට ගෙනාපු ගෑනිට පණ තියෙන්නෙ උයන වෙලාවටයි, රෙදි ටික හෝදන වෙලාවටයි, රෑට ඇඳට යන වෙලාවටයි විතරයි කියලා. ඒත් පිරිමි කවදාවත් දකින්නෙ නෑ ඒ හැමදේම කරන ගමන්, තමන්ගෙ වහල යට ජීවත් වෙන ගෑනිගෙ හිත ඇතුළෙ කොච්චර නම්, එළියට දාගන්න බැරුව හිත ඇතුළෙම හිරකරගත්ත හැඟීම් වල මළ ගෙවල් සිද්ද වෙනවද කියලා.
කසාදයක් ඇතුළෙ තමන්ට වෙන ලොකුම අසාධාරණේ රණ්ඩු සරුවල් වෙන එක නෙවෙයි, තමන් ඉන්නවා කියලා තමන්ගෙ මිනිහට දැනෙන්නෙ නැති එක. තමන් මැටි රූපයක් වගේ මේ ගෙදර එක කොනක ඉන්නවා කියලා මිනිහට අමතක වෙන එක. ඒ අමතක වීම අස්සෙ ගෑනියෙක්ගෙ ආත්මය හීනියට හීරෙනවා කියලා පිරිමින්ට කවදාවත් තේරෙන්නෙ නෑ.
ගෑනියෙක්ට මිනිහෙක් ගැහුවොත්, බැනනොත් ඒක ගැන කතා කරන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. ඒත් මිනිහෙක් තමන්ගෙ ගෑනිට කිසිම සැලකිල්ලක් නොදක්වා, ඒ ගැනි ඉන්නවා කියලා නොදන්නවා වගේ ඉන්න එක සමාජෙ දකින්නෙ මහා ඉවසීමක් විදියට.
“ඔය මනුස්සයා උඹට ගහන්නෙ බනින්නෙ නෑනෙ… බොන්නෙ සූදු කෙළින්නෙ නෑනෙ… ඉතින් මොනවද උඹට තියෙන අඩුව?” කියලා අහන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා.
ලස්සන මාලිගාවක් අස්සෙ හුදකලා වෙලා ඉන්න ගෑනියෙක්ට ඉවසපන් කියන එක සමාජෙට හරිම ලේසියි. එහෙම ඉවසන ගෑණු කියලා ලේබල් ගහන්න කියන්න හරි ලේසියි.
හැබැයි ඒ ලේබල් අස්සෙ මගේ හිතේ තියෙන ඒ දැවිල්ල ගැන, පිච්චීම ගැන අහන්න කවුරුත් මට හිටියෙ නෑ. මිනිහෙක් ගහලා කරන තුවාලයක් පේන්න තියෙනවා. ඒත් මේ වගේ නොසලකා හැරීමකින්, තමන්ගෙ අයිතිය තව ගෑනියෙක් ඉස්සරහා පෑගිලා යද්දි හිතේ වෙන තුවාල වලට බෙහෙත් කරන්න ලෝකෙ කිසිම කෙනෙක් නෑ. ලෝකෙ කිසිම කෙනෙක්ට බෑ. කවුරුවත් ඒ තුවාල දකින්නෙවත් නෑ.
මේ මහ විසාල මාලිගාවෙ මම මේ ඉන්නෙ කසාද ගෑනි විදියටද නැත්නම් මේකෙ තියෙන තවත් එක ෆනිචර් එකක් විදියටද කියලා මටම හිතාගන්න බැරි වෙච්ච වාර අනන්තයි.
මනුසත් සර් ගියපු වාහනේ සද්දෙ ගේට්ටුවෙන් එහාට ගිහින් මැකිලා යනකම් මම සාලෙ ජනේලෙ අයිනට වෙලා බලාගෙන හිටියෙ මගේ පපුව ඇතුළෙ දාහක් දේවල් හිරකරගෙන. මිනිස්සු හිතන්නෙ මම මාර වාසනාවන්තයි කියලා. කොළඹ ලොකු ගේක, සල්ලි තියෙන මිනිහෙක් එක්ක ජීවත් වෙන එක හීනයක් කියලා හිතන කෙල්ලො ඕන තරම් මගේ ගමේ ඇති. මට පුළුවන් උනා නම් මං ගිහින් උන්ට කියනවා “ඔය පේන තරං ඒක ආතල් නෑ” කියලා. ඒත් එහෙම හිතද්දිම අනිත් පැත්තට මටම කල්පනා වෙනවා “සමහරවිට හැම ගෑනිටම එහෙම වෙන්නෙත් නැතුව ඇති. නැත්තම් හැම මිනිහම එහෙම කරන්නෙත් නැතුව ඇති” කියලා.
හරිම පුදුමයි නේද?
හයියෙන් කෑගහලා බනින මිනිහෙක් එක්ක වුණත් රණ්ඩු වෙලා හිතේ තියෙන බර එළියට දාගන්න පුළුවන්. ඒත් මනුසත් සර් වගේ හැමදේම හරිම වැදගත් විදියට, මැචුවර්ඩ් විදියට යටපත් කරන මිනිහෙක් එක්ක මං කොහොමද මගේ වේදනාව බෙදාගන්නෙ?
මම එයාගෙන් මොනා හරි දෙයක් ගැන ප්‍රශ්න කරද්දි එයා ඒක දකින්නෙ මගේ නොමේරූංකම විදියට. එතකොට මට ඉතුරු වෙන්නෙ මගේ හිත ඇතුළෙම අර හැමදේම හිරකරගෙන පිච්චි පිච්චි ඉන්න එක විතරයි.
මට මතක් වුණේ මීට පැය දෙකකට කලින් මනුසත්ගෙ බෑග් එක පැක් කරද්දි එයා මට කියපු වචන ටික. බෑග් එකේ සිපර් එක වහන ගමන් මනුසත් මගේ දිහා බැලුවෙ හරිම සන්සුන්, ඒ වගේම මාව පාලනය කරන බැල්මකින්. එයාගෙ කටහඬේ තිබුණෙ නෑ කිසිමාකාරෙක “මං මේ ලිහිණිට වරදක් කරන්නෙ” කියන හැඟීමක් වැරදිලාවත් තැවරිලා.
“කසාද බැන්ද මිනිස්සු දෙන්නෙක් අතරෙ විශ්වාසෙ වගේම එකිනෙකාව තේරුං ගැනීම තියෙන්න ඕන. මම භානුකී එක්ක මේ ගමන යන්නෙ ඇයි කියලා මම ඔයාට පැහැදිලි කළානෙ? අනික භානුකීගෙ පාට්නර් එන්නෙත් නෑ. මං ඔයාව මේ ගමනට එක්කරගෙන ගියොත් භානුකී අර මනුස්සයවත් එක්කරගෙන ඒවි. එහෙම කරන්නෙ නැත්තෙ එහෙම උනොත් ළමයින්ට ආයෙමත් මම ඔයා ලඟයි භානුකී එයාගෙ පාට්නර් ලඟයි ඉද්දි තනියෙන් ඉන්න වෙන්නෙ ලිහිණි. උන් දෙන්නට ඕන එයාගෙ අම්මලා තාත්තලා විදියට අපි දෙන්නත් එක්ක හැමෝම එකට ඉන්නවා දකින්න. අනික ඔයා හොඳටම දන්නවනෙ අහස්ලා දැන් එන්න එන්න ලොකු වෙලා මේ ගෙවල් වලින් පිටවෙලා ගියයින් පස්සෙ අපිට ආයෙ ඔහොම ඉන්න වෙන්නෙ නෑනෙ එකට”
තමන්ව ඩිවෝස් කරපු භානුකී එයාගෙ අලුත් පාට්නර් ව එයාගෙ දරුවන්ට අඳුන්නලා දීලා තියෙද්දි, ඇයි ඒ ළමයින්ටම මාවත් ඒ විදියටම අඳුන්නලා දීලා මාව මේ පවුලේ කොටසක් කරගන්න බැරි කියන ප්‍රශ්නෙ මට හිතුණා. ඒත් මම ඒ කිසිම දෙයක් ඇහුවෙ නෑ. අහන එක වැඩක් නැති විත්තිය මම දැනගෙන උන්නා. හැබැයි තමන් කරන්නෙ වරදක් කියලා හිත ලාවට හරි කිව්ව හන්දද මන්දා මනුසත් ඉඳියෙ එක එක විදියට මට “මැචුවර් ගෑනියෙක්” වෙන්න කියලා දෙන ගමන්. වෙලාවකට මට හිතුණා “අනේ ඔය බයිලා නවත්ත ගනිං කියලා” කියන්න. ඒ උනාට හරිහමං ඉගෙනීමක්, රස්සාවක් නැතුව මනුසත්ගෙ කකා බිබී ඒ මිනිහට එහෙම කියන්න තරං හයිය ගෑනුකමක් මට තිබ්බෙ නෑ.
“ඔයා තේරුම් ගන්න භානුකීට එයාගේ ජීවිතේ තියෙනවා, මට මගේ ජීවිතේ තියෙනවා. ඒත් ළමයි දෙන්නා ඉස්සරහා අපි තාමත් ඒ දෙමව්පියෝමයි. අපිට ඒක වෙනස් කරන්න බෑනෙ. මාව විශ්වාස කරලා මේ දවස් ටිකේ ඉවසලා ඉන්න. මම ආවම අපි දෙන්නා වෙනම කොහේ හරි යමු. කොහොමත් අපි හනිමූන් එකක් කියලා දේකුත් ගියේ නෑනෙ”
එයා ඒක කිව්වේ හරිම සරල දෙයක් වගේ. හැබැයි ඒ වචන අස්සේ මට ඇහුණේ “භානුකීට තියෙන තැන ඔයාට කවදාවත් ලැබෙන්නෙ නෑ” කියන එක මනුසත්ට නං කවදාවත් තේරුං ගන්න පුලුවන් වෙන්නෙ නැති විත්තිය මං දැනගෙන උන්නා. මනුසත්ට අනුව එයා විශ්වාස කරන්නෙ එයා කරන ඕනෑම අසාධාරණ වැඩක් මම සද්ද නැතුව දරාගෙන ඉන්නොන කියලා. එයා ලිමිට්ස් ගැන කතා කළාට, ඇත්තටම ඒ ලිමිට්ස් තිබුණේ මට විතරයි. භානුකීට මේ ගෙදරට එන්න, මනුසත් එක්ක ට්‍රිප් යන්න කිසිම ලිමිට් එකක් තිබුණේ නැහැ.
“මේක තමයි ලෝකෙ හැටි. හැමදේම පටු විදියට බලන්න එපා.” එයා අන්තිමට කියලා මගේ නළලට පොඩි හාද්දක් දීලා බෑග් එකත් අරන් පිටත් වුණා. ඒ හාද්ද මට දැනුණේ මගේ කට වහන්න එයා ගහපු සීල් එකක් වගේ. එයා පිටවෙලා ගියේ මගේ ආත්මගෞරවය මගේ හිත අස්සෙම අලු දූවිලි කරලා දාලා.
දැන් මේ ලොකු ගේ ඇතුළෙ උන්නෙ මම විතරයි.
මම කුස්සියට ගිහින් කවුන්ටරේට බර වෙලා හිටියෙ මගේ ජීවිතේ ඊළඟට මොකද වෙන්නෙ කියලා හිතාගන්න බැරුව.
පිරිමින්ට හරි ලේසියි විශ්වාසය කියන වචනෙ පිටිපස්සෙ හැංගිලා ගෑනියෙක්ව තනි කරන්න. ඒත් ඒ තනිකම ඇතුළෙ අපේ හිත් කෑලි කීයකට කැඩෙනවද කියලා බලන්න ඒ අයට වෙලාවක් නෑ.
මට දැනුණෙ මම කසාදයක් ඇතුළෙ තනි වෙච්ච අනාථයෙක් වගේ.
මනුසත්ගෙයි භානුකීගෙයි ඒ මැචුවර්ඩ් ලෝකෙ ඇතුළෙ මම තාමත් අමුත්තෙක්. මම මගේ පාලුව ගැන හිත හිත ඉද්දිම තමයි සාලෙ මේසෙ උඩ තිබ්බ මගේ ෆෝන් එක රිං වෙන්න ගත්තෙ.
මේ වෙලාවෙ කවුද මට කෝල් කරන්නෙ?
මම හෙමින් ගිහින් ෆෝන් එක අතට ගත්තෙ මගෙන්ම එහෙම අහන ගමන්.
ස්ක්‍රීන් එකේ වැටිලා තිබුණෙ මම කීයටවත් බලාපොරොත්තු නොවුණ නමක්.
අතීතෙට අයිති නමක්.
කසාදෙ හන්දා මට මග අත ඇරලා දාලා එන්න වෙච්ච නමක්!


