ඇනෙක්සිය එහෙමම තිබියදී සුමනසේකර ශ්‍රියාලතාව ඇගේ වැඩිමහල් සොයුරියගේ නිවසට ඇරල වූයේ ඉරිදා සවස් වරුවේය. ජීවත්වීමටනම් රැකියාව ආරක්ෂා කර ගත යුතුමය.
“මට දැන් ඒ හැටි අමාරුවක් නෑ. ගෙදර ඉන්න පුළුවන්..”යනුවෙන් ඇය කිහිප වතාවක්ම පැවසුවත් සුමනසේකර එවේලෙහි ඇගේ බහට කන් දුන්නේ නැත. තවදුරටත් ඇගේ සිතැඟි වලට මුල් තැන දී වැඩ නොකරන්නට ඔහු සිතුවේ ඊයේ පෙරේදාය.
“දැන්වත් ඔය හිතුවක්කාරකම් නවත්තන්න ශ්‍රියාලතා. ටිකක් ප්‍රෙෂර් අඩු කර ගන්නකල් අක්කලගෙ ගෙදරට වෙලා ඉන්න. හැමදාටම නෙමෙයිනේ. දවල් දවසේ ඔයා බාත්රූම් එක ඇතුලෙ හරි ලිස්සල වැටුනොත් කවුද ඉන්නේ? ඒ ගෙදරත් දැන් දරුවො දෙන්නත් නැති නිසා අක්කා ඉන්නෙත් පාලුවෙන්නේ…”
“මගේ සහෝදරී ළඟට යන්න උනත් මට ලැජ්ජයි සුමනේ.”
“මේ වෙලාවේ අපිට උදව් ඉල්ලන්න ඉන්නේ අක්ක විතරයි. මේ ඔක්කොම අපේ වැරදි. අපේ එකා නැති උනත් අර දරුවා මේ ගෙදර හිටියනං අද අපි දෙන්නව බලා ගන්නවා. එහෙනම් මේ කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ.”
ශ්‍රියාලතා බිම බලා ගත්තේ සුමනසේකර එසේ පවසද්දීය. තවමත් මේ සිත දහරා නිවැරදියැයි පිළි ගන්නේම නැත. ඊයේ පෙරේදා මෑණියන් ළඟට යාමට ශ්‍රියාලතාට උවමනා වුවත් නිවසින් එළියට බසින්නට සැමියා ඉඩ නොදෙන බව ඈ දැන සිටියාය. අවසන ඈ සුමනසේකරට ඒ බව පැවසූයේ සිය සිතුවිලි වද දෙමින් තිබියදීය.
“තවමත් ඔය පිස්සුව හොඳ උනේ නැද්ද..?”
“එහෙම නෙමෙයි අපිට වෙන්න තියෙන්නේ මොනවද කියලවත් බලාගන්න.”
“තවත් වෙන්න තියෙන්නෙ මොනවද ශ්‍රියාලතා. හරියට වස්තරයක් අඳින්නෙ නැතුව හරියට බඩට කන්නේ නැතුව අපි අපේ එකම ළමයා විශ්ව විද්‍යාලය යවලා ඉගැන්නුවා. මොන තාන්න මාන්න ලැබුණත් මිනිහෙක්ට නරක පුරුද්දක් තියෙනවනං ඒක වෙනස් කරන්න බෑ. අර අහිංසක දරුවෙක්ට ගින්දරක් දීලා ඒ ගිනි නිවෙන්නවත් ඉඩ තියලද ශ්‍රියාලතා තවත් ගෙදරක ගිනි ඇවිළුවේ. මොනවා වෙන්නද. එක්කෝ ඌ ඉන්න තැනක යහතින් ජීවත් වෙයි එක්කෝ මේ කරපු පව් මේ ආත්මෙම පලදීලා මහ පාරට වැටෙයි. ඔයාටයි මටයි වෙන්නෙත් කවද හරි බල්ලො බළල්ලු ගානට අනුන්ගේ තැනක මැරිලා යන්න. ඒක අහගන්න ආයෙ අතේ තියෙන සොච්චමත් වෙන ගෑනියෙක්ට පූජා කරන්න ඕන නෑ.”
සුමනසේකර එසේ කෑ ගසද්දී ශ්‍රියාලතා නිහඬ වූවාය. ඔහු පවසන්නේ සැබෑවක්යැයි වරෙක සිතුනත් තවත් වරෙක ඒ සිත සත්‍යයට මුහුණ දෙන්නට කැමති වූයේ නැත.
අවසන ඕ සැමියා හා සොයුරියගේ නිවසට ගියාය.
“කවුරුත් නැති එකේ ඇනෙක්ස් එක වහල දාලා සුමානයක් දෙකක් සුමනේ මල්ලිත් මෙහේ නතර වුණා නම් හරි. මහ රෑකට අමාරු වුනොත් තනි ගෑනියෙක් වෙච්ච මම මොනවා කරන්නද.?”
ශ්‍රියාලතාගේ සොහොයුරිය පැවසූයේ සුමනසේකර ආපසු ඇනෙක්සියට ඒමට සැරසෙද්දීය. බිරිඳගේ මුහුණෙහි වූ අඳුර තවමත් පහව ගොස් තිබුණේ නැත. ඔහුට දැනුනේ දුකකි. ඈ නිදහසේ ජීවත් වූ ගැහැණියකි. ඇගේ ආධිපත්‍යය ඒ නිවස පුරාම පැතිර තිබිණ. එවන් ගැහැණියකට තවත් අයෙකු හා ජීවත්වීම ලෙහෙසි පහසු වන්නේ නැත.
“ඔයත් ඉන්නවනං හොඳයි ඒයි.” වැනි බැල්මක් ශ්‍රියාලතා තම සැමියා දෙසට හෙළුවේ සොහොයුරිය එසේ පැවසුවාට පසුවය.
“බස් එකේ ටික දුරක් යන්න තිබුනට ඒකනං ගානක් නෑ. මං අක්කගෙන් එහෙම අහන්නේ නැතුව හිටියේ මමත් කරදරයක් වෙයිද මන්ද කියල හිතලා. මෙයා දැනගන්න ඕනි ඉතින් කල්පනා කරන්නේ නැතුව එන විදිහකට ජීවිතේට මුහුණ දෙනවා කියලා හිත හදාගන්න. සමහර වෙන්න තියෙන දේවල් අපිට වළක්වන්න බෑ. මේ විදිහට අක්කට කරදර කරන්න තුන් හිතකවත් බලාපොරොත්තුවක් තිබුණෙ නෑ.”
“ඒකට මක්ක කරන්නද. උදව් අවශ්‍ය වෙලාවෙ තමයි මිනිස්සුන්ට උදව් කරන්න ඕන. එහෙනම් මල්ලිත් හෙට හැන්දෑවේ නතර වෙන්න බලාගෙනම එන්න. මම ලොකු පුතාටත් ඊයේ හැන්දෑවේ කතා කරහම ලොකු පුතා කිව්වෙත් ශ්‍රියාපුංචිව හොඳට බලාගන්න කියලා. ඔය පොඩි පොඩි හිත් රිදීම් උනාට ඒ ළමයින්ගේ හිතේ ඒවා නෑ.”
සොහොයුරිය හිතා මතාම එසේ පැවසුයේ ශ්‍රියාලතාගේ වැරදි හැසිරීම් සිහි ගන්වන්නට විය යුතුය. සොහොයුරියගේ දරුවන් දෙදෙනාගෙන් එක් අයෙකුටවත් විශ්ව විද්‍යාලයට යාමට වරම් හිමි වූයේ නැත. පුද්ගලික ආයතනයක සේවය කළ ලොකු පුතා විවාහයෙන් පසුව පිටරටක පදිංචියට ගියේ බිරිඳගේ මවත් පියාත් එහි වූ නිසාය. පුද්ගලික බැංකුවක සේවය කළ දෙවෙනියා උසස් වීමක් සමඟ සේවා ස්ථාන මාරුවක් ලැබුවේ මසකට පමණ පෙරය. ඔහු නිවසට පැමිණෙන්නේ සෙනසුරාදා සහ ඉරිදාය. මනුජිත් විශ්ව විද්‍යාලයට තේරුණු පසුව ශ්‍රියාලතා සිටියේ ආඩම්බරයෙන්ය. තමාගේ ඥාති පරපුරේ කිසිවෙකු විශ්ව විද්‍යාලයට නොයෑම ඊට හේතුව විය. තමා මනුජිත් පිළිබඳව අනවශ්‍ය ලෙස ආඩම්බර වෙද්දී මුවින් පිටවෙන වදන් වලින් අන් අයගේ සිත රිදෙනවායැයි ඈ කිසිවිටෙකත් නොසිතුවාය. එදවස තමා අතිශය නිහඬ නිස්කලංක දිවියක් ගෙවූයේද ඒ නිහඬකම වඩා හොඳයැයි විශ්වාස කළ නිසා බව සුමනසේකරට සිහිවූයේත් ඒ හදිසියේමය.
*****************
දහරා පුද්ගලික රෝහලට ඇතුළත් වූයේ ඉරිදා සවසය. ඒ වනවිටත් ඈ මද අමාරුකම් වලින් පෙළෙමින් උන්නාය. ඉඩකඩ ඇති සුවපහසු රෝහල් කාමරයේ දහරා හා රැඳී සිටියේ සාමාය. වරින් වර රමාෂ් පැමිණ ඇය ගැන සොයා බැලුවේ උනන්දුවෙන්ය.
“බයවෙන්න එපා එපා රමාෂ්. වයිෆුයි බබයි දෙන්නම හොඳින්. බොහෝවිට අපිට හෙට පාන්දර වෙද්දි ඩිලිවරි එකට යන්න පුළුවන් වෙයි.”
සවස ඈ පරීක්ෂා කරන්නට පැමිණි විශේෂඥ වෛද්‍යවරයා පැවසූයේ ඒ අයුරින්ය.
තමා රමාෂ්ගේ බිරිඳයැයි හඳුන්වද්දිත් ඔහු කිසිවක් නොකියා සිටීම පිළිබඳව දහරාගේ සිතෙහි වූයේ පුදුමයකි. සිහින් කෙඳිරිල්ලක් නගමින් ඈ රමාෂ් දෙස විමතියෙන් බැලුවේත් එනිසාය. ඔහු සිනහමුසුව උන්නේ ඒ කිසිවක් ඔහුට වැදගත් නොවූවා සේය.
“තව ටිකකින් ඔයාට පේන් කිලර් එකක් දෙයි. ඒකට වේදනාව ටිකක් අඩුවෙලා ඔයාට නින්ද යයි. බයවෙන්න එපා දහරා අද මම එපාර්ට්මන්ට් එකට යන්නේ නෑ. චුට්ටක් දරාගන්න වෙනවද දහරා…”
රමාෂ් එසේ පැවසූයේ රාත්‍රී ආහාරය දහරා විසින් ප්‍රතික්ෂේප කරද්දීය.
“මේ සුප් එක බොන්න දහරා. මොකද බබාව එළියට ගනිද්දි ඔයාගේ නිරෝගිකම ගොඩක් වැදගත්..”
දහරා කිසිවක් නොකියා අපහසුවෙන් මුව විවර කලේ ඔහු එසේ පවසද්දීය. සාමා අතින් සුප් බඳුන තමා අතට ගත් තරුණයා වල් පල් කියවමින් එය දහරාට පොවන්නට උත්සාහ කළේ ඇගේ වේදනාව මඟ හැරී යන්නට සලස්වමින්ය. සාමා අංගුලිමාල පිරිත කියමින් දියණියගේ හිස අතගාමින් උන්නාය.
“සමහර විට නැන්දා අද රෑ වෙද්දි අපිට දහරාව ලේබරූම් එකට ගන්න වෙයි. නැන්දත් මොනවා හරි කාලා ඉන්න.”
රමාෂ් එසේ පැවසූයේ වේදනානාශක පෙතිවලට දහරාගේ දෑස් පිය වෙද්දීය. සාමාත් රාත්‍රී ආහාරය ප්‍රතික්ෂේප කරමින් උන්නාය. ඇය සිටින්නේ බියපත්වය.
“නැන්දා ඇයි බයවෙලා ඉන්නේ. දහර හොඳින්. මේ වගේ අවස්ථාවක හැම අම්මා කෙනෙකුටම එන වේදනාව තමයි එයාටත් දැනෙන්නෙ. ඒ ඇරෙන්න නැන්දගේ දුවට කිසිම ප්‍රශ්නයක් නෑ.”
රමාෂ් එවේලෙහි පැවසූයේ සිනහමුසුවය. ‘ඔයා නම් දෙවියෙක් පුතේ…’යැයි පවසමින් ඔහුව සිප ගන්නට අවැසි වුවත් සාමා එසේ නොකළාය. සැබවින්ම මෙවේලෙහි ඔහු දහරාට රැකවරණයක් වෙමින් උන්නාය.
“එහෙනම් නැන්දා මොනවා හරි කාලා දහරාව බලාගෙන ඉන්න. මම ස්ටාෆ් රූම් එකේ ඉන්නවා. මොනවා හරි ඕන වුණොත් මේ බෙල් එක ගහන්න. එතකොට කවුරු හරි එයි. අමාරුකම් එද්දි දහරා ඉබේටම ඇහැරෙයි. මං සැරින් සැරේ ඇවිත් බලන්නම් නැන්දා…”
දහරාගේ හිස අත ගෑ තරුණයා කාමරයෙන් පිටවන්නට ගොස් ආපසු හැරුණේ හදිසියේ යමක් සිහි වූවා සේය.
“මට කියන්න අමතක වුනා සාමා නැන්දේ. මම ලෝයර් කෙනෙක් හම්බ වෙන්න ගියා. දහරට ඉක්මනටම ඩිවෝස් එක ගන්න පුළුවන් වෙයි. මනුජිත් දැන් ඉන්න ඒ ලේඩිගේ අම්මයි තාත්තයි පොලිසියේ ඇන්ට්‍රි එකක් දාලා තියෙන හින්දා ඒක දහරගෙ පැත්තට ලොකු වාසියක් වෙයි කියලා කිව්වා. අනික මනුජිත්ගේ තාත්තත් ඕනම වෙලාවක උසාවියට ඇවිල්ලා සාක්ෂි දෙන්න ලෑස්තියි.”
“ඒක ලොකු දෙයක් පුතා. මම දන්නෙ නැහැ මම ඔයාට ස්තුති කරන්නද පින් දෙන්නද කියල. මේ ඔයා සතුට දෙන්නේ අපි හැමෝගෙම හිත් වලට. ඔයා මේ භාර ගන්නේ මගේ දරුවගේ ජීවිතේ විතරක් නෙමෙයි. එයත් එක්කම හුස්ම ගන්න මාමගේ, මගේ, ආච්චිගේ අපි තුන්දෙනාගෙම ජීවිත.
සාමා එසේ පැවසුයේ දෑත් එක් කරගෙනය. අඩියක් දෙකක් පෙරට තබා ඇවිද ආ තරුණයා ඇයව තම පපුවට වාරු කර ගත්තේ ආදරයෙන්ය.
දහරා පුතෙකු ලැබුවේ පසුදා අලුයමේය. ප්‍රසූත වේදනාවෙන් කෑ ගසද්දී පවා රමාෂ් වූයේ ඇගේ දකුණත තද කර අල්ලාගෙනය. විශේෂඥ වෛද්‍යවරයා එවේලෙහි පුද්ගලික රෝහලට හදිසියේම පැමිණියේ රමාෂ්ගේ දුරකථන ඇමතුමටය. ගෙවී ගිය කාලයේ දරුවන් සිය ගණනක් තමාගේ දෑතින් වලින් මෙලොවට බිහි කරන්නට සමත් වූවත් දහරා අරඹයා ඒ සා සන්සුන් කමක් දරන්නට ඔහුට හැකියාවක් වූයේ නැත. ‘මටත් ඔය ටික ඔය විදිහටම උනා ඉළන්දාරියා…’ අවසන විශේෂඥ වෛද්‍යවරයා රමාෂ්ගේ පිටට තට්ටුවක් යොදා පැවසූයේ සිනහමුසුවය. සුදුම සුදු පැහැ නීරෝඟී වූ දරු පැටියා මුලින්ම සිය දෑතට ගත්තේ රමාෂ්ය.
“ඩොක්ටර් වගේම තමයි…..”
හෙදියක විසින් පවසද්දී ඔහුගේ දෑස්වල කඳුලක් උපන්නේය. තරුණයා මදක් පහත්ව දරුවාගේ නළලත සිප ගත්තේ හදවතේ දැවිල්ලකින් ඇරඹී සෙනෙහස මුළුගත පුරාම පැතිර යද්දීයය. ඒ සිතට දැනෙමින් තිබුණේ මහත් වූ ලෝබ කමකි. දරුවා තමාගේ නොවේයැයි තත්පරයක්වත් සිතන්නට ඔහුට හැකි කමක් වූයේ නැත. අවසන දරුවාව දහරා අසලින් තැබූ ඔහු ඇගේ නළලත සිප ගත්තේ ‘උඹල දෙන්නාම මගේයැයි’ හදවත ආඩම්බරයෙන් පවසද්දීය. රෝහල් කාර්‍ය මණ්ඩලයත් සැමටම කාරුණික වූ මේ තරුණ වෛද්‍යවරයා දෙස බලා සිටියේ සිනහමුසුවය.
(හෙටත් හමුවෙමු ආදරයෙන්)


