සඳ දිය දහරා – 57

0
278

මවත් දරුවාත් දෙදෙනාම නීරෝගී වූ නිසා උදෑසන දහය පමණ වන විට දෙදෙනාම රෝහල් කාමරයට යැවීමේ හැකියාව විය. ඒ කාලය පුරාම රමාෂ් උන්නේ ඈ අසලටම වීගෙනය. නිශාදි  පැමිණ සිටියේත් පාන්දරමය. 

“අනේ සුදු  බෝලයක් වගේ…එයානම් මගේ විතරයි හරිද කාටවත් දෙන්නේ නෑ.”

ඈ එසේ පැවසූයේ සාමා විසින් දෝතටගත්  ළදරුවා අසලට ළංවය. 

දහරා ශරීරයෙහි වූ අපහසුතා දරාගෙන මද සිනහවක් පෑවාය. මේ සතුට විඳගන්නට මනුජිත්ට සිත් නොවූයේ මන්දැයි ඈ සිතුවේ පුදුමයෙන්ය. තමා වසර ගණනකින් වැඩිමහල් වූ ⁣⁣සෙයක් දහරාට දැනෙන්නට විය. යුතුකම් වගකීම් දරන්නට පේවී උන් පරිණත ගැහැණියකගේ සිතුවිලි ඒ හදවතෙහි ඉපදෙමින් තිබිණ. එනිසාම සියල්ලක්ම⁣ දෙස උපේක්ෂාවෙන් බලා සිටින්නට ඇයට හැකි විය.

තමා වටකර උන් අම්මා දෙසත්, යෙහෙළිය දෙසත්, රමාෂ් දෙසත් ඈ බැලුවේ සිනහ මුසුවය. 

“හැමදේකටම ස්තූතියි රමාෂ්….”

ඈ එවර පැවසූයේ සිහින් කෙඳිරිල්ලක්ද නගමින්ය. 

“ස්තුතියි කියල මදි පුතේ. ඔයා ඊයෙ රෑ හරියට මේ දරුවට කරදර කළා. ඒ දරුවා මට ඔයාට ළං වෙන්න දුන්නෙත් නෑ. බලන්න ඒ අත්වල හීරීම් පාරවල් හොඳට ඇති.” 

ප්‍රසූත වේදනාව දැඩි වද්දී තමා තද කරමින් රමාෂ්ගේ දෑත් අල්ලා ගත් බව දහරාට මතකය. ඒ වේදනාව වචනයෙන් විස්තර කරන්නට ඈ දැන සිටියේ නැත. එය ඒ සාම රිදවුමකි. ප්‍රසූත වේදනාව දරාගත් අම්මා කෙනෙකුට අන් සියල්ල දරා ගැනීම අසීරු එකක් නොවන බව විශ්වාසය. අම්මා කෙනෙකුගේ හයිය මැන බලන මුල්ම කඩයිම ප්‍රසූත වේදනාවයැයි දහරාට සිතිණ.

රමාෂ් ඇඳ උන්නේ සැහැල්ලු කමිසයකි. මේ ඔහු රෝහලේ සේවය කරන වේලාව නොවේ. අම්මා පැවසූයේ ඇත්තකි. ඔහුගේ දකුණතෙහි තැනින් තැන වූයේ රතු පැහැ පැල්ලම්ය. 

“අනේ සොරි රමාෂ්…”

“ඒකට කමක් නෑ…”

ඔහු එවර පැවසූයේ දහරාගේ හිස අත ගාමින්ය. පෙරදා රාත්‍රියේ සිට ඔහු දහරාව තනි නොකරමින් රෝහලේම රැඳී සිටි ආකාරයත්. දහරාට ප්‍රසූත වේදනා දැනෙද්දී ඇයව සනසවමින් ඒ වේදනාව මදකට හෝ අමතක කරවන්නට වෙහෙස වූ  ආකාරයත් නිශාදි හා පැවසූයේ සාමාය. එවන් පිරිමියෙකු ලබන්නට පින් කර තිබිය යුතුය. මහත් වූ ලෝභකමක් ඒ ආදරණීය පිරිමියා ගැන  ඇති වුවත් ඒ සිතෙහි හිමිකරුවා වූයේ තම යෙහෙළියයැයි සිතා නිශාදි  සිත හදා ගත්තාය. 

“ඔයා ඊයෙ රෑද බස් එකට නැග්ගේ..”

‘මේ බත් එක දහරට කවන්න නැන්දේ… ‘යැයි පවසා රමාෂ් නිශාදි දෙසට හැරුණේ එසේ අසාගෙනය. 

“හතරට…”

“අනේ රමාෂ් නිශාදි  කාලත් නැතුව ඇති ඇති ඔය දෙන්න ගිහිල්ලා මොනවා හරි කාලා එන්න. මේ කෙල්ලට බඩගින්නෙ හිටියහම ගෑස්ට්‍රික් හැදෙනවා.”

දහරා එසේ පැවසූයේ සාමා ඇනූ බත් කට තම මුවට ගන්නට ප්‍රථමය. කුසගින්නක් නොමැති වුවත්, පිරියක් නොමැති වුවත් තමා මෙවේලෙහි බඩ පිරෙන්නට යමක් කෑ යුතු බව ඈ දැන උන්නාය. 

ප්‍රසූතිකාගාරයේදී දරුවාට කිරි දුන්නාට පසුව හෙදිය පැවසූයේ තවත් පැයකින් පමණ දරුවා ඇහැරවා කිරි ලබාදෙන ලෙසය. තමා ගැබිනියක බව දැනගත් මුල් කාලයේ බියෙන්, සැකයෙන් හා වේදනාවෙන් කල් ගෙවද්දී දින ගණනක් මේ කුසට අහරක් නොවැටුණු බව විශ්වාසය. ඊට පසුවත් මනුජිත්ගේ නිවසේදී දරුවාට පෝෂණයක් නොලැබුණු තරම්ය. එනිසාම දහරා අවසන් මොහොතේ වඩා බියපත් වූයේ දරුවාගේ නීරෝගීකම ගැනය. 

මඳක් එහාට වන්නට කුඩා මේසය මත තබා තිබූ සාමාගේ ජංගම දුරකථනය නාද වූයේ එවේලෙහිය. දුරකථන තිරය මත සඳහන් වූයේ ‘මනුජිත් ෆාදර්’ යනුවෙන්ය. මේ අංකය ඒ ජංගම දුරකථනයෙහි ගබඩා කලේත් දහරාමය.

“මනුජිත්ගේ  තාත්තා.”

“අනේ නිශාදි චුට්ටක් බලන්න.”

“උදෙත් ඒ මනුස්සයා කතා කළා. මං කිව්වා ඔයා ඒ වෙලාවේ ලේබරූම් එකට ගත්තා කියලා.”

“අංකල් ඇවිල්ලා පල්ලෙහා ඉන්නවලු දහරා. මම ගිහිල්ලා එක් කරගෙන එන්නද?” 

දහරා හිස වෙනුවේ මිතුරියට එකඟවය. මෙවේලෙහි ඔහුගේ පැමිණීම ඒ සිතට එක් කළේ සතටකි.

“හැබැයි දහරා අංකල් ආවට කමක් නෑ. ඔයා බත් එක ඔක්කොම කන්න ඕනේ. නැන්දේ මම එළියෙන් ඉන්නම්. අපි හැමෝම රූම් එකේ ඉන්නකොට ඒක බබාට හොඳත් නැහැනේ.”

රමාෂ් එසේ පවසමින් රෝහල් කාමරයෙන් පිටවූයේ දහරාගේ හිසත් අත ගෑවාට පසුවය. මඳක් එහාට වන්නට ළදරු තොටිල්ලෙහි උන් බිලිඳා සුව නින්දකය. මනුජිත්ගේ පියා රෝහල් කාමරයට ඇවිද ආවේ කලබලයකින් සේය. 

“අන්කල්ගෙ  වේගෙට මට දුවා ගන්නත් බැරුව ගියා.” නිශාදී එසේ පැවසූයේ එක පිට එක හති අරිමින් සිටි වියපත් මිනිසා දෙස බලාගෙනය. ඔහු මුලින්ම මදක් එහාට වන්නට බිත්තියේ සවිකර තිබූ විෂබීජ නාශක බෝතලයෙන් බිඳු කිහිපයක් ගෙන තම දෑත් හොඳින් පිරිසිදු කර ගත්තාය. ළදරුවා උන් තොටිල්ල අසලට ළං වූයේ ඉන් පසුවය. තත්පර කිහිපයක් දරුවා දෙස බලා උන් ඒ මුහුණෙහි සිනහවක් සටහන් වන අයුරු දහරා හොඳටම දුටුවාය. 

“මනුජිත්ගේ සලකුණක්වත් ඉතිරි කරන්නේ නැතුව එයා ඔයා වගේම වෙච්ච එක හොඳකට ගියා පුතේ.”

අවසන සුමනසේකර පැවසූයේ බිඳී ගිය හඬකින්ය.

ද”රුව චුට්ටක් අයියගේ අතට දෙන්නද.?”

සාමා එසේ ඇසුවේ කරුණාවෙන්ය. දෑස් වල කඳුළු පුරවාගෙන බලා සිටින මේ වියපත් මිනිසා ගැන දහරාට මෙන්ම නිශාදිටත් සාමාටත් එක සේම දුක සිතී තිබිණ.

“කලබල කරන්න ඕනෙ නෑ  නංගී දරුවා මෙහෙම නිදාගත්තාවේ. මට එච්චර හුරුත් නෑ.”

“අම්මා ගෙදරද තාත්තේ..”

“ලොකු අම්මලයි දිහා නැවැත්තුවා. දැන් දවස් දෙක තුනක ඉඳලා මං ඉන්නෙත් එහේ.” 

“අම්මට අමාරුයිද තාත්තේ?”

“දැන්නන් ටිකක් ප්‍රෙශර් බැහැලා. අම්මට තියෙන්නේ ඇත්තට මුහුණ දෙන්න තියෙන අමාරුකම දරුවෝ. ඇත්ත තමයි මේ කියල වටහා ගත්තනම් අසනීප වෙන්න උවමනා නෑ.”

“අර දරුවා ගැන කිසිම ආරංචියක් නැද්ද අයියේ..”

“ආරංචියක් නෑ. ආරංචි කරලා බලන්න අපිට තැනකුත් නෑ.”

“මේව අපිට ගහ මරාගන්න දේවල් නෙමෙයි අයියේ. හැමදේම සිද්ධ වෙන්නේ හොඳකට කියලා හිතලා හිත හදාගන්න අපිට පුළුවන්. මේ ළමයා ඉන්න තැනක කොහොම ඉන්නවද කනව බොනවද කියලා හිතනකොට අම්මා කෙනෙක්ට වාවන්නේ නෑ තමයි. අර ගෑණු ළමයාගේ පැත්තෙන්වත් ආරංචි කරලා බැලුවොත් නරකද?” 

“ඒ මිනිස්සුත් ඉන්නේ මේ ගින්දරෙන්ම තමයි නංගි.”

“ඒ මනුස්සයට කසාද ගෑනි කෙසේ වෙතත් තමන්ගේ අම්ම තාත්තවත් මතක් නොවෙන එකනේ පුදුමේ.”

මෙතෙක් වේලා දරුවා දෙස බලා උන් නිශාදි එසේ පැවසූයේ මඳක් උස් වූ හඬින්ය. තවත් යමක් පවසන්නට කට හදාගත් ඈ  අවසන එසේ නොකළේ දහරාගේ දෑස් වල වූ තරවටු බැල්ම නිසාය. 

“මම පැය දෙකකින් එනව කියලා ආවේ  පුතේ ආවෙ. ගෙදර ගිහිල්ලා ඔයා ටිකක් නිදහස් උනාට පස්සේ අම්මත් එක් කරගෙන එන්නම්. ජීවිතේ ඉස්සරහ වැඩ කටයුතු වලට සිහි බුද්ධියෙන් මුහුණ දෙන්න ළමයෝ. ඔයා මං දැකපු අනික් ළමයි වගේ නෙමෙයි බොහෝම ඉවසීමක් සංයමයක් තිබුණු දරුවෙක්. වාසනාව නැතුව ගියේ අපට”

දහරාගේ හිස අතගෑ ඔහු රුපියල් පන් දහසේ නෝට්ටුවක් කලිසම් සාක්කුවෙන් පිටතට ගත්තේය. 

“තාත්ත ඔය සල්ලි එළියට ගත්තේ මට දීල යන්නනම් මට සල්ලි එපා තාත්තේ. එදා තාත්තා මට දීල ගියපු සල්ලිත් ඒ විදිහටම එහෙමම තියෙනවා. පුළුවන් වෙලාවකට තාත්තයි අම්මයි ඇවිල්ලා මගේ දරුව බලලා යන්න මට ඒ ඇති. මං එහෙම නොකිව්වත් ඒකට තාත්තටයි අම්මටයි අයිතිය තියෙනවා.” 

දහරා  එසේ පැවසුවත් ඔහු කාමරයෙන් පිටවූයේ රුපියල් පන් දහසේ නෝට්ටුව ඇඳෙහි කෙළවරකින් තැබුවාට පසුවය. ඉන්පසු යළිත් දරුවා දෙස විනාඩි  කිහිපයක් බලා සිට රෝහල් කාමරයෙන් පිට වූයේ දෑස් වල කඳුළු පුරවාගෙනය.

“ඒ මනුස්සයා ගැන දුකක් වගේම කේන්තියකුත් වෙලාවකට මගේ හිතට එනවා. ඉස්සරත් ඔය විදිහට දහරාව විශ්වාස කරගෙන එයා එක්ක හිටියනං මනුජිත්වත්  එයාගේ අම්මවත් මේ තරම් පිස්සු නටන්නේ නෑ.”

නිශාදී එසේ පැවසූයේ කාමරය පුරා පැතිර ගිය නිහඬතාවය බිඳලමින්ය. කිසිවක් නොකියූ සාමා දහරාව තම ගතට වත්තම් කරගෙන මඳක් පහසු වන සේ අසුන් ගැන්වූයේ දරුවාට කිරි දිය යුතු වේලාව ලං වද්දීය. ඉන්පසු ඕ දරුවා රැගෙන ඇගේ දෑත් වලින් තැබුවාය. 

“හැමදේම සිද්ධ වෙන්නේ හොඳ විදිහට කියලා හිතන්න. ඉස්සරහටත් ඒ දේවල් ඒ විදිහටම සිද්ධ වෙයි. ඔයාගේ ජීවිතේ මොනව උනත් ඔයාගේ වටේ හරි ආදරෙන් ඉන්න මේ කවුරුවත් ඔයාව අතෑරලා දාන්නේ නෑ. ඒක නිසා හිත සන්සුන් කරගෙන සතුටින් දරුවට කිරි ටික දෙන්න.”

එවර දහරා හිස වැනුවේ සාමා එසේ පවසද්දීය. මනුජිත්ගේ පියා පැවසුවා නිවැරදිය. හැඩ හුරුකම් තබා ඔහුගේ පැහැයවත් දරුවාට ලැබී තිබුණේ නැත. අම්මා පැවසූ පරිද්දෙන් සියල්ලම මේ අයුරින් සිදුවන්නේ තමාට හිත හදා ගන්නට පහසු වනු පිණිස යැයි ඈ අවසන සිතුවාය. 

තවත් අඩ හෝරාවකට පමණ පසුව රමාෂ් රෝහල් කාමරයට පැමිණියේ තංගමනී නැන්දා සමඟය. ඈ අත වූයේ රෝස මල් කළඹකි. 

“අම්මා උදේ ආවේ..මගේ යාළුවෙක් ගිහිල්ලා අම්ම එපාර්ට්මන්ට්  එකට එක්කරගෙන ආවා. පැය ගානක්ම ට්‍රැවල් කරපු නිසා නාන්නෙ නැතුව හොස්පිට්ල් එකට එන්න බෑනේ..”

මුලින්ම දහරාවත් දරුවාවත් සිපගත් ඈ ඉන්පසු සමාව වැළඳගෙන විනාඩි කිහිපයක් යනතුරු සිටියාය. දෙදෙනාගේම දෑස් වල වූයේ සතුටු කඳුළුය. 

“මාමටත් එන්න හොඳට හොඳටම වුවමනාව තිබුන පුතේ. ඒ උනාට බිස්නස් වැඩ හින්දා එයාට විවේකයක් නෑ.”

අවසන ඕ පැවසූයේ යළිත් වරක් දහරාගේ හිස සිප ගනිමින්ය.

“මේ අර ඒ  දවස්වල අපිත් එක්ක එල්ලෙන පුංචි කටු අත්ත නේද පුතේ. මේ දෙන්න අත් දෙක අල්ලගෙන වත්තේ යනකොට මං කියනවා නංගි ඒ දවස්වල නිශාදි  දුව කේන්ති ගන්න තරමටම දහරා ළඟ ඉවසීම තියෙනවා ඒක පුදුම ගැලපීමක් කියලා.” 

තංගමනී  එවර පැවසූයේ නිශාදිත් තමා වෙත ළං කරගෙනය. 

“දැනුයි කියලා වෙනසක් නෑ නැන්දේ…”

දහරා එසේ පවසද්දී යෙහෙළිය ඈට රැවුවාය. සියල්ලෝම සතුටින්ය. සිය ගතෙහි වන වේදනාව අමතකව යන තරමට ඒ සතුට දහරාගේ සියුම් ලේ නහර ඔස්සේ පවා දුවමින් තිබිණ. 

(හමුවෙමු හෙටත් ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here