මන්දාකිණි හට සහ ඇගේ දෙමව්පියන් හට කිසිදු පිළිතුරක් නොදී ලවන් රෝහලින් පිටව ගියේ ධර්මරත්න ගේ සහ පුෂ්පාගේ හදවත් වෙලා ගිනි අවුලවා තබමිනි. තමන්ට මුහුණ දීමට සිදු වන්නට නියමිත ගැටලු සහ සිරිවර්ධන සමග වසර ගණනාවක සිට පැවත එන මිත්‍රත්වයට විය හැකි පලුදු වීම පිළිබඳව කල්පනා කරමින් ධර්මරත්න කම්පා වූ නමුත් සිදුවූ දේ පිළිබඳව මන්දාකිණි පසු වූයේ මධ්‍යස්ථ හැඟීමකිනි.
” ඕක තමයි ඔය මනුස්සයාගේ ඇත්ත මූණ.මං අම්මටයි තාත්තටයි කොච්චර කියන්න හැදුවත් පිළිගත්තෙම නැහැනේ. මට ඇත්තටම ආදරේ මනුස්සයෙක් නම් මගේ අතීතේ දැන ගත්ත ගමන් ඔහොම පැනල දුවයිද? “
මන්දාකිණි පවසන්නේ සත්‍යයක් වුවත් ධර්මරත්න එය පිළිගත්තේම නැත. පුෂ්පා නිහඬව බලා හිඳිමින් අදහස් නොපවසා සිටීමට වග බලා ගත්තේ මෙවන් යමක් කවදා හෝ සිදු වෙතැයි සිතිවිල්ලක් පෙර සිටම තිබූ නිසාය.
” මෙතන වැරැද්ද තියෙන්නේ අපේ නේ මන්දාකිණි. තමන් බඳින්න ඉන්න ගෑනු ළමයා ගැන මෙහෙම දෙයක් දැන ගත්තම මොන කොල්ලද කලබල වෙන්නේ නැත්තේ ?”
” ඉතින් මමද ලවන් ට ඇත්ත නොකියා හිටියේ?තාත්තටමනේ උවමනා වුනේ ඕවා හංගන්න .මට මුල ඉඳලම ඕන වුණේ ලවන්ට මේ හැමදේම කියන්න. කවදා උනත් ඕක වෙනවා. මනුස්සයෙක්ට දෙයක් හැමදාම හංගන්න බෑ නේ ”
ධර්මරත්න එයට පිළිතුරු දීමට නොගියේ සම්පූර්ණ වරද තමාගේ අත බව සක්සුදක් සේ දන්නා නිසාය. එහෙත් හිතට දැනෙමින් තිබුන බර බොහෝ වේලාවක් යන තුරුත් පහව නොගිය බැවින් ධර්මරත්න වාඩි වී සිටි තැනින් නැගිට මන්දාකිණි අසලට පැමිණියේය.
” මේ වෙච්ච දේට ඔයාට නම් ගොඩක් සතුටු ඇති කියලා මම දන්නවා. බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා ”
” තාත්තා කොහොම මොනවා කිව්වත් මට ලවන් ගැන කියන්න තියෙන්නෙ කලින් කියපු දේම තමයි.කොහොමත් වැඩි දවසක් යන්න කලින් තාත්තට මම මොකක්ද මේ කියන්නේ කියලා තේරෙයි “
සිරිවර්ධන සහ බිරිඳ ව්‍යාපාරික කටයුත්තක් සඳහා වාද්දුව නගරයට පැමිණ උන්නෝය. ලවන් සිරිවර්ධන අමතා හදිසි කාරණාවක් සඳහා හමුවීමට අවශ්‍ය බව කියමින් වාද්දුව නගරයේ පිහිටි අවන්හලක් වෙත දෙමව්පියන්ව කැඳවා ගත්තේය.
අකලංක විසින් පැවසූ මන්දාකිණි ගේ අතීත කතාවත් ධර්මරත්න සහ බිරිඳ එය හිතාමතාම සැඟවූ ආකාරයත් ලවන් දෙමව්පියන්ට පවසන විට ඔවුන් දෙදෙනා එය අසා උන්නේ අතිශය පුදුමයෙනි.වසර ගණනාවක් පුරාවට තම ව්‍යාපාරික මිතුරෙක වූ ධර්මරත්න වෙතින් එවැන්නක් කිසි සේත්ම බලාපොරොත්තු නොවූ සිරිවර්ධන තුළ ඔහු කෙරෙහි කෝපයක් හට ගත්තේ ඉන් අනතුරුවය.
” අනේ අපි ඔන්න ඕක අතෑරලා දාමු සිරිවර්ධන. මොකද අපේ පුතාට කසාද බඳින්න කෙල්ලෙක් හොයා ගන්න බැරුවටද ? ධර්මරත්න එයාගේ දුව ගැන මුල ඉඳලම පම්පෝරි ගහපු විදිහට මට ඒත් හිතුනා මොකක් හරි නැති වෙන්න බෑ කියලා “
මාලිකා ගේ අදහස වූයේ කිසිදු තර්කයකින් තොරව මන්දාකිණි පිළිබඳ කාරණාව අතහැර දැමීමට වුවත් සිරිවර්ධන සහ ලවන් එයට සූදානම් වූයේ නැත.
” අම්මා. මට මන්දාකිණි ගේ ජීවිතේ ඉස්සර වෙච්ච දේවල් කොහොමත් වැඩක් නැහැ. මෙතන තියෙන ප්‍රශ්නෙ එයාලා හිතාමතාම අපි තුන් දෙනාවම රවට්ටපු එක.අනිත් එක මන්දාකිණි මං ඉස්සරහ හැසිරුනේ මැස්සෙක් වත් වහලා නෑ වගේ නේ. මං එයාව හම්බ වෙන්න කොච්චර ට්‍රයි කරාද? ඒ හැම දවසෙම වැඩ තියෙනවා අරකයි මේකයි කියලා මාව මග ඇරියා. ඔය ඇක්සිඩන්ට් එක වෙච්ච දවසේ මම එයාගේ අපාර්ට්මන්ට් එකට ගියෙත් මං හොයා ගෙන මිසක් එයා මට අපාර්ට්මන්ට් එක තියෙන තැන කියලා නෙමෙයි.අනික හොඳම දේ තමයි ,මෙයා එදා ඔෆිස් යන්නේ නැතුව වෙන කොහෙද ගිහින් ඉඳලා තමයි ආවේ ”
ලවන් ගේ මුවින් අපහාසාත්මක සිනහවක් පිට වූයේ මන්දාකිණි වෙතින් කිහිප වරක්ම ප්‍රතික්ෂේප වීමේ කෝපය ඒ වන විටත් ඔහු තුළ නොඅඩුවම පැවතුනු බැවිනි.
” මමත් ඉතින් හොඳ මිනිහෙක් නෙමෙයි තමයි.ඒ උනාට මං මෙහෙම බොරු කරේ නෑනේ”
සිරිවර්ධන සහ පුශ්පා මුහුණින් මුහුණ බලා ගත්තේ ලවන් එසේ පැවසූ පසුවය. මුදල් වලින් කිසිදු අඩුපාඩුවක් නොපැවතුණු බැවින් තම එකම පුතු ගෙවන සෙල්ලක්කාර ජීවිතය දෙදෙනාටම රහසක් නොවූවත් ලවන් විවාහයෙන් පසුව හෝ ස්ථාවරයකට පත් වනු ඇතැයි දෙදෙනා තුළම විශ්වාසයක් විය.
” උඹ පහුගිය කාලේ කරපු කියපුවා ඒ මිනිස්සුන්ට ආරංචි වෙච්ච දවසටත් මේ ටිකම තමයි වෙන්නේ.ඒ නිසා වැඩිය උඩ පනින්නේ නැතුව හිටපන් “
සිරිවර්ධන පිළිතුරු දුන්නේ දෙපාර්ශවයේම වැරදි ඇති බව සිහිපත් කරමිනි. ඒ කෙසේ වුවත් තම පුතු සම්බන්ධකම් පැවැත්වූ සියලු යුවතියන්ට වඩා මන්දාකිණි සිටින්නේ ඉහළින් නිසා ඇගේ එක් වරදක් පමණක් මුල් කර ගෙන මේ විවාහය නතර කර දැමීම නොකළ යුත්තක් බව සිරිවර්ධන ගේ අදහස විය.නමුත් තම මිතුරා වූ ධර්මරත්න සිදු කළ රැවටීම පිළිබඳව ඔහු හා සෘජුව කතා බහ කරන්නටද සිරිවර්ධන තුළ දැඩි උවමනාවක් හට ගැනිනි.
” අපි දෙන්න ගේ තිබුණ යාළුකමට සලකල වත් ධර්මෙට තිබුණා මට ඇත්ත කියන්න. එහෙනම් මේ ප්‍රශ්න මෙච්චර දුරදිග යන්නේ නැහැනේ. අපේ පුතා උනත් ඉන්නේ සෑහෙන්න හිත රිදිලා.එයා පහුගිය දවස් ගානක් තිස්සේම නිදි මරාගෙන මන්දාකිණි පස්සේ වැටිලා හිටියේ මොකක් හරි දෙයක් හිතේ තියෙන නිසානේ ”
සවස් වරුවේ සිරිවර්ධන සහ බිරිඳ ,ධර්මරත්න සහ බිරිඳව මුණගැසීම සඳහා මන්දාකිණි ගේ නිවසට පැමිණියේ ධර්මරත්න යුවළ රෝහලේ සිට පැමිණි පසුවය. සිරිවර්ධන තමාව හමුවීමට පැමිණෙන කාරණාව පැහැදිලිවම දැන සිටි නිසා ධර්මරත්න උන්නේ ඒ පිළිබඳව දෙගිඩියාවෙනි. මන්දාකිණි සහ ලවන් අතර විවාහය සිදු නොවුනත් , මන්දාකිණි ගේ අතීතය පිටස්තර ලෝකය දැන ගැනීම පිළිබඳව ධර්මරත්න තුල වූයේ බියකි. එය පියෙකු තම දියණිය පිළිබඳව ඇති සෙනෙහස නිසා පැන නැගුනු බියක්ද නැතහොත් තමා මෙතෙක් කල් රැක ගෙන පැමිණි ගෞරවය අහිමි වේ දැයි කියා ඇති වූ බියක්ද යනුවෙන් ධර්මරත්න හට තෝරා බේරා ගත හැකි වූයේ නැත.
” අපි ලවන් ගැන කියන්න දුව ව හම්බ වෙන්න මෙහෙ ආපු වෙලාවේ තමයි ඔය ප්‍රශ්නෙ ගැන දැන ගත්තේ. ඒ වෙලාවෙ දුවගේ ජීවිතේ පිළිවෙලක් කරන්න පුළුවන් හොඳම අවස්ථාව මේක හින්දා මට ඒක නැති කරගන්න ඕන වුණේ නෑ සිරිවර්ධන. තාත්තා කෙනෙක් විදිහට දරුවාගේ ජීවිතේ ගැන හිතුවා මිසක් මං ඇත්තටම ඕගොල්ලෝ කාවවත් රවට්ටන්න හිතලා කරපු දෙයක් නෙමෙයි මේක.මන්දාකිණි මගේ දරුවා නිසා කියනවා නෙමෙයි, එයා කාටවත් කරදරයක් නැතුව එයාගේ උත්සාහයෙන් දියුණු වෙච්ච ළමයෙක්. ඉතිං එහෙම ළමයෙකුට එක තැනකදී වැරදුනා කියලා එයා ජීවිත කාලෙම ඒකට දඬුවම් විඳින්න ඕනෙ නෑ නේද සිරිවර්ධන ? ”
ධර්මරත්න පවසනා කාරණාවෙහි සත්‍යතාවයක් ඇති බව සිරිවර්ධන සිතුවේ ලවන් අතින් සිදු වූ බොහෝ වැරදි තිබිය දී විවාහයක් කර දී ඔහුව යහ මගට ගැනීමට තමාත් බිරිඳත් සිතූ බව සිහිපත් කරමිනි.
” අපේ ළමයා අතෙත් වැරදි නැතුව නෙමෙයි ධර්මේ. අපිට ප්‍රශ්නේ තියෙන්නේ මන්දාකිණි ගේ මේ ප්‍රශ්නේ පිට තැනකින් ආරංචි වෙච්ච එකයි. කොහොමත් මන්දාකිණි සනීප වෙන්නත් ටිකක් කල් යන එකේ , අපි මේක පිළිවෙලක් කරලා දාමු ඊට පස්සේ “
සිරිවර්ධන එසේ පැවසූ විට ධර්මරත්න හදවතින් සැනසුම් සුසුම් හෙළුවේය. මන්දාකිණිගේ සහ ලවන් ගේ විවාහය පිළිබඳව තීරණයක් ගැනීමට වඩා ඔහුට සැනසීමක් දැනුනේ තම ව්‍යාපාරික මිතුරා වූ සිරිවර්ධන තමා කෙරෙහි අහිතකින් පසු නොවීම පිළිබඳවය.
” අනිත් එක මට තව දෙයක් දැන ගන්න ඕන ධර්මේ ?”
” මොකද්ද ? ”
” මන්දාකිණි අපේ පුතාට එච්චර කැමැත්තක් නෑ කියලා පුතා මට කීප සැරයක්ම කියලා තියෙනවා. ඒක ගැන ධර්මේ මොනා හරි දන්නවද ? ”
ධර්මරත්න පුෂ්පාගේ මුහුණ දෙස බැලූ අතර පුශ්පා බිම බලා ගත්තේ සියලු තීරණ ගැනීමේ අයිතිය ධර්මරත්න සතුව පැවතුණු නිසාය
” මන්දාකිණි අපේ පුතාට කැමති නැද්ද ධර්මේ?”


