සඳ දිය දහරා – 58

0
316

මනුජිත් මදක් එහාට වන්නට ඉදගෙන උන් හංසනා දෙස බැලුවේ කෝපයෙන්ය. තමා හා පැමිණ දින කිහිපයක් ගතවුවත් ඇගේ ඇඬියාවේ ඉවරයක් වී තිබුනේ නැත. මෙවේලෙහිත් ඈ හඬමින් සිටින්නේ තමා ඇයව බලෙන් පැහැරගෙන ආවා සේය. යක්කලට මදක් ඇතුලට වන්නට වූ මේ කුලී නිවස  සොයා දුන්නේ විශ්ව විද්‍යාලයේ උන් මිතුරෙකි.  අත වූ මුදල් සීඝ්‍රයෙන්  වියදම්  යනවා මිස කීයක්වත් එකතු වන්නේ නැත. හංසනාව කැඳවාගෙන ඒමට එවේලෙහි සිත් දුන්නාට දැන් මනුජිත්  සිටින්නේ ඒ ගැන පසුතැවෙමින්ය. 

“මොකක්ද හංසනා මේකේ තේරුම කොයි වෙලාවෙත් අඬා ගත්ත ගමන් එක්කෝ කල්පනා කරනවා. ඔයා කැමැත්තෙන් මා එක්ක ආවා  මිසක් බලෙන් පැහැරගෙන ආවා නෙමෙයිනේ…”

මනුජිත් මදක් උස් හඬින් එසේ පැවසූයේ ඉවසා සිටීමට බැරිම වූ තැනය. නගරයෙන් මදක් ඇතුළට වන්නට වූ නිසා හරි හැටි කන්නට හෝ බොන්නට තැනක් වූයේ නැත. ගෙහිමියාගේ පාපැදිය ඉල්ලා ගන්නා ඔහු යක්කල ටවුමට ගොස් කන්නට යමක් රැගෙන ආවත් දිගටම එසේ කරන්නට බැරි බව දැන සිටියේය. හංසනා සමගම ගොස් වළං, ඇතිලි  කිහිපයක් ගෑස් ලිපක් ගෑස් ටැංකියක් හා උයන්නට අවැසි අඩුම කුඩුම ගෙන ආවේ එනිසාය. එහෙත් හදිසියකට පරිප්පු හොද්දක්, සම්බෝලයක් බිත්තරයක් සාදා ගන්නවා විනා අන් යමක් කරන්නට ඈ දැන සිටියේ නැත. හංසනා යනු ඒ නිවසේ සොහොයුරන් දෙදෙනෙකුට මැදිව සුරතලයට හැදුනු දියණියක බව දැන උන් නිසා මනුජිත් ඉවසා සිටියේය. 

“මට අම්මයි තාත්තයි අයියලා දෙන්නයි මතක් වෙනවා. එයාලා කවදාවත් වචනෙකින්වත් මට වෙනසක් නොකර මං මේ කරපු දේ වැරදියි කියලා මගේ හිත මට දොස් කියනවා.”

“ඔයා කියන දේ ඇත්ත හංසනා  ඒ උනාට ඉතින් දැන් කරන්න දෙයක් නෑනේ. ආරංචියේ හැටියට ඔයාගේ පොඩි අයියා මාව මරනවා කියලා හැමතැනම හොයනවලු. කොහේ හරි රටකට පැනගන්නකල් ටිකක් හැංගිලා ඉන්න වෙනවා.”

තමා පිටරටකට යාමට බලාපොරොත්තුවෙන් සිටියදී හංසනා කැඳවා ගෙන  ඒමෙන් කලේ වරදකටත් වඩා මෝඩකමක් යයි දැන් මනුජිත්ට ඒත්තු ගැන්වෙමින් තිබේ. ඇගේ ගුවන් ගමන් බලපත්‍ර සාදන කාර්‍යය ඉක්මන් කිරීමට ඒජන්සීය වෙත බාර දී තිබුණත් තවමත් ඒ වැඩ කටයුත්තේ නිමාවක් වී තිබුණේ නැත. 

“ඔයා වයිෆුත් පටලවා ගත්තනේ. එහෙම නොවුනනම් මේ ගමන ඉක්මනින් යන්නන තිබුණා. පිරිමි අයට වගේ නෙමෙයි. දැන් ගෑණු අයට යන්න ටිකක් අමාරුයි.”

ඊයේ පෙරේදා ඒ ගැන විමසද්දී ඒජන්සිය අයිති පුද්ගලයා පැවසූයේ ඒ අයුරින්ය. 

“කොහෙද ඉතින් කරන්න යන දෙයක් හරි යනවද කොයි වෙලාවෙත් ඇඞියාවනේ.”

හංසනා තිගැස්සී  මනුජිත් දෙස බැලුවේ ඔහු උස් හඬින් එසේ පවසද්දීය. ඒ හා සමගම ගොස් ඔහු කුඩා මුළුතැන් ගෙය තුළ වූ හට්ටි වළන් වලට එබුණේය. අදත් වූයේ පරිප්පු හොද්දක් හා කරවල බැඳුමකි. කිසිවක් නොකියා දිගු සුසුමක් මුදා හල තරුණයා පසෙක වූ පිඟානක් ගෙන බත් බෙදා ගත්තේ කුසගින්න දැඩි වූ නිසාය. බොහෝ විට දැන්  රාත්‍රිය ගෙවා දමන්නේ පාන් පෙති කිහිපයකින්ය. ඉඳ හිට හෝ නිවසට ගොස් ඒමට හැකියාවක් දැන් නොවේ. ඒ සියල්ලටම වඩා අම්මාත්, තාත්තාත් කොතැනක කොයි අයුරකින් සිටිනවාදැයි ඔහු නොදනී. සිම්පත පවා මාරු කෙරුනේ හංසනාගේ සොහොයුරා නිසාය. අම්මාගේ තාත්තාගේත් දුරකථන අංක කට පාඩමේ වුවත් ඇමතුමක් ලබා දෙන්නට තරම් දිරියක් ඔහුට වූයේ නැත. යළිත් හංසනාගේ ඉකිබිඳුම උස් හඬින් ඇසෙද්දී මනුජිත් දිගු සුසුමක් මුදා හැරියේ බත් පත පසෙකින් තබා වතුර කෝප්පයක් පානය කරමින්ය. 

                                     *************

දහරා දරුවාත් සමඟ නිවසට ගියේ ඊට පසුදාය. නිශාදිත් පාන්දරම පැමිණ සිටියේ යෙහෙළියත් දරුවාත් ආපසු සේකරවත්තට කැඳවාගෙන යාමටය. පෙරදා සවස නිවසට ගිය ඔහු සෙනරත් සමග එක්ව කුඩා කාමරයත් නිවසත් සැරසිලි කළේ නිල් සහ සුදු පැහැති බැලුම් බෝල වලින්ය. සියල්ල හොඳින් සිදු වද්දීත් දහරා වරින්වර කල්පනාවක සිටිනු නිශාධි දුටුවාය. ඒ බව රමාෂ්ටත් තේරී ඇතැයි ඈ දැනගත්තේ ඔහු සමඟ සවස පැමිණ බොරැල්ලෙන් බසිද්දීය. 

“එයාට හිත හදාගන්න තව කාලය ඕනේ. මට දැනුනේ එච්චරයි. ඒ කාලය ඇතුලත මම උත්සාහ කරන්න ඕනේ එයාගේ හිතේ නැතුවම බැරි කෙනෙක් වෙන්න. මට ඒකට ඉවසන්න පුළුවන්.”

රමාෂ් අවසන එසේ පැවසූයේ ඉදිරිපස බලාගෙනය. ඔහුවන් ඉවසීමක්, සංයමයක් ඇති පිරිමින් මේ සමාජයේ විරලය. 

දහරා තමාගේ ජීවිතය ගැන ලියූ  පිටු හාරසීයේ තනිරූල් පොතක් නිශාදිට හමු වූයේ ඇගේ කාමරය අස් කරද්දීය. උඩින් පල්ලෙන් එහි පිටු කිහිපයක් කියවූ ඈ එය සිය ගමන් මල්ලට දමා ගත්තාය. එහි වරින් වර තමා ගැන ලියැවී තිබූ වදන් නිශාදිගේ දෑස් වලට කඳුළු උනා  එන්නට තරම් විය. තමන් සිතා සිටියාටත් වඩා වැඩි අසීරු ජීවිතයක් මනුජිත්ගේ  නිවසෙහි ගත කළ හය මාසය තුළ ඈ ගෙවා දමමින් තිබුණායැයි ඇයට වැටහුනේ ආපසු රෝහලට එන ගමනේදීත් ත්‍රීරෝද රථයේ නැගී පොත කියවද්දීය. ඇය එය රමාෂ්ට දුන්නේ රෝහල පාමුලදීය.

“පුතේ මගේ ළඟත් සල්ලි ටිකක් තියෙනවා. මනුජිත්ගේ තාත්තා දීල ගියපු ලක්ෂයත් එහෙමම තියෙනවා පුතේ. ඒ සල්ලි ටිකත් දෙන්නද බිල් එක ගෙවන්න.” 

සාමා රමාෂ්ගෙන් එසේ ඇසුවේ රෝහල් කාමරයෙන් පිටතට පැමිණි වේලාවකය. රමාෂ් සිනහසී පැවසුවේ ඒ සියල්ල ගෙවා නිම කර ඇති බවය. 

“පුතේ මේ දේවල් කොහොමද දැන් ඉස්සරහට විසඳෙන්නේ? මං මෙහෙම ඇහුවට ඔයා මුකුත් හිතන්න එපා. ගිනි පෙලෙල්ලෙන් බැට කෑ මිනිහා කනා මැදිරි එළියටත් බයයි කියලා කියනවනේ. අම්මා කෙනෙක් විදිහට මගේ හිතෙත් දහරා ගැන ඒ වගේ සාධාරණ බයක් තියෙනවා. මේ වගේ ඉරණමකට එයාට මුහුණ දෙන්න සිද්ධ වුනේ අපි අල්ලපනල්ලට එයාව හදලා නෙමෙයි.”

“සාම නැන්දේ මං හෙට උනත් දහරාව මගේ කරගන්න කැමතියි. ඒක එදා වගේම අදත් නොවෙනස් වෙන කැමැත්තක්. ඒ උනාට මට හිතෙනවා දහරට හිත හදාගන්න අපි තව කල් දෙන්න ඕනේ කියලා. එයා සම්පූර්ණයෙන්ම නිරවුල් වෙලා තමයි සාම නැන්දේ තීරණයක් ගන්න ඕනේ. මේ වගේම ඒ දවස වෙනකල් මං බලාගෙන ඉන්නවා.”

ඔහු එසේ පැවසූයේ සාමාගේත් දෑස් වල කඳුලක් තබමින්ය. 

“මං මුලින්ම හිතාගෙන හිටියේ බබාවත් අරගෙන එයාට මගේ එපාර්ට්මන්ට් එකට යමු කියලා යෝජනා කරන්න. තනියම නෙමෙයි සාම නැන්දත් එක්ක. ඒ උනාට මට හිතෙනවා එයා එයාට හුරු පුරුදු පරිසරයේ ටික දවසක් ඉන්න එක හොඳයි කියලා. අපි හිතනවට වඩා අපි විශ්වාස කරනවට වඩා දහරා මේ ප්‍රශ්නෙන් ගොඩක් පීඩනයට පත්වෙච්ච කෙනෙක්. එහෙම කෙනෙකුට එක පාරටම තීරණ ගන්න අපහසුයි සාම නැද්දේ. සමහර විට මේ වෙද්දි එයාට මං ගැන මොනවා හරි දැනිලත් ඇති. ඒ උනාට එයාට වෙච්ච දේවල් වල හැටියට එයා තව කෙනෙක් ගැන විශ්වාස කරන්නේ හරි හෙමින්. සාම නැන්දට තේරෙනවා නේද මං කියනන දේ.”

“ඔව් පුතේ. ඒ මොනවා උනත් මගේ හිතට හැමතිස්සෙම හිතෙන්නේ දැන් එයා දරුවෙකුත් එක්ක තනිවෙච්ච ගෑනියෙක් කියලා. ඒක හිතට හරි බරක්.”

“දහර ගැන එහෙම හිතන්න මං කැමති නෑ නැන්දේ. එයාගේ වටිනාකම දන්න කෙනාට ඊයෙත් අදත් හෙටත් එයාව දැනෙන්නේ ජීවිතයක් එළිය කරන්න පුළුවන් කෙනෙක් ගානට. ඒකට පාවිච්චි කරන්න ඕන ලස්සන සිංහල වචන මම දන්නේ නෑ. හැබැයි ඉතින් ඔයා ඔයාගේ දුව ගැන තියෙන හැම බයක්ම හිතින් අයින් කරගන්න ඕනේ.”

රමාෂ් එසේ පැවසූයේ සාමාව වැළඳගෙනය. ඒ එක වැළඳ ගැනීමකදී ඔහු විශ්වාසය කෝටි ගණනින් ඇගේ සිතෙහි තැන්පත් කරමින් උන්නේය. 

මනුජිත්ගේ  නිවසේ සිට ආපසු ආ දිනයේ සේම දහරාව පිළිගන්නට වත්තේ මිනිසුන් ගේට්ටුව අසල බලා සිටියෝය. මනුජිත්ගේ  නොපැමිණීම ගැනත් රමාෂ්ගේ ආදර සත්කාර ගැනත් මිනිසුන් තැන් තැන්හි කතා කළ බව සැබෑය. මිනිසුන් එසේය. කතා කරන්නට අලුත් මාතෘකාවක් ලැබෙන තුරු ඔවුන් දහරා ගැන කතා කරන බව විශ්වාසය. 

රීටා ඉදිරියට පැමිණ දරුවාව දෝතට ගත්තේ රටක් රාජ්‍යයක් ලැබුණු විලාශයෙන්ය. ලා නිල් පැහැයත් සුදු පැහැයත් ගත් බැලුම් බෝල වලින් සරසා තිබූ නිවස දුටු දහරා නිශාදී දෙස බැලුවේ සිනහවක් මුව මත තබාගෙනය. 

“මොකද මට රවන්නේ? මම විතරක් නෙමෙයි මාමත් හවුල් උනා.” 

දරුවා දෙස බැලූ බොහෝ අය “දහරා වගේමයි” කියනු ඇය අසාගෙනය. එය සතුටට කාරණයකි. අතීතය අමතක කරන්නට මැරී ඉපදී සිටියේ නැති වුවත් දරුවාගේ පෙනුම ඔහු වාගේ නොවීම තමා ලද එක්තරා ජයග්‍රහණයකයැයි දහරාට සිතිණ.

“අද මේ හැමෝම සතුටින් ඉන්නේ ඔයා නිසා. ඔයාට ඒක තේරෙනවද?”

රමාෂ් එසේ ඇසුවේ දහරා සමග කාමරයේ තනිවූ එක් නිමේෂයකය. මේ කාමරයෙන් නික්ම ගියේ මීට දින දෙකකට පෙර වුවත් මේ සියල්ල වසර ගණනකින් දුටුවා සේ නැවුම් බවකින් එවේලෙහි දහරා අත්විඳිමින් උන්නාය. ඔහු පැවසූයේ ඇත්තය. අද අලුත උපන් දරුවා රැගෙන නිවසට පැමිණියේ සැමියා අකාරුණික ලෙස හැර ගිය ගැහැණියකි. එහෙත් කිසිවෙකුගේ මුවේ ප්‍රශ්නාර්ථයක්, ලැතැවිල්ලක් හෝ බියක් වූයේ නැත. 

කිසිවක් නොකියා දහරා රමාෂ් දෙස බලා සිටියේ සිනහවකින් මුව සරසාගෙනය. මේ සොයා බැලීම, මේ රැකවරණය, මේ වදවීම අහඹුවකින් සිදු නොවන දෙයක් බව ඇය තේරුම් ගනිමින් සිටියාය. මින් තත්පර කිහිපයකට ඉහතදී අම්මාත්, නිශාදිත්, ආච්චිත් කාමරයෙන් පිටවූයේ තමාවත් ඔහුවත් සිතා මතාම තනි කිරීමට බව විශ්වාසය. එහෙත් එවැන්නක් ගැන සිතත්දී පවා දහරා වෙවුලා ගියාය. ඔහුට ලැබිය යුත්තේ තමා වන් ජීවිතය වරදාගත් තරුණියක නොවේ. 

“තංගමනී නැන්දා කවදද යනවා කිව්වේ?”

ඇය එසේ ඇසුවේ යමක් කතා කළ යුතු නිසාය. මිතුරන් දෙදෙනෙකු අතර නිහඬකමක් ඇතිවිය හැකි නොවේ. 

“හෙට ඔයාව බලලා අනිද්ද උදේම යනවා කියලා තමයි කිව්වේ. මං හිතන්නේ මාමත් අම්මා එක්ක යන කතාවක් කිව්වා.”

ඒ කෙටි පිළිතුරෙන් පසු යළිත් දෙදෙනා අතර ඇති වූයේ නිහඬකමකි. දහරා වඩා බිය  වූයේ ඒ නිහඬකමටය. 

“රමාෂ් හැමදේකටම ස්තුතියි..”

අවසන ඈ එසේ පැවසූයේ අපහසුවෙන් වදන් ගළපා ගෙනය. ඔහු සිනහ සී ඇගේ හිස මත අත තැබුවේ දයාබරවය. විශ්වාසය ඒ ස්පර්ශයත් සමඟ ඈ වෙව්ලා ගියාය. එනිසාම ඔහු කාමරයෙන් පිටව යනතුරුම ඈ උන්නේ දරුවා තුරුලු කරගෙන දෑස් වසාගෙනය.

(යළිත් හමුවෙමු ආදරයෙන්…)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here