මතකයක සේයා – 64

0
915

” ඕවා බැන්දම හරි යයි. ඕන ජෝඩුවක් අතරේ නොහොඳ නෝක්කාඩු තියෙනවනේ ” 

මන්දාකිණි ගේත් ලවන් ගේත් දෙමව්පියන්ගේ කතාබහේ අවසානය වූයේ ඔවුන් සිව් දෙනාම එවැනි එකඟත්වයකට පැමිණි පසුවය. මීනූ මන්දාකිණිව බැලීම සඳහා රෝහලට පැමිණියේ ඔවුන් කිසිවෙක් රෝහලේ නොසිටි මොහොතකය. කාර්යාලයේ අත්‍යවශ්‍ය කාරණා කිහිපයක් සඳහාත් කෛලාශ් වෙනුවෙන් පෙනී සිටීම සඳහාත් මීනූ රෝහලට පැමිණියේ සවස් වරුවේය.

” මැඩම්ට දැන් ටිකක් සනීපයි වගේ “

මීනූ පලතුරු සහිත බෑගය රෝහල් සයනය අසලින් තබා උරහිස මත රඳවා ගෙන සිටි මන්දාකිණි ගේ ලැප්ටොප් පරිගණකය සහිත බෑගය සයනය මතින් තැබුවාය.

” sort out කරගන්න පොඩි දේවල් ටිකක් තියෙනවා මැඩම්. සමහර ක්ලයන්ට්ස්ලට නං මම inform කරා මැඩම්ගේ ඇක්සිඩන්ට් එක ගැන. හදිසි වැඩ කීපයකට තමයි මොන හරි කර ගන්න වෙන්නේ “

මීනූ ලැප්ටොප් පරිගණකය බෑගයෙන් පිටතට ගෙන එය දිග හැර රෝහල් සයනය මත වාඩි වී සිටි මන්දාකිණි ගේ උකුල මතින් තැබුවේ බිඳුනු දකුණත නිසා ඇයට එම කාර්යය කර ගැනීමට අපහසු බව දන්නා බැවිනි.

” මැඩම්.. “

මීනූ තවත් යමක් මන්දාකිණි හට පැවසීමට කල් යල් බැලුවේ රෝහල් කාමරයේ දොරටුව දෙස ද නැවත හැරී බලමිනි.

” ඇයි මීනූ ? ” 

” මේ.. මං ඇත්තටම ආවේ.. මේ වැඩ ටික පිළිවෙළක් කර ගන්නත් ඕන වුණා..ඊටත් වඩා….”

තම ආයතන ප්‍රධානී තුමියගේ පෞද්ගලික කාරණාවක් මේ ආකාරයට කතා බහ කිරීමට සුදුසු දැයි මීනූ නැවත වරක් කල්පනා කළාය. එහෙත් කෛලාශ් ගේ ඉල්ලීම ඉවත දැමිය නොහැකි බැවින් මීනූ උන්නේ එය ඉටු කිරීමට සූදානමිනි.

” මොකද මීනූ? මොකක් හරි අවුලක්ද ?”

” මට මිස්ටර් කෛලාශ් කතා කරා ” 

එම පිළිතුර ලබා දුන් විගසම මන්දාකිණි ගේ මුහුණේ ඉරියව් වෙනස් වනු දුටු මීනු බිම බලා ගත්තාය. 

” කෛලාශ් ? මො..මොනවද කිව්වේ? “

” මේ.. මැඩම් ගැන බලන්න කිව්වා.. එන්න විදියක් නැති හින්දා ” 

” අනේ මං ඉන්නේ එයාට කතා කරන්න විදිහක් නැතුව මීනු. මට කවුරුත් මගේ ෆෝන් එක දෙන්නේ නැහැ ,මං රෙස්ට් කරන්න ඕනේ කියලා.ඒත් මං දන්නවා ඒක මේ ලවන්ගේ ප්ලෑන් එකක් කියලා. කෛලාශ් ගේ අම්මා මාව බලන්න එක දවසක් ආවා මං අර හොස්පිට්ල්  එකේ අයි සී යූ එකේ ඉන්නකොට “

” මං දන්නවා මැඩම් “

මන්දාකිණි ලැප්ටොප් පරිගණකය ක්‍රියාත්මක කළාය. තමාගේ දුරකථන අංකයට තමා ලැප්ටොප් පරිඝණකය හරහා වට්සැප් වෙත පිවිසෙන බව මන්දාකිණි හට සිහිපත් වූයේ ඒ මොහොතේය. දුරකථනය තමා අතට ලැබෙන තුරු ඒ ඔස්සේ කෛලාශ් සමඟ පණිවිඩ හුවමාරු කර ගැනීමට මින් ඉදිරියට තමා හට හැකි වනු ඇත.

” ඔයා යනකොට ලැප්ටොප් එක තියලා යන්න මීනූ “

මන්දාකිණි මීනු දෙස බලා පැවසුවේ බලාපොරොත්තු සහගතවය. තමා පිළිබඳව තොරතුරක් හෝ දැන ගැනීමට නොහැකිව කෛලාශ් පත්ව සිටින තත්ත්වයට සම්පූර්ණයෙන්ම වගකිව යුතු වන්නේ ලවන් ය.රෝහලින් පිටව ගිය වහාම තමා කළ යුතු වන්නේ ලවන්ව තම ජීවිතයෙන් කෙසේ හෝ ඈත් කර තැබීමය. එසේ නොවුනහොත් සිදුවීමට හැක්කේ ශෙනාල් තම ජීවිතයේ සිටියදී සිදු වූ දේවල් වලට වඩා අතිශයින්ම අසීරු දේවල්ය.

” මැඩම් ගේ අම්මලා හරි , වෙන කවුරු හරි මේ වෙලාවේ මැඩම්ව බලන්න එනවද මැඩම් ?”

මීනූ ඇසුවේ නැවතත් රෝහල් කාමරයේ දොරටුව දෙස බලමිනි.

” එයාලා මොකක්ද වැඩකට යනවා කියලා ගියේ මීනු. ආයෙ එනකොට ටිකක් රෑ වෙයි “

” එතකොට.. මේ.. අර ලවන් කියන කෙනා ? “

” හහ්.. එයාට කවුද ශෙනාල් ගැන කියලා. අද මෙතන හොඳ නාඩගමක් නැටුවා. ඊට පස්සේ ගියා යන්න. ආයේ එයිද කියලා දන්නේ නැහැ .සමහරවිට අද එන එකක් නෑ “

මීනු මොහොතක් කල්පනා කළාය. අනතුරුව ඇය ඇගේ අත තිබූ කුඩා අත් බෑගයේ වූ ජංගම දුරකථනය ගෙන පරීක්ෂා කර බලා නැවත මන්දාකිණි දෙස බැලුවාය.

” මැඩම් මං විනාඩි දෙක තුනකට එළියට ගිහින් එන්නද ? ” 

” ඇයි ? “

” අ.. නෑ මේ.. පොඩි කෝල් එකක් ගන්න තියෙනවා “

මන්දාකිණි යමක් කියන්නට පෙර මීනු නොසන්සුන්ව රෝහල් කාමරයෙන් පිටව ගියාය.මන්දාකිණි ඒ දෙස බලා උන්නේ පුදුමයෙනි. විනාඩි ගණනාවක් එසේ ගෙවී ගිය අතර මන්දාකිණි විද්‍යුත් තැපෑල වෙත පිවිස රෝහල් සේවිකාවක් විසින් ගෙන එන ලද කෝපි කෝප්පය පානය කරමින් ඊමේල් පණිවිඩ පරීක්ෂා කරමින් උන්නාය.

තවත් විනාඩි කිහිපයකට රෝහල් කාමරයේ දොරටුව විවෘත වුණ අතර මන්දාකිණි ඒ දෙස හැරී බැලුවේ මීනූ නැවත පැමිණ ඇතැයි බලාපොරොත්තුවෙනි.

” දෙයියනේ කෛලාශ් “

මන්දාකිණි වමතින් අල්ලා ගෙන හුන් කෝපි කෝප්පය සයනය අසල වූ කුඩා මේසය මත තැබුවේ කලබලයෙනි.කෛලාශ් සෙමෙන් පියවර තබමින් මන්දාකිණි වෙත පැමිණියේ දින ගණනාවකට පසුව ඇයව දකින්නට ලැබීමේ සතුටත් , ඇය අසල හිඳින්නට නොහැකි වීමේ ශෝකයත් හදවතේ දරා ගෙනය.

” අනෙ ඔයා කොහොමද ආවේ ? ” 

මන්දාකිණි කඳුළු පිරි දෑස් වලින් බලා උන්නේ කෛලාශ් ගේ අනපේක්ෂිත පැමිණීම ඒ මොහොතේ දීත් අදහා ගත නොහැකිවය.එහෙත් කෛලාශ් පිළිතුරක් නොදී දින ගණනාවකට පසුව දකිනා මන්දාකිණි ගේ මුහුණ දෙස බලා උන්නේය.

” ඔයාට මීනුව හම්බ වුණේ නැද්ද? එයා මේ දැන් මෙතන ඉඳලා එළියට ගියේ “

කෛලාශ් යන්තමින් සිනාසුනේය.

” මීනූ පහල ලිෆ්ට් එක ගාව “

මන්දාකිණි පුදුමයෙන් මුව විවර කර ගත්තේ මීනු ඉතා නොසන්සුන්ව රෝහල් කාමරයෙන් පිටව ගිය හේතුව අනුමාන කරමිනි.

” එතකොට ඔය දෙන්න මේක ප්ලෑන් කරා ?”

කෛලාශ් මන්දාකිණි අසලටම පැමිණ ඇගේ වමතින් තද කර අල්ලා ගත්තේය.

” වෙන කොහොමද මන්දාකිණි මං ඔයාව බලන්න එන්නේ ? “

මන්දාකිණි දෑත සීතල වී ඇති ආකාරය දැනුණු පසුව කෛලාශ් එය තවත් තදින් අල්ලා ගත් අතර අනතුර සිදුවීමට පෙර මන්දාකිණි තමා වෙත පැවසූ වචන කිහිපය ඔහු යළිත් සිහිපත් කර ගත්තේය.

” කෛලාශ්.. මට ඔයාට කියන්න ඕන වුනේ , මාව පොඩ්ඩක් හරි තේරුනේ ,මාව පොඩ්ඩක් හරි තේරුම් ගන්න උත්සාහ කළේ ඔයා විතරයි. මං ආදරේ කරපු මනුස්සයෙක්වත් ඔයා වගේ කැපකිරීමක් මං වෙනුවෙන් කරලා නෑ කෛලාශ්.. ඔයා හිතේ තියා ගෙන මට කියා ගන්න බැරුව ඉන්න දේ මං දන්නවා.. මමත්, ඒ වගේම දෙයක් කියාගන්න බැරුව අසරණ වෙලා හිටියේ කෛලාශ්. ඒත්, මට දැන් මේවා තව ඉවසන්න අමාරුයි ” 

මන්දාකිණි එදින නොකියා කීවේ තමා ඇයට බොහෝ සේ ආදරය කරන බව ඇය දන්නා බවත්,ඇයද එතරම්ම තමා හට ආදරය කරනා බවත්ය. තමාගේ පැමිණීමෙන් ඇය පුදුම වන්නට ඇත්තේ ද ඇය තමාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටි නිසා විය හැක.

” ඇක්සිඩන්ට් එකට පස්සේ ඔයාට මොකුත් අමතක වෙලා නෑ නේද ? “

මන්දාකිණි බලා උන්නේ කෛලාශ් විමසූ කාරණාව හරි හැටි අවබෝධ කර ගැනීමට නොහැකිවය.

” ඒ කිව්වේ ? “

” accident එක වෙන්න කලින් ඔයා මට කියපු දේවල් මතකද ? හ්ම් ? “

මන්දාකිණි ඉවත බලා ගත්තාය. කෛලාශ් මේ විමසන්නේ කුමක් දැයි ඇය වටහා ගත්තාය.

” මට දෙයක් අහන්න තියෙනවා මන්දාකිණි. හැබැයි.. ඔයා මට ඇත්තම කියන්න ඕනේ “

මන්දාකිණි නැවත කෛලාශ් දෙස හැරුනු අතර ඔහු මන්දාකිණි ගේ අත අත් නොහැර රෝහල් සයනය මතින් වාඩි වූයේ ඇයට වඩාත් සමීප වෙමිනි. මන්දාකිණි රෝහල් කාමරයේ දොරටුව දෙස බැලූ අතර කෛලාශ් එය වහාම වටහා ගත්තේය.

” මං කිව්වනේ මීනූ පල්ලෙහා ලිෆ්ට් එක ගාව ඉන්නෙ කියලා. කවුරු හරි එනවා නම් එයා කෝල් කරයි “

” ඔයා මොකක්ද අහන්න ගියේ ? ”  

” මේ ඇක්සිඩන්ට් එක එදා ඔයාට වෙච්ච එකක්ද? නැත්තම් ඔයා හිතලා කර ගත්ත එකක්ද?” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here