සඳ දිය දහරා – 60

0
1553

“කොහෙද ඉන්නේ?….”

“ඒක හරි පුදුම කතාවක්නේ බං දැන් උඹ ගෙදර පලයං කියලා මාව එළවලා කොහෙද ඉන්නේ කියලා අහනවා.”

“එහෙනම් හොඳ ළමයා වගේ ෆෝන් එකත් අරගෙන කාටවත් ඇහෙන්නේ නැති තැනකට යන්නකෝ.”

“ඒ පාර මොනා කළාටද මට දෙස් දෙවොල් තියන්න හදන්නේ..”

“මේ අහන්න..මම නොදන්න මොනවා හරි ඇත්තක් ඔයාලා හැමෝම දන්නවා කියලා මට හිතෙනවා. නිශාදි රමාෂ් යාළුවෙකුට එහා ගිය දෙයක් මගෙන් බලාපොරොත්තු වෙනවද?”

මිතුරියගේ මේ ප්‍රශ්නයට කුමන මොහොතක හෝ තමාට පිළිතුරු දෙන්නට වන බව නිශාදි  දැන සිටියාය. ඇගේ මතය වී තිබුණෙත් යෙහෙළියට තවදුරටත් මේ කිසිවක් සඟවාගෙන සිටීම යතු නොවන බවය.

“එහෙම බලාපොරොත්තුවක් තියා ගත්තා කියලා ඒකෙ වරදකුත් නැහැනේ.”

“වරදක් නැති වෙන්නේ කොහොමද මම කසාද බැඳලා දරුවෙකුත් එක්ක තනි වෙච්ච ගෑනියෙක්? ඔයා ඇරෙන්න කවුද මේක ගැන දන්නේ.”

දහරාගේ හඬ වේගවත් වී තිබිණ. 

“මම හිතන්නේ ඔයා හැර අනිත් ඔක්කොම දන්නවා. ඔයා දරුවෙක් එක්ක තනිවෙච්ච ගෑනියෙක් කියන එක රමාෂ්ට වැදගත් දෙයක් නෙමෙයිනම් ඔයා ඒ ගැන හිතන්න යන්න ඕනේ නෑ. වැදගත් වෙන්නේ ඔයාගේ හිතේ රමාෂ්ට කැමැත්තක් තියෙනවද නැද්ද කියන එක විතරයි.”

“ඒත් නිශාදි මං කොහොමද…..?”

“පුංචි කාලෙ ඉඳලා අපි දෙන්නට බෙදා ගන්න බැරි දෙයක් තිබුණෙ නෑ. රමාෂ් වගේ පිරිමියෙක්ට අකමැති වෙන්න ඔයාට හේතුවකුත් නෑ. ඔයාට ලැබුණු මේ ජීවිතේ සරල එකක් නෙමෙයි කියලා ඔයයි මමයි දෙන්නම දන්නවා. ජීවිතේ මේ තරම්  දුරට වැරදිලා තියෙද්දිත් රමාශ් වගේ කෙනෙක් ඔයාට අළුත් ජීවිතයක් පටන් ගන්න ආරාධනා කරනවනම් දෙපාරක් හිතන්න ඕනෙ නෑ දහරා. හැම පිරිමියෙක්ම එක වගේ වෙන්නේ නෑ. මට ඇත්තටම කියන්න රමාෂ් ගැන හැඟීමක් ඔයාගේ හිතේ නැද්ද. අඩුගානේ ඔයා ගැන මෙච්චර හොයලා බලද්දිවත් එහෙම හැඟීමක් ඇතිවුණේ නැත්තං ඒක පුදුමයක්.” 

“එහෙම හැඟීමක් ඇතිවුණේ නෑ කියලා මට ඔයාට බොරු කියන්න ඕනෙ නෑ නිශාදි. වෙලාවකට මගේ හිතට හිතුණා ඇයි එයා එහෙම කරන්නේ කියලා. වෙලාවකට හිතුණා එයා පුදුම පිරිමියෙක් කියලා. මනුජිත් කුණු මාළු කෑල්ලක් වගේ විසිකරල දාපු මගේ ජීවිතේට ඇයි එයා එච්චර වටිනාකමක් දෙන්නේ කියලා හිතුනා. එයා මාව එදා ලේබරූම් එකේදී දරාගතපු විදිහට මට ලොකු පුදුමයක් ඇතිවුණා. මහ ලෝභකමක් ඇතිවුණා. ඒත් එහෙම හිතලා රමාෂ් වගේ කෙනෙක්ගෙ ජීවිතයට ළං වෙන්න පුංචිමවත් සුදුසුකමක් මට නෑ නිශාදී..”

“ඔයාව ඕනෙ කියන්නේ එයා. ඔයාගේ වටිනාකම එයා අවබෝධ කරගෙන ඉන්නේ. දහරා ඔයා කොයි වෙලාවකවත් බලෙන් එයාගේ ජීවිතේට ඇතුල් වෙන්න හදනවා නෙමෙයි. අනිත් එක තංගමනී නැන්දයි වේළු මාමයිත් ඔයාට කැමතිනම් ඔයාගේ අම්මා, ආච්චි, මාමා මේ හැමෝම කැමතිනම් මනුජිත් කියන කෙනාව ආපහු ඔය ජීවිතේට බාර  ගන්නෙ නෑ කියන තීරණේ ඔයා ඉන්නවනම් රමාෂ් කියන්නේ අතෑර ගන්න ඕන පිරිමියෙක් නෙමෙයි කියන එක මතක තියාගන්න.”

“මිනිස්සු ආපහු මට හිනා වෙයි නිශාදි මං මිනිස්සුන්ට හිනා වෙන්න කාරණයක් දීල ලොකු කාලයක් ගත වුණේ නෑ.” 

“ඉතින් ඔයාට හදිස්සි වෙන්න කියලා අපි කවුරුවත් කියන්නේ නෑ. අනිත් එක ඉතින් මේවට හදිසි නොවී හිටියා කියලා අමුතුවෙන් මිනිසුන්ගේ හිත් හදන්න ඔයා උත්සහ කරන්න ඕනෙත් නෑ. අවශ්‍ය වෙන්නේ ඔය දෙන්නගෙ කැමැත්ත විතරයි. රමාෂ් වගේ පිරිමියෙක් ළඟදී ඔයා හොයපු හැමදේම ඔයාට ලැබෙයි කියලා මං විශ්වාස කරනවා. හැමදාම ජීවිතේ මනුස්සයෙකුට වරදින්නෙ නෑ. දැන් ඔය කිසිම දෙයක් හිතේ තියාගෙන දුක් විඳින්න එපා.”

“මම රමාෂ් එක්ක මේ ගැන කතා කරන්නද?”

“මොනවද ඔයා රමාෂ් එක්ක  කතා කරන්නේ. එයාට පැහැදිලි කරලා දෙන්න ඕනේ මම ඉන්නේ එයාට ගැලපෙන තත්වෙක නෙමෙයි කියලා.

“එක පාරක් කරපු මෝඩකම ආපහු කරන්න යන්න එපා දහරා. මනුස්සයෙක්ගේ හිතේ ආදරයක් කැමැත්තක් ඇතිවෙන්න තත්ත්වය තරාතිරමට එහා දේවල් බලපානවා. රමාෂ් මාත් එක්ක කියපු විදිහට එයාගේ හිතේ ඔයා අමතක කරන්න බැරි මතකයක් වෙලා ඉඳලා. ඇත්තටම එයා ඉස්සෙල්ලම චූටි මාමට හම්බවෙලා තියෙන්නේ ඔයාව හොයාගෙන එද්දි. ඒක අහම්බෙන් සිද්ධ වෙච්ච මුණ ගැහීමක් නෙමෙයි. සමහරවිට මේ දේවල් මෙහෙම වෙන්න ඇත්තෙත් ඔයාව නියම උරුමක්කාරයා ළඟ නවත්තන්න ඕන නිසා වෙන්න ඇති. මං හිතන්නේ චූටි මාමයි රමාශුයි ඔයාගේ ඩිවෝස් එක ගැනත් බලනව. ඒක මනුජිත්ගේ තාත්තත් දන්නවා. මේ හැමෝම එකතුවෙලා ලෑස්ති වෙන්නේ ඔයාට අලුත් ලෝකයක් හදලා දෙන්නනම් ඔයා හිතේ සතුටින් ඒ ලෝකෙට යන්න දහරා. ආපහු ඔයාට අවස්ථාවක් නැති වෙන්න පුළුවන්.”

“හිතට එකඟව මට ඒ තීරණය ගන්න හරි අමාරු වෙයි.” 

“කමක් නෑ ඔයා කාලය ගන්න. ඔයා කැමතිනම් මේ ගැන රමාෂ් එක්ක කතා කළාට කමක් නෑ. හැබැයි දහරා ඔයා ආපහු මේ හැමෝගෙම මූණු වල තියෙන සතුට උදුර ගන්න හිතන්න එපා. ඔයා මොන තත්වෙන් හිටියත් රමාෂ්ටයි ඔයාව ඕන වුණේ. එහෙම නැතුව මේ කවුරුවත් කොතනකදිවත් එයාට බලපෑමක් කළේ නෑ. ඒක මට හොඳටම විශ්වාසයි. මේ වෙලාවේ මං ඔයාට මේ ටික කිව්වෙත් ඔයා අනවශ්‍ය විදිහට හිතන එක නවත්තන්න. ඉස්සරහ ජීවිතයේ දුකක් නෙමෙයි කියලා හිතාගෙන සතුටින් හිනා වෙලා ඔය දරුවට කිරි ටික දෙන්න. අනවශ්‍ය මානසික ආතතියක් මේ වෙලාවේ ඇතිකර ගන්න එපා. රමාෂ් හැම දෙයක්ම සුදුසු කාලෙකදී ලස්සනට විසඳයි. අපි එතකල් බලාගෙන ඉමු. මට පොරොන්දු වෙන්න හදිසි තීරණ ගන්නේ නෑ කියල.”

“මම දැන් එහෙම හදිසි තීරණ ගන්න පුළුවන් මට්ටමක ඉන්න කෙනෙක් නෙමෙයි. හැබැයි ජීවිතේට පිරිමියෙක් ඕනේ මේ දරුවට තාත්තා කෙනෙක් ඕනේ කියලා හිතලා කවුරු හරි රමාෂ්ට මාව ළං කරන්න හිතනවනම් ඒක හරි දෙයක් නෙමෙයි. රමාෂ්  වගේ පිරිමියෙක් ගැන ඕන ගෑනු හිතකට ලෝභ හිතෙනව තමයි. එහෙමයි කියලා මට ඒ තරං ඉක්මනට තව මැරේජ් එකකට හිත හදාගන්නවත්, මනුජිත්ට මොනවද උනේ කියලා හරියට නොදැන තව කෙනෙක් ළඟට යන්නවත් බෑ නිශාදි.”

“ඒකට තමයි කාලය ඕන වෙන්නේ. ඔයා තව ටිකක් කාලය ගන්න. මං හිතන්නේ රමාෂ්ට ඒක ප්‍රශ්නයක් වෙන එකක් නෑ. එහෙම බැලුවහම ඇත්තටම රමාෂ් ඔයාට  දුන්නේ ලොකු වටිනාකමක් දහරා. ඒ වටිනාකම හෑල්ලු කරන්න හිතන්නවත් එපා.”

මුලින්ම දුරකථනය විසන්ධි වී ගියේ දහරාගේ පාර්ශවයෙන්ය. නිශාදී යෙහෙළිය ගැන හොඳින්ම දැන උන්නාය. සිතෙහි කැමැත්තක් වුවත් මෙවේලෙහි ඈ රමාෂ්ට තමා කොතරම් ගැලපේදැයි සිතන බව විශ්වාසය.

                                        **********

රමාෂ් නිශාදි විසින් ලබා දී තිබූ දහරාගේ දිනපොතේ අවසන් පිටුව කියවද්දී මධ්‍යම රාත්‍රියක් පසුව හෝරා කිහිපයක් ගෙවී ගොස් තිබිණ. අම්මා යළිත් යාපනයට යාමට නියමිතව තිබුනේ පාන්දර සීඝ්‍රගාමී දුම්රියේය. 

‘ජීවිතේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ අපිට ඕන විදිහට නෙමෙයි කියන එක යළි යළිත් සනාථ කරමින් සිටින කාලයක් ගෙවී යමින් තිබේ. ආශාවන් පස්සේ හැල්මේ දුව ගිය මනුජිත් තමන්ගේ වටිනා ජීවිතය තේරුමක් නැති විදිහට විනාශ කරගෙන ඉවරයි. උපාධිධාරීයෙක් වෙච්ච ඔහුට තම ජීවිතය නිසි පරිදි හැඩගස්වා ගන්නට තරම් හික්මීමක් නොවීම ගැන අදටත් මගේ හිතේ තියෙන්නේ මහා පුදුමයක්. 

මට හිතෙනවා වෙලාවකට මම මේ ලෝකෙ දැක්කේ හරි අඩුවෙන් කියලා. වසරක කාලයක් කියන්නේ හරි පුංචි එකක් උනාට අවුරුදු ගානක අත්දැකීම් එකතු කරගන්න මට ඒ දවස් තුන්සිය හැටපහේදී පුළුවන් වුණා. අන්තිමට මං තීරණය කළා ජීවිතය ජයගන්න ගෑනියෙක්ට ඕන වෙන්නේ මිනිහෙක් නෙමෙයි ආත්ම විශ්වාසයක් කියලා. 

හෙට දවසේ ඔයාව නිරෝගී දරුවෙක් විදිහට දකින එක විතරයි පුතේ දැන් මගේ හිතේ තියෙන එකම බලාපොරොත්තුව. ඔයාගේ තාත්තට ජීවිතේ හැමදේම නැතිවෙලා යද්දී ආපහු මට මේ ජීවිතේ හැමදේම ලැබුනා කියලා මේ වෙලාවේ මට හිතෙනවා. ඔයාව උස්මහත් කරලා හොඳ මිනිහෙක් විදිහට මේ ලෝකෙට ගේන්න මට ඒ ආත්ම විශ්වාසය විතරක් ඇති. දන්නේ නෑ දෛවය ඔයාටයි මටයි කොච්චර කරදර දෙන්න බලාගෙන ඉන්නවද කියලා. හැබැයි ඒ හැමදේකටම මුහුණ දීලා ඔයා වෙනුවෙන් සටන් කරන්න තරම් දැන් මගේ හිත ශක්තිමත්. ඒ තමයි අම්මා කෙනෙක්ගේ හයිය…..”

රමාෂ් වට්ස්ඇප් වෙතින් ලබා ලබාගත් දිනපොතේ  සමහර දින සටහන්වල සේයාරූ කිහිපයක් ප්‍රකාශන ක්ෂේත්‍රයෙහි උන් තම මිතුරෙකු වෙත යැව්වේ නිකමටය. මේ පාන්දර යාමයේ ඔහු එය කියවාවියැයි රමාෂ් කොහොමටවත් සිතුවේ නැත. ඔහුට අලස් හමු වූයේ මෙම තට්ටු නිවාසයේ පදිංචියට ඒමට පෙර සිටි බෝඩිම් කාමරයේය. එහා පසු කාමරය වෙන් වී තිබුණේ ඔහුටය. ඔහු ග්‍රන්ථ ප්‍රකාශන ක්ෂේත්‍රයේ දිගුගමනක් යාමට බලාා සිටිනා තරුණයෙකි.

“දහර ඉස්සර ඉඳලම ලියන්න හරි දක්ෂයි රමාෂ්. ඉස්සර ඉස්කෝලෙ තරග වලට එයා හරියට කෙටි කතා ලියනවා. ඉස්සර ටීචර්ස්ලා කියනවා කියනවා ඔයා කවද හරි දවසක දක්ෂ නවකතාකාරිනියක් වෙයි කියලා. එයා ළඟ මං හිතන්නේ කවි එහෙම ලියපු පොත් ගොඩක් තියෙනවා. අපි වගේ නෙමෙයි දහරා දක්ෂතා ගොඩක් එක්ක ඉපදුනු කෙනෙක්. වෙලාවකට මට හිතෙනවා එයාට කරුමයක් උනෙත් එයාගේ ඔය සංවේදී හිතමද කියලා…”

දින සටහන් ලියූ මෙම එක්සයිස් පොත තමා වෙත දිගු කරමින් නිෂාදී එසේ පැවසූ බව රමාෂ්ට සිහිවූයේත් ඒ හදිසියේමය. විනාඩි කිහිපයකින් මිතුරාගෙන් පැමිණි දුරකථන ඇමතුම ඔහුව පුදුම කරවන්නට සමත් විය.

“මේක නම් බං මාරයි. මාරම ඉමෝෂනලි ස්ටෝරි එකක් මචං මේක පොතක් උනොත් සෑහෙන්න අලෙවියක් තියෙයි. මොකද මේ ළමයා මේක ලියලා තියෙන්නේ මවා ගතපු ලෝකෙක ඉඳලා නෙමෙයි බං. මේ එයා හැබැහින්ම විඳපු අත්දැකීමක් කියලා විශ්වාසයි. එයාගේ මේ අකුරු වලට පුළුවන් කෙටි කාලෙකට හරි මිනිස්සු ඒ පරිසරයේ ජීවත් කරවන්න. මේවා පණ ගැහෙන අකුරු බං. එහෙම ලියන්න හැමෝටම බෑ. උඹ කැමතිනම් එයා එක්ක කතා කරපන්. මං කැමතියි මේ අකුරු ලෝකෙට ගෙනියන්න…”

අවසන රමාෂ්  දිනපොත වසා දැමුවේ සතුටින්ය. සියල්ල හිමිකර දිය නොහැකි වුණත් ඇයට අහිමි වී ගිය එක් වටිනාකමක් හෝ ලබා දෙන්නට තමාට පුළුවන් වූවාය යන සතුට ඔහු එවේලෙහි අත්විඳිමින් උන්නේය. 

(හෙටත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here