“හංසනා මේක ටිකක් තේරුම් ගන්නකෝ. ඔයාව එහෙම එක්කරගෙන ආවේ මටත් ඔයාව නැතුව ඉන්න බැරි හින්දා තමයි. එහෙම නැති උනානම් මට තිබුණනේ ඔයාව එහේදිම අනාථ කරලා දාලා පැනලා එන්න. මේ වෙලාවේ අපේ අනාගතේ හදාගන්න ඕන නම් අපි දෙන්නම ඉවසන්න ඕනේ. මේ හම්බ වෙච්ච චාන්ස් එකේ මං ඉස්සර වෙලා ලංකාවෙන් පැන ගන්නම්. ඔයා හොඳ දරුවා වගේ මං කියන දේ අහන්නකෝ.”
මනුජිත් එසේ පැවසූයේ දෑස් වල කඳුළු පුරවාගෙන බලා සිටින හංසනාව තම වතට ළං කරගෙනය.
“මල්ලි මේ වෙලාවේ වයිෆ් ගැන හිත හිත ඉන්න එපා. ඔයාට චාන්ස් එකක් තියෙනවා. ඔයා ඒ චාන්ස් එක අරගන්න. දෙයියනේ කියලා මාස තුනක් පනිද්දි ඒජන්සි වලට සල්ලි දෙන්න ඕනෙත් නෑ. ඔයාට පුළුවන් ඩිරෙක් වයිෆ්ව එහෙට ගෙන්න ගන්න.”
ඒජන්සියේ අයිතිකරුවා එසේ පැවසූ වේලේ සිට මනුජිත් උත්සාහ කළේ හංසනාගේ හිත හදා පිටරට ගමනට සූදානම් වීමටය. කෙසේ වුවත් දැන් තමාට බේරීමට හැකි එකම මාර්ගය එය පමණක් බව මනුජිත් දැන සිටියේය. දහරාගේ හෝ අම්මලාගේ විස්තර අසා දැනගන්නට කිසිවෙකු නොවේ. මෙවේලෙහි ඒ විස්තර සොයමින් ඒ පසුපස හඹා යාමේ තේරුමක් නැත. මතකයේ වූ දිනවල හැටියටනම් දහරාට බබා ලැබී ඇත.ඒ දරුවා කවුරුන් වගේදැයි දැනගන්නට දොළක් උපන්නේ හදිසියේය. එහෙත් මනුජිත් ඒ හදිසියේම එකී සිතුවිලි නවතා සිරකර ගත්තේය. දුකක් වූයේ අම්මාත් තාත්තාත් ගැනය. තමාගේ ජීවිතයට මේසා ව්‍යසනයක් සිදු වූයේ දහරා නිසායැයි අදටත් ඔහු විශ්වාස කරමින් උන්නේය. තම සැලසුම් වලවත් සිහිනවලවත් වූයේ දහරා නොවේ. අතර මගදී සතුටයැයි සිතා ඇය ජීවිතයට ළං කර ගත්තා මිස තමාගේ මුළු ලෝකයම ඇයට භාර දෙන්නට මනුජිත් සිතා සිටියේ නැත. හංසනාත් ඒ ගමනේ අහම්බයක් පමණි.
“කීයටවත් අම්මයි තාත්තයි ඔයාව එළව ගන්නේ නෑ. අයියලා දෙන්න චුට්ටක් බනියි, කෑ ගහයි ඒ උනාට වෙනද වගේම ආදරයෙන් ආපහු ඔයාව පවුලට සම්බන්ධ කර ගනියි. මොනම හේතුවක් නිසාවත් මේ සිම් එක වෙනස් කරන්න එපා. මෙහෙම ඇවිල්ලා දවස් ගානක් අපි එකට හිටියට පස්සේ කොහොමත් ඔයාව මට දෙනව ඇරෙන්න වෙන කෙනෙකුට දෙන්න එයාලට බැහැනේ. ඔයා ඒ අතරේ කොහොම හරි පාස්පෝට් එකේ වැඩ ටික ඉවර කරගෙන තියාගන්න. චාන්ස් එකක් ආපු ගමන් අපි එහෙදි ආපහු එකතු වෙමු. බලන්න මට ජොබ් එකක් කරන්නවත් ගෙදරින් එළියට බැහැලා යන්න විදිහක් නෑ. එකක් ඔයාව තනිකරල යන්නත් බෑ. අනිත් එක එහෙම ගිහිල්ලා මේ වෙලාවේ ඔයාගේ අයියලා දෙන්නගෙන් එක්කෙනෙකුට අහු උනොත් එයාල මට ඇහුම්කන් දෙන්නෙත් නෑ. තේරෙනව නේද අපි දෙන්නගෙම ජීවිත අනතුරේ…”
මනුජිත් කුමක් කීවත් හංසනා වූයේ දෑස් වල කඳුළු පුරවාගෙන හිස් සුදු බිත්තිය දෙස බලාගෙනය.
“ජීවිතේ සැප විඳින්නනම් මුල් කාලෙ කට්ටක් කන්නම වෙනවා හංසනා. මේ ඔයා ඒක නොදැන ආපු ගමනක් නෙමෙයිනේ..”
තවත් සතියකින් ඔහුට ඩුබායි ගමන සූදානම් කරදියහැකි බව පැවසූයේ ඒජන්සියේ හිමිකරුවාය. මනුජිත් සැලසුම් කරගෙන සිටියේ ඩුබායි යන්නට දින දෙකක් පමණ තබා හංසනාව ඇගේ නිවස අසලට ඇරලවා එන්නටය. ඉන්පසු මේ කාමරය හැරදා හෝටලයක ඉතිරි දෙන දෙක නවාතැන් ගත හැකිය.
සතියක් පමණ සොහොයුරියගේ නිවසේ සිටි ශ්‍රියාලතා සුමනසේකරට වද කරමින් සිටියේ ආපසු ඇනෙක්සියට යුතු බව පවසමින්ය. ඇගේ රුධිර පීඩන තත්ත්වයෙහි වෙනසක් වී තිබුණේ නැත. එනිසාම සුමනසේකර එකවර තම බිරිඳට එකඟ වූයේ නැත.
“මොනවා වෙන්නද මහත්තයා මැරෙනවනම් මැරෙන්නේ එක පාරයි නේ. මට තවත් මෙහේ ඉන්න බෑ. ඒක කොච්චර උනත් අපි දෙන්න ඉන්න තැනනේ කියලා මට දැනෙනවා. මේ අනුන්ගේ තැන්වල වැටිලා ඉන්න මට පුරුද්දක් නෑ.”
අවසන සුමනසේකර ඊට එකඟ වූයේ ඇගේ මානසිකත්වය ගැන සිතමින්ය. වදයක් කරදරයක් නොමැති වුවත් සොහොයුරියගේ නිවසේ ඔහුටද අවැසි නිදහස වූයේ නැත. දෑස සේ රැක බලාගෙන උස්මහත් කළ දරුවා තමන්ට මේ අයුරින් සලකන්නේ කෙලෙසකදැයි ඔහු වරෙක සිතුවේ මවිතයෙන්ය. වර්තමානයේ දරුවන්ට උගන්වනවාට වඩා කළ යුත්තේ ගුණධර්ම අවබෝධ කර දීමයැයි ඔහු අනේක වාරයක් සිතුවේය. මනුජිත්ට වූයේත් ගුණධර්ම පිළිබඳව අනවබෝධයය. දෙමාපියන්ගේ සෙනෙහස ඕනෑවටත් වඩා ලද නිසාත්, පවුලේ තනි දරුවා වූ නිසාත් ඔහු එදා සිටම ජීවත් වූයේ ඔහුම ආධිපත්‍යය දරාගත් ලොවකය. ඔහු ඉගෙනීමෙන් දස්කම් පාද්දී තමාට සේම බිරිඳටත් වූයේ සම වයසේ දරුවන් අතරින් ඔහු උස් තැනක සිටිනවා දකින්නට වූ උවමනාවය. ඒ තමාත් බිරිඳත් ජීවිතය වරදා ගත් තැන බව විශ්වාසය.
“අක්කා මේ වෙලාවේ වචනෙකින්වත් මගේ හිත රිද්දුවේ නෑ තමයි. ඒ උනාට මහත්තයා මේක අනුන්ගේ කාමරයක් වුණත් මෙතනට ආවට පස්සේ අක්කලාගේ මාළිගාවට වටා නිදහසක් මට දැනුනා.”
ශ්‍රියාලතා එසේ පැවසූයේ රාත්‍රිය ආහාරය සඳහා ගෙන ආ ඉඳිආප්ප පාර්සලය දිගහැර ගන්නා ගමන්ය. ඔවුන් ආපසු ඇනෙක්සියට පැමිණියේ දහවලේය.
“අපේ ජීවිතේ ඉස්සරහට මොනවා වෙයිද කියන්න අපි දන්නේ නෑ ශ්‍රියාලතා. මේ තරම් දේවල් වලට අපිට මූණ දෙන්න වුණේ අවුරුද්දක් වගේ පොඩි කාලයක් ඇතුළත. දැන් ඉතින් අපේ අන්තිම කාලෙ කාත් කවුරුවත් නැතුව වැඩිහිටි නිවාසෙක උනත් ගත කරන්නේ අපි හිත හදාගන්න ඕනේ.”
“ඔයා කියන්නේ කවදාවත් මනුජිත් ආපහු එන එකක් නෑ කියලද.?”
“එන්නත් පුළුවන් නොඑන්නත් පුළුවන්. ඒ දෙකෙන් කෝක වෙතත් අපිට ඒ දෛවයට මුහුණ දෙන්න හිත හදාගන්න වෙනවා.”
අවසන සුමනසේකර පැවසූයේ බිරිඳගේ පිඟානට පරිප්පු හැන්දක් බෙදමින්ය. මේ දෛවය කුමක් වුවත් දැන් ඊට මුහුණ දීමට සිත හදා ගත යුතුය.
**************
කුඩා දරුවා දැන් හිනැහෙමින් හිදී. ඔහු ඒ හිනැහෙන්නේ සුරංගනාවියන් සමගයැයි පැවසූයේ රීටාය. සාමාගේ දැන් ප්‍රධාන රාජකාරිය වී ඇත්තේ තම මුණුපුරා අසලට වී සිටීමය. දවස ගතව යනවා දැනෙන්නේ නැත. පසුගිය දින කිහිපය පුරාම රීටා වැඩිපුර අවධානය යොමු කළේ දහරාට කිරි එරෙන ආහාර වර්ග සකසන්නටය. වරින් වර ඕ දහරාට බත් පිඟානක් බෙදා ගෙනැවිත් දෙන්නේ ‘අමතර වේල් දෙක තුනක් කෑවට කමක් නෑ..’ යනුවෙන් පවසමින්ය.
“වේළු අයියා මං ගැන සෑහෙන්න විශ්වාසයෙන් හැමදේම කියල දෙනවා අක්කේ…ඒ දෙන්නා මට පුදුම ලෙංගතුකමක් තියෙන්නේ”
යාපනයේ ගිය මාමා සිටින්නේ සතුටින්ය. රමාෂ් කිහිප වතාවක් පැමිණ ගියත් දහරා හැකි තාක් සන්සුන්ව ඔහුට වෙනසක් නොපෙන්වා සිටීමට උත්සහ දැරුවාය. සෑම රාත්‍රියකම නිශාදි වීඩියෝ දුරකථන ඇමතුමක් ගෙන විනාඩියකටවත් දරුවා බලන්නට අමතක කරන්නේ නැත.
“වැඩට ගියත් මට දැන් ඉන්න බැරිවෙයි මේ හුරතලේ දාලා…”
සමා එසේ පැවසූයේ කුඩා බිළිදාගේ දෙපතුල් සිපගෙනය. තවමත් දරුවා නාවන වැඩ කටයුත්ත කෙරෙන්නේ ඈ අතින්ය. තමාගේත් නිවැසියන්ගේත් ජීවිත හෙම් හෙමින් වර්ණවත් වන අයුරු දහරා බලා සිටියේ ඉවසිල්ලේය. අහිමි වූයේ ඔහු පමණි. නිශාදි පවසන අයුරින් ඔහුට මේ අයුරින් තමාගෙන් ඈත්වීමට සිදුවූයේ දෛවයේ පතාගෙන ආ විලසින් යැයි දහරා අවසන සිතුවාය. එසේ නොවී නම් අද ඔහුත් මේ සතුටෙහි උරුමක්කාරයකු වී අවසන්ය. දැන් දහරාට මනුජිත් ගැන වනුයේ තරහවක් හෝ දුකක් නොව කළකිරීමකි.
රමාෂ් විසින් ඒ සුභ පණිවිඩය රැගෙන ආවේ සිකුරාදා දිනකය. දරුවා සමගින් අවිවේකීව ගෙවී ගිය කාලයේ තමා ජීවිතය ලියා තැබූ ඒ එක්සයිස් පොත ගැන මතකයක්වත් දහරාට වූයේ නැත. ඇගේ දෑස් විසල් වූයේ රමාෂ් අත ඒ පොත තිබෙනු දකිද්දීය.
“දැන් ඉතින් මට බනින්න පුළුවන්. දෙකක් දෙන්න ඕනි කියල හිතෙනවනම් ඒකත් කමක් නෑ. තවත් කෙනෙක්ගෙ ඩයරි එකක් කියවන එක වරදක් කියල මේ දොස්තර මහත්තය නොදන්නවා නෙමෙයි. හැබැයි ඉතින් මට ඔයා ගැන හැමදේම දැනගන්න පුළුවන් වුනේ මේක හරියටම කියෙව්වට පස්සේ.”
“මට ඒ ගැන මතකයක්වත් තිබුණෙ නෑ. නිශාදි තමයි මේ වැඩේ කරන්න ඇත්තේ. අල්ල ගන්නම්කෝ මං එයාව.”
දහරා එසේ පැවසූයේ තරහවකින් නොවේ. දැන් තමාගේ ජීවිතයේ ඔහුට සඟවන්නට තරම් සුවිශේෂී දෙයක් නොවීය. ජීවිතයට ලබා දුන් මේ සතුටට එක හේතුවක් වී තිබුණේ ඔහුය. අදටත් දහරා කිසිවක් ඔහු හා විවෘතව ඒ ගැන කතා කර තිබුණේ නැත. ඇයත් බලා සිටියේ කාලයට ඉඩ දී ගෙනය.
“දහරා මගේ යාළුවෙක් කැමතියි මේ ඩයරි එක පොතක් කරන්න. ඒකෙන් වෙන හොඳ දේවල් ගොඩක් තියනවා. එකක් තමයි ඔයාගේ වයසේ ගෑනු ළමයින්ට ජීවිතේ වැදගත්ම තීරණ ගන්න කලින් දෙපාරක් ඒ ගැන හිතන්න ඕනෙ කියලා හිතේවි. අනිත් එක දහරා ඔයාට අලුත් ගමනක් යන්න අලුත් පාරකට හැරෙන්න පුළුවන්. නවත්තපු තැනින් ජීවිතේ පටන් ගන්න..මගේ ඒ යාළුවා කියපු විදිහට ඔයාට හරි ලස්සන අදහස් තියෙනවා. ඔයාට පුළුවන් දහරා දිගටම ලියන්න. ඔයාගේ ඒ හැකියාවෙන් දෙයක් උපයන්න…”
“රමාෂ්…ඔයා මට මේ පෙන්නන්නේ හීනයක්ද..?”
දහරා එසේ ඇසුවේ ඔහු පවසන සියල්ල අවධාරණයෙන් අසා සිටියාට පසුවය. සිත් කොනක තිබූ කිසිවෙකුටත් නොකියා සඟවාගත් ඒ සිහිනය පිළිබඳව රමාෂ් දැනගත්තේ කෙලෙසකදැයි ඕ ඊලඟ තත්පරයේ සිතුවේ මවිතයන්ය. එදවස කොළඹ මහ නගර සභා පුස්තකාලයෙන් ගෙන එන නවකතා පොත් කියවා අහවර කරන්නට දහරාට එක් වරුවක්වත් ගත වන්නේ නැත. ඒ ඇගේ විනෝදාශය වූයේ කිසිවෙකුගේ බල කිරීමකින් නොවේ. ඒ කියවීමේ තරමටම ඇය යමක් ලියන්නට සමත් වූවාය.
කවදා හෝ පොතක් ලියන්නට හීනයක් හිතේ කොනක තිබුණා මතකය. එහෙත් ඒවා පසු කාලයකදී වළදැමූ හීන ගොඩට එකතු වූයේ ඇයත් නොදැනීමය.
පාළුව මකා ගන්නට කුරුටු ගෑ කවිකොළ සිය ගණනක් අදටත් පොත් මේසයේ කෙලවරකය. තමා මේ සියල්ල හැරදා ගියත් කිසිවෙකු ඒවා එහේ මෙහේ කරන්නටවත් උනන්දු වී තිබුනේ නැත. මනුජිත්ගේ නිවසේදී ඕ යමක් ලියුවේනම් ඒ සිත් වේදනාව සමනය කරගන්නට සිතා ගෙනය.
“දහරා මගේ යාළුවානම් කිව්වේ මේ පොතට ‘පුතුට ලියමි’ වගේ නමක් දැම්මනම් හොඳයි කියලා. මිනිහා මේ ක්ෂේත්‍රය ගැන හොඳට අධ්‍යනය කරලා වැඩ කරන කෙනෙක්….”
රමාෂ් එසේ පැවසූයේ දහරා දෑස් විසල් කරගෙන ඔහු දෙස බලා සිටියදීය. මේ සිදුවන්නේ ප්‍රාතිහාර්යක්ම බව විශ්වාසය.
(යළිත් හමු වෙමු ආදරයෙන්…….)


