කලුවර රෑ සඳක් වගේ – 19

0
20

“අනේ මනුසත්… මං මුකුත් කිව්වෙ නෑ ලිහිණීට ඔච්චර අඬන්න. ඇයි අනේ ඉතින් තමුන්ගෙ ගෙදර පාටි එකක් තියෙද්දි ඒ ගෙදර එක්කෙනානෙ ඔක්කොම දේවල් හරියට තියෙනවද බලන්නෝන. මං කිව්ව දේකට ලිහිණි ඔච්චර අඬන්න ඕනද? අනේ මං දන්නවා නම් මං කියන්නෙ නෑ ලිහිණීට ඩ්‍රින්ක්ස් සර්ව් කරන්න කියලා, මමම ඒක කරනවා. මං බැලුවෙ ලිහිණිව මේ කට්ටියට ඉන්ට්‍රඩියුස් කරලා දෙන්නයි, එයාගෙ තිබ්බ ඕක්වර්ඩ්නස් එක මග අරින්නයි විතරයි.”

භානුකී ඒ ටික කියාගෙන කුස්සියට එද්දී මනුසත්ගේ අම්මත් හිටියේ හරියටම ඒකිගේ පිටිපස්සෙන්. අම්මා මගේ දිහා බැලුවේ නිකන් පිළිකුලක් වගේම “අපේ පුතා මොකට මේකිව බැන්දද?” වගේ හිතෙන ෆීලින්ග්ස් ගොඩක් මික්ස් වෙච්ච බැල්මකින්.

“අනේ මන්දන්නෙ නෑ ළමයො… ඔහොම ඉතින් ළඳ බොළඳ වෙලා පුළුවන්ද? ගෙදරක වගකීමක් ගන්න ගෑනියෙක් වුණාම මීට වඩා හයියක් තියෙන්න ඕනෙ. භානුකී කිව්වේ වැරදි දෙයක් නෙවෙයිනේ. බලන්නකෝ මනුසත්, මේ ළමයා මෙතනට වෙලා අඬන හැටි. ඇවිත් ඉන්න මිනිස්සු දැක්කොත් හිතන්නේ අපි මේ ළමයව වැඩ කරගන්න තියාගෙන වද දෙනවා කියලනේ. හැමදේම ප්‍රොෆෙෂනල් විදියට හැන්ඩ්ල් කරන්න ඉගෙන ගන්න ඕනේ. ඔහොම ඉතින් හිත රිද්දගන්නයි, ඉන්පස්සෙ මේ ගෙවල්වල මිනිස්සු පිරිලා ඉන්න වෙලාවල් වල කඳුළු වක්කරන්නයි අරගෙන කොහොමද ඉතින් කසාදයක් නඩත්තු කරන්නෙ. ඔහොම නං බෑ ළමයො ඉතින්. තමන්ගෙ කසාද මනුස්සයගෙ තරා තිරම, ඒ පවුල්වල දේවල් වෙන විදිය එහෙම දැන් පුරුදු වෙන්න වෙනවා හොඳේ. ගමෙන් ආවට දැන් ඉන්නෙ කොළඹ නෙ..”

“අනේ ඔව් අම්මා, මනුසත් ගැන නෙවෙයි මං මේ ලිහිණි ගැනමයි හිතුවේ. අර මෙලිස්සලා එහෙම මනුසත් එක්ක කාලයක් එකට වැඩ කරපු අය. මනුසත්ගෙ සෙකන්ඩ් වයිෆ් විදියට ලිහිණිව එයාලට ඉන්ට්‍රඩියුස් කරන්න මටත් වඩා මනුසත්ටනෙ ලොකු උවමනාවක් තිබ්බෙ. ඉතින් මං බැලුවෙ ඩ්‍රින්ක් එකක් අතට දීලා එයාලා එක්ක පොඩ්ඩක් කතා බහ කරන්න ලිහිණිව යවන්න. මොකද ඔහොම සාලෙ කොනකට වෙලා බලාගෙන හිටියම හරි මදි වගේනෙ. අනේ මන්දා ඉතින්, මං දන්නවා නම් මං සද්ද නැතුව ඉන්නවා.”

භානුකී එහෙම කියද්දී මට දැනුණේ මගේ කන් අඩි දෙක රත් වේගෙන එනවා වගේ. ඒකි හරිම ලස්සනට මනුසත්ගේ ඉස්සරහා සෙකන්ඩ් වයිෆ් කියන ලේබල් එක මගේ ඇඟේ ගැහුවා. 

“ඒක තමයි භානුකී මමත් කියන්නේ. මනුසත් යුනිවර්සිටි එකේ ප්‍රොෆෙසර් කෙනෙක් වුණාම ගෙදර ඉඳියත් වයිෆ්ට ඕනම මනුස්සයෙක් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරලා හිනාවෙලා ඉන්න පුළුවන් වෙන්න ඕනෙනෙ. ගමෙන් ආවා කියලා හැමදාම ගමේ විදිහට ඉන්න බෑනේ. අහස්ගෙ යාලුවෝ ඉස්සරහයි මේ ඇවිත් ඉන්න යාලුවො නෑයො ඉස්සරහා ලිහිණි මෙහෙම මිනිහා මැරිච්ච ගෑනි වගේ අඬ අඬ ඉද්දි මේ ළමයා මූණ දෙන්නෙ කොහොමද කියලා මට නම් හිතාගන්න බෑ. දැන්වත් ඔය ඇඬිල්ල නතර කරන්න ළමයො. භානුකීගෙන් අහගන්න ඕන කොහොමද මිනිස්සු ආශ්‍රය කරන්නේ කියලා. භානුකීත් ලෝයර් කෙනෙක් වෙලා ගෙදර හිටියට බලන්නකෝ තාමත් මිනිස්සු තාම භානුකීට සලකන විදිය.”

“අනේ අම්මා… ඒ කාලේ මනුසත් මාව කොහෙ වුනත් එක්කගෙන ගියානේ. අනික මෙහෙ කොච්චර අපි පාටීස් එහෙම ඇරේන්ජ් කරාද? මට ඉතින් පුරුදුයි ඒ දේවල්. ලිහිණිට ඒක අලුත් ඇති. තාම ඉතින් එයා අලුත්නෙ මෙහාට ඒත් ඉතින් අහස්ගෙ සතුට සෙලිබ්‍රේට් කරන දවසකවත් මේ වගේ දේවල් නොවෙන්න තිබුණා නම් හොඳයි. මොක උනත් මෙහෙම දෙයක් උනාම අපේ හිත් උනත් හොඳ නෑනේ.”

භානුකී ඒ වචන ටික කිව්වේ හරිම දුකෙන් වගේ වුණාට ඒකේ තිබ්බේ මහා විසක්. මනුසත් මේ හැමදේම අහගෙන හිටියේ හරියට භානුකී කියන්නේ මහා ධර්ම දේශනාවක් වගේ. මං ඒත් කල්පනා කරා මිනිහා තව ටිකකින් සාදු සාදු කියලවත් කියාවිද කියලා.

“ලිහිණිට සමහරවිට පොඩ්ඩක් අවුල් යන්න ඇති. එකපාර මෙහෙම දෙයක් උනාම. එයා ආවට පස්සෙ අපි මුකුත් පාටි එකක් එහෙම ඇරේන්ජ් කරේ නෑනේ. කොටින්ම හෝම් කමින් එකක්වත් තිබ්බෙ නැනෙ. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. ඔයා අඬන්න එපා ලිහිණි. මිනිස්සු උනත් මොනා හිතාවිද ඔයා මෙහෙම අඬනවා දැක්කොත්? ඔයා ටිකක් ඉඳලා එන්න. අපි එළියට වෙලා ඉන්නම්. ඔයා ඕන නම් රූම් එකට ගිහින් ඉඳලා එන්න.” කියලා මනුසත් කියද්දි භානුකී ආයෙ තප්පර ගාණකට මනුසත් දිහා බලාගෙන ඉඳලා මූණෙ මෙච්චර වෙලා තිබ්බෙ නැති හීනි හිනාවක් ඇඳගත්තා.

“හරි ලිහිණි ඔයා මූණ හෝදගෙන එන්නකෝ. මම මේ ඩ්‍රින්ක්ස් ටික සර්ව් කරන්නම්. කවුරුහරි ඇහුවොත් මං කියන්නම්කො ඔයාට ටිකක් මහන්සි නිසා ඔයා රෙස්ට් කරන්න ගියා කියලා. ඔයා දැන් රෙස්ට් කරන්නකෝ.” කියාගෙන භානුකී, මනුසත්, අම්මා තුන්දෙනාම එතනින් ගියාට පස්සෙ මං කරේ හෙමින් සැරේ ස්ලොත් කෙනෙක් වගේ උඩ තට්ටුවට රිංග ගත්ත එක. මහ ලොකුවට අඬන්න පටන් ගත්තට මොකෝ මං ඇත්තටම උන්නෙ දැන් නම් පොඩ්ඩක් ඒක ගැන ලැජ්ජාවෙන්. ඔක්කොටම වඩා මම හිතුවෙ මනුසත් භානුකීට ඇඬෙන ලෙවල් එකෙන් මාව කම්ෆර්ට් කරාවි කියලා උනාට අන්තිමේ උනේ ඒ හැමෝම ඉස්සරහා මම චාටර් වෙච්ච එක විතරයි.

මං කොණ්ඩෙ අවුල් වෙනවා, ඇඳුම් පොඩි වෙනවා කියන හැමදේම අමතක කරලා දාලා තමයි ඇඳට වැටුණෙ. ඇත්තටම මට ඕන උනේ නිදාගන්න. එහෙමත් නැත්තම් ඇස් දෙක වහගෙන කල්පනා කරන්න. මනුසත් කිව්වා වගේම මට රෙස්ට් කරන්න ඕන වුණා. හැබැයි ඒ ඇඟේ මහන්සියට නෙවෙයි, මගේ හිතේ තියෙන මේ දරාගන්න බැරි බරට. කාමරේට ආපු ගමන් මම දොර වහලා ඇඳ උඩට වැටුණා. පහළින් ඇහෙන මියුසික් සද්දේ, මිනිස්සුන්ගේ හිනා හඬවල් මට ඇහුණේ මාව උපහාසයට ලක් කරනවා වගේ.

මම ඇඳ විට්ටමට හේත්තු වෙලා බලාගෙන හිටියේ සිවිලිමේ රවුම් ගහන ෆෑන් එක දිහා. ඒක කැරකෙන සද්දෙ මට ඇහුණෙ නිකන් වෙලාවකට මහම මහ හිසරදයක් වගේ. ඒත් මම ෆැන් එක ඕෆ් කරොත් පල්ලෙහා උන් මං අඬනවා කියලවත් හිතන්නෙ නැතුව හිනා වෙවී ඉන්න සද්දෙ මට ඇහෙන එක ඊට වඩා පපුවට අමාරුයි කියලා දන්න හන්දා මේ ෆෑන් සද්දෙ මට හොඳයි කියලත් හිතුණා. ඒ අස්සෙම මට මතක් වුණේ මගේ කැම්පස් ජීවිතේ. මනුසත් හන්දා කසාදෙ හන්දා මට අත ඇරලා එන්න වෙච්ච මගේ අනාගතේ ගැන මං දැක්ක හීන, ඒ වෙනුවෙන් මං මහන්සි වෙච්ච දවස් මට මතක් වුණා.

 මනුසත් ඒ හැමදේම ආදරේ නාමයෙන් මගෙන් උදුරගත්තේ, අන්තිමේදී මාව මේ වගේ පණ නැති සෙල්ලම් බෝනික්කෙක් කරලා තමන්ගේ පරණ මාලිගාවේ සාලේ මුල්ලක තියන්නද?

මම හෙමින් සැරේ ඇඳෙන් නැගිටලා කණ්ණාඩිය ගාවට ගියා. 

කණ්ණාඩියෙන් පෙනුණේ මම දන්න ලිහිණි නෙවෙයි. කඳුළු වලට දිය වෙලා කම්මුල් දිගේ ගලාගෙන ගිය කාජල් පාරවල් මගේ මූණ පුරාම. මම හරිම අසරණයි, හරිම කැතයි කියලා මටම හිතුණා. මම වෙව්ලන අත්වලින් මේකප් ටික පිහදාන්න ගත්තේ මහ මූසල කේන්තියක් එක්ක. අද මම මේ මේකප් දාන් අලුත් ඇඳුම් ඇඳන් උන්නෙ, මෙච්චර වෙලා කකුල් රිදෙනකම් සාලේ මැද හිටගෙන හිටියේ මනුසත්ගේ සතුටට මිසක් මගේ සතුටට නෙවෙයි. 

“එහෙම වෙලත් මනුසත්ට බැරිවුණානෙ මට භානුකීලට පේන්න ආදරෙන් අඬන්න එපා කියලා කියන්න” මං කියාගත්තෙ මටමයි.

ගොඩක් වෙලාවට ගෑනු ආසයි තමන්ගෙ මනුස්සයා ලෝකෙට පේන්න තමන්ට ආදරේ කරනවට. ඇත්තටම ගොඩක් ගෑනුන්ට උවමනා කසාද බඳින්න නෙවෙයි, වෙඩින් එකක් අරගෙන ලස්සනට ඇඳ පැලඳලා නෑයො ඉස්සරහා පොර වෙන්න. හස්බන්ඩ් හරි බෝයිෆ්‍රෙන්ඩ් හරි අරන් දෙන තෑගි බෝග, ඒ මිනිස්සු තමන්ට කෙයා කරන විදිය ලෝකෙට පෙන්නන්න. ඒ වගේ දේවල් වලින් “මාත් මේ ලේසි පාසු ගෑනියෙක් නෙවෙයි” කියන එක මිනිස්සුන්ට අඟවන්න. ඒත් මං උන්නෙ මගේ ඒ හැම ගෑනුකමක්ම මනුසත්ගෙ මැචුවර්ඩ් ආදරේ හන්දා නැති නාස්ති කරගෙන. මට වෙඩින් එකක් තිබ්බෙ නෑ. මගෙ හස්බන්ඩ් එයාගෙ පරණ වයිෆ් ඉස්සරහා මාව උඩ තියන්නෙ නෑ කියන කතන්දර මාව මාරම ලොකු හිතුවිලි අරගලයක හිරකරලා දාලා තිබ්බා.

මම මගේ ෆෝන් එක අතට ගත්තා. 

මට ඕන වුණේ මේ පීඩනෙන් එක මොහොතකට හරි පැනලා යන්න. මාව මනුසත්ගේ වයිෆ් විදිහට නෙවෙයි, ලිහිණි විදිහට තේරුම් ගන්න පුළුවන් එකම එක හිතක් හරි මේ ලෝකේ කොහේ හරි තියෙනවා නේද කියලා හොයන්න මගේ හිත උන්නෙ පුදුමාකාර කලබලේක.

අද මම කොහොමත් උන්නේ මගේ ඉවසීමේ සීමාව පන්නගෙන.

ඒ නිසාමයි මං උද්දච්ච කමට, මනුසත්ට රිද්දන්න හිතාගෙන ඒ මැසේජ් එක සෙන්ඩ් කරේ.

“අපිට මීට් වෙන්න පුළුවන්ද? වැදගත් දෙයක් කතා කරන්නෝන”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here