සඳ දිය දහරා – 62

0
976

කාලය ගෙවී ගියේ ඉබි ගමනේය නොවේ. කුඩා තෙනුල් දම්විදු දැන් තුන් මස් වියැතිය. සාමා යළිත් සුපුරුදු පරිදි රැකියාවට යාම ඇරඹූයේ කුඩා පුතු දෙසතිය සම්පූර්ණ කරද්දීය.  දහරාගේ උදව්වට දහවලෙහි උන්නේ ආච්චීය. ඒ අතරතුර පැමිණෙන වත්තේ ගැහැනුන් දරුවා නාවන්නට, රෙදි ටික සෝදා ගන්නට, වේලා ගන්නට සේම දරුවා නිදි කරන්නටත් සහාය වූවාය. දහරා ආපහු මල් කිනිති සකසන්නට පටන් ගත්තේ කාලය ගෙවා දැමීමේ අරමුණින්ය. බඩගිනි වූ වේලාවට හෝ නිදිමත සැර වූ වේලාවට සද්දයක් දැම්මාට කුඩා පුතු වදදුන් දරුවෙකු නොවේ. තෙනුල්ගේ  සහායට ඇයට ආදරය කරනා කිරි අම්මලා ඕනෑ තරම්ය. දහරා මේ සියල්ල දෙස බලා සිටියේ සතුටින්ය. 

“පුතුට ලියා තබමි” නවකතාවේ සෝදුපත් පරීක්ෂාව සිදු වූයේ පසුගිය දිනවලය. ඒ ප්‍රවීණ සෝදුපත් පරීක්ෂකයෙකු ලවාය. අවසානයට කියවන්නයැයි  දහරා වෙත එවා තිබූ මුද්‍රිත පිටු කිහිපය ඈ අත ගා බැලුවේ දෑස්වල කඳුළු තබාගෙනය. රමාෂ් ඇයට සිංහල භාෂාවේ වැරදි අඩුපාඩු සාදාගත යුතු ආකාරය ගැන ලියවුණු පොත් කිහිපයක් ගෙනවිත් දුන්නේ ප්‍රකාශක මහතාගෙන් අසාගෙනය. එසේම එම ආයතනයට සම්බන්ධව සේවය කළ ප්‍රවීණ ලේඛිකාවක විසින් දහරාගේ ලේඛන රටාවෙහි වූ යම් අඩුපාඩුකම් පෙන්වා දුන්නාය. ඒ සියල්ලම සකසාගෙන ඈ මේ දිනවල අලුත් නවකතාවක් අකුරු කරමින් උන්නාය. 

“ඔයා දන්නවද සමහර ලේඛකයෝ බිහි වුණේ එයාලා හිත හදාගන්න ලියපු අකුරු වලින්. සමහර අය ලිව්වා තමන්ගේ ඩිප්‍රෙශන් තත්වයෙන් මිදෙන්න. දන්නෙම නැතුව එයාලා තමන්ගේ ඇතුලෙ ඉන්න දක්ෂ ලේඛකයෙක්ව එළියට ගත්තා. ඔයත් එහෙම කෙනෙක් දහරා. ඔයා ලෝකෙ දිනනකල් මං බලාගෙන ඉන්නවා.”

දුරකථනයෙන් කතා කළ එක් රාත්‍රියකදී රමාෂ් පැවසූයේ ඒ අයුරින්ය. ඔහු දහරාගේ  සිතෙහි වූ හිස්තැන් පුරවමින් සිටියේ සීරුවටය. ඇය ඒ ආදරයෙන් හදවත පුරවා ගන්නට බලා සිටියාය. සියල්ල දැන සිටියත් නොදැනුනා සේ සිටින්නට උත්සාහ දැරුවාය. දහරාට ඕනෑ වී තිබුනේ ඒ මායාකාරී ලොවෙන් මිදෙන්නට නොවේ. ගෙවී ගිය සෑම දවසකදීම ඇය රමාෂ්  හමුවේ හුරු පුරුදු දහරා වෙමින් සිටියාය. ආගන්තුක වූ චරිතයක් නඩත්තු කරමින් කිසිවෙකු තමා වෙත රඳවා ගන්නට ඇයට අවැසි වූයේ නැත. දැන් ඈ සිටින්නේ ජීවිතය නිදහසේ විඳිමින්ය.

සුමනසේකර දෙතුන් දෙතුන් වතාවක්ම දරුවා බලන්නට පැමිණ ගියත් ඒ එක් වතාවකවත් ශ්‍රියාලතා පැමිණියේ නැත. 

“දරුවාට තුන්මාසයක් උනාට පස්සේ ඉස්සර වෙලාම කැලණිය පන්සලටයි නවගමුවේ දේවාලෙටයි ගිහිල්ලා මම අම්මව බලලා යන්න දරුවත් එක්කම එනවා තාත්තේ.”

දහරා එසේ පැවසූයේ ඔහු ඒ අයුරින් පැමිණ නික්ම යන්නට සූදානම් වූ සවසකය.

“ඇත්තටම කිව්වොත් අම්මට ලොකු උවමනාවක් තියෙනවා ඔයාවයි දරුවයි බලන්න. දැන් මේ ඉන්නේ මාස කීපයකට කලින් ඉඳපු මනුජිත්ගේ  අම්මා නෙමෙයි. මිනිස්සු කාලයත් එක්ක ඇත්ත තේරුම් ගන්නව දුව. ඒ උනාට ඉතින් වැඩක් නැහැ. එතකොට වෙන්න තියෙන හැම දෙයක්ම සිද්ධ වෙලා ඉවරයි. මම වගේම අද මනුජිත්ගේ අම්මත් හිතනවා ඇති එදා අපි ඔයාව ආරක්ෂා කර ගත්තනම් මේ ප්‍රශ්න මීට වඩා ලස්සනට විසඳිලා කියලා.”

ඔහු පැවසූයේ තමා අත උන් කුඩා පුතුව සාමා දිගුකල දෑත් මත තබමින්ය. 

“දෙයක් වෙන්න තියෙනවනං ඒක වළක්වන්න බෑ කියලා  කියන්නේ නිකමට නෙමෙයිනෙ අයියේ. අපි දැන් එන විදිහකට මුහුණ දෙමු. මොනව උනත් අයියලා මේ විදිහට ඇවිල්ලා අපේ දුක සැප බලලා යන එකත් ලොකු දෙයක්.”

“මේ දරුවට උනේ හොඳ දෙයක් නෙමෙයි. ඒකට මනුජිත් විතරක් නෙමෙයි. අපි හැමෝම වග කියන්න ඕනේ..”

ඉඳහිට ආ ඒ දිනක ඔහු පවසන්නේ පසුතැවීමෙන්ය. දහරාගේත් මනුජිත්ගේත් දික්කසාද කටයුතු සිදු කෙරෙමින් පැවැතියේ ඔහුගේත් අනුදැනුම ඇතිවය.

සෙනරත් දැන් රමාෂ්ගේ පියාගේ දකුණු අත සේය. ඒ ව්‍යාපාර පවත්වාගෙන යාමට සහාය වීම වෙනුවෙන් ඔහු හොඳ වැටුපක් ලැබුවේය. සම්පූර්ණ වැටුපම ඔහු සාමාගේ බැංකු ගිණුමට බැර කරන්නේ ඇගේ කැමැත්ත අකමැත්තවත් නොවිමසාය. ‘ඔහු දැන් ඔහුට ජීවිතයක් සාදා ගතයුතුයැයි’ සාමා පවසද්දී ඔහු පවසන්නේ ‘මගේ ජීවිතේ ඉතින් උඹල තමයි’ යනුවෙන්ය.

දහරා මල් සකසා තමා උපයා ගන්නා මුදලින් කොටසක් නිශාදිගේ  අධ්‍යාපන කටයුතු සඳහා වෙන් කළේ නිර්ලෝභීවය. නිශාදිගේ නිවසේ සියල්ලෝම යමක් ඉපැයූවත් ඔවුනට හැමදාම ආර්ථික ප්‍රශ්නය. ඒ ඔවුන් පරිභෝජන රටාව නොදැන සිටි නිසායැයි දහරා විශ්වාස කළාය.

තෙනුල්ගේ කිරි  සිනහව සේකර වත්තම වසඟ කරවා ගන්නට සමත්ව තිබිණ. දහරාගේ කිරෙන් පෝෂණය වී මදක් මහත්ව වැඩී උන් ඔහු දහරා සේම වලගැසුණු කොපුල්  ඇතුව සිනහසෙන්නට හුරුව උන්නාය. එනිසාම රීටාගේ නිවස පසු කර යන සැවොම තෙනුල් ගැන විමසන්නට අමතක කරන්නේ නැත. 

කිසිවෙකු අසා නොතිබුණාට රමාෂ් එම නිවසට යන්නේත් එන්නේත් දහරා ගැන බලාපොරොත්තු ඇතිව වග  වත්තේ මිනිසුන් දැන සිටියේය. ඔවුන් ඒ ගන කතා වෙමින්ද සිටියේය.

“ඒ කෙල්ලට හරියන්න ඕනේ…”

“මොකක්දෝ පවක් පලදීලා එක පාරක් අර වගේ මිනිහෙක්ට රැවටුනාට ජීවිතේ වරදින්න ඕන කෙල්ලෙක් නෙමෙයි ඔය…”

“දෙන්න තක්කෙටම ගැලපෙනව..

තමා හා කතා කළ වත්තේ ගැහැණුන් කිහිප දෙනෙකුම එසේ පැවසූ බව අම්මා, ආච්චී සමග පවසනු දහරා අසාගෙනය. සමහර සිහිනවලට යළි පණ දෙන්නට නොහැකි වුවත් දහරා හෙමි හෙමින් ශක්තිමත් ගැහැණියක බවට පත් වෙමින් සිටියාය. 

මල බැඳී ගිය ගේට්ටුව ඉදිරිපස නතර වූ ත්‍රී රෝද රථයෙන් බැස එන යුවළ දුටු ඈ විමතියෙන් දෑස් විසල් කර ගත්තේ තෙනුල්වත් වඩාගෙන ආලින්දයට පැමිණෙමින්ය.

“තාත්තා අද අම්මත් එක්කරගෙන ඇවිල්ලා….”

දහරා ඉස්සර වූයේ එසේ පවසමින්ය. වටපිට බලමින් සාරි පොටින් පවන් සලමින් ඉදිරියට ඇවිද ආ ශ්‍රියාලතා හෙළුවේ අසරණ සිනහවකි. 

“අතපය හෝදගෙනම දරුවා අතට ගමු. අපි බස් වලනේ ආවේ…”

සුමනසේකර එසේ පැවසූයේ ශ්‍රියාලතා දෑස් වල කඳුළු පුරවාගෙන දරුවා දෙස බලා සිටිද්දීය. ප්‍රථම වතාවට දහරා ඇයව සිප ගත්තේ සිතෙහි අංශු මාත්‍රික හෝ කිළුටක් වූවානම් එයත් තම  සිතුවිලි වලින් ඈත් කරමින්ය. මේ ද අම්මා කෙනෙකි. 

“යමු අම්මා ගෙට…”

“සිද්ධ වෙච්ච දේවල් මතක් වෙද්දි මට මේ විදිහට ඔය ළමය ඉස්සරහට එන්නත් ලැජ්ජයි.”

“අපි ඒව අමතක කරමු අම්මා.”

“අපි අද ආවේ ආරංචියකුත් අරගෙන දුව. ඒක සතුටට කාරණයක්ද එහෙම නැත්නම් දුකකට කාරණයක්ද කියන්න අපි දන්නේ නෑ. වෙච්ච දේවල්වල හැටියට ⁣ජීවිතේ ගැන දැන් ලොකු බලාපොරොත්තුවක් තියා ගන්න බෑ.” 

සුමනසේකර එසේ පවසද්දී දරුවා උන්නේ ශ්‍රියාලතා හා සුරතල් වෙමින්ය. වත්තේ ඔහුට ආදරය කළ මිනිසුන් හා ගැවසී හුරුව තිබූ නිසා තෙනුල් ආච්චි අම්මා දෙස බලමින් සිනහසුනේ සැකයකින් බියකින් තොරවය. 

“දරුවා ඔයා වගේමයි දහරා.  මේ දරු පැටියා වෙනුවෙන් අපිට කිසිම යුතුකමක් කරගන්න බැරුව ගියා.” 

එවර ශ්‍රියාලතා පැවසූයේ සැබෑම පසුතැවීමකින්ය. තාත්තා දරුවා වෙනුවෙන් මුදලක් ලබා දුන් බව ඈ නොදන්නවා විය හැක. දහරා සාමා දෙස බලා හිනැහුනා මිස ඇයට පක්ෂව හෝ විපක්ෂව කිසිවක් පැවසූයේ නැත. රීටා සුපුරුදු ලෙස මුළු තැන් ගෙයි වැඩ කටයුතු ආරම්භ කර තිබුණේ අමුත්තන්ට රසැති කෑම වේලක් සකසන්නටය. 

“පෙරේදා හවස මට මනුජිත් කතා කළා.”

සුමනසේකර උගුර පාදා එසේ පවසද්දී දහරා තිගැස්සුනාය.

“ඒ රට අංකෙකින්. මාස එකහමාරක් වෙනවා කියලා කිව්වා ඩුබායිවලට ගිහිල්ලා. රස්සාවක් හොයා ගන්නකල් සති දෙකක්ම එහෙට මෙහෙට රස්තියාදු වෙවී හිටියලු. දැන්නම් රස්සාවක් හම්බවෙලා කියලා කිව්වා. ඒ වැඩ කරන තැනම නතර වෙන්නත් පුළුවන්ලු.” 

“අනේ ඒක කොච්චර දෙයක්ද. ඉන්න තැනක ඉඳලා කතා කරපු එකම මැදෑ.”

සාමා එසේ පැවසූයේ සිතෙහි කහටක් තබා නොගෙනය. කෙතරම් සිත් තැවුල් ඇති වුවත් දියණිය පසුගිය දිනවල මනුජිත්ට කුමක් සිදුවූයේදැයි සිතමින් දුක් වූ බව සාමා දනී. එනිසාම මේ ආරංචිය අසුබ එකක් වූයේ නැත.

“ඒ නම්බර් එකට ඕන වෙලාවක කෝල් එකක් ගන්න කියලත් කිව්වා. කතා කරපු විදිහටනම් මිනිහට දැන් හැම වැරැද්දක්ම තේරිලා.”

“එතකොට අර ළමයා….”

සාමා එසේ ඇසුවේ හදිසියකින් සේය. යළිත් දහරාත් මනුජිතුත් එක්කරන්නට ඒ දෙමව්පියන් උත්සාහ දරාවියැයි ඇයට සිතුනේ එවේලෙහිය. දියණිය එම නිවසේදී විඳ තිබුණේ අපා දුකකි. කෙසේ වුවත් ඔවුන් යළි එක්වනවායැයි සිතීමම සාමාගේ පපුව රිදවන්නක් විය. ආදරය සතුට රැකවරණය සියල්ල ලැබී තිබියදීත් දහරා ඒවා ප්‍රතික්ෂේප කරමින් යළි මනුජිත්ටත්  ඔහුගේ මවටත් පියාටත් අනුකම්පා කරනු ඇතැයි සාමාගේ සිතෙහි ඇති වූයේ සාධාරණ බියකි. 

“ඒ ළමයා ආපහු ගෙදරට ඇරලවල යන්න තමයි හදලා තියෙන්නේ. ඒ උනාට ගෙදර යන්න බෑම කියලා ඇඬුවලු. අන්තිමට යාළුවෙක්ගෙ ගෙදරට තමයි ඇරලාවල ගිහින් තියෙන්නේ. මාස තුනක් එහේ නතර කරගන්න ඒ යාළුවගේ දෙමව්පියෝ එක්ක කතා කර ගත්තලු.”

“එහෙම ඉතින් හැමදාම ඒ ළමයට පිටතැන්වල ඉන්නත් බැහැනේ නේද. දැන් අයියට තියෙන්නේ පොඩි ගෙයක් අරගෙන ඒ ළමයත් අයියලා ළඟට ගන්න. කොච්චර උනත් ඉතින් ඒත් ගෑණු දරුවෙක්ගෙ ජීවිතයක්නේ. අක්කගේ තනි කමටත් ඒක වටිනවා”

“ඔව් හෙට අනිද්දම  පුතා ඒ ළමයාගේ අයියත් එක්ක කතා කරන බව කිව්වා. එයාගේ අතින් සිද්ධ වුණේ හදන්න බැරි තරම් වැරදි කියලා දුක් වුණා. ඒ රටට  ගිහිල්ලා කාත් කවුරුවත් නැතුව පාරක් පාරක් ගානෙ ඇවිදිද්දි එයාට තමන් කරපු වැරදි වර බරපතළකම තේරුණා කියලත් කිව්වා. මම කිව්වෙත් දැන් අපි ගැන හිතන්නේ නැතුව එයාගේ අනාගතය ගැන හිතලා වැඩ කරන්න කියලා. මේ පර ඔය ගමන ගියාය කියන කතාව ඇත්ත. මං මුදලාලි ලව්වලා හෙයලා බැලුවා.”

“මගේ දරුවට ගෙවුනේ ලොකු අපලයක්…”

ශ්‍රියාලතා එසේ පැවසූයේ සැමියාගේ කතාවට බාධා කරමින්ය. 

“සුදුසු තීරණ ගත්තෙ නැති උනහම තමන්ට අපලයක් වෙන්නේ තමන්ම තමයි ශ්‍රියාලතා.”

“ඒ ළමයාගේ අයියලා මොනවා කියයිද දන්නේ නැහැ නේද..?”

දහරා මේ සියල්ල අසා සිටියේ නිහඬවය. මනුජිත් කොහේ කොතැනක හෝ හොඳින් ජීවත්වනවායැයි දැනගැනීම ඇගේ  සිතට සැනසීමක  වූවා මිස අමුතු සතුටක් හෝ දුකක් දැන වූයේ නැත. 

“මමනම් කැමතියි දහරා ආපහු මේ දරු පැටියත් එක්ක අපි ළඟට එනවනම්.”

එවර ශ්‍රියාලතා පැවසූයේ බිම බලාගෙනය. සාලය මැද එලා තිබූ ළදරු පැදුර මත දරුවා තැබුවේත් මනුජිත්ගේ මව ඔහු අසලින් බිම ඉඳගත්තේත් කුමන වේලාවකදැයි මතකයක් දහරාට වූයේ නැත. ඈ සිටියේ මනුජිත් ගැන කල්පනාවේය. එහෙත් ශ්‍රියාලතාගේ ඒ වදන්වලින් දහරා වෙවුලා ගියාය. 

(හෙටත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here