මතකයක සේයා – 67

0
1089

” මං ඇත්තටමයි කියන්නේ මිස්ටර් කෛලාශ්. මම මැඩම් ගැන මොනවා හරි තොරතුරක් දන්නව නම් ඒක මට මිස්ටර් කෛලාශ් ට නොකියා ඉන්න කිසිම හේතුවක් නෑනේ.මං මිස්ටර් කෛලාශ් ට hospital එකට යන්න වුණත් උදව් කරේ ඒකනේ “

” මන්දාකිණි කොහේ යන්න ඇතිද මීනු එහෙනම් ? “

” මටත් හිතා ගන්න බෑ මිස්ටර් කෛලාශ්. මැඩම් පහුගිය ටිකේම මට කවදාවත් බාර නොදුන්න වගකීම් ටිකක් බාර දුන්නා. වෙනදට මැඩම් කරන දේවලුත්. අනිත් එක… “

මීනු යමක් කියන්නට ගොස් නතර කර ගත්තාය. 

” මොකක්ද මීනු කියන්න ගියේ? “

” නෑ මිස්ටර් කෛලාශ්. අපේ කම්පනි එකට මොන වගේ ප්‍රොජෙක්ට් එකක් ආවත් ඒ හැම එකකම interior පාට් එක කරන්නේ මැඩම් මයි.එයා ඒකට මෙච්චර කාලයක් වෙන කෙනෙක් ගත්තේ නැහැ.හැබැයි, ගිය සතියේ දවසක එයා ඔන්ලයින් ඉන්ටවිව් එකක් කරලා qualified interior designer කෙනෙක් හයර් කරලා තිබුණා.ඒ ගර්ල් මට කතාත් කරා. මං ඇත්තටම හිතුවේ මැඩම් හොස්පිට්ල් එකෙන් ආවත් ඉස්සරහට පොඩි රෙස්ට් එකක් ගන්න වෙන හින්දා මැඩම් එයාගේ උදව්වට ඒ ගර්ල්ව ගත්තා කියලා “

කෛලාශ් දුරකථනය කනේ තබා ගෙන කල්පනා කළේය.එසේ නම් මන්දාකිණි ගේ අතුරුදහන් වීම හදිසියේ සිදු වූවක් නොවේ.ඇය එය දින ගණනාවක් පුරාවටම ඉතා හොඳින් සැලසුම් කරන්නට ඇත. දෙමව්පියන් ගෙන් සහ ලවන් ගෙන් ගැලවීම පිණිස මෙවැනි තීරණයකට එළඹෙන්නට මන්දාකිණි හට සිදු වූවත් ඇය ඒ පිළිබඳව වචනයකින් හෝ තමාට නොදැන්වීම කෛලාශ් තුළ ඇති කලේ ශෝකයකි. මන්දාකිණි පිළිබඳව අසන්නට හෝ සොයන්නට කෙනෙක් නොමැති තැන ඇගේ මේ හදිසි අතුරුදහන් වීම දරා ගන්නට නොහැකි බවක් කෛලාශ් හට තදින්ම දැනිනි.

” මිස්ටර් කෛලාශ් , මැඩම් අපේ කම්පනි එකට තව කෝඩිනේටර් කෙනෙකුත් අරගෙන තියෙනවා “

” මොකක් ? “

” ඔව්. ක්ලයන්ට්ස්ලාව හැන්ඩ්ල් කරන්නයි මීටින්ග්ස් ගැන බලන්නයි කෙනෙකුත් මැඩම් අරගෙන ” 

” ඒ කිසි කෙනෙක්වත් මන්දාකිණි ව contact  කර ගන්න පුළුවන් නම්බර් එකක් දන්නේ නැද්ද මීනු ? “

කෛලාශ් විමසුවේ බොහෝ අසරණවය.තමා මෙතෙක් දිනක් බලා උන්නේ මන්දාකිණි සුව වී නිවසට පැමිණ නැවත රාජකාරී කටයුතු සඳහා ආයතනය වෙත පැමිණෙන තුරුය. එහෙත් ඒ බලාපොරොත්තු සියල්ලක්ම තමාගේ දෙපා මුලට කඩා වැටී ඇත.

” නෑ මිස්ටර් කෛලාශ්. මැඩම් ඊයේ රෑ මේල් එකක් දාලා තියෙනවා.මං මේ දැන් මේල් එක චෙක් කලේ. මං හිතන්නේ ශෙඩූල් කරපු මේල් එකක් “

” මොනාද මීනු ඕකේ තියෙන්නේ ? “

” ඒ කෝඩිනේටර් ගේ විස්තරයි. මැඩම් සාමාන්‍යයෙන් කරන වැඩ වල විස්තරයි, ඒ වැඩ ටික අපි අතින් වෙන්න ඕන විදිහයි. තව කම්ප්ලීට් කරන්න තියෙන projects කීපයක විස්තරත් තියෙනවා අර අලුතින් ගත්ත ගර්ල්ට බාර දෙන්න “

කෛලාශ් ගේ හදවත කැබලි ගණනාවකට බිඳෙමින් තිබිණි. අන් අය කෙසේ වුවත් තමාට වත් නොදන්වා සියල්ල හැර යාමට මන්දාකිණි සිත තද කර ගත්තේ කෙසේ දැයි කියා කෛලාශ් බොහෝ වර කල්පනා කළේය.

” අවුලක් නැත්නම් විතරක් ඔයාට ඔය මේල් එක මට ෆෝවර්ඩ් කරන්න පුළුවන්ද මීනූ ? “

” කම්පනි එකේ මේල් එකක් එහෙම ෆෝවඩ් කරන්න නම් බෑ මිස්ටර් කෛලාශ් . ඒත්… මං ඒක මිස්ටර් කෛලාශ් ට ෆෝවඩ් කරන්නම්. මට මිස්ටර් කෛලාශ් ගේ මේල් ඇඩ්‍රස් එක වට්සැප් කරලා තියන්න “

” තැන්ක් යූ මීනූ “

කෛලාශ් දුරකථන ඇමතුම අවසන් කලේ බලාපොරොත්තු සුන් වී ගිය හදවතිනි. මන්දාකිණි ගේ අතුරුදහන් වීම පිළිබඳව ඇගේ දෙමාපියන් ගෙන් දැන ගත් පසුව කෛලාශ් සියල්ලටම පෙර මීනුට ඇමතුමක් ලබා දුන්නේ ඇය අනිවාර්යෙන්ම මන්දාකිණි පිළිබඳව තොරතුරක් දන්නවා ඇතැයි බලාපොරොත්තුවෙනි.

එහෙත් සිදු වූයේ තමා ගේ බලාපොරොත්තුව උපන් ගෙයිම මිය යාමය. කාර්යාල මේසය මත බොහෝ වේලාවක් හිස තබා ගෙන කල්පනා කරමින් හුන් කෛලාශ් හෝටලයේ වාහනයක් සූදානම් කර ගෙන නිවසට පැමිණියේය.

කෛලාශ් නිවසට පැමිණෙන විට ඇන්ඩ්‍රියා උන්නේ මිදුලේ මල් ගස් කිහිපයකට සාත්තු කරමිනි. කෙටි නිවාඩුවක් සඳහා මව්බිමට පැමිණියද ඇන්ඩ්‍රියා මෙවර ගෙවත්ත සැරසීම සඳහා මල් ගස් විශාල ප්‍රමාණයක් විවිධ ස්ථාන වලින් මිලදී ගෙන රැගෙන විත් තිබුණු නිසා ඇය දහවල් වරුවම ගත කලේ ඒවා සමඟය.

වාහනයෙන් බැස මැලවුනු මුහුණින් යුතුව නිවස දෙසට ඇවිද එන තම පුතුගේ වෙනස හඳුනා ගැනීමට ඇන්ඩ්‍රියාට ගත වූයේ විනාඩියක ටත් වඩා අඩු කාලයකි.ඇය අඩියට දෙකට කෛලාශ් වෙත ලඟා වූයේ අත තිබූ වතුර පුරවන ලද කුඩා ස්ප්‍රේ බෝතලය බිම තබමිනි.

” පුතා ” 

” මන්දාකිණි නෑ අම්මා ” 

කෛලාශ් හඬා වැටීමට සූදානම් මුහුණකින් යුතුව ඇන්ඩ්‍රියා දෙස අසරණව බලා උන්නේය.ඇන්ඩ්‍රියා කෛලාශ් ගේ අතින් අල්ලා ගෙන විත් ගෙවත්තේ වූ සුදු පැහැ යකඩ පුටුව මතින් ඔහුව වාඩි කරවා අනෙක් පුටුවට බර වූවාය.

” මොකක්ද වෙලා තියෙන්නේ පුතා ? “

” මන්දාකිණි ගේ අම්මයි තාත්තයි මාව හොයා ගෙන හොටෙල් එකට ආවා “

” ඉතින් ?” 

” මන්දාකිණි අද පාන්දර ඉඳන් ගිය තැනක් හොයා ගන්න නැහැල්ලු. එයාල මගෙන් අහනවා මං දන්නවද කියලා. මං කොහොම දැන ගන්නද අම්මා ? අඩුම ගානේ ඊයෙ රෑ මන්දාකිණි මට කෝල් කරපු වෙලාවෙ වත් මේ කිසි දෙයක් කිව්වේ නැහැ.කිව්වෙ නෑ කියන්නේ ඇගෙව්වේ වත් නැහැ .එයා කොහේ ඉන්නවද මොනා කරනවද කියලා මං දන්නෙ නෑ අම්මා “

ඇන්ඩ්‍රියා බලා උන්නාය. කෛලාශ් ගේ මුහුණ පුරා තැවරී ඇත්තේ ශෝකය මිසක වෙන යමක් නොවේ. එකී ශෝකය ඉපිද ඇත්තේ ද ඔහු ජීවිත කාලයක් බලාපොරොත්තු වූ තරුණිය වෙනුවෙනි.

” පුතා “

ඇන්ඩ්‍රියා කෛලාශ් ගේ උරහිසට අත තබා කතා කල නමුත් ඔහු බැල්මකින් හෝ සෙලවුනේ වත් නැත. 

” ඔයා මන්දාකිණි ට කොච්චර ආදරේද කියලා , ඔයා එයා ගැන කොච්චර හිතනවද කියලා මම තරම් දන්න වෙන කෙනෙක් නෑ කියලා මං හිතනවා පුතා.මේ වෙලාවේ එයා කරන්න ඇත්තේ එයාට ඕන දේ. එයාට හොඳයි කියලා හිතෙන දේ ” 

“ඒත් අම්මා මේ වගේ දෙයක් කරන්න ඉස්සෙල්ලා එයාට අඩුම ගානේ මට කියන්න තිබුණ නේද?”

” පහුගිය කාලේ එයාට වෙච්ච ප්‍රශ්න වල හැටියටයි , දැන් එයාගේ අම්මයි තාත්තයි එයා ගැන තීරණ ගන්න විදියටයි එයාට හරි මහන්සිය ඇති පුතා. මන්දාකිණි කියන්නෙ හරි නිදහස් ළමයෙක්.එහෙම ළමයෙකුට පහුගිය දවස්වල වෙච්ච දේවල් කලබල වැඩි ඇති “

කෛලාශ් ගේ දෑස් අග්ගිස්සෙන් කඳුලක් ගිලිහී යනු දුටු විට ඇන්ඩ්‍රියා ගේ හදවත ශෝකයෙන් බර වුවත් ඇය එය දරා උන්නාය. තම පුතු ඉදිරියෙහි තමාද ශෝක වුවහොත් ඔහුට සවියක් වීමට තමාට හැකි වන්නේ නැත. ඔහුගේ ජීවිතයම කඩා වැටී ඇති මොහොතක ඔහුගේ දෑතින් අල්ලා සිටිය යුත්තේ තමා ය.

” මන්දාකිණි ඔයාට ආදරෙයි කියලා ඔයා දන්නවනේ පුතා. ඉතින් එයා කොහේ හිටියත් ඒක වෙනස් වෙන එකක් නැහැ.ආදරේ කියන්නේ එහෙම වෙනස් වෙන දෙයක් නෙමෙයිනේ. ඔයා මේ වයසට එනකම්ම කලේ එයාව හොයපු එක.ඒ එයා ගැන ඔයාගේ හිතේ දෙයක් තිබුන නිසා. මන්දාකිණි ඒක නොදන්නවා නෙවෙයිනේ. එයාට එයාගේ වටේ ඉන්න අය කරන දේ දරා ගන්න බැරුව මේ වගේ තීරණයක් ගත්තට එයා ඔයාව අමතක කරයි කියලා හිතන්න එපා.ඔයා මෙච්චර කාලයක් විශ්වාස කරා වගේ මේ ගැනත් විශ්වාසයෙන් ඉන්න “

කෛලාශ් ඇන්ඩ්‍රියා දෙස බැලුවේ දෑස් වලින් ගිලිහී යන්නට ඉඩ හැරි කඳුළු බිඳු කිහිපයක් අත්ලෙන් පිස දමමිනි. 

” මං කොච්චර ආදරෙයිද කියල මන්දාකිණි දන්නේ නැතුව ඇති අම්මා “

කෛලාශ් ගේ හඬ බිඳී ගොස් තිබුනද ඇන්ඩ්‍රියා ඔහු දෙස මදහසක් ඇතිව බලා උන්නාය.

” එයා දන්නව පුතා. මෙච්චර කාලයක් තිස්සේ එයාව මතක තියා ගෙන ඔයා එයාව හොයාගෙන ආවේ ඇයි කියලා එයා දන්නවා “

” මන්දාකිණි කොහේ ඇතිද අම්මා?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here