සඳ දිය දහරා – 63

0
306

යළිත් සියල්ලෝම අතර නිහඬ බවක් ඇතිව ගියේ ඉන් පසුවය. සාමා මුළුතැන් ගේ දෙසට ඇවිද ගියේ සිතෙහි වූ කෝපය පිට කිරීමට මගක් නොමැති නිසා බව දහරා දැන උන්නාය. කිසිවක් නොකියා ඈ උන්නේ පුතු දෙසට යොමු කරගත් දෑස් ඇතිවය. 

“ඒවා කතා කරන්න ආපු ගමනක් නෙමෙයිනේ මේ….”

සුමනසේකර පැවසූයේ මඳක් උස් හඬින්ය. ශ්‍රියාලතා ඉක්මන් වූයේ බිම බලා ගන්නටය.

“එහෙනම් අම්මා බබා එක්ක ඉන්නකෝ මම තේ ටිකක් හදන් එන්නම්.”

දහරාත් නැගී සිටියේ එසේ පවසමින්ය. සුමනසේකර මද හඬකින් කුමක්දෝ පවසා තම බිරිඳට තරවටු කරනු ඇසුණේ දහරා මුළුතැන් ගෙයි දොරින් එබෙද්දීය.

“ඒවා ඒ අම්මා හිතේ අමාරුවට කියන කතා වෙන්න ඇති. එයාලට වෙනසක් පෙන්නන්න එපා අම්මා. පේනවනේ ඒගොල්ලෝ කොච්චර අසරණ වෙලාද ඉන්නේ කියලා.”

දහරා එසේ පැවසූයේ ඇසෙන නෑසෙන තරම් මඳ හඬකින්ය. 

“හැමදේම ඉවර වුණාට පස්සේ මඟුල් කතා කරගෙන යන්න ඇවිල්ලද මන්දා. මට කේන්තියි ඉතින්. එක වතාවක් ඔය මනුස්සයාට ඔය ටික කලින් හිතන්න බැරි උනානේ. කොච්චර ඉවසගෙන හිටියත් ඔය වගේ වචන ඇහෙද්දි මගේ ඒ ඉවසීමේ සීමාව පනිනවා.” 

සමා පැවසූයේ ගස්සාගෙනය. 

“දැන් ඉතින් ඕවට ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව ගෙදරට ආපු මනුස්සයන්ට සලකල යවහන් ළමයෝ….”

රීටා මද හඬකින්  එසේ පැවසූයේ තේ කෝප්ප දෙක තැටිල්ල මත තබමින්ය. සාමා තවමත් කෝපයෙන් ඉවත බලාගත් ගමන්ය.

“ඔව් අම්මේ….හිත රිදෙන දෙයක් කියවුනත් ඇහුන නෑහුනා වගේ ඉන්න.”

තමා ඒ අයුරින් දුක් උසුලද්දී තමාටත් වඩා ජීවිතය දරා ගත්තේ අම්මා බව විශ්වාසය. මේ අයුරින් කෝපයට හැරවෙන්නේත් ඒ සිතෙහි වූ වේදනාවය. 

“උඹ මේ ගෙදරින් ගියාට පස්සේ උඹලයි අම්මා නිදා ගත්ත දවසක් මට මතක නෑ. උදේට කොට්ටේ මිරිකලා කඳුලු ගන්න පුළුවන්”

ආච්චී එදවස පැවසූයේ ඒ අයුරින්ය.

දහරා තැටිල්ල මත වූ තේ කෝප්ප දෙක මනුජිත්ගේ මවටත් පියාටත් දිගු කළේ පෙර වූ මදහසම මුව මත තබාගෙනය. 

“දරුවො වැරදි කලත් දෙමව්පියෝ විදියට අපිට අහක බලාගෙන ඉන්න බෑ අක්කේ. අපි අපෙන් වෙන්න තියෙන යුතුකම් වගකීම් ඉටු කරහම හිතට හරි සැනසීමයි. මම නං කියන්නේ අයියයි අක්කයි හෙට අනිද්දම ගිහිල්ලා ඒ දරුවාගේ ගෙදරට කතා කරන්න. මනුජිත් ආපහු ලංකාවට එන කාලෙක ඒ දෙන්න පිළිවෙලක් කරන්න හරි දැනට ඒ ගෙදරට ඒ දරුවාව බාර දෙන්න. ඒත් ගෑණු දරුවෙක්ගේ ජීවිතයක්නේ.”

සාමා පැවසූයේ යළිත් ආලින්දයට පැමිණියාට පසුවය. ඒ වදන්වල ඔවුන් කෙරෙහි වූ කෝපයත් යාන්තමට ගෑවී තිබුණායැයි දහරාට දැණින.

“මමත් කිව්වේ ඔය ටිකම තමයි.”

එසේ පැවසූයේ සුමනසේකරය.

“අනිත් එක දැන් ඔය ඉන්න තැන ඒ දරුවට තියෙන ආරක්ෂාව කොහොම එකක්ද කියන්න දන්නේ නැහැනේ. ඒ දරුවා වුණත් ඒ විදිහේ ගමනක් එන්න ඇත්තේ මනුජිත් පුතාව විශ්වාස කරලා වෙන්න ඇති. ඒ ජීවිත ආයේ හරි ගස්සන එක අක්කලාගේ යුතුකමක්. දරුවෝ වැරදි කලා කියලා අපිට අතාරින්න බෑනේ. එයාලට හරි මාර්ගේ පෙන්නනවා මිසක්කා”

යළිත් වරක් ඈ එසේ පැවසූයේ මනුජිත්ගේ මවට වදනක්වත් කතා කරන්නට ඉඩ නොතබමින්ය. ඇගේ මුහුණ වෙනස් වී යනවා දහරා බලාගෙනය. 

“දරුවෙක්ට තාත්තා කෙනෙකුයි අම්මා කෙනෙකුයි දෙන්නම ඕනේ. අපෙන් වෙච්ච වැරදි වලට මේ අහිංසක කිරි සප්පයා මොනවා කරන්නද. මං නම් මේ වෙලාවේ කියන්නෙත්….”

“ශ්‍රියාලතා මම දැන් එක සැරයක් කිව්වා. අපි ආවේ මේ දරුවාගේ හිත රිද්දල යන්න නෙමෙයි නේ. මනුජිත් කොහේ හරි හොඳින් ඉන්නවා කියලා දැනගත්තහම අපේ හිතට වගේම මේ දරුවාගේ හිතටත් ඒක සැනසීමක් වෙන නිසා ඒක කියලා යන්න. අනිත් එක මේ දරුවා දැන් එයාගේ ජීවිතේ ගැන තීරණයක් අරගෙන ඇත්තේ. 

ශ්‍රියාලතා යළිත් බිම බලා ගත්තේ සැමියාගේ උස් හඬට පසුවය. රමාෂ් තමා ගැන බලාපොරොත්තුවෙන් සිටිනා වග ඔහු දැන සිටිනවා වන්නට ඇතැයි දහරා සිතුවාය. 

“අනේ අම්මේ මං ගැන වැරදියට හිතන්න එපා. රමාෂ් ගැන මගේ හිතේ තියෙන්නේ කලකිරීමක් විතරයි. මගේ ජීවිතේ මං එයාට එක අවස්ථාවක් නෙමෙයි අම්මේ ගොඩක් අවස්ථා දුන්නා. මම දරුවත් එක්ක තනි උනාට එයා තනි උනේ නැහැනේ අම්මේ. ගෑණු ළමයෙක්ට එහෙම උනාට පස්සේ විඳින්න වෙන නින්දා අපහාස දුක් වේදනා මං තරං හොඳට කවුරුවත් අඳුනන්නේ නැතුව ඇති. මොන වැරැද්ද උනත් මං ආපහු හැරිලා එද්දී මාව බාරගන්න මගේ අම්මා, ආච්චි, මාමා මේ වත්තේ මිනිස්සු හිටියට ඒ ගෑනු ළමයාගේ තත්වේ කොහොමද කියන්න අපි දන්නෙ නෑනේ අම්මේ. අනිත් එක මෙහෙ වගේ නෙමෙයි ගම්වල. මම කියන්නෙත් ආපහු මනුජිත් ළඟට එන්න ඕනේ මම නෙමෙයි  ඒ නංගි. තාත්තටයි අම්මටයි ලොකු පිනක් ඒ ගෑනු ළමයට අසරණ වෙන්න ඉඩ දෙන්න එපා.”

දහරා තමාගේ අදහස පැවසූයේ අන්තිමටමය. ශ්‍රියාලතා දිගු සුසුමක් මුදාහැර ලය සන්සුන් කර ගැනීමට උත්සහ දරනා අයුරු ඇයට දැණින. දිවා ආහාරයෙන් පසු ඈ දහරාව සිප වැළඳගෙන සමුගත්තේ දෑස් වල කඳුළක් තබාගෙනය. සිය වතාවකටත් වඩා ඈ කුඩා තෙනුල්ව සිප  ගත්තේ ඔහුව දමා යාමට ලෝභකමකින් සේය. 

“ඔයාව අපිටයි ඔයාගේ තාත්තටයි හැමෝටම නැති උනා පුතේ…”

අවසන ඈ තමාටම එසේ මුමුණා ගන්නා අයුරු දහරාට ඇසිණ. ඔවුන් පිළිබඳව ඒ සිත්හි දුකක් නූපන්නා නොවේ. එහෙත් ආපසු හැරී සියල්ලන්ගේම සිනහව උදුරා ගන්ට දහරාට සිතුනේ නැත. ඒ සියල්ලටම වඩා තමාවන් තවත් ගැහැනියක අසරණ කර දමන්නට ඇයට සිතුණේ නැත. 

                                         ***********

රමාෂ් වට්ස්ඇප් මාර්ගය ඔස්සේ ඒවා තිබූ සේයාරුව දහරා විවර කර බැලුවේ දරුවා නිදි කළාට පසුවය. ඒ “පුතුට කියමි” පොතේ පිට කවරයයි. සුදු පැහැ පසුබිමක රේඛා චිත්‍රයක්ව නිර්මාණය වී තිබුණේ මවක දරුවෙකුට කිරි දෙන ආකාරයයි. සැබවින්ම එය දහරා බලාපොරොත්තු වූවාටත් වඩා සාර්ථකව නිර්මාණය වී තිබිණ. පසු පිටෙහි වූයේ කුඩා පිරිමි දරුවෙකුගේ අතින් අල්ලා ගත් තරුණ මවක් පසුපස හැරී ගමන් කරන ආකාරයයි. ජංගම දුරකථනය තම පපුවට තුරුලු කරගත් දහරා සිය දෑස් වලට උනා ආ කඳුලකට ඔහේ ගලායන්නට ඉඩඩ දෙමින් තත්තර කිහිපයක් බලා සිටියාය. මේ යළි උපදින්නේ වළලා දමා තිබූ සිහිනය. 

සාමා කිරි වීදුරුවකුත් දෑතින් ගෙන කාමරයට ඇතුළු වූයේ එවේලෙහිය. දරුවාට මාස තුනක් ගෙවී තිබුණත් රීටා හෝ සාමා ඇගේ මේ සුදු කිරි කිරි වීදුරුව වරද්දන්නේ නැත. 

“දැන් එහෙම මං ගැනම හිත හිත කෑම හදන්න ඕන නෑ ආච්චි..ඕන දෙයක් කන්න පුළුවන්ලු..”

දහරා කිහිප වතාවක්ම එසේ පැවසුවත් අදටත් ඇගේ සතුට වන්නේ දහරාටත් දරුවාටත් වඩා ගුණදායක ආහාර වර්ග සකසා දීමයි.

“ඇයි පුතේ..ආපහු අර මනුස්සය ඇවිල්ලා ඔයාගේ ඔලුව අවුල් කරල ගියා නේද. සමහර මිනිස්සු අනිත් අය ගැන හිතන්න පටන් ගන්නේ තමන් නැත්තටම නැතිවුනාට පස්සේ. එහෙම නැත්තං තමන්ට කියලා කිසි කෙනෙක්ගෙ හව්හරණක් නැති උනාට පස්සේ. මනුජිත්ගේ තාත්තා කෙසේ වෙතත් ඒ අම්මව නං අදටත් මට පේන්නෙ මහා කපටි ගෑනියෙක් විදිහට. එයාට තිබුණා ඔයාට මනුජිත්ගේ වයිෆ් විදිහට නෙමෙයි දරුවෙක් ලැබෙන්න ඉන්න ගෑනියෙක් විදිහට හරි කියලා හිතලා අනුකම්පා කරන්න. මේ සිද්ධ වුණේ සිද්ධවෙන්න තියෙන හොඳම දේ. ඒ ගැන ආපස්සට හිත හිත දුක් වෙන්න එපා දරුවෝ..”

“අනේ නෑ අම්මේ මං ඒ ගැන හිතුවා නෙමෙයි. මේ සතුටු කඳුළු අම්මේ..මේ බලන්න කවදාවත් හැබෑ කරගන්න බැරි වෙයි කියලා මගේ හිතේ තිබුණු හීනයක් අද ඇත්තටම හැබෑවෙලා.”

දහරා ජංගම දුරකථනය සාමා වෙත පෑවේ ඒ කඳුළු අලුත් වද්දීය. සාමාගේ දෑසුත් විමතියෙන් විසල්ව යන්නට බෙහෝ වේලා ගත වූයේ නැත. 

“පුතේ මේ අර පොතේ කවරෙද?”

“ඔව් අම්මේ..රමාෂ් මැසේජ් එකක් එවලා තියෙනවා මව්වරුන්ගේ දිනය දවසේ මේ පොත ලෝන්චි කරන්න ඒ පබ්ලිකේෂන් එකෙන් බලා ගෙන ඉන්නවා කියලා.” 

“අනේ පුතේ….මගේ හිතේ තියෙන සතුට ගැන කියන්න වචන නෑ. ඔයාට වරදින්න විදිහක් නෑ පුතේ.”

මමත් දියණියත් ඔවුනොවුන් වැළඳගෙන තත්පර කිහිපයක් යනතුරුම කඳුළු සැලුවාය. ඒ සතුටේ කඳුළුය. බොහෝ ගැහැණුන් දැන සිටින්නේ දුකටත් සතුටටත් කඳුළුවලින් පිළිතුරු දෙන්නටය. 

දහරා රමාෂ්ට දුරකථන ඇමතුමක් ලබා ගත්තේ අම්මා කාමරයෙන් පිටව කියාට පසුවය. 

“දැන් අඬලා දොඩලා ඉවර වෙලාද මට ගත්තේ…”

ඔහු එසේ ඇසුවේ ඇයව කියෙව්වා සේය.

“කොහොමද දැනගත්තේ…ඔයා මෙහේට සීසීටීවී හයි කරලද මන්දා”

“ඔයා ගැන මම දන්නේ නැත්තං වෙන කවුද දහරා දන්නේ. මෙලහකට ඔයත් අඬලා ගෙදර ඉන්න ඔක්කොමත් අඬවලා තමයි ඇත්තේ.”

ඔහු එසේ පැවසූයේ උස් හඬින් සිනහසෙන අතරේය.

“ඒ අඬන්නේ දුකට නෙමෙයි සතුටට. ඇත්තමයි මට මේ සතුට දරාගන්න බෑ. මං දන් නෑ මම ජීවිතේ කරපු මොන පිනක් නිසාද කියලා මට ඔයාව මේ විදිහට ආපහු මුණ ගැහුනේ රමාෂ්. මේ බැඳීම මේ ආදරය මේ රැකවරණය ඒකට දෙන්න නමක් මම දන්නෙ නෑ.”

“අපි ඒකට නමක් දෙන්න ඕන දහරා. අපේ චූටි පුතා වෙනුවෙන් ඉක්මනින්ම..”

“අපේ චූටි පුතා වෙනුවෙන්…

“ඔව්..ඔයාගේ මගෙයි චූටි පුතා වෙනුවෙන්. මාව ඔයාට නොදැනුනා වගේ තවත් ඉන්න එපා දහරා. අපි විවෘතව කතා කරමු. මං ඔයාට ආද⁣රෙයි දහරා. අපි කාගෙවත් ජීවිත මොනම හේතුවක් නිසාවත් එක තැනක නතර වෙන්න ඕන නෑ. එක තැනක හිරවෙලා නතර වෙලා ඉන්නකල් අපිට මේ ජීවිතේ ලස්සන තැන් බලන්න ලැබෙන්නෙත් නෑ. මං කැමතියි ඔයාගේ අත අල්ලගන්න. අපි දෙන්නා හෙමින් හෙමින් මේ ජීවිත ගමනේ ඉස්සරහට යමු.”

“ඔයා එහෙම කියද්දි මට හරි ලෝභ හිතෙනවා රමාෂ්. එහෙම හීනයක් දකින්න මං කොච්චර බයද කියල ඔයාට හිතාගන්නවත් බැරිවෙයි. මට ඔයාව නැති කරගන්න බෑ. ඔයා හරි වටින මනුස්සයෙක්. ඒත්…”

“ඔව් මාව ඔයාට වටිනවා කියලා ඔයාට දැනෙන්න ඕනේ. ඔයාව මගේ ජීවිතයට ගොඩක් වටිනවා කියලා මට දැනෙන්න ඕනේ. අපිට පුළුවන් දහරැ සතුට හොයාගන්න…”

මුලින්ම දුරකථනය විසන්ධිවී ගියේ දහරාගේ පාර්ශවයෙන්ය. විශ්වාසය. මේ ආත්ම ගණනක ආදර කතාවකි. එසේ නොවීනම් මෙවන් හමුවීම් සිදුවන්නට විදිහක් නොවේ. විනාඩි කිහිපයක් පුතණුවන් තුරුලු කරගෙන උන් දහරා කුඩා මේසය අසල වූ පුටුව ඇද ගත්තේ මේ දිනවල ඇය ලියමින් සිටිනා කොතෙහි පිටු පෙරලාගෙනය. මධ්‍යම රාත්‍රියක් පසු වී හෝරා කිහිපයක් ගතව යනවා ඇයට දැනුනේ නැත. ඕ එක හුස්මට ‘සඳ දිය දහරා’ ලියමින් උන්නාය. 

(හෙටත් හමු වෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here