කලුවර රෑ සඳක් වගේ – 20

0
221

“උඹට ඔය මගුල කරගන්න කලින්ම මං කිව්වනෙ ඔය කලින් ගෑනි නම් මේ ඩිවෝස් නෙවෙයි මැරිලත් ඔය මිනිහගෙන් ගැලවෙන්නෙ නැති විත්තිය.උඹට ඉතින් ඒ කාලේ අපි කියන දේවල් අරහං නෙ. මතකද ඉස්සර උඹ කියනවා මනුසත් සර්ගෙ ආදරේ හරි මැචුවර්ඩ්, කැම්පස් එකේ ඉන්න ඔය ගස් අස්සෙ කිස් කරන කොල්ලො කෙල්ලො වගේ ලව් එකක් නෙවෙයි ඒක. තාත්තා කෙනෙක් වගේ ආදරයක් ලැබෙන්න පිං කරන්නෝන කියලා. ඒ කාලෙ අපි කියපුවා ඇහුවා නං අද උඹට ඔහොම සෙකන්ඩ් වෙන්න වෙන්නෙ නෑනෙ” කියල උෂාණි කියද්දිත් මං කරේ කැෆේ එකේ මේසෙ උඩ තිබිච්ච මගේ කොෆී එක හැඳි ගාන එක. ඇත්තටම උෂාණි කිව්ව වචන සිරාම සිරා හන්දා මට ඒකට දෙන්න උත්තරයක් තිබ්බෙ නෑ “ඔව් අනේ” කියනවා ඇරෙන්න. 

“කෝපි එක ගත්තෙ බොන්න මචෝ. හැඳි ගගා හිටියා කියලා වැඩක් වෙන්නෙ නෑනෙ. නිවෙනවා විතරයි අන්තිමේ නිවිලා හන්දා බොන්නත් බෑ, සල්ලි ගෙව්ව හන්දා අහක දාන්නත් බෑ වගේ සීන් එකක් තමයි වෙන්නෙ” 

“මගේ ජිවීතෙත් දැන් එහෙමනෙ”

“කොහොමද?”

“හිත රිදෙන හන්දා ඉඳලත් බෑ කසාද බැඳලා හන්දා අහක දාන්නත් බෑ” කියලා මං හිනා උනේ අනුකම්පං උපාදාය ලෙවල් එකකින් කියලා තේරිච්ච හන්දද මන්දා ආයෙ දෙයක් කියන්න කලින් උෂාණි එයාගේ මාචා එකෙන් උගුරු කීපයක් බීගෙන බීගෙන ගියේ.

“උඹ නිකන් කතාකරන්නෙ මේ අපි උඹට ඔය මංගල්ලෙ කරලා දුන්න විදියටනෙ”

“මං එහෙම කිව්වෙ නෑනෙ බං. මට වෙන කියන්න කෙනෙක් නැති හන්දා තමයි මං උඹට එන්න කියලා කිව්වේ. උඹටත් නිකන් මාව කරදරයක් වගේ පේනවා නම් ඒක කෙලින්ම මූණට කියපං මගේ” කියලා මං හැඳි ගගා උන්න කොෆී එක කෝප්පෙත් එක්කම චුට්ටක් තල්ලු කරපු හන්දා කෝප්පෙ හෙල්ලිච්ච පාර කොෆී ටිකක් මේසෙ උඩත් ඉහිරුණා.

“මේ ලිහිණි, උඹේ ඔය හදිස්සිය තියෙනවා නේද? අන්න ඒක තමයි උඹ දැන් ඔය විඳින ඔක්කෝම කරදර වලට මුල. හදිස්සිය හදිස්සිය, මනුසත් කාරයව බැඳගන්නත් පුදුමාකාර හදිස්සියක්නෙ උඹට තිබ්බෙ. දැන් ඉතින් ඒකට නැට්ට ගිනි අරගත්ත හනුමන්තා වගේ මාව පුච්චන්න හදලා වැඩක් නෑ. උඹට ඕව හිතන්න තිබ්බෙ මේ ඔක්කොම ජාති වෙන්න කලින්”

“එහෙම ඉතින් ඉස්සරහට වෙන දේවල් හිතන්න උඹ හිතන් ඉන්නෙ මට පරචිත්ත විජානන ඥාණෙ තියෙනවා කියලද? මනුසත් මෙහෙම මනුස්සයෙක් කියලා කවුද හිතුවෙ?”

“උඹට හිතන්න තිබ්බෙ මනුසත් කොයි ආකාරෙ මනුස්සයෙක්ද කියන එක නෙවෙයි. මනුසත් සර් කියන්නෙ උඹලා අපි වගේ එවුන්ට සෙට් වෙන ජාතියේ මනුස්සයෙක්ද කියන එක. මහ ලොකුවට වයස අදාල නෑ ආදරේට කියලා කල්පනා කරලා බලනවකො දැන් ඔයයි ඒ මනුස්සයයි අතරෙ තියෙන්නෙ ආදරයක්මද කියලා? නෑනෙ උඹ මහ ලොකුවට ආදරයක් ගැන කිව්වට ඇත්තටම හිතලා බලපංකො උඹ මනුසත්ව බැන්දෙ ගොඩ යන්න, මනුසත් සර් උඹව බැඳගත්තෙ එක්කෙනෙක් යද්දි ඇතිවෙච්ච පුරප්පාඩුව මකාගන්න නෙවිද කියලා’ උෂාණි කිව්වෙ ඇත්ත උනාට ඇත්තටම මං උන්නෙ ඒ වචන එයාකාරයෙන්ම පිළිගන්න කැමති උනේ නෑ. අනික ඒකි කිව්වට මං මනුසත්ව බැන්දෙ ගොඩ යන්න කියලා මං මනුසත්ට ආදරේ කරා. නැත්තෙ නෑ. මං පිස්සුවෙන් වගේ ආදරේ කරා. පස්සෙ පස්සෙ මගෙ ඒ ආදරේ ඉරි තලන්න හේතු උනේ මනුසත් දුර දිග හිතලා බලලා නොකරපු සමහර වැඩ නේද කියන එක මට අමතක කරන්න උනේ නෑ. ඒ හන්දම මට ඕන උනේ මගෙ හිතේ තියෙන තරහා උෂානි මත්තෙ පිට කරන්න. මං දැනන් හිටියා මං ගැහුවත් ඒකි මා එක්කල තරහ වෙන්නෙ නැතෙයි කියන එක.

“උඹ ඔය කියන කතන්දර වලට උඹේ කටට හෙණ ගහනවා” කියලා මං කිව්වෙ තරහට නෙවෙයි අසරණකමට කියලා දන්න හන්දද මන්දා උෂාණි කරෙ හීනියට හිනාවෙච්ච එක.

“මගේ කටට හෙණ ගහනවට වඩා අන්තයි බං උඹේ කරටියටම හෙණ ගහන එක නේද? අන්න ඒ හන්දයි කටට හෙණ ගහන්න කියල හරි මං උඹට ඇත්ත කියන්නෙ” කියලා උෂාණි කටවහගත්තෙ මං මොනවහරි කියාවි කියලා බලාපොරොත්තුවෙන් උනාට ඇත්තටම මට කියන්න දෙයක් තිබ්බෙ නෑ. ඒ හන්දා මං කරේ සද්ද නැතුව ඉන්න එක. ඉන්පස්සෙ මම මේසෙ උඩට වැටිච්ච කොෆි ටික ටිශු එකකින් පිහිදලා දැම්මා.

“කොච්චර උඹ උඹටම ඔප්පු කරගන්න හැදුවත් භානුකී කියන්නෙ මනුසත්ගෙ එක්ස් වයිෆ් කියලා අපි හැමෝම වගේම උඹත් හොඳටම දන්නවනෙ භානුකී කියන්නෙ එක්ස් වයිෆ් විතරක් නෙවෙයි ෆස්ට් වයිෆ් කියන එක. අනික බං භානුකී මනුසත්ගෙ එක්ස් හරි ෆස්ට් හරි වයිෆ් වෙලා උන්නා අවුරුදු විස්සක් විතර කාලයක්. එහෙම එකේ උඹ මේ දිව්‍ය අප්සරාවක් උනත් උඹ හැමදාකම මනුසත්ගෙ දෙවනි වයිෆ් වෙනවා ඇරෙන්න භානුකීව මනුසත්ව දන්න මිනිස්සුන්ගෙ ඔලුවෙන් ඩිලීට් කරලා දාන්න උඹට පුළුවන්කමක් නෑ. හැබැයි උඹට පුළුවන් දැන්වත් ඔලුව කල්පනා කරලා වැඩ කරන්න. ගන්න තීරණයක් හරියට හිතලා ගන්න. 

උඹ හිතනවද මේ අවුරුදු විසි ගානක් කසාද බැඳලා උන්න, උඹටත් වඩා අවුරුදු විස්සක් විසි පහක් විතර වැඩිමල් මනුස්සයො දෙන්නෙක් උඹේ ඔය කඳුලු ඉස්සරහා ඉටිපන්දමක් වගේ දියවෙලා වැක්කෙරෙයි කියලා. උන් පුකෙන් හිනාවෙනවා ඇති අපෝ අරකි මොකෙද්ද කියලා. උඹට අඬන්න කොච්චර ඕන උනත් ඕකුන් ඉස්සරහා අඬන්න තියාගන්න එපා. විශේෂෙන්ම අර ගෑනි ඉස්සරහා. ඒකිට හරි සන්තෝස ඇති උඹ අඬනවා දැක්කම. එහෙම අඬන්න උවමනාම නම් ඔය ගෙයි හතර මායිමෙන් එලියට ඇවිත් වෙන කොහෙට හරි ගිහිල්ල අඬපං”

“වෙන ගිහින් අඬන්න තැනක් නෑනෙ බං මට. මං මේ අද ආවෙත් නිකන් හොරෙන් වගේ. මනුසත් කැමතිම නෑනෙ මං එළියට යනවට. එයා කියන්නෙ මට ඔක්කොම ළඟටම ගෙනල්ලා දෙන එකේ මේ එලියට ගිහින් නිකන් රස්තියාදු වෙන්නෙ මොකටද කියලා” මම කිව්වෙ හරිම හෙමින්.

“ඉතින් උඹත් ඕකට එහෙයි කියලා නිකන් හිටියා නේද? රස්තියාදුව මොකක්ද කියලා තීරණය කරන්නෙ මනුසත් නෙවෙයි ලිහිණි, උඹ! බලපං දැන් උඹේ හැටි. උඹට එළියට එන්න වෙලාවක්වත් ඉඩක්වත් නෑ. හිතේ තියෙන දෙයක් කියන්න කෙනෙකුත් නෑ. උඹ ඉන්නෙ නිකන් මහ ලොකු මාලිගාවක හිර කරපු අත පය බැඳපු බෝනික්කෙක් වගේ. මනුසත් ඔක්කොම ගෙනල්ලා දෙන්නෙ උඹට ආදරේට නෙවෙයි බං, උඹව හීලෑ කරලා තියාගන්න. උඹ මනුසත්ගෙන් යැපෙන තාක්කල් උඹට ඒ මිනිහට සර් කිය කියා වඳින්න සිද්ධ වෙනවා.”

උෂාණි කතාව නතර කරලා මගේ දිහා බැලුවේ ඇස් දෙක හීනි කරලා. එයා කියන හැම වචනයක්ම මගේ පපුවට කටු අනිනවා වගේ මට දැනුණෙ. මම ආයෙත් සැරයක් මගේ මේසෙ උඩ ඉහිරිලා තිබිච්ච කෝපි පැල්ලම දිහා බැලුවා. ඒක දැන් වේලිලා, කැත පාටක් වෙලා. හරියට මං වගේ.

“මම අද ආවේත් මනුසත්ට හොරෙන්උෂා. එයා හිතන් ඇත්තෙ මං ගෙදෙට්ට වෙලා ඇති කියලා. මට බයයි බං… මට මාවම නැති වේගෙන යනවා වගේ මට දැනෙනවා. හැමදේම මනුසත්ගේ රෙපියුටේෂන් එක, හැමදේම මනුසත්ගේ පවුලේ ගෞරවය විදියට හිතලා තමයි මම දෙයක් කරන්නෝන. කොටින්ම අඳින පලඳින, කන බොන විදි ඔක්කොම මම කරන්නෝන “ආහ් මේකෙන් මනුසත්ට අවුලක් වේද?” කියලා හිතුවා. මම කොහේ හරි හිරවෙලා.”කියලා මම කිව්වේ ඇත්තටම මගේ හිතේ තිබ්බ අසරණකමට.

“ බය වෙලා හරියන්නේ නෑනෙ ලිහිණි. උඹ දැන්වත් ඔය කූඩුවෙන් එළියට ඔළුව දාලා බලන්න ඕනේ. නැත්නම් ඕකුන් උඹව සදහටම ඕක අස්සෙ හිරකරලා දාවි. මනුසත් කාරයාට කවදාවත් බෑ ඔය පරණ ගැනිව අමතක කරලා දාන්න. උඹටත් ඔය භානුකීද මොකීගෙද හෙවනැල්ලෙන් ගැලවෙන්න බැරි උනොත් උඹට වෙන්නේ හැමදාම ඔය ගෙදර දෙවැනියා වෙලා ඉන්න.”

උෂාණි තව මොනවා හරි කියන්න හැදුවත් එයාගේ බැල්ම එකපාරටම මගේ පිටිපස්සෙ උන්න කවුරු හරි දිහාවට මූව් වෙනවා මං දැක්කා. එයාගේ මූණේ මෙච්චර වෙලා තිබ්බ ලුක් එක නිකන් ගල් ගැහුණා වගේ මං දැක්කෙ. මට දැනුණා කවුරු හරි මගේ පිටිපස්සේ හිටගෙන ඉන්නවා කියලා.

කැෆේ එකේ ඒසී කරපු සීතල මැද්දෙත් මගේ නළලෙන් දාඩිය බිංදුවක් වැක්කෙරුණා.

 අපි දෙන්නගෙ ඒ කතාව ඉවර වුනේ මගේ පිටිපස්සෙ කවුරු හරි හිටගෙන ඉන්නවා කියලා දැනිච්ච හන්දා ඒ කවුද කියලා බලන්න මම පිටිපස්ස හැරිච්ච එකෙන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here