“දැන් ඉතින් උෂාණිට බණින්න එපා මට මෙහෙම එන්න කිව්ව කියලා හිතලා. ඒ ළමයා දැනන් උන්නෙ නෑ මම එනවා කියන එක, ඒ වගේම ඔයාලා මෙතනට එනවා කියන එක දැනගෙන මං ආවෙත් නෑ”
තිදස් එහෙම කියද්දිත් ඇත්තටම මං උන්නෙ ඇස් වලින් උෂාණිගෙන් අහන ගමන් “මොන රෙද්දකටද උඹ තිදස්ට මෙතනට එන්න කිව්වෙ” කියලා. සමහරවිට අවුරුදු ගාණක් කැම්පස් එකේදි මාව දැකලා තිබ්බ,මගෙ පස්සෙන් ආදරේ ඉල්ලගෙන ආව තිදස් ඒ බැල්ම අස්සෙ තියෙන්නෙ මම උෂාණිට කරන තරවටුවක් කියන එක තේරුම් ගන්න ඇති. එයා එහෙම කියන්න ඇත්තෙ ඒකයි කියලා හිතනවා ඇරෙන්න මට වෙන හිතන්න දෙයක් තිබ්බෙ නෑ.
ඒත් එක්කම මගේ ඇස් කොනෙන් මම තිදස් දිහා බැලුවා.
ඇත්තටම මට මගේ ඇස් අදහගන්න බැරි තරම් ලෙවල් එකකට තිදස් උන්නෙ වෙනස් වෙලා. මගේ මතකෙ තිබ්බේ හැමදාම ලෙක්චර්ස් වලට පරක්කු වෙලා එන, දාඩිය පෙරාගෙන බස් වල එල්ලිලා කැම්පස් ආපු, අවුල් වෙච්ච කොණ්ඩයක් තියෙන සාමාන්‍ය පෙනුමක් තියෙන කැම්පස් කොල්ලෙක්ව වෙච්ච තිදස්ව. ඒත් මගේ ඉස්සරහා දැන් හිටගෙන ඉන්නේ ඒ තිදස් නෙවෙයි. මීට වඩා දහස් වාරයක් ලස්සන, පිරිච්ච පිරිමියෙක්. “කවදාවත් මිනිහෙක් නම් වෙන එකක් නෑ” කියලා මං විසින් ඒ කාලේ මහ අවතක්සේරුවකින් බලපු මිනිහෙක් දැන් පිරිච්ච ලස්සන, ඕනම කෙල්ලෙක්ට අයිතිකරගන්න ආස හිතෙන, නැතිකරගන්න ලෝභ හිතෙන ජාතියේ පිරිමියෙක් වෙලා ඉද්දි මට මගෙ හිත අස්සෙන් ඉරිසියාවක්, අපරාදෙ කියලා හිතිච්ච හැඟීමක් දැනිච්ච එක වැරදි කියලා මං කියන්නෙ නෑ. ගෑනු එහෙම තමයි. ළඟ තියෙද්දි තඹක්ක කියපු දේවල් පස්සෙ රත්තරන් පාටට දකිද්දි හිත හොල්ලගන්නවා. කඩාගන්නවා.
එයා ඇඳලා හිටපු ලා නිල් පාට ඔෆිස් ෂර්ට් එකයි, පිළිවෙළට කපපු කොණ්ඩෙයි, හීනියට වවලා තිබ්බ රැවුලයි එක්ක තිදස්ගෙන් විහිදුණේ මම කවදාවත් දැකලා නැති විදියේ ආත්ම විශ්වාසයක්. මනුසත් ගාව තියෙන අර පණ්ඩිත, අනුන්ට පේන්න හදාගත්ත මැචුවර්ඩ් ගතිය නෙවෙයි, තිදස් ගාව තිබ්බා මං මනුසත් ගාව ඇති කියලා හිතාගෙන උන්න පිරිමිකමක්. මගෙ පපුව අමුතු විදියකට ගැහෙන්න හේතුවෙන්න ඇත්තෙ සමහරවිට ඒ පිරිමිකම වෙන්නැති. මම කසාද බැන්දේ මනුසත් වගේ සමාජයේ පිළිගත්ත, ස්ථාවර මනුස්සයෙක්ව වුණාට, අද මගේ ඉස්සරහා ඉන්න තිදස් මනුසත්ට වඩා දහස් වාරයක් වැදගත් පෙනුමක් තියෙන පිරිමියෙක් වෙලා ඉවරයි කියන එකත් ඒ පිරිමියා මගේ වෙන්න තිබ්බා නේද කියන එකත් මගෙ හිත මාරම විදියට රිද්දුවා.
“මොකෝ අඳුරන්නෙ නෑ වගේ බලං ඉන්නෙ?” කියලා තිදස් අහද්දි තමයි මට තේරුණේ මං ඕනවටත් වඩා වෙලාවක් එයා දිහා ඇස් ගෙඩි දෙක උලුප්ප ගෙන බලාගෙන ඉඳලා තියෙනවා කියන එක.
“අඳුරන්නෙ නැත්තෙ නෑ. හැබැයි මේ මගෙ ඉස්සරහා ඉන්න තිදස්ව මං මීට කළින් දැකලා නෑනෙ. අපි ඉතින් දැකලා තියෙන්නෙ කැම්පස් ආව අර හඩු කොල්ලවනෙ” කියලා උෂාණි කිව්වෙ මම ස්ටක් වෙලා ඉන්නවා කියලා ඒකිට තේරිච්ච හන්දා වෙන්නැති.
“අපි නං ඉතින් තාම ඒ කාලෙ ඉඳපු කොල්ලොම තමයි. හඩු පාට ගියාට ඉතින් දෙයියන්ගෙ පිහිටෙන් රස්සාවක් කරන හන්දා” කියලා එයා කියද්දිත් තිදස්ගෙ බැල්ම තිබ්බෙ මගේ මූණ උඩම නතර වෙලා. හරියට නිකන් මහ ලොකු ප්‍රශ්නෙකට, ප්‍රහෙලිකාවකට එයා උත්තර හොයනවා වගේ. එයා ඒ උත්තරේ හොයාගනීවි කියන බයට වගේ මම කරේ මගේ ඇස් දෙක එයාගෙ ඇස් දෙකෙන් අහකට ගත්ත එක.
“ඉතින් ලිහිණි… කොහොමද ඔයාට? දැක්ක කල්.”
තිදස් එහෙම ඇහුවේ හරිම සැහැල්ලුවෙන් වුණාට ඒ කටහඬේ තිබ්බ පිරිමිකම මගේ මුළු ඇඟම හිරිවට්ටලා දැම්මා.
“වරදක් නෑ තිදස්… හොඳින් ඉන්නවා.” මම කිව්වෙ ඇත්තටම ටිකක් අමාරුවෙන් වගේ හිනාවෙන ගමන්.
“හොඳින් ඉන්නවනම් හොඳයි. උෂාණි කිව්වා ඔයා දැන් මැඩම් කෙනෙක් වෙලා කියලා. අපිටත් ඉතින් සන්තෝසයි ඉතින්. කැම්පස් එකේ අපේ සූපර් ජූනියර් බැච් එකක කෙල්ලෙක්ට හරි ගියා කියලා” තිදස් කිව්වට එයාගෙ ඒ හිනාව ඇතුලෙ තිබ්බෙ මගේ පපුව හූරලා දාන මහ අමුතු බරක් කියන එක මට නොතේරුනා නෙවෙයි. තිදස්ගෙ පැත්තෙන් ඒ කතාව ඇහුවා නම් සමහරවිට “මං ආදරේ කරපු කෙල්ල වෙන මිනිහෙක්ට අයිති වෙලා තියෙද්දි මට දුක හිතෙන්නෙ නැද්ද?” කියන කතාවක් වගේ එකක් ඇහෙන්න ලොකු ඉඩක් තිබ්බත් මගේ පැත්තෙන් මට තිබ්බෙ වෙන ප්‍රශ්නයක්.
“ඇත්තටම ඔය තිදස් කිව්වා වගේ මට හරි ගිහින්ද?”
“හැබැයි උන්නට වඩා නම් ලිහිණි වෙනස් වෙලා වගේ” කියල තිදස් ආයෙ කියද්දි තමයි මං මේ ලෝකෙට ආවේ.
“ජීවිතේ කියන්නේම වෙනස් වීම් වලටනේ. ඉතින්… ඔයා…සොරි, අයියා දැන් මොනවද කරන්නේ?” මම කතාව වෙනස් කරන්න හැදුවෙ මං ගැන කතා කරන එක ඇත්තටම මටම වදයක් හන්දා..
“මම දැන් ස්මෝල් ස්කේල් ෆුඩ් එක්ස්පෝට් කම්පනි එකක එකක බ්‍රෑන්ඩ් මැනේජ්මන්ට් පැත්තේ වැඩ කරන්නේ. අමාරුවෙන් ගොඩ දාගත්ත ජීවිතයක් ලිහිණි. ඒ කාලේ වගේ නෙවෙයි, දැන් වගකීම් වැඩියි. හැබැයි මම තාමත් අර ඉස්සර හිටපු තිදස්ම තමයි. මිනිස්සුන්ට ඕන විදියට වෙස් මාරු කරන්නයි ජීවත් වෙන්නයි මට තාම පුරුදු වෙන්න බැරි වුණා.” කියලා තිදස් ආයෙම හිනාවෙද්දිත් මං කරේ මූණට හිනාවක් අරගෙන එන්නෝන කොහොමද කියලා කල්පනා කරන එක. මං උන්නෙ හිනාවෙන්න අමතක වෙච්ච මනුස්සයෙක් වගේ.
“සමහර වෙලාවට වෙස් මූණු දාගෙන ඉන්න එක තමයි නේද මේ සමාජෙ ජීවත්වෙන්න තියෙන ලේසිම විදිය වෙන්නෙ?” කියලා ආයෙ තිදස්ම කතා කරේ මමවත් උෂාණීවත් එයා කලින් කිව්ව දේට කිසිම රෙස්පොන්ස් එකක් නුදුන්න හන්දා වෙන්නැති.
“ඔයාලා සෑහෙන වෙලාවක ඉඳන්ද මෙතන? මං මේ කලබලයට වගේ ආවේ… ඔයාලගේ කතාවට බාධාවක් වුණාද දන්නෙත් නෑ.” තිදස් ඇහුවේ හරිම විනීතව.
“අනේ නෑ අපි ඇවිත් ගොඩක් වෙලා. ලිහිණිව හම්බුනේ මේ කාලාන්තරේකට පස්සෙනෙ”
“ඒ මොකෝ වයිෆ් කෙනෙක් උනාට පස්සෙ ලිහිණි දැන් බිසී වෙලාද?”
“හ්ම්ම්ම් බිසී බිසී” කියලා උෂාණි කිව්ව ටෝන් එකේම “මෙයාගෙ බිසි මන්දන්නෙ නැද්ද?” කියන විදියෙ අමුත්තක් තියෙන විත්තිය මට විතරක් නෙවි තිදස්ටත් තේරිච්ච හන්දමද මන්දා අපි දෙන්නම කරේ මාරුවෙන් මාරුවට උෂාණිගෙ මූණයි අපේ මූණවලුයි බලාගන්න එක. උෂාණි එහෙම කිව්වෙ ඇයි කියන මම දැනගෙන උන්නට තිදස් නොදන්නවා උනත් ඔහොම දේවල් කියවෙද්දි තිදස් උනත් සැක හිතාවි කියලා මං ඇත්තටම උන්නෙ බයෙන්.
“අනේ එහෙම බිසී එකක් නෑ අයියෙ. දන්නෙ නැද්ද ඉතින් ගේ අස් පස් කරන වැඩ උයන පිහන ඒවා එක්ක වගේම බබාලගෙ වැඩ එක්කත් මේ ටිකේ පොඩ්ඩක් බිසී”
“බබාලගෙ වැඩ?” කියලා තිදස් ඇස් දෙක පුංචි කරගෙන මං දිහාව බැලුවෙ මං කිව්ව දේ හන්දා එයා නිකන් අන්දුන් කුන්දුන් වෙච්ච හන්දා වගේ.
“ඔව් ඔව්ව් මගෙ නෙවෙයි, මගෙ තමයි. ඒ කිව්වෙ මේ මනුසත් ගෙ….මේ මනුසත් සර්ගෙ දරුවො. ඒ එක්කෙනෙක් පිටරට යුනි එකකට යනවා. ඒකයි. මේ ටිකේ ඒ වැඩ හන්දා බිසී. දන්නෙ නැද්ද?” කියලා වචන පටලව පටලව කියද්දිත් තිදස් උන්නෙ අර ඇස් පුංචි කරගෙන දිගටම මං දිහාව බලාගෙන.
“ගෙදෙට්ටම වෙලා ඉන්න කම්මැලි නැද්ද?”
“වෙන ඉතින් කරන්න දෙයක් නෑනෙ”
“ඉතින් ස්ටඩි කරන්න පුලුවන් නෙ”
“කම්මැලි අප්පා දැන් ආයෙ පටන් ගන්න. නතර කරලා ආයෙ ස්ටඩීස් පටන් ගන්න කම්මැලි”
“එහෙනං ජොබ් එකක් කරන්න බැරිය. සර්ට සල්ලි නැතුවට නෙවි මං කියන්නෙ හොඳයිනෙ කෙල්ලෙක්ට රස්සාවක් තියෙන එක”
“ඩිග්‍රි එක කම්ප්ලීට් කරගත්තෙ නැති අපිට කවුද අනේ රස්සා දෙන්නෙ? වේල ඉල්ලා පට්ටධාරි තමයි” කියලා මම ධනුශ්ගෙ ප්‍රසිද්ධ ෆිල්ම් එකක කෑල්ලක් කිව්වෙ බොරු හිනාවක් මූණෙ අලවගෙන උනාට තිදස් උන්නෙ ඒ හිනාවට එක්කහු නොවී එයාගෙ ඇස් තාම පුංචි කරගෙන.
“රස්සාවක් හම්බුනොත් කරනවද?” කියලා තිදස් ඇහුවට මට එයාට දෙන්න තිබ්බෙ උත්තරයක් නෙවි ප්‍රශ්නයක්. ඒකත් මගෙන්ම අහගන්න ප්‍රශ්නයක්.
“මනුසත් මට රස්සාවකට යන්න දේවිද?”


