” අම්මා ඇයි මට නිකමටවත් මේ ගැන නොකිව්වේ? මං මන්දාකිණි ව කොච්චර හෙව්වාද අම්මා? මං එයා ගැන කොච්චර වද වුනාද ? ”
නිදන කාමරයෙන් පිට වන්නට සැරසුණු කෛලාශ් නැවත හැරී පැමිණ කණ්නාඩි මේසය මත තබා තිබුණු ඇන්ඩ්‍රියා ගේ අත් බෑගය අසල නැවතුණේ අඩක් විවෘත කර තිබුණු එයින් නවන ලද කොළ කිහිපයක් පිටතට පැමිණ තිබූ බැවිනි. කිසි දිනක වෙනත් අයකුට අයත් දෙයක් පිරික්සා බැලීමේ පුරුද්දක් නොතිබුණද කෛලාශ් ඒ කොළ කිහිපය අතට ගත්තේ බැලූ බැල්මට ඒවා බෙහෙත් වට්ටෝරු සහිත ලියවිලි කිහිපයක් බව පෙනෙන්නට තිබුණු නිසාය.
නවා තිබුණු කුඩා කොල කිහිපය දිග හැර බැලූ කෛලාශ් හට දැක ගැනීමට ලැබුණේ ඔහු බලාපොරොත්තු වූ පරිදිම බෙහෙත් වට්ටෝරු කිහිපයකි. එකී ලියකියවිලි වල ඉහල කොටසේ රෝගියාගේ නම සඳහන් කර තිබුණු තැන වෙත කෛලාශ් අවධානය යොමු කළේ අනතුරුවය.
” ලියානා එදිරිසිංහ “
කෛලාශ් හට දැනුනේ හදවත මොහොතකට නතර වී යන සෙයකි. තම අත තිබෙන බෙහෙත් වට්ටෝරු කිහිපයම මන්දාකිණි හට අයත් ඒවාය. ඒවායේ සඳහන්ව ඇත්තේ ද අද දිනය සහ පසුගිය දින කිහිපයකි. වෙව්ලන දෑත් වලින් බෙහෙත් වට්ටෝරු සහිත ලියවිලි කිහිපය ගෙන කෛලාශ් යහන මතින් වාඩි වී ගල් ගැසී මොහොතක් බලා උන්නේ කිසිවක් අදහාගත නොහැකිවය.
ඇන්ඩ්‍රියා නාන කාමරයෙන් පිටතට පැමිණියේ විනාඩි දහයකට පමණ පසුවය. යහන මත වාඩි වී ගල් ගැසී බලා හිඳින පුතු දුටු විට ඇන්ඩ්‍රියා එතනම නතර වූවාය. කෛලාශ් ගේ දෑත මත තිබෙන්නේ මොනවාදැයි දුටු විට ඇන්ඩ්‍රියා හට තව දුරටත් එසේ නතර වී බලා සිටීම කළ නොහැකි විය.
” පුතා ”
කෛලාශ් තිගැස්සී ඇන්ඩ්‍රියා දෙස බැලුවේ කිසිවක් කියා ගත නොහැකිවය. සෙමෙන් පියවර තබමින් කෛලාශ් අසලට පැමිණි ඇන්ඩ්‍රියා යහන මතින් වාඩි වුයේ සන්සුන්වය.
” ඒ කියන්නේ අම්මා මන්දාකිණි ඉන්න තැන දන්නවා? ”
කෛලාශ් ඇන්ඩ්‍රියා දෙසට හැරුනේ එසේ විමසමිනි.
” අම්මා ඇයි මට නිකමටවත් මේ ගැන නොකිව්වේ? මං මන්දාකිණි ව කොච්චර හෙව්වාද අම්මා? මං එයා ගැන කොච්චර වද වුනාද ? ”
” මොනම ප්‍රශ්නකදි වත් අපි කලබල වෙන්න හොඳ නෑ පුතා. මන්දාකිණි මේ ගමන තනියම ගියා නං, මං එයාට ඒ වෙලාවේ උදව් නොකළා නම්, මං එයා එක්ක නොහිටියා නං, ඔයාට ආයේ කවදාවත්ම එයාව ඇස් දෙකට දකින්න හම්බ වෙන්නේ නැහැ. මට ඕන වුණේ නැහැ ඔයාට ආපහු එහෙම වෙනව දකින්න “
ඇන්ඩ්‍රියා පවසන කිසිවක් තේරුම් ගැනීමට නොහැකිව, අගක් මුලක් ගලපා ගත නොහැකිව කෛලාශ් විමතියෙන් බලා උන්නේය.
” මේක උනේ කොහොමද අම්මා? මට මේ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ ”
ඇන්ඩ්‍රියා දිග හුස්මක් ගත්තාය. අනතුරුව මන්දාකිණි තමා අමතා හඬා වැටුනු ඒ රාත්‍රිය සිහිපත් කලාය.
” අම්මා ”
” මන්දාකිණි ? ඔයාට කොහොමද පුතේ ? ”
රෝහලෙන් නික්මී තමා නිවසට පැමිණි බවත්, මින් ඉදිරියට තමා ජීවත් විය යුත්තේ දෙමව්පියන් ගේ අණසකට යටත්ව බවත් මන්දාකිණි හඬා වැටෙමින් පැවසූ ආකාරය ඇන්ඩ්‍රියා තම පුතු වෙත කියා සිටියේ හදවතේ සඟවා ගත් මව් සෙනෙහස මුසු වේදනාවෙනි.
” එදා තාත්තා ගෙදර හිටියේ නෑ පුතා. මට ඒ නිසා හරිම පොඩි වෙලාවකින් මේනකා ආන්ටිගේ ගෙදර මන්දාකිණි ව නවත්තන්න ලෑස්ති කර ගන්න පුළුවන් වුණා.එහෙම නොවෙන්න මන්දාකිණි ට ඕන උනේ ඔළුව හැරුණ අතක යන්න.එයා ඔෆිස් එකෙ වැඩ කෙරෙන විදිය පවා දවස් ගානක් තිස්සේ ප්ලෑන් කරලා තිබුනේ. එයා මට කතා කරේ ඔයාගේ හිත හදන්න කියන්න. ඒක කරනවට වැඩිය මන්දාකිණි ව කොහේ හරි පරිස්සමට තියන එක ලේසි නිසා මං ඒක කරන්න හිත හදා ගත්තේ. මේක කොයිවෙලේ හරි පිට කෙනෙක් දැන ගත්තොත් මට ප්‍රශ්නයක් වෙනවා කියලා දැන දැනමයි මං ඒ රිස්ක් එක ගත්තේ ”
” අනේ අම්මා ”
කෛලාශ් එකවරම ඇන්ඩ්‍රියාව වැළඳ ගත්තේ තම මව කෙරෙහි වූ දරා ගත නොහැකි සෙනෙහසිනි. තමා ආදරය කරන තරුණිය වෙනුවෙන් , ඇයව ආරක්ෂා කිරීම වෙනුවෙන් තම ජීවිතය පවා පරදුවට තබමින් තම මව ගෙන තිබෙන අවදානම කෛලාශ් ව යළි යළිත් පුදුමයට පත් කළේය.
” මන්දාකිණි ව එයාගේ අම්මගෙනුයි තාත්තගෙනුයි මෙහෙම වෙන් කරන එක පවක් තමයි පුතා. ඒත් එහෙම කියලා ඒ අම්මයි තාත්තයි මේ දරුවට දෙන කරදර වල හැටියට ඒ දරුවට එයා ගේ ජීවිතේට හානියක් කර ගන්න හිතුනොත් වැඩක් තියෙනවද ? “
” මන්දාකිණි හොඳින් ඉන්නව නේද අම්මා ? ”
කෛලාශ් ඇන්ඩ්‍රියා වෙතින් මෑත් වී ඇසුවේය. මන්දාකිණි පිළිබඳව හෝඩුවාවක් හෝ නැතිව ගෙවී ගිය අතිශය පීඩනකාරී බව නිමා කරමින් කෛලාශ් තුළ ඇති වෙමින් තිබුණේ තරමක සැනසීමකි.
” මේනකා ආන්ටි එයාව පරිස්සමෙන් බලා ගන්නවා. මන්දාකිණි ට hospital එකෙන් ක්ලිනික් එන්න කියලා තිබ්බට එහෙට ගියොත් මන්දාකිණි ව අහු වෙන්න පුලුවන් නිසා අපි එයාව වෙන ඩොක්ටර් කෙනෙක් ළඟට ගෙනිච්චා. එයාව ඔහොම තියාගන්න එක අපිට ලේසි වුණේ නෑ පුතා ”
කෛලාශ් කිව යුත්තේ මොනවා දැයි සිතමින් බලා උන්නේ ඇන්ඩ්‍රියා ජීව විද්‍යාත්මකව තම මව නොවුනද තම සතුට සහ සැනසීම වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට පසුබට නොවීම පිළිබඳව ඇය කෙරෙහි කෘතඥ වෙමිනි.
” ඊට පස්සේ මොකද වෙන්නේ අම්මා ? “
” මන්දාකිණි දැනට පරිස්සම්. ඒත් අපිට එහෙමම හිතන්නත් බෑ පුතා. එයාගේ ගෙදර අයටයි අර ලවන් කියන ළමයටයි එයාව හොයා ගන්න එක මහලොකු දෙයක් නෙමෙයි කියලා ඔයා දන්නවනේ. අනික, එයාට හැමදාම ඔහොම හැංගිලා ඉන්න බැහැ. ඒ නිසා මේකට ඉක්මනට විසඳුමක් හොයා ගන්න ඕනේ.සේරටම කලින් මේ ළමයව හරියට සනීප කරගෙන ඉන්නත් ඕනේ “
” ඔයා නොහිටින්න මට මන්දාකිණි ව හැමදාටම නැති වෙලා අම්මා. ඔයා හරියට මගේ ජීවිතේ බේර ගන්න එන ඒන්ජල් කෙනෙක් වගේ. පුංචි කාලෙ ඉඳලම ඔයා මං වෙනුවෙන් මොනවද නොකළේ. මං කොහොමද අම්මා ඔයාට මේ ණය ගෙවන්නේ ? මං මොනවද කරන්න ඕනේ? “
කෛලාශ් දෑස් අගට ඉනූ කඳුළු පිසදා ගත්තේය.මෑතක සිට ඔහු ඕනෑවටත් වඩා සංවේදී වන බව ඇන්ඩ්‍රියා සිතුවේ ශෝකයෙනි. කුඩා කල සිටම සංවේදී දරුවෙකු වූ කෛලාශ් කාලයත් සමග වෙනස් වුවද නැවතත් ඒ ආකාරයෙන් සංවේදී වෙමින් හිඳින්නේ පසුගිය සමයේ සිට ජීවිතයට සිදු වෙමින් පවතින දේවල් හේතුවෙන් බව ඇන්ඩ්‍රියා හට තේරුම් ගැනීමට අපහසු වූයේ නැත.
” දරුවෙක් වෙනුවෙන් අම්ම කෙනෙකුට කරන්න බැරි දෙයක් නෑ පුතා. මං මන්දාකිණි වෙනුවෙන් මේ දේ කරේ ඔයා එයාට ආදරේ කරන නිසා නෙමෙයි. ඒත් දරුවෙක් නිසා. අපිට එයාට උදව් කරන්න පුළුවන් කම තියෙද්දිත් එහෙම නොකර,එයා ගේ ජීවිතේට මොනවා හරි උනොත් ඒ පසුතැවිල්ල අපි හැමෝටම ජීවිත කාලෙටම තියෙයි.මං හිතන්නේ ලොකු රිස්ක් එකක් අරගෙන හරි මම කළේ තව කාගේ හරි දරුවෙකු ගේ ජීවිතේ බේරපු එක. මොකද එදා රෑ මට කතා කරනකොට මන්දාකිණි හිටියේ මේ ප්‍රශ්න වලින් ගැලවෙන්න ඕනෙම දෙයක් කරන්න පුළුවන් තැනක “
නිදන කාමරයේ දොර අසල සිට එරික් මේ කතා බහ අසා උන්නේ ඇන්ඩ්‍රියා කෙරෙහි අසීමිත සෙනෙහසිනි. විවාහ වී කාලයක් ගත වූ පසුව දරුඵල නොමැති වීම හේතුවෙන් දන්නා හඳුනන සියලු දෙනාගෙන් අපහාස විඳි ගැහැණිය තුළ ඇති මව්වත් ගුණය එරික් ගේ දෑස් වලට කඳුළු එකතු කර තිබිණි. ඇය කෛලාශ් වෙනුවෙන් මේ තරම් කැපකිරීමක් කිරීමට දෙවරක් නොසිතනවා නම් තම කුසින් වැදූ දරුවෙකු වෙනුවෙන් ජීවිතය වුවද දන් දීමට දෙවරක් නොසිතනු ඇතැයි සිතමින් එරික් නිදන කාමරය තුළට ඇතුළු වූයේය.
” ඇන්ඩ්‍රියා “


