කලුවර රෑ සඳක් වගේ – 23

0
201

පහුවදා උදේ ඇස් අරිද්දිත් මගේ හිතේ තිබුණේ මහ අමුතුම හිරිගතියක්.

 මම හිතන්නේ තමන් වටේට දාලා තිබ්බ තහංචි ඔක්කොම බිඳලා, අර එක්ටැම්ගෙයින් පැනලා යන්න හදන රපුන්සල්ටත් දැනෙන්න ඇත්තේ මට අද දැනෙන මේ වගේ හැඟීමක් වෙන්න ඇති. ගෑනුන්ට නිදහස කියන එක මෙච්චර අමාරුවෙන් දිනාගන්න ඕන දෙයක්ද කියලා හිතුණාම නම් මට ඇත්තටම හිතුනා “ඇයි මං පිරිමියෙක් වෙලා ඉපදුණේ නැත්තෙ?” කියලා.

මම ඇඳෙන් බැස්සේ මනුසත් ඇහැරෙන්නත් කලින්. කුස්සියට ගිහින් ලිප පත්තු කරද්දීත් මං කල්පනා කරේ මේ මගේ ජීවිතේ දැන් වෙන දේවල් වෙන්නෙ මට ඕන විදියට උනත් මං බලාපොරොත්තු වෙච්ච විදියට නෙවෙයි නේද කියලා. මම ඉක්මනට අල තෙල් දාලා, පරිප්පු උයලා, චිකන් එක්ක පොඩි එළවළු බතක් හැදුවා. මනුසත්ටයි මටයි දෙන්නටම ඔෆිස් එකට ගෙනියන්න බත් පෙට්ටි දෙක ලෑස්ති කරා. උදේට කන්න තම්බපු අල ටිකක් පොඩි කරලා, ඒකට ලූණු, මිරිස්, තක්කාලි ටිකක් දාලා මම පේස්ට් එකක් හැදුවා. ඒකෙන් සැන්ඩ්විච් ටිකක් හදලා මේසෙන් තියද්දී තමයි ඇහැරිච්ච මනුසත් කාමරෙන් එළියට ආවෙ.

ඊයේ රෑ තිබ්බ අර රකුසු පෙනුම අද මිනිහගේ මූණේ ගෑවිලාවත් තිබුණේ නෑ. ඒත් මනුසත් කියන්නෙ කවරෙන් නෙවෙයි පොතේ පලවෙනි පිටු ටික කියවලවත් තේරුං ගන්න ජජ් කරන්න පුලුවන් මිනිහෙක් නෙවෙයි කියන එක මේ වෙද්දි තේරුං ගිහින් උන්න හන්දා මං බලාපොරොත්තුවෙන් උන්නෙ මනුසත් දැන් ආයෙ මේ ගැන කතාවක් පටන් ගනීවි කියලා.

“ලිහිණි… ඉඳගන්නකෝ පොඩ්ඩක්. මං ඊයෙ ඔයාට කතා කරපු විදිය වැරදි. මට උනත් ඒක හිතුනෙ ආයෙ ඒ ගැන කල්පනා කරද්දි”

මනුසත් කිව්වෙ හරිම අහිංසක විදියට. එයා සැන්ඩ්විච් එක පැත්තකින් තියලා මගේ උරහිස් දෙක උඩින් එයාගෙ අත් තියලා මාව එයාගෙ පැත්තට හරවාගත්තා.

“බලන්නකෝ… ඔයාට මේ සැපට ගෙදරට වෙලා ඉන්න පුළුවන්කම තියෙද්දී මොකටද මේ පාරවල් ගානේ රස්තියාදු වෙන්නේ? මම දන්නවා ඊයේ මම ටිකක් සැර වුණා කියලා. ඒ මගේ තියෙන ආදරේටනේ. ඔයා දන්නවනේ මම කොච්චර ඔයාට කෙයාර් කරනවද කියලා. මට බෑ මගේ වයිෆ් සාමාන්‍ය ඔෆිස් එකක කාට හරි යට වෙලා වැඩ කරනවා බලන්න. ඒක මට දරාගන්න අමාරුයි ලිහිණි. අනික ඔයා හොඳටම දන්නවනෙ ලිහිණි හරි හැටි කොලිෆිකේශන්ස් නැතුව ඔය ජොබ් වලට ගියාම අන්තිමේ ඉන්ක්‍රිමන්ට් ප්‍රමෝශන් එහෙම ගන්න වෙන්නෙ බොස්ලා ලඟ දෙකට නැවිලා කියන එක. ඔයා එහෙම කාටවත් සෙකන්ඩ් වෙන්නෝන නෑනෙ මේ ගෙදෙට්ට වෙලා ඉඳියා නම්. අනික මිනිස්සු උනත් මොන මොන කතා කියාවිද එහෙම උනාම”

“මට කොලිෆිකේශන්ස් නැති කෙනෙක් වෙන්න උනේ මනුසත් ඔයා මේ මැරේජ් එකෙන් පස්සෙ මට යුනිවසිටි යන්න එපා කිව්ව හන්දනෙ. එතනදි ඔයාට ප්‍රශ්නෙ උනේ මම ඔයාගෙ වයිෆ් වෙලා යුනි එන එක. ඔයා වෙනුවෙන් මං මගේ ඉගෙනීමත් කැප කරා. දැන් එහෙම එකේ මං මේ ජොබ් එකකට යන එක නතර කරන්න හිතන්න එපා ප්ලීස්. මටත් කියලා ජීවිතයක් තියෙන්නෝනනෙ”

“ඉතින් ඔයාට මම ජීවිතයක් හදලා දීලා තියෙනවනෙ ලිහිණි. කොච්චර ලස්සන ජීවිතයක්ද මං මේ ඔයාට දීලා තියෙන්නෙ. ඔයාගෙ වයසෙ වෙන එක කෙල්ලෙක්ට හම්බෙනවද මෙහෙම ලයිෆ් එකක්? ඔයාගෙ වයසෙ අනිත් ළමයි ජීවිතේ ගොඩ එන්න ට්‍රයි කරද්දි ඔයා දැනටම ගොඩ ඇවිත්”

“ඔව් ඔයාගෙ පිහිටෙන් නෙ”

“ඉතින් ළමයි ගෑනියෙක් හස්බන්ඩ්ගෙ පිහිටෙන් ගොඩ එන එකේ වරද මොකද්ද?”

“වරද තමයි මනුසත් ඔයාගෙ අම්මලා, මන්දාරා, භානුකී එහෙම ඒක දකින්නෙ මාව නිකන් ගෝල්ඩ් ඩිගර් කෙනෙක් කරලා වගේ කියන එක.මට ඔයාගෙ එක්ස්ගෙන්වත් දරුවන්ගෙන්වත් කතා අහන්නවත් එයාලගෙ ඇස් ඉස්සරහා නිකන් කුණු ගොඩට වැටිච්ච ගෑනියෙක් වෙන්නවත් බෑ මනුසත්, භානුකීලා, මන්දාරලා, කොටින්ම ඔයාගෙ අම්මා පවා මට වචනෙන් කරන වෙනස්කං ඔයාට නොපෙනුනාට, එහෙම නැත්තම් ඔයා නොදැක්කා වගේ උන්නට මට එහෙම කරන්න බැ. අපි ගංවල හැදිච්ච දුප්පත් ඈයො බව ඇත්ත හැබැයි අපිටත් ආත්ම ගරුත්වයක් කියලා දෙයක් තියෙනවා. ඒ හන්දා කරුණාකරලා ඔයා ආයෙ මට බටර් ගාලා ගෙදර තියාගන්න හිතන්න එපා.

මනුසත්, මම මේ ගැන ඊයෙත් කිව්වා. මට ඕන මගේම කියලා දෙයක් කරන්න. මම මේ ජොබ් එකට යන්න තීරණය කරලා ඉවරයි.” කියලා මම මනුසත්ට කිව්වෙ හරිම සන්සුන්ව.

“ඔය හැමදේම තියෙන්නෙ ඔයාගෙ ඔලුවෙ ලිහිණි. අම්මලා භානුකීලා කවදාවත් ඔයා ගැන එහෙම හිතන්නෙ නෑ. අම්මා මොනවා හිතුවත් භානුකී එහෙම හිතන්නෙ නැ. එහෙම ඔයාට ඉරිසියා කරන්නෙ මොකටද එයා දැන් ගෙට් බැක් වෙලා ඉද්දි එයාගෙ පරණ බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක? අනික එයාලා මොනවා කිව්වත් කරත් ඔයා දැන් මාව කසාද බැඳලා ඉන්නෙ මාව. මේ හැමදේම දැන් ඔයාගෙ. මම ඔයාගේ හැමදේම බලනවනේ. මේ සැප අතෑරලා බස් වල එල්ලිලා මේ පොඩි තුට්ටු දෙකේ රස්සාවකට යන්න තරම් මොන අඩුවක්ද ඔයාට තියෙන්නේ? මිනිස්සු මොනවා හිතයිද ලිහිණි? මම ප්‍රොෆෙසර් කෙනෙක් වෙලත් මගේ වයිෆ්ට රස්සාවක් කරන්න වුණා කිව්වම මගේ තත්ත්වෙ මොකක්ද?”

මනුසත් මගේ අත් දෙක තද කරලා අල්ලගත්තා. එයාගේ ඇස් වල තිබුණේ මාව පාලනය කරන්න හදන අමුතුම බැගෑපත් බවක්. හැබැයි මං උන්නෙ ඒකට ආය වතාවක් රැවටෙන අදහසක නම් නෙවෙයි.

“මිනිස්සු හිතන දේ නෙවෙයි මට වැදගත්. මට වැදගත් මම හිතන දේ. ඔයා මට කන්න බොන්න දෙනවා තමයි. හැබැයි ඒ හැමදේම කරන්නේ මාව ඔයාට ඕන විදියට තියාගන්නෝන හන්දා නෙවෙයිද? ඔයාගෙ වයිෆ් කියන එක ඇරෙන්න මට වෙන කිසිම කෙනෙක් වෙන්න බැරිද? මට වෙන කිසිම වටිනකමක් නැද්ද? මට ඒක දැන් ඇති වෙලා මනුසත්. මම අද ජොබ් එකට යනවා. ඒකේ ආයේ වෙනසක් නෑ. ප්ලීස් මට බල කරන්නෙපා ගෙදර ඉන්න කියල”

මම එහෙම කියලා මගේ අත් දෙක එයාගෙන් මුදාගත්තා. මෙච්චර වෙලා මනුසත් කරේ තනිම තනි ප්‍රෝඩාවක් කියන එක මට තේරුණේ එයාගෙ ඒ ඊළඟ වචන එක්ක.

“හරි! ඔච්චරම උවමනා නම් ඔය රස්සාවට යන්න තමුන් ඕන රෙද්දක් කරගන්නවා. හැබැයි එක දෙයක් මතක තියාගන්නවා. මේ කිසිම දේකට මම නිකන් තමුන්ට උදව් කරාවි කියලා හිතන්නෙපා. අඩුම ඔයා මගෙන් නම් ඔය රස්සාවකට යන්න ලිෆ්ට් එකක්  තරමෙ දෙයක්වත් බලාපොරොත්තු වෙන්න එපා. තමුන්ට ඕන ඕන විදියට ඕන ඕන දේවල් කරන්න ඉඩ දීලා, එක එක තුට්ටු දෙකේ ඔෆිස් ගාවට ගිහින් බස්සලා මගේ තත්ත්වය නැති කරගන්න මං ලෑස්ති නෑ. තමුන්ට ඕන පාරවල් ගානේ රස්තියාදු වෙන්න නම්, ඒවට ක්‍රම සහ විදිත් තමුන්ව හොයාගන්නවා”

මනුසත් කෑගැහුවේ මගේ මූණටම ඇඟිල්ල දික් කරලා. මම උන්නේ හුස්ම ගන්නත් අමතක වෙලා වගේ. හැබැයි මං ඒ බය එළියට පෙන්නුවෙ නෑ. එහෙම පෙන්නුවොත් මේ අම්මලා පුතාලා පලවෙනි ගෑනු උන්ගෙ ළමයි ඔක්කොම එක්කහු වෙලා මාව මරං කන්න හරි, මාව මේ ගේ අස්සෙම හිරකරන්න හරි දෙපාරක් හිතන්නෙ නැති බව මම දැනගෙන උන්නා.

“කිසි අවුලක් නෑ මනුසත්… මම බස් එකේ යන්නම්. බස් වල යන්නේත් මිනිස්සුනේ.” මම මගේ බෑග් එක අතට ගත්තෙ එහෙම කියලා ගෙයින් පිටවෙන්න උනාට මනුසත් උන්නෙ මට ලේසියෙන් එතනින් ගැලවෙන්න ඉඩ දෙන ප්ලෑන් එකක නෙවෙයි.

“තමුන්ට ඇත්තටම මං ගැන වගක්වත් නැද්ද? ඔච්චර උඩ දාගෙන ඔය රස්සාවට යන්න හදන්නෙ තමුන්ට නිකන් මේ රජකම හම්බෙනවා කියලා හිතාගෙනද? තමුන් හිතාගෙන ඉන්නේ බස් එකේ ගිහින් මට තව ලැජ්ජ කරන්නද? හෙට අනිද්දා මගේ ස්ටුඩන්ට් කෙනෙක් හරි මාව දන්න කෙනෙක් හරි දැක්කොත් මගේ වයිෆ් බස් එකේ එල්ලිලා රස්සාවට යනවා කියලා මට පාරේ බැහැලා යන්න පුළුවන්ද? තමුසෙ ඕනෑකමින්මයි මට මේ ලැජ්ජා කරන්නේ. මේ කරන ඒවයි බරපතලකම තේරෙන්නේ නැද්ද තමුන්ට?”

මනුසත් ඇහුවෙ දත් මිටි කන ගමන්. නාකි පිරිමින්ට තරහා ගියාම කොච්චර කැතද කියලා මට හිතුනෙ මිනිහගෙ මූන එවෙලෙ දකිද්දි.

“ඉතින් මනුසත් ඔයානේ දැන් කිව්වේ මාව මගෙ ඔෆිස් එක ළඟින් ඩ්‍රොප් කරන්න බෑ කියලා. දැන් බස් එකේ යනවා කිව්වමත් ඔයාට ප්‍රශ්නයක්. එහෙනම් ඉතින් අකමැත්තෙන් හරි මාව ඔයාගේ කාර් එකේම අරන් යන්න වෙනවා නේද? මගේ වයිෆ් බස් එකේ යනවා කියන එකට වඩා, මාව බස්සලා යන එක ලේසියිනේ. ඔයාගෙ නම්බුවත් බේරෙනවනෙ එතකොට නේද?” මම ඇහුවෙ කිණ්ඩි හිනාවක් දාලා උනාට මොකෝ මගේ හිත තිබ්බෙ ඇත්තටම අඬන ගමන්. 

මේ මල කරුමක්කාර කසාදෙක මං අහවල් රෙද්දකට පැටලුණාද කියලා හිතන ගමන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here