සඳ දිය දහරා – 67

0
1758

“ගැහැණියෙක්ට උපතින්ම උරුම වූ සංවේදී හිත සමහර තැනකදී වදයක් වෙනවා කියලා මට නොසිතුනා නෙමෙයි. ඒ වගේම ආසියාතික ජන සමාජයේ ගැහැණියකට හිමිවන තැන ගැන හිතත්දී සමහර අවස්ථාවලදී මම තීරණ ගන්න බය වුණා. දරුවෙක් සමග තනිවන ගැහැණියකට දික්කසාඳයකින් තනිවන ගැහැණියකට පියඹාගෙන  යන්න පුළුවන් උනේ  සීමා සහිත දුරක් විතරයි. මේ තැන්වලදී මට නැගී හිටින්න  ශක්තියක් අවශ්‍ය වුණා. මං කියනවා ගැහැණියක් කියලා කියන්නේ දරා ගැනීමට කියන තවත් සමාන පදයක් කියලා. ඔබ කොයිතරම් මමත් එක්ක එකඟ වෙයිද කියන්නේ මම දන්නේ නෑ. ගැහැණිය අර්ථකථනය කරන්න ඊට වඩා සුදුසු වචනයක් මම දන්නෙත් නෑ. ඒ දරා ගැනීමේදී මාව හයියෙන් අල්ලගෙන ඉඳපු යාළුවෙක් මට හිටියා. දවසේ පැය විසි හතරෙන් ඕනෙම වෙලාවක මාව අහගෙන ඉන්න එයාට පුළුවන්කම තිබුණා. අපි මේ ජීවිතයේ ඉස්සරහට යන ගමනෙදි ඒ වගේ මිත්‍රත්වයක් කියලා කියන්නේ වාසනාවක්….

මං ගොඩක් හීන දැකපු ගෑණු ළමයෙක්. සමහර විට අනිත් අයට වඩා ටිකක් වැඩිපුර මම හීන දකින්න ඇති. ඒ හීන එකින් එක මරල දාන්න සිද්ධ වෙද්දි මගේ පැත්තට ඇඟිල්ල දික් කරනවට වඩා මාව හයියෙන් තුරුළු කරගෙන, ජීවිතය දිනුවත් පැරදුනත් මගේ ළඟ ඉන්න පවුලේ සමීපතයන් පිරිසක් මට හිටියා. මගේ ආච්චි…එයා  හරියට මේ ජීවිතය කියවපු විශ්ව විද්‍යාලයක් වගේ. ඊළඟට මගේ අම්මා..මගේ තාත්ත නැතිවෙන්නේ මම ගොඩක් පුංචි කාලෙකදී. අදටත් මමයි මගේ අම්මයි පාරේ යද්දි අක්කයි නංගියි කියලා හිතන පිරිසක් ඉන්නවා. එහෙම තරුණ රූපයක් තිබුණු මගේ අම්මා දෙවෙනි විවාහයකට නොයන්නේ කොතැනකදි හරි එයාට මාව නැති වෙයි කියන බයෙන්. මේ ජීවිතයේ කොතැනකදී වැරදිලා අතරමං වෙලා ආපහු ආවත් මගේ කදුළු  පිහදාන්න අත් දෙකක් වගේම මට ඔලුව තියාගෙන අඩන්න පුළුවන් උරහිසක් එයාගේ ළඟ තිබුණා….ඒ වගේම මගේ මාමා…එයා අපේ ජීවිත ගමනේ හැම තැනකදිම මට යෝධ ශක්තියක් වුණා. 

මනුස්සයෙකුට ජීවිතය දිනන්න ඕනේ අන්න ඒ හයිය. තමන්ගේ මිනිස්සු ඒ වගේ හයියෙන් අල්ලගෙන තමන්ගේ ළඟ ඉදිද්දී ජීවිතේ වැටිලා පැරදිලා තනිවෙලා කියන හැඟීම අපිට නැතිව  යනවා. මං ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා කවද හරි දවසක ඔබේ සමීපතයෙක්ට ජීවිතය වැරදුනොත් එතන තමයි එයාට ඔයාව අවශ්‍යම තැන. ඒ වගේ වෙලාවක කවදාවත් එහෙම අය තනි කරන්න එපා. එහෙම තනි උනොත් තමයි මිනිස්සුන්ට වැරදි තීරණ ගන්න හිතෙන්නේ. 

ඊට පස්සේ මගේ ජීවිතයට ඉරක් වගේ පායා ගෙන ආපු තවත් කෙනෙක් හිටියා. ඒ තමයි ඩොක්ටර් රමාෂ් වේළු කනගරත්නම්. ඔහු නොහිටින්න අද ‘පුතුට ලියමි’ සිතුවිලි ගොන්න බෝල් පොයින්ට් පෑනකින් ලියවුනු නිකම්ම නිකං කඩදාසි ගොඩක් විතරක් වෙන්න තිබුණා. 

ආදරණීය හිතවතුනි, හිතවතියනි…ඔබ විශ්වාස කරන්න ඔබව. ඔබ විශ්වාස කරන්න මේ ස්වභාවධර්මය. ඔබ විශ්වාස කරන්න මේ විශ්වය. ඒක තමයි ඔබේ ජීවිතයේ හරිම මාර්ගය. 

මගේ අසල්වැසියන්ට,  මම ඒ කියන්නේ දහරාව දරා ගත් හිතවතුන්ට…වගේම “පුතුට ලියමි” නවකතාව මුද්‍රිත පිටු අතරට ගෙන එමින් ප්‍රකාශන කාර්‍යයට වෙහෙස වූ ප්‍රකාශක තුමා ඇතුළු සියලූම කාර්ය මණ්ඩලයට මගේ කෘතවේදී ස්තුතිය මම මේ මොහොතේ පිරි නමනවා. පසුගිය සමයේ ඔහු නිසාවෙන් මා හට ඇසුරු කරන්නට ලැබුණු ප්‍රවීණ ලේඛක ලේඛිකාවන්ගෙන් ලබා ගත් ගුරු හරුකම් එක්ක මගේ තවත් නිර්මාණ පාඨක ඔබ අතට ලබා දෙන්නට හැකියාව ලැබේවි කියලා මා විශ්වාස කරනවා. 

ඔබ ජීවිතය පටන් ගන්න පරදින තැනින්….හැම වෙලාවකම කරන කියන දේවල් විශ්වාසයෙන් කරන්න. නොලැබුණු දේවල් අත්හරින ගමන් ලැබෙන දේ සතුටින් දරා ගන්නට පුරුදු වෙන්න…

කතාවට දක්ෂයෙක් නොවුණු මගේ කතාව ඇතුලේ මොනවා හරි අඩුපාඩුවක් තිබුනනම් මං ඒකට සමාව ඉල්ලන්නේ බොහොම කරුණාවෙන්. 

මේ ගමන එන්න මට හයියක් වුණු මුලින්ම පෙරපාසලේදී මගේ අත අල්ලා ගත් ඒ ගුරුතුමියගේ ඉඳලා ශිල්ප ලබාගත් සෑම ගුරුවරයෙකුටම මං මේ වෙලාවේ ප්‍රණාම කරන්නේ බොහොම ගෞරවයෙන්. 

දහරා කියන කාලයක් මියගිය චරිතය ආපසු උපද්දවන්නට හයියක් වුණු හැම කෙනෙක්ටම ස්තුතියි….”

අවසන් වදන් කිහිපය පවසද්දී යළිත් වරක් ඇගේ හඬ බිඳී යමින් තිබිණ. මුලින්ම සාමාට දෙවනුව රමාෂ්ට තෙවනුව නිශාදිට පිළිවෙලින් පොත පිළිගැන්වූ දහරා යළිත් රමාෂ්  අසලට පැමිණ අසුන් ගත්තේ කොපුල් දිගේ  බේරී ගිය කඳුළු එහෙමම තිබියදීය. සිය කලිසම් සාක්කුවෙහි වූ ලේන්සුව පිටතට ඇදගත් ඔහු එය දහරා වෙත දිගු කළේ සුපුරුදු සිනහව මුව මත තබා ගෙනය. අවසන දහරා ලේන්සුව අල්ලා ගැනීමට අත දිගු නොකරද්දී ඇගේ කඳුළු පිස දැමුවේත් ඔහුමය. 

සූදානම් කර තිබූ කෙටි කෑම  සංග්‍රහයෙන් පසුව සියල්ලෝම සමුගත්තේ දහරාට සුභ පතමින්ය. රීටාත් සාමාත් සෙනරතුත් එක පෙළට සිටගෙන දියණිය දෙස බලා සිටියේ මහත් වූ සොම්නස් සහගත හැඟීමකින්ය. 

“මං විශ්වාස කරනව දහරා මේ පොත අපිට ප්‍රින්ට් දෙක තුනක් කරන්න ලැබෙයි කියලා. සමහර ලේඛක ලේඛිකාවෝ ඉන්නවා අහම්බෙන් ඉපදිච්ච. හැබැයි එයාලගේ අකුරු වලට පුළුවන් ලෝකයක් ඉතිහාසයක් වෙනස් කරන්න. ඔයත් ඒ වගේ දක්ෂ ලේඛිකාවක්. ජනප්‍රියත්වය පසුපසවත් මුදල් පසුපසවත් දුවන්නේනේ නැතුව නිසි හැදෑරීමකින් සංයමයකින් ලියන්න දහරා. ඔයාට පිහිටලා තියෙන මේ රයිටින් ස්ටයිල් එක කලාතුරකින් හමුවන ලේඛකයෙක්ට පිහිටන රයිටින් ස්ටයිල් එකක්. එනිසා මං අර කියපු මුදල් පසුපසවත් ජනප්‍රියත්වය පසුපසවත් දුවන්න ගිහිල්ලා ඔයාට ඔයාව අහිමිවෙන්න ඉඩ දෙන්න එපා. ඔයා තුළින් සම්මානීය ලේඛිකාවක් බිහි කරන්න කාලයට ඉඩ දෙන්න…”

ප්‍රකාශකතුමා ඒ අයුරින් පැවසූයේ දහරාගේ සිතට මහත් වූ සතුටක් එක් කරමින්ය. පොත් සිය ගණනක් එදා ඇගේ අත්සනින් යුතුව පාඨකයන්ට ලබා දෙන්නට හැකියාව ලැබිණ. ඒ සියල්ල අවසන ඈ නිශාදිව සොයා ගියේ වෙහෙසකරවය. 

“මං පැත්තකට වෙලා නිදහසේ උඹව වින්ඳා බං. උඹ දන්නවද ඉස්සර හැමදාම උඹේ රචනාව හොඳම රචනාව වෙද්දි බුලුගහගොඩ මිස් කියනවා දහරා ඉස්සරහට ඇවිල්ල රචනාව කියවන්න කියලා. ඉස්සර උඹ එහෙම කියවනකොට අර පන්තියේ තිබ්බ  හුම්… සද්දෙවත් නැතුව යනව. අද උඹ ස්ටේජ් එකක් උඩ හරි ලස්සනට වචන පටලවා ගන්නේ නැතුව කතා කළා. මේ දිනුම උඹේ  විතරක් නෙමෙයි බං මගේ…”

දහරා නිශාදිව බදා ගත්තේ හඬාගෙනමය. මේ ජීවත් වන්නට හුස්ම එකතු කරද්දී හුස්ම දුන් මිනිසුන්ය. 

නිශාදි විසින් ඇණවුම් කර ගෙන්වාගත් කුලී රථයකින් අන් සියල්ලෝම සේකර වත්තට යද්දී දහරාත් පුතුත් නැගුනේ රමාෂ්ගේ රථයටය. 

එදින දහරාගේ නිවසේ අයවලුන්ටවත් නිශාදිටවත් අහල පහළ හිතවතුන්ටවත් විවේකී දිනයක් වූයේ නැත. තංගමනීත් වේළුත් චාරිත්‍රානුකූලව දහරාගේ  නිවසට පැමිණෙන්නට සිටියේ ඊට පසුදාය. ඒ ගමනට යාපනයේ සිටින වේළුගේ කකුලක් අහිමි නැගණියත්, ඇගේ සැමියාත් පුතුන් දෙදෙනා දියණියත් සහභාගී වන්නට නියමිතව සිටියහ. ඔවුන් යාපනයේ සිට කොළඹ බලා පැමිණෙන රාත්‍රී දුම්රියට පිටත් වූ බවට පණිවිඩය ලැබුණේ සැන්දෑවේය. 

දහරාගේ  නිවස මඟුල් ගෙදරක සිරි ගෙන තිබිණ. පිරිසට කෑම සූදානම් කරන්නට කලින් දා සිටම බවලතුන් වෙහෙසෙමින් සිටියෝය. පසුදා දහවල කෑමට වත්තේ කිහිප දෙනෙකුට මෙන්ම සාමාගේ සේවා ස්ථානයේ ඇගේ හිතවතුන් කිහිප දෙනෙක්ද ආරාධනා ලැබ තිබිණ. 

ඊළඟ නඩු වාරයේදී දහරාට දික්කසාදය ලබාගත හැකිය යන සුබ ආරංචිය ලැබුනේත් එදින සැඳෑවේය. දෙපාර්ශ්වයේම කැමැත්ත,  ද්වේශ සහගත ලෙස හැර යාම වැනි කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ඉදිරියට රැගෙන ගිය නඩුවෙහි වාසිය කොහොමටත් තිබුනේ දහරාගේ පාර්ශවයටය.

“දැන් සතුටුයිද…..”

රමාෂ් එසේ ඇසුවේ රාත්‍රියේ යළිත් දහරාගේ නිවසට පැමිණියාට පසුවය. මෙවේලෙහි ඔහුගේ පැමිණීම බලාපොරොත්තු නොවූ ඈ උන්නේ ආලින්දයේ වූ  කණුවකට හේත්තු වීගෙන නිවස තුළින් හමා එන කැවුම් බැදෙන සුවඳින් පෙනහළු පුරවාගෙනය. මේ ජීවිතය පුදුමාකාර එකක්යැයි ඇයට සිතුනේ අහේතුකව නොවේ. 

“ඒ සතුටට පුදුම විදිහට ලෝබයි. ඒ උනාට මට හිමි නැති සතුටක් මං විඳිනවද  කියල හරි බයයි. සමහරු කියනවා සතුට ළඟම දුකක් තියෙනවා කියලා ඒ හින්දා තවත් බයයි…ඇත්තමයි මගේ ජීවිතේ මේ වෙන්නේ මං බලාපොරොත්තු නොවිච්ච දේවල්. මම මනුජිත් කසාද බඳින්න ලෑස්ති වෙද්දි මේ වගේ කැවිලි සුවඳක් තියා  අපේ ගෙදර බතක් ඉදෙන සුවඳක් ආවේ නෑ. මේ හැම තැනකම තිබුණේ මහා පුදුමාකාර නිහඬ කමක්. ඒ නිහඬකම කොච්චරද කියනවනම් කුස්සියේ ඉන්න ආච්චි හූල්ලන හඬක් මෙතනට ඇහුනා. අම්මා අඬන්නෙ නැතුව සුරුස් ගාලා නහය උඩට අඳින සද්දෙ අර ගේට්ටුව ගාවට ඇහුණා. නිශාදි ඇවිල්ලා මම කොහේ හරි දුවලා ගිහිල්ලා මොනව හරි කර ගනියි  කියලා බයට වගේ මගේ අත තද කරගෙන අල්ලගෙන හිටියා. වටිනාකමක් නැති හරි ලාබෙට තියෙන සාරියක් ඇඳගෙන, මාමා බොරැල්ලේ හන්දියෙන් කතා කරගෙන ආපු වෑන් එකට මං නැග්ගෙ ආපහු හැරිලා මේ ගේ දිහා විනාඩි ගානක් බලාගෙන හිටියට පස්සේ. ඒ වෙලාවේ මට පෙනුනේ හරියට මේ ගේ බිමට සමතලා වෙලා වගේ කියලා. මිනිස්සුන්ගේ හිත්වල සතුට නැතුව ගෙදරකින් වැඩක් නෑ…”

රමාෂ් අසා උන්නේ හුස්මකින්වත් බාධාවක්  නොකරය. දහරා දැන් වෙනදාට වඩා දොඩමළුය. මේ අතීත කතා ඒ මුවින් පිටවෙන තරමට ඇය සැහැල්ලු වන බව රමාෂ් දැන සිටියේය. 

“එදා මටත් හොරෙන් පස්ගෝ රස එකෙන්  ගෙනාපු කැවිලියි, බේකරියෙන්  ගෙනාපු කේක් කිලෝ දෙකකුයි අම්මා ලෑස්ති කරගෙන හිටියේ මනුජිත්ගේ ගෙදරට ගෙනියන්න. ඔයා දන්නවද මම මනුජිත්ගේ ගෙදර නැවතිච්ච දවසට පස්සෙ දවසේ මම දැක්කා ගේ පිටිපස්සේ ඒ කේක් කිලෝ දෙකයි කැවිලි පාර්සලෙයි  විසිකරලා තියෙනවා. කොහේදෝ ඉඳලා ආපු බල්ලො දෙන්නෙක් රණ්ඩු වෙවී ඒ කැවිලි  පාර්සලේ දෙපැත්තට ඉරලා දැම්මා. දවස් කීපයක් යනකං පූසෝ බල්ලෝ  ඇවිල්ලා ඒවා කාලය යන හැටි මම බලාගෙන හිටියා. අදටත් අම්මලා ඒවා දන් නෑ…අද මේ හැමෝම සතුටින් රමාෂ්. ඔයා දීපු සතුට ඒ හැමෝම හයියෙන් තුරුළු කරගෙන විඳිනවා. ජාති ජාතිත් ඔයාට පින්…”

“මොනවද දහරා මේ කියන්නේ…මේ ආදරේ..

මට මතකයි එදා මේ වත්තෙන් පිටවෙලා යද්දි ඔයා දාලා යන්න බැරුව මම මේ ඇස් දෙකේ කඳුළු පුරව ගත්තා. අම්මා ඔයාගේ බඩුමුට්ටු හරිද රමාෂ්  කියලා අහන හැම සැරේකම මං බැලුවේ ඔයාගේ කුරුළු පිහාටු පොත පරිස්සම්ද  කියලා. මගේ ජීවිතේටත් අද විශේෂ දවසක්. මිනිස්සුන්ට තමන් ආදරය කරපු තමන්ගේ පළවෙනි ආදරේ, තමන්ගේ පළවෙනි ක්‍රශ් එක තමන්ගෙ කරගන්න ලැබෙන්නේ හරි කලාතුරකින්. ඉතින් මං හරි වාසනාවන්තයෙක් දහරා. මං දන්නවා ඔයාගේ ළඟ මගේ හිත පුරවන්න තරම් ආදරේ තියෙනවා කියලා.”

සිමෙන්ති කණුව දෙපසට වී අතීතය සිහි කරමින් උන් දහරාගේත් රමාෂ්ගේත් දෑත් එකට පැටලී ගියේ ඔවුනොවුන් නොදැනුවත්වය. දහරා යළිත් වරක් හයියෙන් හුස්ම ඇද ගත්තේ ඒ කැවිලි සුවඳත් සමග මුසුව නැහැයට දැනෙන රමාෂ්ගේ විලවුන් සුවඳින් හදවත පුරවාගෙනය.

(හෙටත් හමුවෙමු ආදරයෙන්) 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here