සුමනසේකරත් ශ්‍රියාලතාත් හංසනාගේ නිවසට ගියේ ඉරිදා දිනකය. කලින් දැනුම් දී තිබූ නිසා එදා හංසනාගේ සොයුරන් දෙදෙනාම නිවසේ රැඳී සිටියහ. ඇය නතරව සිටි නිවසේ තොරතුරු මනුජිත්ගෙන් දැනගත් සුමනසේකර මුලින්ම කළේ ඒ පිළිබඳව තොරතුරු ඇගේ සහෝදරයාට පැවසීමය. ඒ අනුව සොහොයුරන් දෙදෙනා ගොස් හංසනාව නිවසට කැඳවාගෙන පැමිණ තිබිණ.
“බොහොම අමාරුවෙන් හිත හදාගෙන තමයි මේ ගමන ආවේ. ඇත්තටම කිව්වොත් අපිට රෙද්දක් ඇදගෙන එන්න පුළුවන් ගමනක් නෙමෙයි මේ.”
සුමනසේකර අසුන් ගත්තේම එසේ පවසමින්ය. ශ්‍රියාලතා උන්නේ තම දෑස් කර කවමින් ඔවුන්ගේ වත් පොහොසත් මැන ගැනීමේ වෑයමකය.
මුලින්ම හංසනාගේ මවත් පියාත් ඉන්පසුව සොහොයුරන් දෙදෙනාත් පිළිවෙලින් පැමිණ ආලින්දයේ අසුන් ගත්තේ සුමනසේකරගේ ඉල්ලීමටය.
“මගේ පුතා හරිය කියලා මං කොයි වෙලාවකවත් කියන්නෙේ නෑ. අපිට අද මේ වගේ ගමනක් එන්නේ සිද්ධ වෙන්නම එයා අපිව අසරණ කරලා ඉවරයි. ඇත්තටම මේ ගෑණු දරුවට එයාගේ අතින් සිද්ද උනේ සුළු පටු වරදක් නෙමෙයි.”
“අපි එයාව මේ ගෙදර නවත්ත ගත්තේ පොඩි පුතාගේ ඉල්ලීමට. අපේ දරුවෙක්ට වගේ සැලකුවා මිසක් කිසි වෙලාවක වෙනසක් කළේ නෑ. අපේ මේ මහත්තයා කිව්වෙත් හැම වෙලාවකම තමන්ගේ ගෙදර කියලා හිතාගෙන ඉන්න කියල. මේ දරුවා ලියුමක් ලියලා තියලා ගෙදරින් යනකල්ම අපි මේ කිසි දෙයක් ගැන දැනගෙන හිටියේ නෑ.”
හංසනාගේ මව එසේ පැවසූයේ වේදනාවෙන්ය. එවේලෙහි ඇගේ කටහඬ බිඳී යමින් ඒ දෑස් වලට කඳුළු උනා තිබිණ.
“මේ පුතා එදා මාව මුණගැහිලා මේ සිද්ධිය කියනකල් අපි දැනගෙන හිටියෙත් නෑ. දරුවන්ගේ අතින් වරදක් වෙලා තියෙනවනං දෙමව්පියෝ වැඩිහිටියෝ විදිහට දැනුම් තේරුම් ඇති මිනිස්සු විදිහට ඒ වරද නිවැරදි කරන්න අපි ඉස්සර වෙන්න ඕනේ කියලා මට හිතුණා. පුතා මේ ළඟකදි තමයි අපිට ෆෝන් එකෙන් කතා කළේ. එයා මේ වැඩේට අකමැති වුණේ නැහැ. අපි කැමතියි හංසනාව අපේ දරුවෙක් විදිහට බාරගන්න. වෙච්ච වැරැද්ද සම්පූර්ණයෙන්ම නිවැරදි කරන්න බැරි වුණත් මින් ඉස්සරහට ඒ ළමයට වරදක් නොවෙන්න අපි වග බලා ගන්නවා. පුතා අවුරුදු තුනකට ඒ වැඩ කරන තැනත් එක්ක අත්සන් කලා කියලා කිව්වා. ඊට පස්සේ ලංකාවට ඇවිල්ලා මේ ළමයා කසාද බඳින්න එකඟ වුණා. අපේ පළාත් වගේ නෙමෙයි මේවා ගම්. ගෑණු දරුවෙක්ට එක තැනක් වැරදුනොත් මේවයේ ජීවත් වෙන්න ලේසි නෑ. අපි මේ වෙලාවෙ ඉන්නේ පොඩි ඇනෙක්ස් එකක. මාස හයක් විතර යනකොට පුතා අපිට ඉඩකඩ ඇති කුලී ගෙදරක් අරගෙන දීල ඒක පිළිවෙලක් කරන්නම් කිව්වා. එතකල් ඔයාලා කැමතිනම් දරුව අපිත් එක්ක ජීවත් වෙච්චාවේ. එහෙම නැත්තං මේ ගෙදර ඒ අවුරුදු තුනෙන් ඕගොල්ලත් එක්ක වෙනද වගේ ඉඳපුවාවේ. කසාඳෙ නොලිව්වත් මේ දරුවෝ කාලයක් තිස්සේ එකට ජීවත් වුණා. තමන්ගේ බිරිඳට ඉෂ්ඨ කරන යුතුකම් වගකීම් ඒ විදිහටම ඉෂ්ඨ කරන්න ඕනේ කියලා මං මනුජිත්ට තදින්ම කිව්වා.”
යමක් පවසන්නට වුවමනා වුවත් ශ්‍රියාලතා අපහසුවෙන් දරා සිටියාය. නිවසින් පිටවන්නට පෙරත් හංසනාගේ නිවසට එන ගමනේදීත් කිහිප වතාවක්ම සුමනසේකර තරවටු කරමින් කියා සිටියේ අනවශ්‍ය වදන් පවසමින් කට නාරින ලෙසය. නිවස තුළ වූයේ වටිනාකමින් වැඩි ගෘහ භාණ්ඩය. නිවස වටා වූ ඉඩම අක්කරයකට වැඩි මිස අඩුවක් නොවේ. කොළඹ පළාතේ නොවුනත් මහ පාරට ආසන්නව වූ ඉඩම වැඩි වටිනාකමින් යුක්ත එකක්යැයි ශ්‍රියාලතාට සිතිණ. වර්තමානයේ තමාටයි කියා මේ ලෝකයේ එකඳු බිම් අඟලක්වත් නොවේයැයි සිහිවද්දී ඇයට දැනුනේ දුකකට වඩා පපුව පුච්චාගෙන යන අයුරේ දැවිල්ලකි.
“ගෙයක් දොරක් හදාගන්න කී කාලයක් රට ඉන්නද ශ්‍රියාලතා. තියෙන දේවල් නැති කරගන්නව තරං ලේසි නෑ ආපහු ලබාගන්න.”
ඊයේ පෙරේදා රාත්‍රියේ ශ්‍රියාලතා රොටි සාදමින් සිටියදී ඊට ලුණු මිරිසක් කොටමින් සිටි සුමනසේකර පැවසූ අයුරු ඇයට සිහි වූයේත් ඒ හදිසියේමය.
“මට පුළුවන් උපරිමයෙන් මම මේ දරුවා බලා ගන්නවා. දැන් ඉතින් ඒ අපේ දරුවෙක්. ඕගොල්ලෝ දන්නව ඇතිනේ මනුජිත්ගේ අතින් එක පාරකුත් ලොකු වැරැද්දක් සිද්ධ වුණා. ඒ වැරැද්ද ආපහු වෙන්න මමයි මගේ නෝනයි ඉඩ තියන්නේ නෑ.”
යලිත් ශ්‍රියාලතා වර්තමානයට පැමිණියේ සැමියා එසේ පවසද්දීය. ඒ ජීවිතයේ තමාට වූ ලොකුම වරදයැයි ශ්‍රියාලතාට සිතෙන්නේ දැන්ය. දවසක් ඇර දවසක් සුමනසේකරට කතා කරමින් දහරා තමාගේ සැප දුක් විමසා සිටින බව ශ්‍රියාලතා දනී. පසුගියදා ඇගේ පොතෙහි දොරට වැටීමේ උත්සවය රූපවාහිනියෙන් පවා පෙන්වීය. කෙසේ හෝ ඇයත් මනුජිතුත් යළි එක් කරන්නට තිබුණානම් යන සිතුවිල්ල තවමත් ශ්‍රියාලතාගේ සිතට වද දෙමින් තිබිණ.
“කපලා ගඟක මුහුදක දැම්මත් ආපහු අපේ නංගි ඔය වනචරයාට දෙන අදහසක් නෑ. එයා අපිට බරක් නෙමෙයි.”
හංසනාගේ වැඩිමහල් සහෝදරයා දැඩි හඬකින් එසේ පවසද්දී ශ්‍රියාලතා තිගැස්සී ගියාය.
අන් කිසිවෙකු වදනක්වත් කතා නොකළේ ඔහුව අනුමත කරන්නට සේය.
කොන්දක් පණ තියෙන මිනිහෙක් විදිහට ඌට තිබුණා මේ ගෙදරට ඇවිල්ලා අපිත් එක්ක කතා කරලා නංගිව අපිට බාර දීලා යන්න. ඒ ඉඳපු ගෙදරදී මේ කෙල්ලට කරදරයක් උනත් එච්චරයි නේ. එහෙම අගුපිල් ගානේ ලග්ගවන්න අපි සහෝදරියක් හැදුවෙ නෑ.”
“මේ ළමයට මොන සැපක්ද අපි නොදුන්නේ. කියන පරක්කුව විතරයි මේ අයියල දෙන්නා ඕන කරන හැමදේම ගෙනත් දුන්නා. මගේ මේ මහත්තයාගේ ඇස් දෙක තමයි ඔය. ඔය කෙල්ල ගෙදරින් ගිය දා ඉඳලා මේ ගෙදර බතක් මාළුවක් ඉදුනේ නෑ. මගේ මේ ලොකු පුතා ගේ හදල පදිංචිවෙලා ඉන්නේ මීටර් පන්සීයක් විතර එහායින්. ඒ දුව ඉස්කෝලේ ගුරුවරියක්. දුව ඉස්කෝලෙට යන්න කලින් පාන්දර අපේ උදේ කෑම වේලයි දවල් කෑම වේලයි දෙකම බාස්කට් වලට දාලා ගෙනත් දීලා ගියා. මමයි මේ මනුස්සයයි උදේ ඉඳලා හැන්ද වෙනකම් පාර දිහා බලාගෙන හූල්ල හූල්ල හිටියා. ඒ අපි මැරි මැරි ඉපදිච්ච කාලයක්.
හඬමින්, ඉකිලමින්, හූල්ලමින් කියවාගෙන ගියේ හංසනාගේ මවය. හංසනාගේ පියාත් තමා සේම නිහඬ පුද්ගලයෙකුයැයි සුමනසේකරට සිතුනේ ඔහු හූල්ලමින් බිම් බලා සිටිනු විනා කිසිවක් කතා නොකළ නිසාය.
“නංගි ගියාට පස්සේ අපේ තාත්තා හොඳටම අසනීප වුණා. දැනටත් බෙහෙත් කරනවා. එහෙම නොවුනනං එයා අංකල්ලා උනත් පිළිගන්නේ මේ විදිහට නෙමෙයි. අපිට වෙච්ච වැරැද්ද වෙලා ඉවරයි අංකල් දැන්. ඒක හදන්න මොන විදිහකටවත් බෑ. දැන් ඒ විඳින්න ඕන නින්දා අපහාස වචන අපි අහල ඉවරයි. ඒවා ආපස්සට හරවන්නත් බෑ. ඒ නිසා අන්කල්ල මේ ආපු ගමන තේරුමක් නෑ. ප්‍රශ්න විසඳන්න හොඳම ඖෂධය තමයි කාලය. නංගි තීරණය කළා තව ටිකක් ඉගෙන ගන්න. ඒ කාලය ඇතුලත එයා මීට වඩා හොඳ තීරණයක් ගනියි කියලා අපි විශ්වාස කරනවා.”
පෙර දිනක සුමනසේකරව හමුවන්නට ආ හංසනාගේ සොහොයුරා පැවසූයේ ඒ අයුරින්ය.
“අපි ඒ දුවට ටිකක් කතා කරමුද?”
අවසන සුමනසේකරඇසුවේ විනාඩි කිහිපයක් නිහඩව සිටියාට පසුවය. ඒ අතරේම ඔවුනට තේ පැන් සංග්‍රහයක් පැවැත්වූයේ ගුරුවරියක යැයි කියූ වැඩිමහල් පුතාගේ බිරිඳය.
“චූටි දුව…”
මඳක් එහාට වන්නට වූ කාමරයෙන් එළියට එබුනේ දහරාටත් වඩා කුඩා යුවතියකි. වැඩිමහල් සහෝදරයාගේ ඇරයුමෙන් විසිත්ත කාමරයට ඇවිද ආ ඇය දුටු සුමනසේකරට දැනුනේ වේදනාවකි. මේ ඇය නොදන්නාකමට ගිය ගමනක් බව විශ්වාසය.
“මේ ළමයා නැවතිල ඉඳපු ගෙදර මිනිස්සුත් අපිට සෑහෙන දේවල් කිව්වා. හිත හදාගෙන හිටිය නෙමෙයි අන්කල් වෙන කරන්න දෙයක් නැතිකමට බලාගෙනන හිටියා. දැනුම් තේරුම් ඇති මිනිහෙක් විදිහට මේ වගේ පොඩි කෙල්ලෙක්ව රවට්ටල එක්කරගෙන යද්දි චුට්ටක් හිතන්න තිබුණා නේද. අපිටත් ආපහු හැරිලා පොඩ්ඩක් බලන්න තිබුන මිනිහගෙ අතීතේ හොඳ එකක් උනානම්. දරුවෙකුත් බඩට දීල අහිංසක ගෑනියෙක් අතෑරල දාපු මිනිහෙක්ගෙන් මේ වගේ පොඩි කෙල්ලෙක්ට හොඳක් වෙයි කියලා අපි කොහොමද හිතන්නේ. ගෙදරින් එළියට බහින්නෙ නැතුව ගේ ඇතුළට වෙලා ඉඳපු ළමයෙක් මේ. පන්තියට ගියා නං ගියේ ඒ මමත් එක්ක එහෙම නැත්නම් තාත්තත් එක්ක. මනුජිත් මෙහෙ ඉඳපු මාස දෙක තුනට එයා දන්නවා අපි මෙයාව හදපු විදිහ. මාස ගානක් තිස්සෙම මේ ළමයා ඒ ගෙදරට වෙලා පුදුම දුකක් විඳලා තියෙන්නේ. කොයි වෙලාවේ බැලුවත් අඬනවලු. එම මිනිස්සු බැරිම තැන කිව්වලු දුවේ අපි එන්නම් අපිත් එක්ක ඔයා මහ ගෙදරට යං කියලා. මේ කෙල්ල ඒකටත් බයේ ඉඳලා තියෙන්නේ…”
යළිත් වරක් වැඩිමහල් සහෝදරයා කියවාගෙන ගියේ මහත් වූ ආවේගයකින්ය. සුමනසේකරටවත් ශ්‍රියාලතාටවත් වදනක් පවසන්නට ඉඩක් වූයේ නැත. කොහොමටත් මනුජිත් යනු යහපත් කල්ක්‍රියාවකින් යුක්ත වූ පුද්ගලයකු නොවේ. සුමනසේකරට දැනුනේ මහත් වූ ලැජ්ජාවකි. එනිසාම ඔහු පසු බා ගත්තේය.
“එහෙම දරුවෙක් එක්ක ගෑනියෙක් අනාථ කරපු මිනිහෙක්ගෙන් අපේ නංගිට හොඳක් වෙයි කියලා අපි කොහොමද අංකල් හිතන්නේ.”
හංසනාගේ සොහොයුරා යළිත් එසේ ඇසුවේ ශ්‍රියාලතාවත් සුමනසේකරවත් නිරුත්තර කරමින්ය.
“ඔයාගේ අදහසත් මේ මිනිස්සුන්ට කියන්න දුවේ තවත් ඒ මිනිස්සු රස්තියාදු වෙන එකේ තේරුමක් නැහැනේ.”
“තවත් අම්මලගෙ හිත් රිද්දන්න මට බැහැ. ඒ නිසා මම අයියලයි අම්මයි කියන විදිහට ජීවත් වෙනවා. මගේ අතින් එයාලට උනේ ආපහු හදන්න බැරි තරම් වැරැද්දක්. මේ ගමේම අයගේ ආදරේ දිනාගෙන ලස්සනට ඉඳපු මගේ තාත්තා අද අසනීප වෙලා ඉන්නේ මම හින්දා. මනුජිත් අයියා මට කියපු හැම දෙයක්ම බොරු. එයා මාව අර අයියලාගේ ගෙදර නවත්තලා ගියෙත් බොරු ගොඩක් කියලා.”
හංසනා පැවසූයේ හඬමින්මය. ඇගේ නෑනන්ඩිය පැමිණ ඇයව සිය වතට වත්තම් කරගත්තේ ඒ හිස තම පපුවට හේත්තු කරගෙනය. මේ පවුල ආදරයෙන් සමගියෙන් ජීවිතය බෙදා ගන්නා පවුලක්යැයි සුමනසේකරට සිතුනේ එනිසාය..හංසනා ගත් තීරණය පිළිබඳව ඔහු යටි සිතෙන් සතුටු වෙමින් උන්නේය.
“ඔයාලා කතා කරලා හොඳ තීරණයක් ගත්තොත් අපිට දැනුම් දෙන්න. මේ පුතා ළඟ අපේ ටෙලිෆෝන් නම්බර් එක තියෙනවා. අම්මයි තාත්තයි විදිහට අපි අද මෙතනට ආවේ අපේ පුතා අතින් වෙච්ච වැරැද්ද අපිට පුළුවන් විදිහට නිවැරදි කරන්න බලාගෙන.”
“බොහොම ස්තුතියි අංකල් මේ ආපු ගමනට…”
“ඒ උනාට ඉතින් දැන් අපේ පුතාට අයිතිය……”
“අපිට අයිතිවාසිකම් ගැන කතා කරන්න බෑ ශ්‍රියාලතා. මේ අයිතිවාසිකම් ගැන ප්‍රශ්න නෙමෙයි. අපි දැන් යමු..”
සුමනසේකර එසේ පැවසූයේ ශ්‍රියාලතා කට අරිද්දීමය.
“අංකල් තාත්තා තමයි ඉස්සර මේ ගමේ හැමෝටම උපදෙස් දීගෙන හිටියේ. මරණාධාර සමිතියේ වැඩිහිටි සමිතියේ ගොවි සමිතියේ ඒ වගේම පන්සලේ දායක සභාවේ ඉහළ පෙලේම තනතුර දැරුවේ තාත්තා. නංගි ගියාට පස්සේ තාත්තට ඒක දරා ගන්න බැරුව මානසිකව වැටුණා. කවුරු හරි කතා කරන දේ දිහා බලාගෙන හිටියට කවුරුහරි හිනා වෙද්දි හිනා වුනාට අඬද්දී ඇඬුවට දැන් මේ වෙන්නේ මොනවද කියලා තාත්තට හැඟීමක් නෑ. බෙහෙත් කරගෙන යන ගමන්.”
සුමනසේකර හමුවන්නට පැමිණි හංසනාගේ සොහොයුරා එසේ පැවසූයේ ඔවුන් සමග බස් නැවතුම්පොළ වෙත ඇවිද එන ගමන්ය. සුමනසේකරගේ පපුවට දැනුනේ රිදුමකි. ශ්‍රියාලතා තරුණයා දෙස බැලුවේ දෑස් විසල් කරගෙනය. ඒ හා සමඟම සීටී බී බස් රථයක් ඈතින් එනු පෙණිය. අත දිගු කර බස් රථය නැවතූයේත් තරුණයාය. ඔහුගේ දෑස් වල එවේලෙහි වූයේත් කඳුළුය. බරැති සුසුමක් මුදා හල සුමනසේකර බස් රථයට නැගුනේ ශ්‍රියාලතා පිටුපසින්ය.
(යලිත් හමුවෙමු ආදරයෙන්……)


