පළවෙනි දවසෙ උනාට මට ඇත්තටම ඔෆිස් එකේ කරන්න සෑහෙන්න වැඩ ප්‍රමාණයක් තිබ්බා. ලොකුවටම තිබ්බෙ මේ ඔෆිස් එකේ ප්‍රොසෙසස් මොන මොනවද කියලා අඳුරගන්න එක .අනික කොහොමත් දැන් ඉස්සරහට මට මේ ඔෆිස් එකේ ඇතුලෙ ඉන්න අයව වගේම ඔෆිස් එකට පිටින් සම්බන්ධ වෙන අයවත් දැනගන්න තිබ්බා හන්දා උදේ ඉඳලා මං උන්නෙ සක බඹරෙ වගේ එහෙට මෙහෙට කැරකෙන ගමන්.
“පළවෙනි දවසෙ ඔච්චර වැඩ කරන්නෝන නෑ අප්පා” කියලා මං එහෙට මෙහෙට දුවද්දි හිනාවෙවී කිව්වෙ අප්සරා.
“එහෙම බෑනෙ අප්සරෝ. පළවෙනි දවසෙම ලකුණූ දාගන්නෝනනෙ” කියලා ආයෙ හිනාවෙවී කිව්වෙ විහඟ.
“අනේ එහෙම දෙයක් නෙවි අනේ. අනික ඉතින් කාට පේන්න ලකුණු දාගන්නද? මට බයයි මගේ අතින් වරදක් වෙයි කියලා වැඩ වල” කියලා මං කිව්වෙ මට පොඩ්ඩක් ඇත්තටම ලැජ්ජ හිතිච්ච හන්දා.
“ඔයා කොහොමද තිදස්ව දන්නෙ?” කියලා ඇහුවෙ මෙච්චර වෙලා ලොකුවට මුකුත් කියන්නෙ නැතුව උන්න දිව්‍යා කියන ගර්ල්.
“තිදස් අයියා අපේ කැම්පස් එකේ සුපර් සීනියර් අයියා කෙනෙක්”
“ආහ් ඒක මිසක්, අපි ඒත් බැලුවා තිදස් මොකෝ මේ ගර්ල් කෙනෙක්ව ඉන්ට්‍රඩියුස් කරේ කියලා” ඒ ළමයා ආයෙ කියද්දි නම් මට නොකියන මොකක් හරි ඉන්සයිඩ් ස්ටෝරි එකක් මෙතන තියෙන විත්තිය මට තේරුණේ අනික් කට්ටිය එක එක්කෙනාගෙ මූන දිහා බලාගෙන හිනාවෙච්ච පාර.
“අපි නං නෙවෙයි ලිහිණි බැලුවෙ. ඕන් ඔය දිව්‍යා තමයි හොඳේ” කියලා ආය වතාවක් අප්සරා හයියෙන් හිනාවෙද්දි නම් දිව්‍යාගෙ මූණ රතු උනා.
“ඇයි ඒ? දිව්‍යා කැමතිද තිදස්ට?” කියලා මං අහද්දි මගේ හිත අස්සෙන් හීනි රිදිල්ලක් ආවෙ ඇයි කියන එක ඇත්තටම මට හිතාගන්න පුළුවන් වුනේ නෑ. ඒ උනාට ඒ වේදනාවෙ එක අංශු මාත්‍රෙකට මගේ මූණට එන්න මම ඉඩ දුන්නෙ නෑ.
“කැමතියි කියන්නෙ. මෙයා හිතෙන් දැන් තිදස්ව බැඳලා ළමයිනුත් හදලා ඉවරයි”
“අනේ යනවා හලෝ යන්න. අනේ ලිහිණි මේ බොරු හොඳේ. එහෙම එකක් නෑ”
“කොහොම එකක්ද දැන් නැත්තෙ?”
“ඔව් අන්න ඒක කියපංකො ඉස්සරවෙලා, දැන් එහෙම එකක් නෑ කියන්නෙ උඹ තිදස්ට කැමති නැද්ද?”
“නෑ අනේ මේ අලුත් ළමයා හිතාවි අනේ අපි මහ වනචර අය කියලා”
“හිතන්න දෙයක් නෑ ලිහිණි අපි වනචරයි තමයි. මේ කොල්ලන්ට වඩා මේකෙ ඉන්න කෙල්ලො වනචරයි හොඳේ. ඔයා වැඩිපුරම පරිස්සම් වෙන්නෝන අපෙන් නෙවි මේ කෙල්ලන්ගෙන්. ඔයාට මුං මොනා හරි නරක දෙයක් කිව්වොත් ඔන්න ඔයා මුලින්ම කියන්නෝන ඒ ප්‍රශ්නෙ මට හරිද? මං විසඳලා දෙන්නම්කො”
“අමෝ අමෝ දුක අහන අයියා, විසඳයිද විසදායිද දන්නෙ නෑ ඒ ළමයගෙ ඔලුවට. අනේ මගෙයි උඹෙයි වනචරකං. අපි ඒවා ගැන කතා නොකර ඉමුකො. මේ ලිහිණි සිරාවටම අහන්නෙ තිදස් කාරයට කැම්පස් එකේ කෙල්ලෙක් එහෙම උන්නද? නැත්තං පිට අෆෙයාර් එකක් හරි” කියලා දිව්‍යා වෙනුවෙන් ප්‍රශ්න විචාරාත්මක වැඩ සටහන පටන් ගත්තෙ අප්සරා.
“අපි දැනුවත්වම නම් එයාට කැම්පස් එකේ කවුරුවත් උන්නෙ නෑ. දන්නෙ නෑ ඉතින් පිට කොක්කක් ඉන්නවද කියලා”
“පිට කොක්ක කෙසේ වෙතත් දිව්‍යා නම් ඉන්නෙ තිදස්ට නැංගුරුමක් දාන්න හිතාගෙන නෙ. ඔන් ද ස්පොට් වෙයි මිනිහා දිව්‍යා එක්ක සෙට් වෙච්ච දවසට”
“අනේ මේ විහඟ තමුසෙට නම් දෙනවා හොඳේ මම. අර වයසට ගරු කරලා මං ගහන්නෙ නැත්තෙ” කියලා දිව්‍යා ගෙදර යන්න වගේ කලබලෙන් වැඩ මේසෙන් නැගිටලා එයාගෙ බෑග් එක පැක් කරන ගමන් විහඟ දිහාවට නොරොක් බැල්මක් විසික්කරා.
“කාගෙ වයසට ගරු කරලද මැණිකෙ?” කියාගෙන විහඟ නම් උන්නෙ ඒ නොරොක් බැල්ම නිකන් දැක්ක නොදැක්ක තාලෙට.
“ඕන්නැති විහිලු එපා හොඳේ විහඟ. අන්තිමේ තිදස්ට ඕක ඇහිච්ච දවසට අපිට දෙපිටින් යන්න දෙයි”
“තිදස්ට ඇහෙනවනම් හොඳයිනෙ බං ඉතින් ආය අමුතුවෙන් උඹට ගිහින් කියන්න දෙයක් නෑනෙ එතකොට?”
“හරි හරි මම ඒක කියන වෙලාවට කියාගන්නම්කො. උඹලා කලබල නොවී ඉඳපංකො. අනේ ලිහිණි ප්ලීස් හොඳේ ඔන්න මේවා නම් තිදස් එක්කවත් කැම්පස් එකේ වෙන කා එක්කවත් කියන්න එපා හොඳේ. අන්තිමේ මට ජොබ් එකටවත් එන්න බැරිවෙන සීන් එකක් තමයි වෙන්නෙ” කියාගෙනම තමයි දිව්‍යා බෑග් එකත් කරේ දාගෙන ඔෆිස් රූම් එකෙන් එළියට ගියේ. මම ඇත්තටම කරේ ඒකට හිනාවෙච්ච එක විතරයි. ඒ ඇරෙන්න වෙන කියන්න දෙයක් මට එවෙලෙ තිබ්බෙ නෑ.
“අනික ඉතින් දිව්‍යා තිදස්ට කැමති නම් ඒවා එයාලා කතා කරලා විසඳගන්නෝන ප්‍රශ්නනෙ” කියලා මං කියාගත්තෙ මටමයි.
දිව්‍යා එහෙම කලබලෙන් යන්න ගියේ ඇත්තටම ලැජ්ජාවටද නැත්නම් ඒකෙ ඇතුළෙ තව මොකක් හරි කතාවක් තිබ්බද කියලා මට හිතාගන්න බැරි වුණා. හැබැයි ඒ හිනා සාගරය අස්සේ මගේ හිත කොනක තිබ්බ අර හීනි රිදිල්ල නම් මැකුණේ නෑ. මනුසත් එක්ක ගෙවපු ජීවිතේ මට අමතක වෙලා තිබ්බ හැඟීම් ගොඩක් මේ ඔෆිස් එකේ ඉන්න පැය කීපයට ඇවිස්සෙනවා වගේ මට දැනුණා.
“ඔය දිව්‍යා කියන තරම් සීන් එකක් නෑ ලිහිණි. එයා පොඩ්ඩක් තිදස් ගැන ක්‍රශ් එකක ඉන්නෙ. ඒක මේ ඔෆිස් එකේ නොදන්න කෙනෙක් නෑ. තිදස් එහෙමත් දන්නවා ඇති. මොකෝ මේකි නටන්න ගන්නවනෙ තිදස්ව දැක්කම. හැබැයි තිදස් නම් තාම කාටවත් අහුවෙලා නෑ” කියලා විහඟ මං දිහා බලලා ඇහැක් ගැහුවෙ හරියට තිදස්ව මට අහු කරගන්න පුලූවන් වගේද කියලාත් මට හිතුණා. අනික් අතට “මම මැරීඩ් අනේ” කියලා කියන්න කොච්චර උවමනා උනත් එක වෙලාවකට මටම හිතුණා එහෙම කියන්නෝන නෑ දැන්ම කියලා.
මම මොකුත් නොකියා මගේ ඉස්සරහ තිබ්බ ලැප්ටොප් එකට එබුණෙත් “ඇත්තටම තිදස් දැන් ඉස්සර වගේ නෙවෙයි. එයා මාර විදියට වෙනස් වෙලා” කියලා මගේ හිත කියද්දි.
දිව්‍යා ගියයින් පස්සෙ තමයි ඔෆිස් එකේ අනිත් කට්ටිය හෙමින් හෙමින් යන්න ලෑස්ති වුණේ. මම උන්නෙ මගේ බෑග් එක අස් කරගන්න ගමන්. මනුසත් මාව දාලා ගිය වෙලාවේ ඉඳන් මගේ හිතේ තිබ්බෙ ගෙදර යන්නේ කොහොමද කියන ප්‍රශ්නේ. මනුසත් කියන්නේ වෙලාවට වැඩ කරන මනුස්සයෙක්. එයා බැනලා හරි, තරහෙන් හරි මාව ගන්න එයිද කියලා මම පාර දිහා බලාගෙන උන්නා.
මම මගේ ෆෝන් එක අතට ගත්තෙ මනුසත්ට කෝල් එකක් ගන්න උනාට මගේ ඇඟිලි තිබ්බෙ වෙව්ලන ගමන්. මම හෙමින් කෝල් එකක් ගත්තා. එක පාරක් රින්ග් වුණා… දෙපාරක්… තුන්පාරක්… ඒත් මනුසත් නෙවෙයි ආන්ස්වර් කරේ.
මම ආයෙත් සැරයක් ට්‍රයි කළා. එයා මගේ කෝල් එක කට් කරලා දැම්මා කියලා දැක්කම නම් ඇත්තටම මගේ පපුව හිරවුණා වගේ මට දැනුණෙ. මනුසත් තරහ වුණාම අනික් කෙනාට රිද්දන්න මොන වගේ දේවල් කරන මනුස්සයෙක්ද කියන එක මේ වෙද්දි මම දැනගෙන උන්නා. එයා මට රිද්දන්න පුළුවන් හැම විදියක්ම පාවිච්චි කරන බවත් මම දැනගෙන උන්නා. දැන් මේ වෙලාවේ එයා මගේ කෝල් එක කට් කරන්නේත් එයා ගොඩක් තරහින් ඉන්න නිසා කියන එක වෙනුවට “උඹට දැන් ඇද්ද?” කියලා මට පාඩමක් උගන්නන්න විත්තියත් මම දැනගෙන උන්නා. කොච්චර කරත් ඒ වෙලාවෙ නම් මට ඇත්තටම හිතුණා මනුසත් රස්සාවට යන්න එපා කියලා කිව්ව වෙලේ මං මෙහෙම ආ එක වැරදි කියලා. මනුසත් කියන්නෙ ටික දවසක් ගිහිල්ලා මේ තරහා අමතක කරලා දාන ජාතියේ මනුස්සයෙක් නෙවෙයි කියන එක හොඳාකාරවම දැන දැනත් මං එහෙම කරපු එකෙන් අන්තිමේ මටම නේද විඳවන්නෙ කියන එක මතක් වෙද්දි මං හිත ඇතුළෙන් ඒත් කල්පනා කරා “මං මේ රස්සාවට දිගටම එනවද?” කියලත්.
මම ඔෆිස් එකේ දොර ගාවට වෙලා පාර දිහා බලාගෙන උන්නෙ ගෙදර යන්න විදියක් කල්පනා කරන ගමන්. හවස ට්‍රැෆික් එක එක්ක මුළු පාරම පිරිලා තිබ්බෙ. අහස තිබ්බෙ වැස්සක් වට්ටවන්න අර අදින ගමන් කියලා තේරෙද්දි බස් එකේ යන එක නම් ලේසි වෙන්නෙ නෑ කියන එක මට මතක් වුණා,.
“සර් ආවේ නැද්ද තාම?”
එකපාරටම ඇහුණ ඒ කටහඬට මම ගැස්සිලා හැරිලා බලද්දි තිදස් එයාගේ ලැප්ටොප් බෑග් එකත් කරේ දාගෙන මගේ ළඟටම ඇවිත් උන්නා. එයාගේ ඇස්වල තිබුණේ මාව කියවන්න හදන බැල්මක්.
“නෑ අනේ එයාට එන්න වෙන එකක් නෑ. රිසර්ච් පේපර්ස් වගයක් බලන ගමන්ලු ළමයිනෙ” කියලා මම නිදහසට කාරණා ඕනවටත් වඩා කිව්වෙ තිදස්ට එතකොට මාව කියවන්න බැරි වෙයි කියලා හිතන ගමන් වගේම මගේ අසරණකම වහගන්න උත්සාහ කරන ගමන්.
“කොහොමද යන්නෙ ඉතින්? බස් එකේද?”
“ඔව් අනේ මං මේ බැලුවෙ බස් එකේ යන්න. පික් මී දැම්මට එකක්වත් කනෙක්ට් වෙන්නෙ නෑ”
“අද පළවෙනි දවසනේ ලිහිණි. ඔයා මෙහෙම පාරේ රස්තියාදු වෙන්න ඕනේ නෑ. මේ වෙලාවට බස් එකක යන්නත් මාර අමාරුයි. සෙනඟ වැඩියි, අනික දැන් වහින්නත් වගේ නේ” කියන ගමන් තිදස් මං දිහා බලද්දි මම මොකුත් නොකියා මගේ බෑග් එකේ පටිය මිරික මිරික උන්නා. තිදස් හෙමින් මගේ ළඟට ආවෙ ඒ අවසරේ. එයාගෙන් ආපු ඒ පිරිමි පර්ෆියුම් සුවඳ මගේ හුස්ම හිර කරනවා වගේ මට දැනුණෙ.
“ මම ඔයාව ඩ්‍රොප් කරන්නද? මමත් ඔය පැත්තටමයි යන්නේ. ප්‍රශ්නයක් වෙන එකක් නෑනේ මම ඔයාව ගිහින් ඇරලුවා කියලා?” එයා ඇහුවෙ කාට වෙන ප්‍රශ්නයක් ගැනද කියන එක ඒ වෙලාවෙ මට ලොකුම ලොකු ප්‍රශ්නයක් වෙලයි තිබුණෙ.


