සඳ දිය දහරා – 69

0
3589

ආපසු සාස්තර පවසන මෑණියන් ළඟට යාමට වුවමනා වුවත් සැමියාගෙන් ඒ පිළිබඳව විමසන්නට ශ්‍රියාලතා බිය විය. සැමියා පවසන්නේම ඇය තමාගේ අසරණකමින් ප්‍රයෝජන ගෙන මුදල් කඩා ගත් බවය. තවදුරටත් ඇගේ සිත ලෝබකමින් පෙළෙමින් තිබුණේ දහරා ගැනය. දහරාව ආපසු ගෙන්වා ගන්නට මෑණියන් ලවා ගුරුකමක් කර ගන්නට තිබුණානම් කියා ඇයට සිතුණු වාර ගනන අනන්තය.

“දහරා එක්ක එහෙම මේ කිසි දෙයක් කියන්නේ නෑ…”

සැමියා එසේ  පැවසූයේ යළිත් ඇනෙක්සියට පැමිණ ටික වේලාවක් ගතව ගියාට පසුවය. 

කාලය ගතව ගියේ ඉබි ගමනේ නොවේ. සෑම මසකම ඔවුන්ගේ වියදම සඳහා මුදලක් මනුජිත් එව්වේය. එය අර පරිස්සමට බැංකු ගිණුමේම තබා සුමනසේකර තමාගේ වැටුපෙන් වියදම් පියවා ගත්තේය. මනුජිත් යළිත් සංවේදී පුද්ගලයෙකු බවට පත්ව සිටියේය. ඒ අහිමිවීම් රැසකට පසුවය.

ඉන්පසු කිහිප වතාවක්ම සුමනසේකර ශ්‍රියාලතාත් සමඟ දහරාගේ නිවසට ගොස් මුණුපුරා බලා ආවේය.  ඒ සෑම වතාවකම ඈ දහරාත් දරුවාත් දමා ආවේ මහත් වූ ලෝභකමක් දරාගෙනය.  හංසනාත් මනුජිතූත් අතර වූ කතාබහ සම්පූර්ණයෙන්ම නවතා තමා තිබිණ. ඇයත් ඔහුට අහිමිව ගියේ ඒ අයුරින්ය.

“අන්තිමට අපි වගේම අපේ දරුවත් තනිවුනා.”

ශ්‍රියාලතා එසේ පැවසූයේ මහත් වූ වේදනාවක් දරාගෙනය. 

“මිනිස්සු පාඩම් ඉගෙන ගන්නේ දෛවයෙන් ශ්‍රියාලතා. මේක එහෙම පාඩමක්. මනුජිත් තනිවෙන එකක් නැහැ. ඒ උනාට මිනිහගේ හිතේ තියෙන පසුතැවීම සදාකාලික පසුතැවිල්ලක් වෙයි.”

යළිත් දිනක් රසිකා සාමාට හමුවූයේ බොරැල්ලේ සිට නිවසට ඇවිද එද්දීය. තමා සෙනරත් ගැන බලාපොරොත්තුවකින් පසු වූ බව ඇය එවේලෙහි සාමා සමඟ පැවසුවාය. දන්නා තරමින් සැමියා මියගිය පසුව ඇය අම්මාත් බලාගෙන නිවසට වී සිටියේ තනිවමය. කිසිවෙකුගෙන් කතන්දරයක් නොඅසා රැකියාවත් කරගෙන ඈ බොහෝ අර පරිස්සමට ජීවත් වූ අයෙකු බව සේකර වත්තේ සැවොම දනී. එනිසාම සොහොයුරා හා රසිකා ගැන කතා කරන්නට සාමා පොරොන්දු වූවාය. මුලින්ම අම්මාගෙන් අවසර ගත් ඈ රසිකා පිළිබඳව කතා කලේ තංගමනී අක්කා සමඟය. 

“ඒක හොඳ අදහසක් සාමා. අපිත් දෙපාරක් තුන්පාරක්ම ඒ ගැන කතා වුණා. මං හිතන්නේ සෙනරත් තනිකඩ ජීවිතයක් ගත කරන්න හිතලා තියෙන්නේ සාමයි දහරයි නිසා. එයාට ඕනෙනම් කසාද බැඳලා මෙහේ ඇවිල්ලා ඉන්නත් පුළුවන්..දැන් අපේ මහත්තයට සෙනරත් නැතුව බැහැ. දකුණු අත වගේ.”

දුරකථන අංක හුවමාරු කරගත් සෙනරතුත් රසිකාත් යළිත් ඔවුනොවුන්ගේ අදහස් හුවමාරු කර ගනිමින් සිටියේ සාමාගේත් රීටාගෙත් කැමැත්ත ඇතුවය. අවසන රසිකාගේ මව ඇගේ සොහොයුරාගේ නිවසේ නවතන්නටත් සේකර වත්තට මදක් එහාට වන්නට තට්ටු  නිවාසයෙහි වූ ඇගේ නිවස කුලියට දෙන්නටත් තීරණය කෙරිණ. ඉතා චාම්ව සිදු වූ කසාඳ ලියාපදිංචියකින් පසුව සෙනරත් රසිකාව කැඳවාගෙන යාපනයට ගියේ ඇගේ කැමැත්ත ඇතිවය. තංගමනීත් වේලුත් තමාගේ විසල් නිවසේ එක් මහලක්ම ඔවුන්ගේ පහසුව වෙනුවෙන් වෙන් කර දී තිබිණ. 

දහරාගේ නවකතාව මුද්‍රණ වාර තුනක් දක්වා ගෙන යන්නට හැකියාව ලැබිණ. ඇගේ කවි පොතක් මුද්‍රණ ද්‍රවාරයෙන් නිකුත් කරන්නට කටයුතු සූදානම් කරමින් තිබුණේ සැප්තැම්බරයේ සාහිත්‍ය මාසය නිමිති කරගෙනය. ඒ අතරේම ඕ සඳ දිය දහරා නවකතාව අවසන් කරමින් සිටියාය. 

“අපි මැරි කරමු දහරා.”

රමාෂ්  එසේ පැවසූයේ කුඩා පුතු මුලින්ම පුටුව අල්ලා සිට ගත් දවසේය. දැන් සේකර වත්තට ඔහුගේ පැමිණීමවත් දහරාගේ  විවාහයවත් අමුත්තක් වී තිබුණේ නැත. 

“රමාෂ්….”

දහරා ඔහු දෙස බැලුවේ දෑස් විසල් කරගෙනය. 

“ඇයි ඔහොම ඇස් ලොකු කරලා බලන්නේ. දැන් අපි අපේ වෙන්න ඕනෙ දහරා. මේ ගෙවෙන දවස් අපරාදෙ. ඔයයි මමයි දෙපැත්තකට වෙලා.”

ඔහු තවදුරටත් පවසා සිටියේ කුඩා පුතුව තම උකුලට ගන්නා ගමන්ය. දික්කසාඳය ලැබී මාස දෙකකට වඩා වැඩි කාලයක් ගතවී තිබිණ. තමා මේ ජීවිතයෙන් උගත් පාඩම් අන් කිසිඳු විශ්ව විද්‍යාලයකින් ඉගෙනීමට නොලැබෙන බව විශ්වාසය. 

“ආපහු සැරයක් හිතන්න. ඔයා ගතපු මේ තීරණය ගැන ඔයාට හොඳටම විශ්වාසද…?”

ආපහු සැරයක් හිතන්න දෙයක් නෑද හරහා අවුරුදු ගානක්ම හිතල තමයි මං මේ තීරණය ගත්තේ. 

රමාෂ් එවේලෙහි පැවසූයේ ස්ථිර හඬකින්ය. ඒ අනුව ඔවුන්ගේ විවාහයට දින යොදා ගත්තේ තංගමනීගේත් වේළුගේත් උපදෙස් පරිදිය. සෙනරතුත් රසිකාත් සතුට පිරි යුග දිවියක් ගතකරමින් සිටියේය. 

දහරාගේ රමාෂ්ගේත් දෙදෙනාගේම උවමනාව වූයේ විවාහ මංගල්‍යය පවුල්වල සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පමණක් පැවැත්වීමය. 

“අන්තිමේ ඒකිට හරි ගියා…”

නිශාදිගේ අම්මා එසේ පැවසූයේ රීටා පැමිණ ඔවුනට බුලත් දී ගිය හැන්දෑවේය. වත්තේ ඔවුන් සමීපව ඇසුරු කළ කිහිප දෙනෙකුටම විවාහය සඳහා ඇරයුම් ලැබී තිබිණ. ඒ අතර ශ්‍රියාලතාත් සුමනසේකරත් විය. 

“දහරා සතුටින්ද…?”

රමාස් ඇසුවේ ඇය හා සාරි තේරීමට ගිය සැඳෑවකය. වාහනය මදක් එහාට වන්නට නවතා පිටකොටුවේ වීදි අතරේ ඇවිද යද්දී රමාෂ් ඈ වෙත තම දකුණත දිගු කළේය. දහරා ඒ අත අල්ලා ගන්නට දෙවරක් සිතුවේ නැත. 

දහරා සාරි අත ගාමින්  ආසාවෙන් බලා සිටියේ මේ තමා දකින්නේ සිහිනයක්දැයි සිතමින්ය. අවසන රන් නූලකින් හැඩ වූ වටිනා සාරියක් තෝරා ගත්තේ රමාෂ්මය. 

“ඒ සතුට මං හරි හයියෙන් අල්ලගෙන ඉන්නේ රමාෂ්.”

ඕ පැවසූයේ දෑස්තුල සතුටු කඳුළක් තබාගෙනය.

ඉන්පසු රන්බඩු සියල්ලමත් ඔහු ඈ වෙත රැගෙන දුන්නාය. 

“මං ආසයි එදාට ඔයා ලස්සන බ්‍රයිඩ්   කෙනෙක් වෙනව දකින්න.”

රමාෂ් එසේ පැවසුයේ ආපසු පැමිණ වාහනයට නැඟුනාට පසුවය.

“ඔයා හැමදාම මගේ හීන පාට කරනවා රමාෂ්. ඒ වෙනුවෙන් මට ඔයාට මොනවද දෙන්න පුලුවන්”

“හිත පිරෙන්න ආදරේ….”

“මං ආදරේ රමාෂ්.. හරි ආදරෙයි..දුකම විතරක් පිරිලා තිබුණු අපේ ජීවිත වලට ඔයා ආවේ ඉන්ද්‍රජාලිකයෙක් වගේ. අදටත් මට මේ හැමදේම හීනයක් විතරක් කියලා හිතෙන්නේ ඒ නිසා.”

දහරාගේ  කරවටා  අත දමාගත් රමාෂ් ඇයව තම වතට බර කරගත්තේ ඒ නළලත මත සිපුමක් තබමින්ය. 

විවාහ මංගල්ලය පැවතියේ කොළඹ ප්‍රධාන පෙළේ තරු පන්තියේ හෝටලයකය.  දහරා සැරසී උන්නේ ඉන්දියන් විලාසිතාවකට අනුවය. සැබවින්ම ඈ සුන්දර මනාළියකව උන්නාය. 

“දන්නවද මේ හැබෑ උනේ මගේ හිතේ තිබුණු හීනයක්.”

නිශාදි පැවසූයේ සොයුරියකටත් වඩා තම සිතට සමීප වූ යෙහෙළියව වැළඳ ගනිමින්ය. මේ සතුට ඇයට ලබා දෙන්නට තමා දරාගත් දුක පිළිබඳව පසුතැවීමක් ඇයට වූයේ නැත. 

දෙදෙනා මධුසමය සඳහා පිටත්ව යාමට තිබුනේ මැලේසියාවටය. දහරා පුතු දමා දින කිහිපයක ගමනක් යාමට අදිමදි කරද්දී කැමැත්තෙන්ම ඒ වගකීම බාර ගත්තේ සාමාය.  

“ඒක ඔයා දරුවාට කරන වරදක් නෙමෙයි පුතේ. රමාෂ් පුතා උනත් හැම තත්පරයකම උත්සාහ කරන්නේ ඔයාගේ හිතට සතුටක් දෙන්න. එයා ඔයා ගැනයි දරුවා ගැනයි ගොඩක් හිතනවා. දවස් පහයිනේ පුතේ. දරුවා දැන් කෑම කනවා. ඒ හැමදේටම වඩා ඔයා නැතුව ඉන්න දැන් එයාට හුරුයි. ජීවිතේ  ඔයාට නොලැබිච්ච ගොඩාක් දේවල් ඉස්සරහට ඔයාට ලැබෙයි පුතේ. ඒ හැමදේම සතුටින් බාරගන්න හිත පුරුදු කරගන්න. ඔයාගේ ලග ඉන්නව තරමටම පරිස්සමට දරුවා මං ගාව ඉන්නවා. ඊට පස්සේ හැමදාටම එයා ඔයා එක්කනේ….”

සාමා දහරාගේ හිත හැදුවේ එසේ පවසමින්ය. 

“ඒ දවස් ටිකේ මමත් මෙහේ නතර වෙලා ඉන්නම් දහරා. අපි හැමෝම එක ඉදිද්දි පුතාට ඔයා නැති පාළුව දැනෙන එකක් නෑ. නිශාදිත් ඒ සතියම නිවාඩුයි කියලා කිව්වනේ.”

එසේ පැවසූයේ රසිකාය. 

ගෙවී යමින් තිබූ දවස් සුන්දර ඒවාය. දහරාට දැනෙමින් තිබුණේ ලෝබ කමකි. මනුජිත්ගේ ආදරයත් රැකවරණයත් අභියස ඕ අලුත් සිහිනයක් දකිමින් උන්නාය. ඔහු බොහෝ දේ සිදු කරන්නේ ‘තමා වෙනුවෙන්ය..’ යනහැඟීම ඇගේ සිතට සතුටක් වී තිබිණ. මේ තමා කුමන ආත්මයක කළ පිනක්දැයි ඕ අනේක වාරයක් සිතුවාය. 

මැලේසියාවේ සුන්දර දූපතක වූ නිවාඩු නිකේතනය ඔවුන්ගේ මධු සමය සඳහා වෙන් වී තිබිණ. 

“අපි පුතත් එක්කත් දවසක එමු..මට ඕන වුණේ ඔයාගේ හිතට නිස්කලංක සතුටක් දෙන්න…”

ඔහු පැවසූයේ ඇයව වැළඳගෙනය. එක් පසෙකින් මුහුදට මායිම්ව තිබූ සුන්දර නිවාඩු නිකේතනය මිල අධික එකක් බව දහරා දැන උන්නාය. මනුජිත් ගැන ඔහුගේ මවත්, පියාත් ගැන ඒ සිතෙහි වූයේ වේදනාවකට සමාන හැඟීමකි. යළිත් ඔවුන්ගේ ජීවිතවලට ‘සතුට උදා වේවා..’යැයි පතනු හැර ඇයට පතන්නට දෙයක් වූයේ නැත. 

රමාෂ්ගේ ආදරය හමුවේ ඇයට මුළු ලෝකයම තමා වෙත ලැබුණා වන් සතුටක්  දැනෙන්නට විය. ඉඳහිට  පුංචි කෙඳිරිල්ලක් නැගුවත් දරුවා සතුටින් අම්මාත් රසිකා නැන්දාත් සමග සිටිනා බව පැවසූයේ නිෂාදිය. ගෙවී ගිය දින හතරකට පසුව ඇය  ආපසු ලංකාවට පැමිණියේ යළි උපන් ගැහැණියක විලසින්ය. ඉන් පසුදා  දහරාත් රමාශුත්, කුඩා පුතුන් ඔහුගේ තට්ටු නිවාසයෙහි වන සියලු පහසුකම් සපිරි නිවසට පදිංචියට ගියෝය.

(හෙට හමුවෙමු අවසන් කොටස සමගින්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here